මෙරට ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළට
මෙරට කාන්තාවන් විවාහ වීමේ වයස ක්‍රමිකව අඩුවීමක් පසුගිය වසර පහළොව තුළ දක්නට ලැබෙන බැවින් කාන්තාවන්ගේ සාපල්‍යතාව ඉහළ ගොස් ඇති බවත්, මෙය මෙරට ජනගහනයේ ක්රමික වැඩිවීමකට හේතු වී ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යය මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, තිරසාර සංවර්ධනය සඳහා පවුල් සැලසුම මැයෙන් පෙරේදා (22දා) ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්ය.
අපේ රටේ ජනගහනය පුංචි පවුල රත්තරන් කියන ක්‍රමය හරහා ක්‍රමයෙන් පහළ යන බවට මතයක් සමාජය තුළ පැවතුණද සමීක්ෂණ අනුව එය එසේ නොවන බවට වාර්තා වෙන බව මහාචාර්යවරයා ඉදිරිපත් කළ කරුණු අනුව පෙනීයන්නකි. විශේෂයෙන් රටක ආදේශ සාඵල්‍යතා අගයද ඉක්මවා යමින් අපේ රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින තත්ත්වයක් තුළ ඉදිරි දශක කිහිපය තුළ මෙරට ජනාවාස, අපද්‍රව්‍ය බැහැර කිරීම, වනාන්තර එළිකිරීම, රැකියා සම්බන්ධ ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.
මෙම තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ ජනගහනය සම්බන්ධයෙන් වැදගත්වූ කරුණු රැසක් මහාචාර්යවරයා අනාවරණය කළේය.
මේ මාතෘකාව හැමෝටම අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් මෙය හරිහැටි වටහා ගත්තොත් අපට රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි. ජන සංඛ්‍යාවේ වෙනස්වීම හා එම වෙනස් වීමට සඵලතාව බලපාන්නේ කොහොමද කියන එකත්, ඒ කියන්නෙ දරුවන් බිහිවීමේ ප්රවණතාවත්, පවුල් සැලසුම් ක්‍රම භාවිතය කියන දේ මේකට සම්බන්ධ වන්නේ කෙසේද කියන එකත් මම මේ වෙලාවේ කතාකරන්න කැමතියි. මේ අනුව,
සඵලතාව වැඩිවීම, විවාහ වන සාමාන්‍ය වයස ක්‍රමයෙන් අඩුවීම, සඵලතාව වැඩිවීම මත ජනගහනයට ඇතිවී ඇති බලපෑම්, ප්රජාවිද්යාත්මක පාරිතෝෂිකය, පවුල් සැලසුම, ගබ්සාව කියන මාතෘකා ඔස්සේ මේ ගැන කතා කරන්නට පුළුවන්.
සඵලතාව වැඩිවීම
සඵලතාව මනින ක්‍රම කිහිපයක් තිබෙනවා. එයින් අපි මූලිකව බලන්නේ කාන්තාවක් අවුරුදු 50 වනවිට දරුවන් කීදෙනෙක් බිහිකරනවාද යන්නයි. 1981 වසර වනවිට අවුරුදු 50ට අඩු කාන්තාවන් 1000කට දරුවන් 3400ක්. ඒ කියන්නේ එක මවකට දරුවන් 3.4ක සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාවක් දරන බව එයින් වැටහෙන්නක්.
පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දීමත්, පවුල් සැලසුම් සංගමය බිහිවීම, පවුල් සෞඛය කාර්යාංශය බිහිවීම, රජයේ මැදිහත්වීම සිදුවීමත් සමගම ලංකාවේ කාන්තාවන්ගේ සඵලතාවයේ ශීඝ්‍ර බැස්මක් ඇතිවුණා. ඒ අනුව දශකයේ අගභාගය වනවිට කාන්තාවන් දරුවන් දෙදෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් බිහිකිරීමේ තත්ත්වයක් පැවතියා. නමුත් වර්තමානයේ රටක ආදේශ සඵලතා මට්ටම වන 2.1ක අගය ඉක්මවා යමින් ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් 2012 ජන සංගණනයෙන් හා ඉන් පසු සිදුකළ සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා.
මෙම ආදේශ සඵලතා මට්ටම අනුව සඵලතාව පවත්වා ගැනීම මගින් රටක ජනගහනය අඩුවැඩි වීමක් නොවී ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාවක් පවතින බව පිළිගැනෙනවා. නමුත් 2002 වසරෙන් පසුව අපේ රටේ සඵලතාව ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. මෑතකාලීනව සිදුකළ සමීක්ෂණවලින් අපට පෙනෙන්නට තිබෙන්නේ ආදේශ සඵලතා අගය වන 2.1ක අගය ඉක්මවා යමින් 2.4 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ තොරතුරු තාම පළවෙලා නැතිවුණත් 2.1කට වැඩි අගයක් පවැතීම මගින් අපට අනිවාර්යයෙන් අපේ රටේ ශීඝ්‍ර ජනගහන වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.
විවාහ වන සාමාන්‍ය වයස ක්‍රමයෙන් අඩුවීම
අපේ රටේ 99%ක්ම දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ විවාහය කියන සංස්ථාව තුළයි. මේ අනුව විවාහ වන වයස අනිවාර්යයෙන් බලපෑම් කරනවා කාන්තාවක බිහිකරන දරුවන් ගණන තීරණය කරන්න. 1971 ගැන බැලුවොත් කාන්තාවක් විවාහ වන සාමාන්‍ය වයස වුණේ අවුරුදු 23.8යි.
එය ක්‍රමයෙන් ඉහළ ගිහින් 1993 වසර වනවිට 25.6ක් බවට පත්වුණා. ඒ කියන්නේ කාන්තාවක විවාහ වන වයස අවුරුදු 26ට ආසන්න වුණා කියන එකයි. මෙය මම සමාන කළේ අයර්ලන්තය අනුගමනය කිරීමක් ලෙසයි. ලංකාව අයර්ලන්තයේ මොඩලයක් බවට පත්වෙමින් කාන්තාවන් විවාහ වීමේ වයස වැඩි වන්නට පටන්ගත්තා අනූව දශකයේදී. නමුත් 2006 වර්ෂයෙන් පසු මෙම වයස ක්‍රමිකව පහළගොස් අවුරුදු 23ක්දක්වා පහළ වැටිලා තිබෙනවා.
ඒ අනුව 22, 23 කියන්නේ කාන්තාවකගේ ප්‍රජනක සමයේ උච්චතම අවධියක්. ඒ සමය තුළ දරුවන් බිහිකිරීමේ හැකියාව ඉතා වැඩියි. මේ අනුව විවාහ වන වයස අඩුවීම සඵලතාව වැඩි වීමටත්, එය ජනසංඛ්‍යාව ඉහළ යෑමටත් බලපා තිබෙනවා. කොහොමද එය බලපෑවේ කියලා විස්තරාත්මකව බැලුවොත් 1981 වර්ෂයේ අපේ රටේ ජනගහනය මිලියන 14.8යි. ඒ කියන්නෙ මිලියන 15ට අඩුයි. 2012 වර්ෂයේ සිදුකළ ජාතික සංගණනයට අනුව අපේ රටේ ජනගහනය මිලියන 20.4යි.
මම සාමාන්‍යයෙන් ඇස්තමේන්තු හා ප්රක්ෂේපණ ඉදිරිපත් කරන පුද්ගලයෙක් විදිහට ප්රක්ෂේපණ 05කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා මේ පිළිබඳව. 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදුකරන ලද ප්‍රක්ෂේපණයකට අනුව අපේ රටේ ජනගහනය 2017 වර්ෂය වනවිට මිලියන 21.3ක් ලෙස සඳහන් කරනවා. ඒ අනුව මේ සඵලතාව වැඩිවීම වගේම තවත් කරුණක් එකතු වෙනවා ජනගහනය වැඩිවීම සම්බන්ධයෙන්.
ඒ තමයි මැදපෙරදිග හා අනෙක් රටවලට රැකියා සඳහා යන පිරිස පසුගිය කාලයේ ක්‍රමයෙන් අඩුවීම. වසර 2013/20014 වර්ෂවලදී මිලියන 03කට වැඩි පිරිසක් විදෙස් රැකියාවලට පිටත්ව ගොස් තිබෙනවා. දැන් එය ලක්ෂ 03කට ආසන්න වී තිබෙනවා. 2016 වර්ෂයේ දෙලක්ෂ හතළිස් දහසක් වගේ තමයි විදෙස් ගතවී තිබෙන්නෙ.
මේ අය ලංකාවේ රැඳීම තුළ සඵලතාව ඉහළ යනවා වගේම රටේ රැඳී සිටින ජනසංඛ්‍යාවේ ඉහළ යෑමකුත් සිදුවෙනවා. ඒ අනුව වසර 2040 පමණ වනවිට ඒ කියන්නේ තවත් වසර 20 වගේ යද්දී අපේ රටේ ජනසංඛ්‍යාව මිලියන 25ට වැඩි වෙන්නට පුළුවන්. එය කමක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්.
