මාර්ග තදබදය වර්තමානය වන විට රටට ඇති වී තිබෙනා බරපතළම ගැටලුව බවට පත්වී තිබේ. මේ හේතුව නිසා වසරකට මේ වන විට රුපියල් බිලියන 150කට ආසන්න ඉන්ධන හා මිනිස් ශ්‍රමය අපතේ යන බවටත් හෙළි වී ඇත. කිසිදු සැලැස්මක් නොමැතිව රට තුළට අධික ලෙස වාහන ගෙන්වීමට අවස්ථාව ලබාදීම හා ඉන්ධන මිල අධික ලෙස පහත දැමීම යන කාරණා හේතුවෙන් මිනිසුන් අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන් සඳහාත් පෞද්ගලික වාහන භාවිතකරන තත්ත්වයට පත්ව තිබේ. මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව තුළ වාහන ලක්ෂ 60කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙන අතර, ලියාපදිංචිය නොවූ වාහන ප්‍රමාණයක්ද රට තුළ ඇත.
රටේ සමස්ත පවුල් සංඛ්‍යාවත් ලක්ෂ 52කට අධික බව වාර්තාවන අතර, එම පිරිසෙන් 40%ක ජනතාවගේ දෛනික ආදායම ඩොලර් දෙකක් බවටත් ගණන් බලා තිබේ. මේ අනුව පවුලකට එක් වාහනයක් ලෙස ගණනය වන ආකාරයට රට තුළ වාහන ඇති අතර, මේ සියලුම වාහන ධාවනය කරනු ලබන්නේ වර්ග කිලෝමීටර් 65,610ක් වැනි කුඩා භූමියක් තුළය. මේ හරහා රටපුරා නගරවල දවසේ කුමන හෝ කාලයක අධික වාහන තදබදයක් ඇතිවන අතර ප්‍රධාන නගර ගතහොත් උදේ සහ සවස් කාලයේ විශාල වාහන තදබදයක් දැකගැනීමට හැකිය.
මෙම මාර්ග තදබදය කොතරම්ද යත් කොළඹ නගරය හා ආසන්න නගරවල රථවාහන වේගය මේ වනවිට පැයට කිලෝමීටර් 8ත් 10ත් දක්වා තත්ත්වයට පත්වී තිබේ. මෙතරම් මාර්ග තදබදයක් ඇති වී තිබුණද දිනෙන් දිනම රටතුළට වාහන ගෙන්වන අතර, එම වාහන මුදල්හදල් ඇති පුද්ගලයන් සහ සාමාන්‍ය පන්තියේ පිරිස්ද මිලදී ගනු ලැබේ. මේ අනුව තවත් වසරක් ගතවන විට දැනට පවතින මාර්ග තදබදය තවත් කිහිප ගුණයකින් ඉහළයාම සිදුවේ.
මාර්ග තදබදයට විසදුම් සෙවීම පසුගිය ආණ්ඩු සමයේ සිට ආරම්භ වූ නමුත් අදටත් එයට නිසි විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇත. කොළඹ නගරය හා ඒ අවට තිබෙනා මාර්ග තදබදය අවම කිරීම සඳහා දෙහිවල, දෙමටගොඩ, කැලණිය, නුගේගොඩ ප්‍ර‘දේශවල ගුවන්පාලම් ඉදිකිරීමටද පසුගිය ආණ්ඩුව කටයුතු කළේය.
පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස වර්තමාන ආණ්ඩුව යටතේ රාජගිරිය ප්‍රදේශයේ ගුවන් පාලමක් ඉදිකිරීම ආරම්භකර තිබේ. පසුගිය ආණ්ඩු සමයේදී මාර්ග තදබදයට විසඳුම් ලෙස තැනින් තැන ගුවන් පාලම් ඉදිකරනු ලැබූවත් එමගින් සැලකිය යුතු විසඳුමක් ලැබුණේ නැත. ඒ මාර්ගයක එක් තැනක ගුවන් පාලමක් ඉදිකිරීම හරහා පවතින මාර්ග තදබදය සැලකිය යුතු ලෙස අඩු නොවන නිසාය.
මේ අනුව වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිකරනු ලබනා ගුවන් පාලම තුළින් පවා සැලකිය යුතු ලෙස මාර්ග තදබදය අඩුවේයැයි සිතිය නොහැකිය. ගුවන් පාලම් හරහා යම් ප්‍රමාණයකට මාර්ග තදබදය අවමකර ගැනීමට හැකියාව ලැබෙන නමුත් එය ඒ සඳහා ස්ථිර විසඳුමක් නොවේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මුලින්ම රට තුළට ගෙන්වන වාහන සීමා කළ යුතුය. එහිදී ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ කුඩා මෝටර් රථ යම් කාලයකට රට තුළට ගෙන ඒම සීමා කිරීම හෝ නවතා දැමීම හරහා පවතින මාර්ග තදබදයට යම් සහනයක් ලබාගත හැකිය.
මීට අමතරව පෙට්‍රල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඩීසල් සහ භූමිතෙල් යම් ස්ථාවර මිලක රඳවාගැනීම හරහා දැනට කුඩා වාහන භාවිත කරන්නන් අධෛර්යමත් කළ හැකිය.එවැනි වැඩපිළිවෙළක් දියත් කිරීමෙන් පොදු මගී ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම හරහා ජනතාවට අඩු මුදලක් වියදම්කර කඩිනමින් තම ගමනාන්තයට ළඟාවීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමටද හැකියාව ලැබේ. දැනට පවතින ක්‍රම‘වේදය තුළ යතුරුපැදි ඇතුළු කුඩා වාහන හරහා සිදුවන මාර්ග තදබදය ඍජුවම පොදු ප්‍රවාහන සේවාවට බලපා තිබේ. මාර්ග තදබදයක් ඇතිවූ විට කුඩා වාහනවලට අතුරු මාර්ග ඔස්සේ ගමන්කර තම අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබුණත්, පොදු මගී ප්‍රවාහන බස් රථ නියමිත මාර්ගයේම ගමන් කළ යුතුය.
මෙහිදී ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය පොදු මගී ප්‍රවාහන සේවාවට සඳහා හඳුන්වාදීම හරහාත් මාර්ග තදබදයට යම් විසඳුමක් ලබාගැනීමට හැකියාව තිබේ. දැනට පවතින වක්‍ර කාලසටහන් ක්‍රමය තුළ බස්රථයක් ගමන් ඇරඹූ පසු ගමනාන්තයට ළඟාවිය යුතු වේලාවක් නැත. එම ගමනාන්තයේ සිට ගමන ආරම්භ කළ තැනට පැමිණීමට වේලාවක් නැත. මේ නිසා සමහර බස් රථ රියදුරන් මග දිගට පවතින බස් නැවතුම්පොළවල්වල විනාඩි 05ක් 10ක් බස් රථය නවත්වාගෙන නිකරුණේ කාලය ගතකරනු ලබයි.
මෙය සමස්ත ලංකාවේම කෙටි ගමන් ධාවන බස් රථවලින් අති බහුතරයක දැකගත හැකි ලක්ෂණයකි. මේ හරහාද යම් මාර්ග තදබදයක් ඇතිවන අතර, ගමන් කිරීමේදී පවා ඉතා සෙමින් බස්රථ ධාවනය කිරීම හා මග දිගට නවත්වමින් මගීන් බස්රථයට නංවා ගැනීම හරහාද අධික තදබදයක් ඇතිවී තිබේ. කොළඹ හා ආසන්න නගර ගතහොත් මංතීරු නීතිය නමින් නීතියක් ක්‍රියාත්මක කරන අතර, මෙම නීතියට අනුව පොදු මගී බස්රථවලට හිමිව තිබෙන්නේ වම් මංතීරුව පමණි.
පොදුවේ කොළඹ ආසන්න නගරවල බොහෝවිට පවතින්නේ එක් අතකට මංතීරු දෙකක් පමණි. මේ නිසා මංතීරු නීතිය යටතේ බස්රථයකට ඉස්සර කිරීමේදී රියදුරන්ට එක්වරක් නොව කිහිපවරක් සිතීමට සිදුවේ. පෙර කී අයුරින් බස් නැවතුම්පොළවල්වල විනාඩි ගණන් නිකරුණේ කාලය ගතකරන හා මග දිගට මගීන් නංවා ගනිමින් ධාවනය වන බස් රථ පසුපස එන සියලුම බස්රථවලට නිකරුණේ මාර්ග තදබදවලට ලක්වීමට සිදුව ඇත.
මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන්නේ ගුණාත්මක බස් සේවාවක් ගැන කතාකරන ගැමුණුලා, අංජනලා, සොයිසලා වැනි වෘත්තීය සමිති නායකයන් වෘත්තීය මෙහෙයමින් සිටියදීය. අඩුම තරමින් මාර්ග තදබදයට හේතුවන බස් කොට කොටා යෑමේ ගැටලුවට විසඳුමක් ලබාදීමටවත් බස් හිමියන් සහ බස් සංගම් එකතු වී වැඩපිළිවෙළක් සකස් කිරීමට උත්සාහයක්වත් ගන්නේ නැත.
මාර්ගයේ කොට කොටා යන බස් රථ අයිතිකරුවන් අනිවාර්යෙන්ම කුමන හෝ බස් සංගමයක සාමාජිකත්වය දරනු ලබයි. මේ නිසා සියලුම බස් සංගම් එකතු වී ගමන ආරම්භයේ සිට ගමන අවසන් කළයුතු වේලාවක් සහ ගමනාන්තයේ සිට ගමන ආරම්භ කළ තැනට පැමිණෙන වේලාවක් සහිත කාලසටහනක් සකස් කිරීමට කටයුතු කළ යුතුය. කොළඹ නගරයට ආසන්න මාර්ගයක මෙවැනි වැඩපිළිවෙළක් යම් කාලයකදී ක්‍රියාත්මක වුවත්, මාර්ගයේ පවතින අධික තදබදය නිසා එක් බස් මාර්ගයක පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැක.
මේ නිසා අඩුම තරමින් පානදුර සිට කොළඹටත්, හෝමාගම සිට කොළඹටත්, ජාඇල සිට කොළඹටත්, කඩුවෙල සිට කොළඹටත්, කිරිබත්ගොඩ සිට කොළඹටත් ඇති සියලුම මාර්ගවල ගමන් කරන බස්රථවලට නිශ්චිත වේලාවක් හඳුන්වාදිය යුතුය. මෙම වැඩපිළිවෙළ බස් හිමියන් සහ බස් සංගම් එකතු කරගෙන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාවට ලෙහෙසියෙන්ම සිදුකළ හැකිය. එසේ නොමැතිනම් බස් රථ සංගම්වලට එකමුතු වී මෙම කටයුත්ත සිදුකළ හැකිය. වෙනත් කිසිදු ආයතනයකට තනිවම මෙම කටයුත්ත සිදුකිරීමට හැකියාවක් නැත.
මන්දයත් බස් හිමි සංගම් සෑමවිටම කටයුතු කරන්නේ කුමන හෝ හේතුවක් සොයාගෙන බස් වර්ජන සිදුකිරීමට නිසාය. මේ නිසා මෙම කටයුත්ත කිසිදු ප්‍රශ්නයක් නොමැතිව බස් සංගම්වලට එකතු වී කළ හැකිය.මීට අමතරව පොලීසිය විසින් මංතීරු නීතිය ක්‍රියාත්මක කරනවා සේම ප්‍රධාන නගරවල යම්දුර සීමාවක සිට සෑම බස්නැවතුම් ස්ථානයකටම පොලිස් නිලධාරීන් යොදවා බස් රථ හැසිරවීමට කටයුතු කළ යුතුය. එහිදී සෑම බස් රථයකටම මගීන් බැස්සවීමට හා බස්රථයට නංවාගැනීම සඳහා පමණක් කාලය ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හරහා මාර්ග තදබදයට විසඳුම් ලබාගත හැකිය. එම ක්‍රමය හරහා විශාල ලෙස මාර්ග තදබදය අවමකරගත හැකිවනු ඇත. තවද හඳුන්වා දී ඇති මංතීරු නීතියද මාර්ග තදබදය ඇති කිරීමට බලපාන කාරණයකි. එක් දිශාවකට මංතීරු දෙකක් ඇති අවස්ථාවේදී මංතීරු නීතිය කිසිසේත්ම ගැළපෙන්නේ නැත.
අඩුම වශයෙන් මං තීරු තුනක් එක් අතකට දිවෙන මාර්ගයකට මෙම ක්‍රමය ගැළපෙන්නට පුළුවන. එහෙත් මේ රටේ අති විශාල මාර්ග ප්‍රමාණයක තිබෙන්නේ එක් අතකට දිවෙන මං තීරු දෙකක් පමණි. මෙවැනි තත්ත්වයක් තුළ සිදුවන්නේ සුළු වරදකදී පවා රියදුරාට දඩකොළයකට යටත්වීමට හෝ අධිකරණයට ගොස් දඩමුදලක් ගෙවීමටය. එහෙත් මෙම ක්‍රමය හරහා මාර්ග තදබදයට කිසිඳු විසඳුමක් ලැබී නොමැති බව පොලීසිය සේම මගී ජනතාවත් දන්නා කාරණයකි. මේ නිසා මංතීරු නීතිය යනු රජයට ආදායම් ලැබෙනා තවත් එක් ක්‍රමයක් පමණි.
පාසල් අසල ඇති කහ ඉර හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර මාරුවීමට ඉඩ ලබාදෙනවා වෙනුවට ප්‍රධාන පාසල් අසල ගුවන් පාලම් ඉදිකිරීම හරහාද මාර්ග තදබදය අවමකරගත හැකිය. කොළඹට ඇතුළුවන සෑම මාර්ගයක් දෙපසම පාසල් පවතින බැවින් කුඩා ගුවන් පාලම් ඉදිකිරීම හරහා පාසල් අසලින් පාර මාරුවීමට ඉඩ සලස්වාදිය හැකිය. මෙය ප්‍රධාන මාර්ගය හරහා තැනින් තැන ඉදිකිරීමෙන් ජනතාවටද පාර මාරුවීමට අවස්ථාව ලබාදිය හැකිය. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ මාර්ගය හරහා කහ ඉරි ඇඳ සංඥා පුවරු සවිකර ජනතාවට මාර්ගය හරහා ගමන් කිරීමට සැලැස්වීමය. පවතින කහ ඉරි ප්‍රමාණය හා මාර්ගය හරහා මාරුවීමට සවිකර තිබෙනා සංඥා පුවරු ප්‍රමාණය අනුව මාර්ග තදබදය මේ තරමින් හෝ පැවතීම ගැන සතුටුවිය යුතුය. මේ නිසා සිදුවිය යුත්තේ මාර්ග තදබදයට විසඳුම් ලැබෙනා දේවල් කිරීම හැර මාර්ග තදබදය ඇති කිරීමට හේතුවන කටයුතු කිරීම නොවේ.
අප කළ සොයා බැලීමකදී මේ ආකාරයේ ක්‍රමයක් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය අවට ක්‍රියාත්මක වන අතර, මේ නිසා එම ප්‍ර‘දේශය ආශ්‍රිතව දවසේ කිසිම වේලාවක අධික වාහන තදබදයක් දැකගන්නට ලැබෙන්නේ නැත. එහිදී උදේ කාලයේදී බස්නැවතුම්පළ අසල පොලිස් නිලධාරියෙක් රැඳී සිටිමින් බස්රථ හැසිරවීම සිදුකරන බැවින්, කොට කොටා යන බස්රථයකට එවැනි ස්ථානයක වැඩි කාලයක් රැඳී සිටීමට අවසර නැත.
මෙම ක්‍රමය දෙහිවල, නුගේගොඩ, ජාඇල, කිරිබත්ගොඩ, රාජගිරිය, බත්තරමුල්ල ප්‍ර‘දේශ ආශ්‍රිතව සිදුකරනු ලබන්නේ නම් යම් සාර්ථකභාවයක් ලබාගත හැකි අතර, ඒ පිළිබඳව පොලිස්පතිවරයාගේ සහ රථවාහන අංශ භාර ප්‍රධානීන්ගේ අවධානය යොමුවිය යුතුය. එසේ නොමැතිව දිනකට ලක්ෂ 05කට අධික වාහන ප්‍රමාණයක් පැමිණෙන කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුම් සෙවීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම වැනි දුෂ්කර කාර්යයකි.
මෙවැනි වැඩපිළිවෙළක් දියත්කර හෝ මාර්ග තදබදයට විසඳුම් සෙවීමට කටයුතු නොකළහොත් තවත් වසර දෙක තුනකින් මේ රටේ ආර්ථිකය බිංදුවටම කඩා වැටීම වළක්වාගත නොහැකි වනු ඇත. මන්දයත් දැනටමත් පවතින මාර්ග තදබදය ආර්ථික දියුණුවට බාධා එල්ලකරන අතර, මේ හේතුවෙන් දිනකට විනාශ වී යන මිනිස් පැය ප්‍රමාණයද අති විශාලය. මාර්ග තදබදය පවතින ප්‍ර‘දේශවල ආයෝජන සිදුකිරීමට ආයෝජකයන්ද මැලිකමක් දක්වන බැවින් එමගින්ද රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුවේ. මේ නිසා සියලු ප්‍රශ්න සුළු මොහොතකට අමතකකර දමා මාර්ග තදබදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම සියලුම වගකිව යුතු පාර්ශ්වවල වගකීමකි.