ජාතියක් ලෙස නිදහස ලැබූ ශ්‍රීලාංකිකයන් වර්තමානයේ කැපවිය යුත්තේ ආර්ථික නිදහස ලබාගැනීම වෙනුවෙන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පෙරේදා(04දා) කොළඹ ගාලුමුවදොරපිටියේ පැවැති ජාතික නිදහස් දින සමරු උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකළේය. ආර්ථික නිදහස ලබාගැනීම සඳහා උගතුන්, බුද්ධිතුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ද එක්විය යුතු බවත්, ඒසඳහා පටු අදහස් පසෙකලා එක්වන ලෙසටත් ජනාධිපති සිරිසේන මහතා මෙහිදී ආරාධනා කළේය.
එහිදී ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය.
නිදහසේ සැබෑ අර්ථය
අද අපේ රට යටත්විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. නිදහස සමරන අපි නිදහසේ සැබෑ අර්ථය පිළිබඳ කෙටියෙන් යමක් කතා කිරීම අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ලෝකයේ විවිධ රටවල ජීවත්වන, ලෝකයේ විවිධ ජාතීන් කතා කරන භාෂා 6,000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සෑම භාෂාවකම නිදහස කියන වචනය සුවිශේෂ වූත්, අසමසම වූත්, අනබිබවනීය වූත් වචනයක් ලෙසයි සලකන්නේ.
1505 සිට 1948 දක්වා අපේ රට විදේශීය ආක්රමණවලට යටත්වී තිබූ කාලපරිච්ඡේදය ගත් විට ඒ කාලපරිච්ඡේදය තුළ අපි කතා කළ නිදහස සහ අද කතා කරන නිදහස කියන වචනය අතරේ වෙනසක් තිබෙන බව ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. එදා 1948ඩී.එස්. සේනානායක මහතාප්රමුඛ සමකාලීන ජාතික නායකයන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් නියෝජනය කරන නායකයන්, ජාතික නිදහස් අරගලයට මහා යෝධ ශක්තියක් දුන්නා.ඒ වගේම ඒ සටන තුළ අපේ නායකයන් සිරභාරයට ගත් අවස්ථා තිබෙනවා. 1505 සිට 1948 දක්වා කාලය තුළ රට වෙනුවෙන්, මේ රටේ නිදහස වෙනුවෙන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළා.
රණවිරුවන් සිහිපත් කිරීම අත්‍යවශ්‍යයි
1930 දශකය, 40 දශකය වැනි කාලපරිච්ඡේදවල මේ රටේ නායකයන්ගේ ඉල්ලීම මත ඩොනමෝර් කොමිෂන් සභාව, සෝල්බරි කොමිෂන් සභාව මගින් අපිට වරින්වර තිබූ බලවත් පීඩාවන් ඉවත්කෙරෙමින් 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලබාගැනීමට පුළුවන්කම ලැබුණා.
ඒ වගේම නිදහස පිළිබඳ කතා කරන විට වසර 30කට අධික කාලයක් අපේ රට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදයෙන් මුදවාගැනීමට සටන් කළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා, අතපය අහිමි කරගත්තා, ආබාධිතයන් බවට පත්වුණා, ඔවුන්ගේ පවුල්වල බරපතළ විනාශයන් ඇතිවුණා. ආර්ථික විනාශයන් ඇතිවුණා. මේ රටේ සාමාන්‍ය ජනතාවත් සමග ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඒ තුළ ජීවිත පරිත්‍යාග කළා. දහස් ගණනාවක් ආබාධිත වුණා.
මියගිය සියලු දෙනාම පරාජිතයන්ද?
මේ තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සියලු දෙනාම පරාජිතයන්ද? ඒ වගේම ජීවිත රැකගත් සියලු දෙනා ජයග්රාහකයන්ද? එම ඛේදවාචකයෙන් මියනොගොස් ජීවත්වන අප සියලුදෙනාම ඉන් උගතයුතු පාඩම මෙනෙහි කිරීම ඉතා අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා.
අහස්කුස සිසාරා යන නිදහසක්
එදා කතා කළ නිදහසට වඩා සංකීර්ණ අර්ථයකින් අද අපි නිදහස ගැන කතා කරනවා. අද නිදහස පිළිබඳකතාකරන විට මූලික වශයෙන්ම මානව නිදහස, මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, සිතීමේ නිදහස, සාමකාමීව එක්රැස්වීමේ නිදහස මේ කියන කරුණු සමග අද අහස්කුස සිසාරා යන නිදහසක් පිළිබඳවයි කතා කරන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා.
