අප සතු පරිසර සම්පත් අතරින් මුහුදුබඩ වඟුරු බිම්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම සුවිශේෂත්වය නිසාම විදේශීය පක්ෂීන් මෙරටට පැමිණීමේදී ගිමන් නිවා ගැනීම සඳහා මෙම භූමි ප්‍රදේශ විශාල වශයෙන් භාවිත කරනු ලබයි. මීට අමතරව ලංකාව තුළ ජීවත්වන හා ලංකාවට ආවේණික සත්ත්ව ප්‍රජාවගේ නිජබිම ලෙසටත් මුහුදුබඩ වඟුරු බිම් භාවිත කරති.එහෙත් මිනිසුන් ඉවක්බවක් නොමැතිව මෙම භූමි තමන්ගේ කටයුතු වෙනුවෙන් යොදාගැනීම නිසා රට තුළ පවතින බොහෝ වඟුරු භූමි විනාශ වී යමින් තිබේ. වනය, වනජීවීන් සුරක්ෂිත කිරීමට රට තුළ කොතරම් නීති පැවතියත් එම නීති ක්‍රියාත්මක කිරීමට කොතරම් ආයතන තිබුණත්‘, මෙම භූමිවලට සිදුවන හානිවල කිසිදු අඩුවක් දක්නට නැත.
මේ ආකාරයට දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිබෙන මුහුදුබඩ වඟුරු බිමක් වන්නේ අකුරළ යෝජිත අභය භූමියයි. ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 77ක විශාලත්වයකින් යුත් යෝජිත අභය භූමිය තුළදී සත්ත්ව විශේෂ රාශියක් දැකගැනීමට හැකියාව තිබේ. එනම්, මෙම භූමිය තුළ පක්ෂි විශේෂ 74ක්, ශාක විශේෂ 134ක්, ක්ෂීරපායී කුරුලු විශේෂ 17ක් ජීවත්වන බවද පරිසරවේදීහු සඳහන් කරති. මෙම වනජීවීන් අතරින් කුරුලු විශේෂ 05 ක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස හඳුනාගෙන තිබෙන අතර, මෙම භූමිය තුළදී ලංකාවට ආවේණික ශාක විශේෂ 05කුත් දැකගත හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම භූමියේ තිබෙනා සුවිශේෂත්වය වන්නේ කුඩා භූමියකදී විශාල ශාක හා සත්ත්ව විශේෂ දැකගැනීමට හැකියාව ලැබීමයි. ශාක විශේෂ අතර කඩොලාන ශාක විශේෂ ගණනාවක්ම දැකගත හැකි අතර, ඊට අමතරව කුඩා විල් සහිත වීම නිසා විශාල ජලජ ශාක ප්‍රමාණයකුත් මෙම භූමිය තුළදී දැකගැනීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම භූමිය සංරක්ෂණය කිරීමට තීරණයකර තිබේ.
මේ අනුව මෙම භූමිය සංරක්ෂණය කිරීම සඳහා මුලින්ම පරිසර අධිකාරිය ඉදිරිපත් වී කටයුතුකර ඇත. මෙම භූමිය මාදම්පාවිල අභය භූමිය අසලම පිහිටා තිබීම නිසා පසුව අකුරළ යෝජිත අභය භූමියේ සංරක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවට පවරා ඇත. හෙක්ටයාර් 77ක කුඩා භූමියක් තුළ විශාල ජෛව විවිධත්වය දැකගත හැකි නිසා මෙම භූමිය ආරක්ෂාකර ගැනීම සඳහා අභය භූමියක් බවට පත්කිරීමට සැලසුමක් සකස්කර තිබෙන අතර, ඒ සඳහා පසුගිය වසරේදී කැබිනට් පත්‍රිකාවක් පවා සකස් කිරීමට කටයුතුකර තිබෙන බව වාර්තා වේ.
එහෙත් එම කැබිනට් පත්‍රිකාවට සිදුවූ දෙයක් මෙතෙක් දැනගන්නට නැත. මේ නිසා මෙම භූමිය යෝජිත අභය භූමියක් ලෙස තවමත් පවතින අතර, බොහෝ පරිසර විනාශයන් මෙම භූමිය තුළ සිදුවුවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගැනීමටත් නොහැකි වී ඇත. වනය, වනජීවීන් ආරක්ෂාකර ගැනීමට රට තුළ කොතෙක් නීති තිබුණත්, යෝජිත අභය භූමියක් තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු නවතා දැමීමට රට තුළ කිසිදු නීතියක් නැත.
එහෙත් ආරක්ෂිත සත්ත්ව හෝ ශාක විශේෂ පවතී නම් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව හෝ වෙනත් පරිසරික නීතිරීති මගින් අදාළ මැදිහත්වීම සිදුකළ හැකිය. මෙලෙස නීති ප්‍රතිපාදන තිබුණත්, අකුරළ යෝජිත අභය භූමිය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු දෙස බලධාරීන් අවධානය යොමුකරන බවක් පෙනෙන්නට නැත. මේ නිසා මෙම භූමිය ආරක්ෂා කරගැනීම සඳහා සිදුකළ යුතු වන්නේ කඩිනමින් මෙම භූමිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමය.
