නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 1800-2300 අතර පිහිටි හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික වනෝද්‍යානයක් බවට පත්විය. නිවර්තන කලාපීය සදාහරිත වැසි වනාන්තරවලින් ගහන මෙහි වර්ෂාපතනය මි.මී 2500කි.
සුන්දර ලෝකාන්තයට ළඟා විය හැකි මාර්ග කීපයකි. නුවරඑළිය නගරයේ සිට කි.මීටර් 32ක් පමණ දුරින් පිහිටි හෝර්ටන්තැන්නට අඹේවෙල පට්ටිපොල මාර්ගය හෝ ඔහීය, නැතහොත් ආගරපතන හරහාද ළඟා විය හැක.
වර්ෂ 1830 පමණ කාලයේ යුද හමුදා නිලධාරීන් විසින් මේ සුන්දර වනාන්තරය පිළිබඳ හෝර්ටන් ආණ්ඩුකාරවරයා වෙත දැනුවත් කර ඇත. එතෙක් මහඑළිය නම් වූ සුන්දර පරිසරය එයින් පසු හෝර්ටන්තැන්න බවට නම් කෙරිණි. මෙයට වසර 50කට පමණ පෙර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා යුකැලිප්ස්ටස් වන වගාව මෙහි සිදුකර ඇතැයිද වාර්තා දක්වයි. පසුව 1969දී මෙය ස්වාභාවික වන රක්ෂිතයක් ලෙස නම් කෙරිණි.
අප්‍රියෙල් ජූලි මාස අතර කාලය නොවූවද අදටත් තැනින් තැන පිපුණු අශෝක හෙවත් මහ රත්මල රෝඩොඩෙන්ඩ්‍රන් (Rhododendron arboretum) හෝර්ටන්තැන්නට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. ශ්‍රී ලංකාවට ආවේණික සිතැසියා නැමති පක්ෂියෙකු මගින් මෙම මල් පරාගණය සිදුකරයි. මහරත්මල මධ්‍යම පළාත් පුෂ්පය ලෙස පිළිගැනේ.
පහත් බිම් වසාගත් දේශීය ශාක අතරින් කුඩාම වර්ගයේ උණ විශේෂයක් වන කුරු උණ ගස් (Arundinaria densifolia) පරිසරයට අලංකාරයක් මෙන්ම එහි සුන්දරත්වය ඔප්නංවන ගෝනුන්හට ප්‍රණීත ආහාරයකි.
හෝර්ටන්තැන්න නැරඹීමට එන සංචාරකයන්ගේ අවධානය දිනාගත් ප්‍රධාන ස්ථාන තුනකි. මීටර් 870 ක් වූ දැඩි බෑවුමක පිහිටි ලෝකාන්තය අපූර්වත්වය සමග බිය දනවන තැනකි. ඉහළ සිට පහළ නරඹන අයෙකුට තේ වතු යායත්, වලවේ ගඟට ජලය සැපයෙන කිරිකැටි ඔයත් මිහිදුම් නොමැති දිනවල පහසුවෙන් දැකගත හැකිය. මෙම දිය පහර උඩවලවේ ජාතික උද්‍යානයේදී වලවේ ජලාශය නිර්මාණය කරමින් උඩවලව සහ හෝර්ටන්තැන්න යා කරයි. ඈතින් දිස්වන බලංගොඩ සහ බෙලිහුල්ඔය ප්‍රදේශ නිතර වැසී යන යළිත් නිරාවරණය වන මිහිදුම් සළු අතරින් නැරඹිය හැකිය.
වලාකුළු වනාන්තර තුළ සිදුවන ක්‍රියාදාමය නිරීක්ෂණය කිරීමට ලෝකාන්තය වටා වන පියස සුන්දර අවස්ථාවකි. වලාකුළු ඉතා උස් වූ කඳු මුදුන් ඇති තැනකදී කඳු ආවරණය කර ගනිමින් බොහෝ විට සවස් කාලයේදී වැසි ඇති කරයි.
නමුත් ශාක සහිත පරිසරයකදී මෙම වලාකුළු ශාක සමග ගැටීමෙන් ජල බිංදු වෑස්සීමක් සිදුකරයි. ඇතැම් ප්‍රදේශවලට මෙසේ වෑස්සෙන ජල බිංදු ප්‍රමාණය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප්‍රමාණයටත් වඩා අධික වීමද අපූර්වත්වයකි. විශේෂයෙන්ම මේ තත්ත්වය අපද ලෝකාන්තය සිට කුඩා ලෝකාන්තය දක්වා දිවෙන වනගහනය තුළ මැනවින් අත්විඳීමට හැකිවූයේ වර්ෂාව නොතිබුණද පොළව තෙමී මඩවන තරමට එය තෙත බරින් නැහැවී තිබුණු හෙයිනි.
වන ලැහැබ තුළ පිහිටි මීටර් 19ක් පමණ උසැති පැති ගණනාවකට රූරා ඇද හැළෙන බේකර්ස් ඇල්ල තවත් සුන්දර සිහිවටනයකි. වනඅලි දඩයමේ ගිය සැමුවෙල් බේකර්ස්ගේ නෙත ගැටුණු සුන්දර දියඇල්ල බේකර්ස් ඇල්ල නමින් ප්‍රචලිත විය. ගෝනුන්, මුවන්, ලේනුන්, ඌරන් වැනි සතුන්ද, කුඩා පක්ෂීන් මෙන් ජලජ ජීවින්ගෙන්ද මේ පරිසරය නොසිස්ය.
උසින් මීටර 270ක් වූ කුඩා ලෝකාන්තය හෝර්ටන්තැන්නට අසිරිය ගෙෙනන සුන්දර දසුනකි. එනම් මහා ලෝකාන්තයේ ප්‍රමාණයෙන් තුන් ගුණයකට වඩා කුඩාය. කුඩා ලෝකාන්තයත්, ලෝකාන්තයත් අතර දුර කි.මී 0.5කි. මෙම ප්රපාතය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිසාව තෙක් පැතිර යයි.
හෝර්ටන්තැන්නේ සුවිශේෂත්වය වන්නේ වහා වෙනස්වන දේශගුණික තත්ත්වයත්, ක්ෂණයකින් පරිසරය වසාගන්නා මිහිදුම සහ වලාකුළු සමූහයත් ගෙනන දිවයිනේ වෙනත් තැනක අත්විඳිය නොහැකි චමත්කාරයයි. හිරු බැසයත්ම දිවා කාලයේ තුරු වදුල තුළ සැඟවී සිටි ගෝන්නු කුස පුරවා ගැනීමට තණපත් උලා කෑමට පතනට පිවිසෙන දර්ශනය තවත් අපූරු සිත්තමකි.
හෝර්ටන්තැන්නේ සුන්දරත්වයට හානි කිරීමට මෙන් එය පුරාවට පැතිර යමින් පවතින ආක්රමණික ශාකයන් රැසක් දැකගත හැකිය. කටු සහිත සිහින් පත්‍රිකා සහිත කහ පාටැති මල් පිපෙන යුරෝපීය කටු පඳුරු (Ulex europaeus) සහ කොළ පැහැයෙන් යුතු වැරැල්ල (Pteridium aqulinium) ඒ අතර වෙයි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා මර්දනය කිරීම සඳහා එම පැළෑටි මුලින්ම ගලවා පිළිස්සීම කරයි.
වසරේ ජනවාරි සිට මාර්තු කාලයේ පෙරවරු 10.00 දක්වා පමණ කාලය ඉතා පැහැදිලිව ලෝකාන්තයේ අසිරිය නැරඹීමට සුදුසු කාලය වන්නේ ඒ වනවිට මිහිදුම් සළුවෙන් මිදී ගත් පරිසරය තුළ ලැබෙන චමත්කාරය අනුබලයෙනි. කෙසේවුවද ප්‍රධාන පිවිසුමෙන් අවසරපත මිලදී ගෙන ලෝකාන්තය නැරඹීමට හෝර්ටන්තැන්නට යන අයට සිය වාහනයෙන් කිලෝමීටර 05ක දුරක් ඉදිරියට යා හැකිය. එතැන් සිට පා ගමනින් කි.මී.9 ක දුරක් යාමට සිදුවෙයි.
බුත්තල රජ මාවතදීත්, උඩවලව මාර්ගයන්හිත් රැඳී අනුන්ගෙන් යැපෙන තැනට ජනතාව විසින් ආහාරපාන සපයා පුරුදු කරගත් අලින් මෙන්ම මෙම භූමියේද රිය ගාල අසල නිවහන කරගත් ගෝනා ජනතාවගේ ආදරයට ලක්වූ මිතුරෙකි. වාහනයක් පැමිණි සැණින් ඌ තමන්ට යමක් ලැබේය යන විශ්වාසයෙන් පැමිණියද ආරක්ෂක නිලධාරීහු සතුන්ට ආහාර දීමෙන් වළකින ලෙස ආයාචනය කරති.
පිවිසුම් දොරටුවේදී වන සංරක්ෂණ ආරක්ෂක අංශය සංචාරකයන් දැඩි පරීක්ෂාවට ලක් කරයි. පොලිතින්, ටොපි කොළ, ගිනි පෙට්ටි, බිස්කට් දවටන වැනි පරිසරයට හානි කරන දේ සහ සතුන් කලබලයට පත් කරවිය හැකි නිසා විඩීයෝ කැමරා ආදිය උද්‍යානය තුළට ගෙන යාමට අවසර නොදෙන බව ඔවුහු පවසති. එවැනි දේ එතැන රඳවා ගනියි.
“මේ ගමන තුළදී ඔබ කිලෝමීටර නවයක පමණ ඇතැම්විට දුෂ්කර අපහසු මගක ගමන් කළ යුතු නිසා එහිදී පවතින අපහසුතාවයන් විඳගත හැකි අය පමණක් පිවිසෙන්න යැයි” ආරක්ෂක අංශ විසින් කෙරෙන දැනුවත් කිරීම හැම සංචාරකයෙකුටම යහපත් මගපෙන්වීමකි.
මේ සුන්දර වන පියසට පිවිසෙන අයෙකුට සිහිවටනයක් ලෙස කැමරා කාචයක යමක් සටහන් කර ගනිමින් පිටතට පැමිණීම හැර කිසිදු පත්‍රයක්, පැළයක් කඩා ගැනීමට හෝ පරිසරය අපිරිසුදු වන පරිදි හෝ සතුන්ට හිංසාකාරී වන අන්දමින් හැසිරීම තහනම්ය.