ඒ වගේම 21 වැනි සියවසට ගැළපෙන නූතන රාජ්‍යයක් විදියට අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැගීමේදී මූලික වශයෙන්ම දේශපාලන ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය මුල්කරගනිමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සාධක ඉෂ්ටකරගැනීම සඳහා රට තුළ වාර්ගික සංහිඳියාව, ආගමික සහජීවනය ශක්තිමත්වීම අත්‍යවශ්‍යයි. අපි රජයක් විදියට කැපවී සිටින්නේ ඒ සඳහා ප්රමුඛත්වයක් ලබාදීමටයි.
රටට එරෙහිවු බලවේග
රට තුළ වාර්ගික සංහිඳයාව, ජාතික සමගිය සඳහා රජයක් විදියට අප විසින් විශාල කැපවීමකින්, අධිෂ්ඨානශීලීව අද මේ ගෙනයන වැඩපිළිවෙළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්වෙලා තිබෙනවා වගේම ඊට විරුද්ධව කටයුතු කරන අවස්ථාවාදී බලවේග සිටින බව පැහැදිලිවම සඳහන් කරනවා. එම අවස්ථාවාදී බලවේග පටු චේතනාවෙන් කටයුතු කරන අය, රටට විරුද්ධව, රටට එරෙහිව කටයුතු කරන බලවේග වශයෙනුයි මම හඳුන්වන්නේ.
නිදහස පිළිබඳ නිර්වචනය කිරීමේදී මූලික වශයෙන්ම අපේ රටේ ආර්ථික නිදහස සඳහා අද අපි සෑමකෙනෙක්ම කටයුතු කළයුතු වෙනවා. ඒ ආර්ථික නිදහස ලබාගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දැනුම, හැකියාව ඒ වගේම නව නිපැයුම්, නිපුණ ශ්‍රම බළකායේ කාර්යක්ෂ්මතාව, ගොවිජනතාව ඇතුළු වැඩ කරන කම්කරු ජනතාව ඇතුළු සියලු ජනතාවගේ දහඩියෙන් වැගිරෙන ශ්‍රම ශක්තිය, ඔවුන්ගේ කැපවීම මෙහිදී අප කිසිවිටෙකත් අමතක කළයුතු නැහැ.
ලෝකය ජයග්‍රහණයට මගපෙන්වීම
නූතන පරපුර අධිතාක්ෂණික දැනුම, නිපුණතාව ලබාගැනීම සඳහා දැඩි ආසාවකින්, ඒ වගේම දැනුම ලබාගැනීම සඳහා දැඩි පිපාසයකින් කටයුතු කරනවා. අපේ නව පරපුරට දැනුම ලබාදීම සඳහා, දැනුම ආර්ථිකයක් තුළ රට ගොඩනැගීම සඳහා, ලෝකය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම අප සෑමවිටම රජයක් විදියට ප්රමුඛත්වයක් දී ඉටුකරන බව සඳහන් කරන්නට ඕන.
ප්‍රමුඛත්වය නව පරපුරට
ඒ වගේම 21වැනි සියවසේ රටේ පූර්ණ ප්රජාතන්ත්රවාදය සුරැකීමට නම් පළමුව අපි සෑමකෙනෙක්ම ආර්ථික සමෘද්ධිය රට තුළ ඇතිකරගැනීම අත්‍යවශ්‍යයි. එහිදී අපි ප්‍රමුඛත්වය දෙන්නේ අපේ නව පරපුරට. තරුණ පරපුරට. 21වැනි සියවසේ දැනුම මුල්කරගත් සමාජයක, දැනුම මුල්කරගත් අධ්‍යාපනයක්, දැනුම මුල්කරගත් ආර්ථියක් සමග නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ උරුමකරුවන්ද, භාරකරුවන්ද වෙන්නේ අපේ තරුණ පරපුරයි.
ඒ අනුව නූතන ආර්ථික සංකල්පයන් වන දැනුම් ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය යන විවිධාංගීකරණයට ලක්වූ සියලූ ආර්ථික කි‍්‍රයාවලියන්, සංකල්ප අපේ රටේ ජාතික ආර්ථිකය සමග මුසු කිරීමට ශ්‍රී ලංකාව තුළ වෙසෙන උගතුන්ට, බුද්ධිමතුන්ට විශේෂයෙන්ම නව පරපුරට අවශ්‍ය ඒ මගපෙන්වීම සඳහා කටයුතු කරන ලෙස මා ගෞරවයෙන් ඒ සෑමකෙනෙකුටම ආයාචනා කරනවා.