දේශගුණික විපර්යාස ගැන කතා කරන, පරිසර විනාශය, වනජීවී විනාශය ගැන මහ ඉහළින් කතා කරන වර්තමාන ආණ්ඩුවත් අදාළ කටයුත්ත සිදුකිරීමට මෙතෙක් මැදිහත්වීමක් සිදුකර නැත. මේ නිසා ජාවාරම්කාර මිනිසුන් මෙම භූමිය ඉවක්බවක් නොමැතිව විනාශ කරමින් සිටී. මෙම විනාශකාරී ක්‍රියාවන් අතර අකුරළ මෝය කට ආසන්නයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු යැයි කියාගන්නා පුද්ගලෙයකු විසින් සංචාරක හෝටලයක්ද ඉදිකර තිබේ.
මෙම හෝටලය ඉදිකිරීම වෙරළ සංරක්ෂණ නීතිරීති පවා උල්ලංඝනය කරන්නක් වුවත් බලධාරීන් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පරිසරවේදීහු සඳහන් කරති. මීට අමතරව අකුරළ මෝය ප්‍ර‘දේශයේ වැලි ජාවාරම්කරුවන් විසින් වැලිගොඩ දැමීම සිදුකරන නිසාත්, අකුරළ යෝජිත අභය භූමියට දැඩි හානි සිදුවෙමින් තිබේ. අකුරළ ගල්දූව තෙත් බිම හා මහ මුහුද සම්බන්ධ කරන මෙම මෝය කට වැලිවලින් පිරී පවතින බැවින් වර්ෂා කාලවලදී ගොඩබිමෙන් ගලාගෙන එන ජලය මුහුදට ගමන් කරනු ලබන්නේ යම් පාලනයක් සහිතවය.
එහෙත් වැලිපරයෙන් වැලි ඉවත් කිරීම නිසා ගොඩබිමෙන් පැමිණෙන ජලය සෘජුවම මහා මුහුදට ගලා බසින අතර, මේ හේතුවෙන් තෙත් බිම්වලට, ජලජ ශාකවලට හා ජලජ සත්ත්වයින්ටත් ඒ තුළින් බලපෑම් එල්ලවී ඇත. මීට අමතරව මෝය කට පවතින මුහුදු ප්‍ර‘දේශයේ සෘජුවම මුහුදු තෘණ භූමි හා විශාල කොරල්පර පවතින බවටත් වාර්තා වේ. සෘජුවම මෝය කට තුළින් ජලය මුහුදුට ගලාගෙන ඒම නිසා අදාළ භූමි රොන් මඩවලින් විනාශ වී යාම වැනි විවිධ විනාශයන්ට ලක්වන බවද පරිසවේදීන් පෙන්වා දෙයි. අතීතයේ සිටම වඟුරු බිමක් ලෙස පැවත තිබෙනා මෙම භූමිය ස්වාභාවික අයුරින් නිර්මාණය වී තිබෙන අතර, මෙම භූමියේ නැගෙනහිර මායිමේ උසින් වැඩි කොටසේ සුප්‍රසිද්ධ ගල්දූව ආරණ්‍ය සේනාසනයද පිහිටා තිබේ. මීට අමතරව තෙත්බිම ආසන්නයේ ගම්මාන කිහිපයක්ද පවතින අතර, එම ගම්වල බොහෝ පිරිස් මෙම තෙත්බිම උපයෝගී කරගෙන ධීවර කර්මාන්තයේ නිරත වීමද සිදුවේ. ඉස්සන්, කකුළුවන් වැනි මත්ස්‍ය විශේෂවලට අමතරව මෙම භූමියේ පවතින කිරල, කැරන්, නෙළුම්මල්, නෙළුම් අල විකුණා ජීවත්වන ජන කොටස්ද මෙම ප්‍ර‘දේශවල සිටිති.
මීට අමතරව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 04 ක් සමග පක්ෂි විශේෂ 74 ක් දැකගත හැකි බවද පරිසරවේදීහු පෙන්වා දෙති. ලංකාවට ආවේණික පක්ෂි විශේෂ අතර ගිරාමලිත්තා, ලයරන් කොට්ටෝරුවා, අලුකෑදැත්තා, බැදිදෙමලිච්චා මෙම භූමියේදී දැකගත හැකි අතර මීට අමතරව වඳ වී යාමේ තර්ජනයට ලක්වී සිටිනා වනනිල්මල්කොහා, හීන්ගෙබිතරුවා, මුහුදුරාජාලියා, සංචාරක පක්ෂීන් වන රෝස මයිනා, ඉන්දියානු කොහා, අබිකාවා හා සියලුම වර්ගවල දියකාවන්ද මෙම භූමියේදී දැකගත හැකිය.