මීට දශක කිහිපයකට පෙර මම කළ හැම ප්‍රක්ෂේපණයක වගේම එක්සත් ජාතීන් ඉදිරිපත් කළ ප්රක්ෂේපණ අනුව කියවුණේ ලංකාවේ ජනගහනය මිලියන 21කට වඩා වැඩි නොවන බවයි. 2012 වර්ෂයේ සිදුකළ ජන සංගණනයෙන් අපේ රටේ ජන ගහනය මිලියන 20.4ක් බව හෙළිවුණා. ඒ අනුව අතීතයේ කළ ප්රක්ෂේපණ අනුව මිලියන 22ක ස්ථාවර මට්ටමකට පත්වෙයි කියලයි අපේක්ෂා කළේ.
නමුත් මේ සඵලතාව වැඩිවීමත්, විදේශගත වීම (යුද්ධය පැවැති කාලයේ විදේශයන්ට බොහෝ පිරිස් සංක්‍රමණය වීමත් මෙයට ඇතුළත්ය) අඩුවීම යන සාධක මත ජනසංඛාවට ඇති කළ බලපෑම මත තවත් අවුරුදු 20ක් යන්න කලින් ජන සංඛ්‍යාවේ ප්‍රමාණය මිලියන 25කට ආසන්න වේවි. මෙය ඇතැම් විට මිලියන 27ක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්.
ඇතිවී ඇති බලපෑම්
මම මේ කියන්න යන දේ ටිකක් ගැටලු ඇතිකරන දෙයක් බවට පත්වෙන්න පුළුවන්. එනමුත් එය නිවැරදි ලෙස වටහා ගැනීම වැදගත්. ජනගහනය වර්ධනය ගැන පර්යේෂකයන් ලෙස අපට දැකගන්නට පුළුවන් ජනවර්ගයා අතර යම් තරගකාරී බවක්. එයට පසුබිම් වන්නේ තම ජනවර්ගයාට ජනගහනයේ හිමිවන ප්‍රතිශතය. මෙම කාරණාව අවබෝධයක් නැතිව බොහෝ තැන්වල කියනවා. මේ අනුව හැම ජන කොට්ඨාසයක්ම ලංකාවේ සඵලතාව වර්ධනය කරන්න දායක වෙලා තිබෙනවා පසුගිය කාළය තුළ.
මේ අනුව තවත් දශක දෙක තුනකින් අපේ රටේ ජනගහනය මිලියන 25ක් ඉක්ම වුණාම මොනවද අපේ රටට ඇතිවන ගැටලු කියන දේ සොයා බලන්නට ඕන. මොකද මේ ගැටලු හුඟක් බරපතළයි. පසුගිය දවස්වල අපි මුහුණදුන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව ගැන බලන්න. ජනසංඛ්‍යාව වැඩි වෙනවානම් ඝන අපද්‍රව්‍ය මහා බරපතළ ගැටලුවක් බවට පත්වෙනවා. නාගරීකරණ ගැටලුවලට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. ප්‍රවාහන ගැටලු, මහමාර්ග ගැටලු, වන විනාශය ආදී ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
ඇත්තටම එක්දහස් අටසිය ගණන්වල අපේ රටේ වන ගහනය 80%කටත් වැඩිවුණා. නමුත් වර්තමානය වනවිට එය 25%කටත් අඩුවෙලා තිබෙනවා. වන විනාශය අපේ රටේ ශීඝ්‍රයෙන් සිදුවුණාට අපේ රටේ වන වගාව සිදුවන්නේ නැති තරම්. මේකත් එක්ක වායු දූෂණය, ජල දූෂණය, නිවාස ගැටලු, මිනිසුන් කැලෑව කපමින් වනාන්තර තුළට ජනාවාස ඇති කරගැනීම නිසා අලි මිනිස් ගැටුම් ඇතිවීම ආදිය ජන සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක අපට මුහුණ දෙන්න සිදුවන ගැටලු ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ නිසා තමයි මෙගාපොලිස් කියන වැඩසටහන අනුව මිනිසුන් කැලෑ කපමින් ජනාවාස ඇතිකර ගැනීම වෙනුවට තෝරාගත් නගරවල තට්ටු නිවාස ඇතිකර මිනිසුන් වනාන්තර විනාශ කරමින් ජනාවාස ඇතිකර ගැනීම වළක්වා ගන්නට පියවර ගෙන ඇත්තෙ. කොහොම වුණත් ජනසංඛ්‍යාව වැඩිවන විට අපට ගැටලු ඇතිවෙනවා.
ප්රජාවිද්යාත්මක පාරිතෝෂිකය
නමුත් ජනසංඛ්‍යාවේ වැඩිවීම අපේ රටට ලාභදායී තත්ත්වයක් ඇතිකර තිබෙනවා. එයට අපි කියනවා ප්රජාවිද්යාත්මක පාරිතෝෂිකය කියලා. අපි දැන් එහි අග්ගිස්සට ඇවිත් තිබෙන්නේ, 1991දී අපේ රටේ ඇතිවූ ප්රජාවිද්යාත්මක පාරිතෝෂිකයේ වාසිය අපි අරගත්තේ නැහැ. ඒ කියන්නේ 1991 වසරෙන් පසු අපේ ජනසංඛ්‍යාවේ විශාල ප්‍රමාණයක් අයිතිවුණේ වැඩකරන වයසට.
එවිට මේ වැඩකරන ජනතාව ඵලදායී ලෙස රැකියාවේ යෙදෙව්වේනම් අපට අපේ රට හොඳින් සංවර්ධනය කිරීමේ හැකියාවක් තිබුණා. අවුරුදු 15-59 කියන වයස් කාණ්ඩ තමයි අපි වැඩකරන වයසට ඇතුළු කර ගන්නෙ. 60ට වැඩි වුණාම අපි වියපත් ජන කණ්ඩායම ලෙසයි සලකන්නේ. ඒ අනුව අපේ රටේ 1991 වසර වෙද්දී අපේ ජනගහනයෙන් වැඩි පිරිසක් අයත් වුණේ මේ වැඩකරන වයසට.
නමුත් දැන් මෙය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙනවා. වැදගත්ම දේ තමයි වැඩකරන ජනතාව විතරක් නොවේ අපට දැනුම සමග පදනම් වූ ආර්ථිකයක් අවශ්‍ය වෙනවා දියුණුව කරා යන්න. ඒ වගේම හොඳ ආයෝජන, ඉතුරුම් හා යහපත් දේශපාලන වාතාවරණයක් අපේ රටට අවශ්‍යයි. අපි මේ අවස්ථා මගහරිමින් දැන් අග්ගිස්සට ඇවිල්ලයි ඉන්නෙ.
මෙහෙම ප්රජාවිද්යාත්මක පාරිතෝෂිකය තවත් වසර කිහිපයකින් අපට අහිමි වී ගියාම සිදුවන්නේ අපේ රටේ ජනසංඛ්‍යාවෙන් බහුතරයක් වියපත් කණ්ඩායමට අයත් වීමයි. දැනටමත් අපේ රටේ ජනතාවෙන් 14%ක් 60ට වැඩි අය. තවත් ඉදිරියට අපිට මේ අගය 25෴ක් වගේ ඉහළ අගයක් ඒ කියන්නේ සෑම පුද්ගලයෝ හතර දෙනෙක්ගෙන් එක් අයෙක් වියපත් අයෙක් බවට පත්වේවි. මේ නිසා තමයි අපට මුහුණදෙන්න සිද්ධවෙන බරපතළ ගැටලුව. රටේ ජනතාව වියපත් වුණාම රට සංවර්ධනය කරන්නට අපහසුයි.
පවුල් සැලසුම
අපි පවුල් සැලසුම ගැන කතාකළොත් 1980 ගණන්වල ලංකාවේ විවාහක කාන්තාවන් සියයක් ගත්තොත් (15ත් -49ත් අතර දරුවන් ලැබිය හැකි වයසේ අය) එයින් 62ක් පමණ කිසියම් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කළා. 2006/2007 සිදුකළ ප්‍රජා විද්‍යාත්මක සෞඛ්‍ය සමීක්ෂණයට අනුව සෑම ප්‍රජනක වයසේ සිටින විවාහක කාන්තාවන් සියදෙනෙකු අතරින් 70 දෙනෙකු කිසියම් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කරන බව වාර්තා වුණා.
ඒ අනුව මෑත කාලීනවත් මේ අගය 70%වැනි අගයේ තිබෙන බව අනුමාන කළ හැකියි. මේ අතරින් නූතන පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කළ අය 53%ක්ද සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කළ අය 17%ක් 29.9%ක් කිසිම පවුල් සැලසුමක් භාවිත නොකරන බව හෙළිදරව් වුණා. පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය නමුත් එයට ළඟා නොවුණු පිරිසක් අපට දැකගන්නට ලැබුණා. ඒ කියන්නේ තවත් ළමයි හදන්න අකමැත්තෙන් සිටියත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකරන 07%ක පිරිසක් අපට හඳුනා ගන්නට ලැබුණා.
කොහොම වුණත් මෙයට සැමියාගේ ඇති අකමැත්තත්, අතුරුඵල නිසාත් මෙලෙස පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකර සිටින බව හෙළිවුණා.
අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනතාව තේරුම් ගතයුතු එක් දෙයක් තිබෙනවා. ඒ තමා අපේ රටේ ජන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව. නමුත් අපට හදාගන්න ළමයි ගාණ සීමාකර චීනයේ වගේ නීති හදන්නට බැහැ. ළමයි හදන එක යුවලකගේ අයිතියක්. නමුත් අපේ රටේ ජන සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑම අපි අපේක්ෂා නොකළ දෙයක්.
මොකද සංවර්ධනය කරා යන සෑම රටක්ම ආදේශක සඵලතා මට්ටමේ තමයි රැඳෙන්නෙ. එවිට ජන සංඛ්‍යාව අඩුවැඩි නොවී එකම මට්ටමක රැඳෙනවා. ඒ අනුව රටකට රජයට යම් පියවරයන් ගන්නට සිදුවෙනවා අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වළක්වන්නට. නමුත් රජය එයට සැලකිල්ලක් නොදැක්වුවහොත් අපේ රටේ ජන සංඛ්‍යාව මිලියන 27ක් දක්වා දශක කිහිපයකින් සිදුවී ගැටලුවලට මුහුණ දෙන්නට පුළුවන්. ඒ අනුව රටක අයහපත් අයුරින් නොවන ආකාරයට ජනගහනය වර්ධනය පාලනය කරන්න හැම රටක්ම පාහේ උත්සාහ කරනවා.
ගබ්සාව
ඒ වගේම කියන්න ඕන අපේ රටේ යෞවන සඵලතාවත් ශීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනවා. අඩු වයසේ විවාහ ග්‍රාමීය ප්‍රදේශවල වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව ළමයෙක් තවත් ළමයෙකු හදාගැනීමේ තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එයින් අර්බුද රැසක් ඇතිවෙනවා. ඒ අනුව අපේ ළමුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දැනුම පරිපූර්ණ ලෙස ලබාදිය යුතු වෙනවා. පර්යේෂකයන් ලෙස අපි දැක්කා 2006 වර්ෂය දක්වා ගබ්සා මධ්‍යස්ථාන රැසක් ලංකාවේ පිහිටා තිබෙනවා.
නමුත් 2006න් පසු රජයේ මැදිහත්වීම මත ගබ්සා මධ්‍යස්ථාන වටලනු ලැබුවා. ගබ්සා මධ්‍යස්ථාන වැහුනාට අපේ රටේ අනවශ්‍ය ළමුන් පිළිසිඳ ගැනීමවත්, ගබ්සාවවත් අඩුවෙලා නැහැ. අපි අද දකින ළමුන් ඉපදුණු ගමන් මරලා දාන එක වැඩි වීමත් මෙයට හේතුවක් වී තිබෙනවා. ඒ වගේම ඖෂධසැල්වලින් පෙති වර්ග ගෙන ගබ්සාවන් සිදුකරන තත්ත්වත් වැඩිවෙලා. නමුත් අපේ රටේ සෑම ආගමකින්ම ගබ්සාව තහනම් කරලයි තියෙන්නෙ.
අපේ රටේ සන්නිවේදනය ඉතා පහළ මට්ටමකයි තියෙන්නෙ. සැමියා හා බිරිඳ අතර දරුවන් හැදීම සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇති නොවන තරම්. ඉතින් අපි අපේ ලංකාවේ තත්ත්වය ගැන සලකා බැලුවම අපට හිතන්නට වෙන තත්ත්වන් බොහෝමයක් තිබෙනවා. අපේ රටේ වියපත් අය වැඩිවෙනවා වගේම ජනගහනයේ ස්ත්‍රී පාර්ශ්වය වැඩි වීමකුත් දක්නට ලැබෙනවා.
කාන්තාවන් වැඩි වුණත් ඔවුන් ඵලදායී රැකියාවල නිරත වන්නේ නැහැ. එය කනගාටුවට කාරණයක්. ඉතින් රට සමස්තයක් ලෙස තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ අපේ රට අභියෝග කිහිපයකට මුහුණ දෙන බව පැහැදිලි වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