අපේ කැපවීම ආර්ථික නිදහස සඳහා
ඒ වගේම රටක් විදියට කටයුතු කිරීමේදී අප ප්‍රමුඛත්වය දී තිබෙන්නේ, අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නේ, අපේ කැපවීම ආර්ථික නිදහස සඳහායි. මේ 2017 වසරදුගීභාවයෙන් නිදහස්වීමේ වසර ලෙස අපි නම් කර තිබෙනවා. තිරසර සංවර්ධන ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් තුළ රට දුගීභාවයෙන් නිදහස් කරගැනීම සඳහා මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සමස්ත පොදු මහජනතාවගේ කැපවීම සහ පරිත්‍යාගශීලීභාවය අපි බලපොරොත්තු වෙනවා, ඒ උතුම් ජාතික අරමුණ ඉටුකරගැනීම සඳහා සෑම කෙනෙකුම ඒ වගකීම සහ යුතුකම ඉතා උසස් ලෙස ඉටුකරයි කියා මා විශ්වාස කරනවා.
අපි ඉතාමත් ශක්ති සම්පන්න ජනතාවක්. අපි ඉතා දක්ෂ ක්‍රියාශීලී ජනතාවක්. අපේ රටේ වෙසෙන්නේ උගත් ජනතාවක්, බුද්ධිමත් ජනතාවක්. ඒ නිසා අපට ජාතියක් විදියට ඉදිරියට යාමට ඒ දැනුම, සම්පත්, හැකියාව, දක්ෂතාව තිබෙන බව පිළිගතයුතුයි. ඒ සඳහා රජයක් ලෙස ඒ සෑම කෙනෙකුටම අවශ්‍ය සහාය ලබාදෙමින් අපේ මාතෘ භූමිය ගොඩනැගීමට එක්වෙමු.
දේශපාලනඥයා අවංක චරිතයක් වියයුතුයි
ඒත් එක්කම අපේ රට ගොඩනැගීමේදී, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේදී, වංචාව, දූෂණය, නාස්තිය, හොරකම පිටුදකිමින් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම සහ අවංකභාවය ඉතා අත්‍යවශ්‍යයි. අපේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමේදී ප්‍රධාන වශයෙන් දේශපාලනඥයා අවංක, කැපවීමෙන් කටයුතු කරන චරිතයක් බවට පත්වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම සියලු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඒ අවංකභාවය සහ කැපවීම කොට මාතෘභූමිය ගොඩනැගීම සඳහා තම වගකීම සහ යුතුකම උසස් ලෙස ඉටුකරන බව මම විශ්වාස කරනවා.
අපි දේශපාලන ක්‍රම පිළිබඳ, ආර්ථික න්‍යායන් පිළිබඳකතා කරන විට සමාජ ප්රජාතන්ත්රවාදයත්, ඒ වගේම වෙළෙඳ පොළ ආර්ථිකයත් කියන කරුණුවලදී මූලික වශයෙන් සමාජ ප්රජාතන්ත්රවාදයේ සාධනීය සහ නිශේධනීය කරුණු හඳුනාගැනීමත්, වෙළෙඳ පොළේ ආර්ථිකයේ සාධනීය සහ නිශේධනීය කරුණු හඳුනාගැනීමත්, සමාජ ප්රජාතන්ත්රවාදයේ සහ වෙළෙඳ පොළ ආර්ථිකයේ යහපත් සාර්ථක වූ අංගවල මිශ්‍රණයක් සමග ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන අපේ රට ගොඩනැගීම ඉතා අත්‍යවශ්‍යයි. මේ සියලු කටයුතුවලදී අපි සෑම කෙනෙකුම යුගයේ වගකීම, අවශ්‍යතාව අවංකව ඉටු කරමු."
ජාතික සමගිය‘ මෙවර ජාතික නිදහස් දින තේමාව විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරු ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළුමැති ඇමැතිවරුන්, තානාපති නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ජාතික නිදහස් සැමරුම් උලෙළේදී කොළඹ පාසල් 11 ක දරුවන් එක්ව ජාතික ගීය ගායනා කළඅතර, ආරක්ෂක අංශ ඉදිරිපත් කළ ආචාර පෙළපාළියෙන්ද, හමුදා සංදර්ශනවලින්ද නිදහස් උලෙළ විචිත්‍රවත් විය. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ, සිවිල් ආරක්ෂක බළකායේ හා පාසල් ශිෂ්‍ය භටයන් ඇතුළුව අටදහසකට ආසන්න පිරිසක් නිදහස් උලෙළෙහි ආචාර පෙළපාළියට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා