මස් හොද්දේ සුළි කුණාටුව
අම්පාර මස් හොද්දේ ගැටුම ජාතිවාදය ඇවිස්සීමට ගත් උත්සාහයක් ලෙස ඇමති රිෂාඩ් බද්යුදීන් චෝදනා කළේය. සිදුවීම සමතයකට පත්ව ඇත. එහෙත් ගින්න අලු යට සැඟවී ගියේ දැයි ජනතාව අසති.වන්ධ්‍යකරණ පෙති මගින් සිදුවනවා යැයි කියන ක්‍රියාවන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත. එය යහපත් මැදිහත් වීමකි. ගතවූ කාලය තුළද මෙවැනි කතාබහක් ඇසුණද ඒවා කණින් කොණින් අසා එතකින් යටපත් කිරීමේ විපාකය තුළ මෙවැනි අනවශ්‍ය ගැටුම් ජාතීන් අතර මතුව ඇතැයි අරගලයට මුහුණ දුන් පිරිස අවධාරණය කරති.
ගතවූ කාලය තුළ ඇතැම් ආපනශාලාවන්හී අලෙවියට තබා ඇති ආහාරවලට මෙවැනි අන්තරායකාරී පෙති වර්ග එකතුකර ඇතැයි ජනතාව අතර කතාබහක් පැවති ආකාරය සැඟවිය යුතු පුවතක් නොවන තරමට ජනප්‍රිය මාතෘකාවකි. ජනතාව පැවැසුවේ අහවල් කඩයත් වැහුණා. අර කඩෙත් සීල් කළා යනුවෙන් වුවද, එයින් පසු එම චූදිතයන්ට එරෙහිව ගත් පියවර කුමක්දැයි යන්නද එසේම ප්‍රසිද්ධ වී නම් යමෙකු යම් සීමාවන් පනවා ගනු ඇතැයි තවත් යෝජනාවකි.
පාරිභෝගිකයන්ට සපයන ආහාර පිරිසුදුවට සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමේ වගකීමට ආපනශාලා හිමියන් වගවීමට බැඳී සිටිති. මේ අතර හොද්ද රසපරීක්ෂකවරයාට යවා ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. ජනතාව අසන්නේ සත්‍ය වශයෙන්ම එය එවැනි පෙත්තක් නම් එහිලා ජනතාව තුළ මතුවිය හැකි මතවාදය කෙබඳු විය හැකිද යන සැකයකි. එසේනම් ඒ වාර්තාව එසේම ජනගත විය හැකි විය යුතු අතර, එවැනි වාර්තා හරහා මතුවිය හැකි අවදානම ජනතාව තේරුම්ගත යුතුය.
මෙරට පාරිභෝගික අධිකාරියක් ඇතත් මෙවැනි සිදුවීම් එක දිගටම ඇසෙන විට එම අධිකාරිය භාර ඇමතිවරු ඇහ කන පිස අර්බුදය දෙස බැලුවේ නම් මෙවැනි අර්බුද මෙතරම් දුරදිග නොයනු ඇතැයිද ජනතාව පවසති.
වසර කීපයකට පෙර මහින්ද පාලනය සමයේ පේරාදෙණිය රෝහලේ කාන්තාවන්ට වඳ සැත්කම් කරන්නේ යැයි සන්ධානයේම දේශපාලකයෙකු විසින් බරපතළ චෝදනාවක් කළේය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් සපයන බවටද ජනමාධ්‍ය හරහා රජය පිළිතුරු දුන්නේය. එහෙත් ඒ වාර්තාවට සිදුවූ දේ අදටත් ජනතාවට ඉතිරි කර ඇත්තේ කුකුස පමණක් බවට ජනතා චෝදනාවකි.
ජාතිවාදය රටක් වනසන මහා ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. දශක හතරක් තිස්සේ දුක්විඳි යුද්ධයක් ලංකාවට සමීප කළේද ගෝත්රවාදය හේතුවෙනි. පනහ දශකය වන විට යාපනයේ හර්තාලයක් නිර්මාණය වන්නේද එහෙයිනි. 83 කලු ජූලියද එවැනි නොමනා අවස්ථාවක තවත් අතුරු ප්රතිඵලයකි. ඒ අතර 1914 වන විට සුද්දන් විසින් යටින් ගින්දර දැමූ සිංහල මරක්කල කෝලාහලය රට ගිනි තැබුවේය.
බහුතරයක් වූ සිංහල ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කළද ජනතාව පවසන්නේ සුළු ජාතීන් අතරින් ඇතැමෙකුද හිතාමතා සැලසුම් සහගතව ජාතිවාදී ගිනි ඇවිළවීමට යොමු වී සිටින කතාවකි.
වඳ පෙති, එන්නත් හෝ වෙනත් ජාතිවාදය අවුස්සන උපක්‍රම සම්බන්ධයෙන් එල්ලවන විවිධාකාර චෝදනා සමාජ විද්වත්හු විවරණය කරති.
එකක් තම ජාතිය ව්‍යාප්ත කරවීම වෙනුවෙන් පවතින බලපෑම තුළ මෙවැනි මතවාදී අවස්ථාවන් භාවිතයට ගැනීමට යමෙකු ගන්නා උත්සාහයකි. තම දේශපාලන බලය වෙනුවෙන් රට අස්ථාවරව තැබීමට ජාතිවාදී අරගල නිර්මාණය කිරීම තවත් කරුණකි. අනෙක් අතට අපි අන්තවාදීන් යැයි හෝ මූලධර්මවාදීන් යැයි පෙනී සිටින ජනකොටස් තම අවස්ථාවන් අනිසි ලෙස ඉටුකර ගැනීම උදෙසා මෙවැනි ගැටුම් නිර්මාණය කරති. ඒ අතර ලද අවස්ථාවේ පොදු දේපළ මහජන මුදල් මංකොල්ලකෑමට බලා සිටින ඇතැමුන් ඒවාට දරදිය සැපයීමද තවත් අවස්ථාවකි.
වඳ පෙත්ත හෝ ජෙලි වර්ග පමණක් නොවේ, ජාතිවාදය අවුස්සන ප්‍රකාශ ප්‍රසිද්ධියේ කිරීමද සිදු නොවිය යුතුය. එහෙත් මෙවැනි අවස්ථාවලදී ඇතැම් දේශපාලකයන් විසින්ම ජාතිවාදය අවුස්සන තැනට යම් ප්‍රකාශයන් නිකුත් කිරීම කෙරෙහි ජනතාවට ඇත්තේ පිළිකුළකි.
අම්පාරේ මස්හොද්දේ වඳ පෙත්ත සම්බන්ධයෙන් රිෂාඩ් ඇමතිවරයා වරද කළ සැමට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු යැයි නීතිය පෙන්වා දුන්නේය. ඒ හොද්දට පෙති දැමූ අයද එයට මුවාවී ජාතිවාදය ව්‍යාප්ත කළ අයද යන්න අපහැදිලි බව ජනතාව පවසති. මන්ද එය පෙත්තක් නම් එවැන්නක් දැමූ පළමු හෝ අවසාන අවස්ථාවද මෙය විය නොහැකි හෙයිනි.
ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළ යුත්තේ එහෙයිනි. එහිදී තරාතිරම, පුද්ගලයා නොබලා සැමටම දඬුවම් දිය යුතු යැයි ජනතාව පවසන්නේද සැබැවින්ම ගෙවී ගිය කාලය තුළ ඇසුණු දේශපාලකයන් ගෑවුණු බොහෝ සිදුවීම් තුළ වැරදිකරුවන්ට ගත් නීතිමය පියවර පිළිබඳ ජනතාව නොදන්නා හෙයිනි. නැතහොත් දඬුවමක් නියම වුවද අපරාධය සංවිධානය කළ පුද්ගලයන් පසකට කරමින් මස්වැද්දන්ට නොව හාල්මැස්සන්ට නඩු පැවරීමට පොලීසිය ගත් ප්රයත්නය හේතුවෙන් යැයිද ඇතැමුන් චෝදනා කරති.
එසේම අමාත්‍ය රිෂාඩ් එක් මාධ්‍ය නිවේදනයක් ඉංග්‍රීසියෙන් නිකුත් කරමින් මුස්ලිම් ජාතීන්ගේ පොදු දේපළට හානිකර අන්දමින් මහජාතිය කටයුතු කර ඇති බව ඇඟවිමට උත්සාහ කළේ යැයි අම්පාර ජනතාව චෝදනා කරති. එහෙත් පසු නිවේදනයකින් තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයැයි දැක්වුවද ඉංග්‍රීසියෙන් නිකුත් කළ මුල් නිවේදනය හරහා ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට උත්සාහ කෙළේ වෙනත් මතයක්දැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාල විමසති. ජාතිය උලුප්පා කරන ප්රකාශයන්හි බරපතළකම ගෝත්රවාදය අවුස්සන දේශපාලකයන් දැකිය යුතු වන්නේද එහෙයනි. අතළොස්සකගේ වරදකින් සිදුවන දේ ජාත්‍යන්තරයේ තවත් කතාවක් නිර්මාණ කිරීමට ගින්නක් නොකළ යුතුය.
ගතවූ වසරේ නාවලපිටිය දොන්සයිඩ් තේ කම්හල ගිනි ගන්නා විට එය සිංහල අන්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි රවුෆ් හකීම්ලා චෝදනා කළේය. ගොඩනැගිල්ල හිමිකරු එය විදුලි කාන්දුවක් බව පැවසීය. නමුත් ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තරය හමුවට ගලා ගිය දේ නිවැරදි කිරීමට හකීම් ඇමතිවරයා කාරුණික නොවූ බවට කණස්සල්ලට පත් මහ ජාතිය චෝදනා කළහ.
ඒ අතර නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතු යැයි පවසන නීතිය රකින ඇත්තන්ද ප්‍රහාරයේ සැකකරුවන් සොයා යන අතර, යම් පුද්ගලයන් සොයාගත නොහැකි විටදී ඒ වෙනුවට පවුලේ වෙනත් අය ඇපයක් ලෙස පොලීසියට ගෙන යන බවට තර්ජනය කළේ යැයිද ඇතැම් සමාජ ජාල අතර ඇසුණි. එසේ වී නම් එය මෙරට නීතිය අනුව බරපතළ වරදකි.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ මූලික අයිතිවාසිකම් නීතිය යටතේ වන 13 වන 1 ව්‍යවස්ථාව අනුව “නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය යනුවෙන් දක්වා ඇති බවද නීති විශාරදයෝ අවධාරණය කරති.
එසේ තිබියදී නීතියට පටහැනිව කෙනෙකු වෙනුවෙන් තවකෙකු අත්අඩංගුවට ගැනීමේ භීෂණ යුගයේ ගෝත්‍රික නීතිය මගින් තවත් පාර්ශ්වයකගේ හිත හැදීමට නිරවුල් මිනිසුන්ද අධිකරණයට ගෙන යාම ජනතාව හෙළා දකිති. ඒ වෙනුවට මෙවැනි අවස්ථාවලදී නීතිය සහ සාමය රකින අංශයන්ද බුද්ධිමත්ව කටයුතු කිරීම ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අනුබලයක් බවද ජනතාව පෙන්වා දෙති. මෙයින් උත්සාහ කරනුයේ ජාතිවාදය වෙනුවෙන් හැම පුද්ගලයෙකුම (ප්‍රහාරය හෙළා දකින අය පවා ඇපයට ගෙන යාම තුළ) අනුබල දුන් බවට මතයක් ජාත්‍යන්තර දක්වා නිර්මාණය කිරීමක් බවද අතීත සිදුවීම් පෙළගස්වන සමාජ විද්වත්හු පෙන්වා දෙති.
ජාතිවාදය අවුස්සන පුවත් නිතර ඇසෙන්නේ රටේ නායකයන්, පාලකයන් සහ විපක්ෂයේ ඇතැම් දේශපාලකයන් විසින් එම ගිනි අවුළන නිසා යැයි ජනතාව ප්‍රකාශ කරති. නැතහොත් ඇවිළෙන ගින්නට විපක්ෂය පිදුරු දමන නිසා යැයි තවත් චෝදනාවකි. එසේත් නැතහොත් ගින්න නිවිය යුතු වුවද අවශ්‍ය තැනදී සැබැවින්ම ඒ ගින්න නිවීමට වගකිවයුත්තන් පසුබට වන හෙයිනි. එසේත් නොවන විටකදී මහ ජාතියට එක් ආකාරයකින්ද, සුළු ජාතික ඡන්ද වෙනුවෙන් වෙනස් ආකාරයකින්ද නීතිය ක්‍රියාත්මක වීම නිසා දැයි ජනතාව මෙවැනි අවස්ථාවලදී ප්‍රශ්න කරති.
ජාතිවාදය කරපින්නා ගත් ඇතැම් ජාතිවාදී දේශපාලකයන් විල්පත්තුව රක්ෂිතය එළිපෙහෙළි කරන විට එදා මහින්දලා බැසිල්ලා සහ එම ප්‍රදේශයේ දේශපාලන නායකත්වය මුනිවත රැක්කේ යැයි පරිසර සංවිධාන පවසති. එහෙත් දේශපාලකයන් ඒ නිරුවත වසා ගැනීමට එයට ජාතිවාදයක් නිර්මාණය කළා මිස පරිසරයට සිදුවූ හානිය ගැන තක්සේරු කළේ නැතැයිද පරිසර සංවිධාන අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නේය. නමුත් නීතිය කාටත් සාධාරණ වන්නා සේම එය සාධාරණව ඉටුවනු දැකීමටද ජනතාව බලා සිටින බව රහසක් නොවේ. ගතවූ කාලය තුළ මෙරට යුක්තියට වැදුණු මහා හෙන පහර එය බවටද ඇතැම් නීති විශ්ලේෂකයෝ අර්ථ ගන්වති.
වසර කීපයකට පෙර මහින්ද පාලනය සමයේ පේරාදෙණිය රෝහලේ කාන්තාවන්ට වඳ සැත්කම් කරන්නේ යැයි යම් සිවිල් සංවිධාන විසින් බරපතළ චෝදනාවක් ඇසුණි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් සපයන බවටද ජනමාධ්‍ය හරහා එදා රජය පිළිතුරු දුන්නේය. එහෙත් ඒ වාර්තාවට සිදුවූ දේ අදටත් ජනතාවට ඉතිරි කර ඇත්තේ කුකුස පමණක් බවට ජනතා චෝදනාවකි. යම් හෙයකින් හැම සිදුවීමකම ඇත්ත නැත්ත හෙළිවීම තුළ රටේ ආරක්ෂාවට මහජන සාමයට හානිකර යමක් විය හැකි යයි පාලකයන් සිතනවා විය හැකිය. එහෙත් එසේ වුවද සදොස් යමක් සිදුවී නම් ඒ පුවත එදිනට වසා දැමුවද නැවත තවදුරටත් අලුත් කතාන්තරයකට අවස්ථාව රජය පැත්තෙන් ඉතිරි කළ යුතුද යන ප්රශ්නය ජනතාවට ඇත.
ජනතාවට එල්බ ගත් සිහියෙන් යුතුව සිදුවන දේ නිරීක්ෂණය කළ හැකිය. ජාතිය පදනම් කරගත් හේතු මවමින් මහ ජාතිය ජාත්‍යන්තරය ඉදිරියේ නැවත මිනීමස් කන්නන්ගේ රාජ්‍යයක් බවට පත්ව ඇතැයි යන මතය අල්ජසීරා හෝ චැනල් පෝ මගින් හුවා දක්වන පරිදි ඇතැමුන් බොරදියේ මාළු බාන අවස්ථාද අමතක නොකළ යුතුය. එහිලා ආණ්ඩුවද සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුය.
ජාතිවාදය මෙන්ම එයට මුවා වී ඒ යටින් මහ ජාතියට හානිකරන යම් අතුරු ව්‍යසනයන් සිදුවන්නේ නම් එයද ජාතිවාදය තරම්ම බිහිසුණු ජාතික අර්බුදයක් බවද නීතියේ සාධාරණය කාටත් සමාන බව පෙන්වා දෙන පාලකයන්ට දැනිය යුතුය.
යමක් සිදුවූ පසු , “එය සිදුවණා. දැන් ඉවරයි. ආයෙ ඒ ගැන මොන කතාද?* යනුවෙන් අපේ පාලකයන් ජනතාව තුළ කාලකන්නි මානසිකත්වයක් ගොනුකර ඇතැයි ජනතාව චෝදනා කරති.
එහෙව් රටක තාවකාලික වින්දනයක් වෙනුවෙන් ප්රශ්නයේ වලිගය අල්ලාගෙන අර්බුදය ජය ගත හැකිදැයි? ජනතාව නැවත අසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