පක්ෂීන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙසත් මෙම භූමිය සැලකෙන අතර, මෙහිදී දැකගත හැකි මත්ස්‍ය විශේෂ ප්‍රමාණය 24 ඉක්මවයි. එනම් මහඉපිල්ලා, කොටඉපිල්ලා, බණ්ඩිතිත්තයා, කාවයියා, හුංගා, ලූලා, මල්කොරලියා, ජපන්කොරලියා, තිත්තයා, වැලිගොයියා, ගොඹයා, පැරැටියා, රැවුල් මීයා, මහවලහ, අංකුට්ටා, ඉරිඅංකුට්ටා, වෙල්මඟුරා, කහ හුංගා, මඩ ආදා, ලුහුල්ලා, මඩකනයා, පොට්ට ආදා යන මිරිදිය මත්ස්‍ය විශේෂ දැකගත හැකිය.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස නම්කර ඇති බත්කූරන් විශේෂ කිහිපයකුත් මෙම භූමිය තුළ ජීවත් වෙයි. පිරිසුදු ජල පොකුණු විශාල ප්‍රමාණයක් පිහිටීම නිසා මේ ආකාරයේ බත්කූරු විශේෂ දැකගැනීමට හැකියාව තිබෙන බවද පරිසරවේදීහු සඳහන් කරති. සමනළ විශේෂ 27ක්ද මෙම භුමියේදී දැක ගැනීමට ලැබෙන අතර, ක්ෂීරපායි සත්ත්ව විශේෂ 15කුත් මෙම භූමියේ ජීවත් වෙන බව සොයාගෙන තිබේ.
එනම්, මාවවුලා, කළුවඳුරා, ඉත්තෑවා, කබැල්ලෑවා, බොරුහොල්ලමන්වවුලා, දියබල්ලා, මීමින්නා, වල්හාවා, ලේනා, උගුඩුවා, මුගටියා, වල්මුගටියා, කලවැද්දා, ඌරුමීයා, ගෙවල්මීයා යන විශේෂද වේ. මෙහිදී හමුවන කළුවඳුරා ලංකාවට ආවේණික උප විශේෂයක්ද වේ. තවද රතු දත්ත පොතට අනුව වසර ගණනාවක්ම වඳ වීමේ තර්ජනයට ලක්වී ඇති බවට නම්කර තිබෙනා කබැල්ලෑවා, කලවැද්දා, බොරුහොල්මන්වවුලා, ඉත්තෑවා යන ක්ෂීරපායී විශේෂද මෙහි වේ.
මෙම භූමිය තුළදී කුණුමීකරවලා, ලේ මැඬිල්ලා, ලේ මාපිලා, මහබිමඋල්ලා, රෑන මාපිලා, අහරකුක්කා, කටකළුවා, පිඹුරා, පොළොන්තෙලිස්සා, ඇහැටුල්ලා, අරනිදන්කැටියා, ගැරඬියා, යක්කටුස්සා, පළාකටුස්සා, දිය නයා, සිකනලා, දෙපත්නයා, තලගොයා, කබරගොයා, කිරිඉබ්බා, ගල්ඉබ්බා යන සත්ත්ව විශේෂද දැකගත හැකි අතර, මීට පෙර කිඹුලන්ද මෙම භූමියේ ජීවත් වී සිටි බවට සාධක වේ. එහෙත් භූමියේ සිදුකරන පරිසර විනාශය නිසා කිඹුලන්ට තම වර්ගයා බෝ කිරීමට බිත්තර දැමීමට ස්ථාන නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක් නිසා මේ වන විට කිඹුලන් දැක ගැනීමට හැකිවන්නේ නැත.
මේ තරම් පාරිසර වටිනාකමක් ඇති භූමිය විනාශයට පත්කරමින් හෝටලයක් ඉදිකිරීම හා වැලි ගොඩ දැමීම, භූමිය ගොඩකිරීම, කැලෑ හෙළිපෙහෙලි කර ඉඩම් අල්ලා ගැනීම හා භූමියට කැළිකසළ බැහැර කිරීමද නිරතුරුවම සිදුවන මිනිස් ක්‍රියාකාරකම් වේ. මෙම ක්‍රියාකාරකම් කඩිනමින් නවතා දැමීමට කටයුතු නොකළහොත් කුඩා භූමියක් තුළදී විශාල ජෛව විවිධත්වයක් දැකගත හැකි භූමිය අපට අහිමිව යාමට වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙකල පරිසරයේ වැදගත්කම පිළිබඳ වැඩි වැඩියෙන් කතා කරන නිසා බලධාරීන්ගේ අවධානය යොමු කර මෙම භූමිය අභයභූමියක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුය. එමගින් මෙම භූමියට නීතිමය රැකවරණය ලබාගත හැකිය. මෙම භූමියට නීතිමය රැකවරණය ලබාදී එය සුරක්ෂිත කරගැනීම සඳහා වනජීවී නිලධාරීන් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමකි.