පුරාවිද්‍යාත්මකව හා ඓතිහාසිකව සනාථ කර ඇති සිදුහත් කුමරු උපන් නේපාලයේ ලුම්බ්ණි පුදබ්ම
සිදුහත් කුමාරයා උපන්නේ මෙකල නේපාලයේ ලුම්බිණි සල් උයනේදීය. සිදුහත් බෝසතාණන් බුද්ධත්වය ලැබුවේ මෙකල ඉන්දියාවේ බුද්ධගයාවේදීය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මෙකල ඉන්දියාවේ කුසිනාරා සල් උයනේදීය.
ඉහත සඳහන් කළ ඒ සිදුවීම් තුනම සිදු වූයේ වෙසක් පුර පසළොස්වක දිනයකදීය. මේ නිසා වෙසක් පුන් පොහෝ දිනය තෙමඟුල සිදු වූ ඉතා පූජනීය වූ පොහොයක් ලෙසින් සැලකේ. මේ වෙසක් පුන් පොහෝ දිනය වෙනත් වෙසක් පොහොය දිනයන්ට වඩා විශේෂත්වයක් දරන්නේය. එනම් අන්තර්ජාතික වශයෙන් මෙම වෙසක් පොහෝ දිනය අප රට මුල් කර ගෙන පැවැත්වීමය.
අප මෙහිදී විශේෂ අවධානය යොමු කරවන්නේ සිදුහත් කුමරු උපන් ලුම්බිණි පුදබිම පිළිබඳ සොයා බැලීමටය. ඊට තවත් හේතුවක් වන්නේ 2011 දී ආරම්භ කර 2013 තෙක් සිදුහත් කුමරු උපන් ස්ථානය මැදිකර සාදන ලද මායාදේවි විහාරයේ කළ පුරාවිද්‍ය කැණීමක්ද සිදුකිරීමයි.
මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සිදුහත් කුමරුන් සහ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වූ පුදබිම් සතරක් ගැන සඳහන් කරමින් ඒ පුදබිම් සතර සෑම සැදැහැවත් බෞද්ධයන් විසින් වැඳ පුදා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළ සේක.
දීඝනිකාය - මහා පරිනිබ්බාන සූත්‍රය පි. 238
පුරාණ ජම්බුද්වීපයෙහි මහා අධිරජාණන් වූ අසෝක රජතුමා සිදුහත් කුමරු උපන් පුදබිමට පැමිණි බව ඒ රජතුමා විසින් පිහිටු වන ලද ශිලා ස්ථම්භයක සටහන් කර ඇත. පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් මේ කාලයේදී අපට වැදගත් වන ඉතාමත් විශිෂ්ටතම වූ ස්මාරකයක් එදා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 250කට පසුව මේ පුදබිමෙහි ඉදි වූයේය. සිදුහත් කුමරු උපන් මේ පුදබිමට බුද්ධ කාලයේ සිට ඒ ස්මාරක ශිලා ටැඹ පිහිටුවන කාලය තෙක් ද, ඉන්පසුවද විවිධ පුද්ගලයන් වන්දනා කිරීමට පැමිණෙන්නට ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයට වසර 250කට පසුව මෙම පුදබිමට එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් පැමිණි බව අපි ඉතා හොඳින් දන්නෙමු. ඒ බව දැනගත්තේ ඒ මහා පුරුෂයා විසින් තමාම සිදුහත් කුමාරයා උපන් සල් වනයට පැමිණ වැද පුදා ගත් බව දැනගත්තේ සිදුහත් කුමරු (ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ) එම පුදබිමෙහි උපන් බව ඒ ශිලා ටැඹෙහි දෙවරක්ම සඳහන් කර තිබූ හෙයිනි. ඒ ඉතා වැදගත් ශිලා ටැඹ ලේඛනගත කර මෙහි පිහිටුවන ලද්දේ අසෝක රජතුමා විසිනි. අසෝක රජතුමා එදා එසේ මෙම ශිලා ස්ථම්භය පිහිටුවේ නැතිනම් සිදුහත් කුමරු මේ පුදබිමෙහි උපන් බව ශිලා ලේඛන සාක්ෂි සහිතව හඳුනාගැනීමට නොලැබෙනු ඇත.
(භාරත- ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග පි. 67-68 2006)
ලුම්බිණි ටැම් ලිපිය සහිත වූ මේ ශිලා ටැඹ රැගෙන අසෝක රජතුමා වන්දනාවේ පැමිණියේ අසෝක රජුගේ අධ්‍යාත්මික උපදේශක ස්වාමීන් වහන්සේ වූ උපගුප්ත හිමියන් සමගය. උන්වහන්සේ විසින් පූජනීය වූ වෘක්ෂයක් පෙන්වා ඒ වෘක්ෂය සෙවනේ සිදුහත් කුමරු උපන් බවද, වෘක්ෂය වටා ශිලා වැටක් සාදවන ලද බවත්, අසෝක රජු විසින් ඒ ලුම්බිණි උයන් පරිශ්‍රයෙහි ඒ සිදුවීම සිහිවීම පිණිස ශිලා ස්ථම්භයක්ද පිහිටුවන ලද බවත් දිව්යවදාන නම් මහායාන ග්රන්ථයෙහි සඳහන් කර ඇත. (E.B.COWELL AND R.A.NEIL. ED. DIVYAVADANA. CAMBRIDGE (1886)P. 378-381) (ලුම්බිණි ශිලා ලේඛනය ලියා ඇත්තේ බ්රාහ්මී අක්ෂර වලිනි)
අසෝක රජතුමාගේ ලුම්බිණි ශිලා ලේඛනය (බ්රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ) මෙසේය.
1. දෙවන පියෙන පියදසින ලජිත විසතිවසාභිසිතෙන
2. අතන ආගාච මහියිතෙ හිද බුද ජාතෙ සාක්‍යමුනිති.
3. සිලා විගඩභිච කලාපිත සිලාත නභොච උසපපිතෙ.
4. හිද භගවම් ජාතෙනි ලුම්බිණිගාමෙ උබලිකෙකටෙ
5. අථභාගියෙච
මෙහි සිංහල අදහස මෙසේය. දෙවන පියන පියදසි රජුගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හී මෙහි සාක්‍යමුණි බුදුරදුන් උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටු විය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය.
(අසෝක ධම්ම ලිපි - ගිරිලිපි හා ටැම්ලිපි- මහාචාර්ය අබය ආර්යසිංහ පි. 58-59) (2000)
සිද්ධාර්ථ කුමාරයා උපත ලබන්නට බොහෝ කාලයකට පෙර සිටම එම උයන කපිලවස්තු රාජධානිය සහ දෙව්දහනුවර ජනතාව පැමිණ ප්‍රීති ප්‍ර‘මෝදයට සහ සන්තෝෂයට පත් වූ උයනක් ලෙස ප්‍රකට වූ ප්රදේශයෙකි. නේපාලයේ පිහිටි එම පුදබිම පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ලුම්බිණි සල් උයන යන නාමයෙනි. එය 'ප්රාදිමෝක්ෂ වන' යනුවෙනි.
ලුම්බිණි සල් වනයෙහි සල්ගස් මෙන්ම විවිධ වර්ගවල පක්ෂීන් සහ විවිධ මී මැසි වර්ගද පක්ෂීන් ද සිටි දැකුම්කළු වන උයනකි. ARCHAEOLOGICAL RIMAINS OF KAPILAVASTU. LUMBINI AND DEVDHA B.K RIJAL P.12 (1979) NEPAL - KATMANDU
ඉහත සඳහන් ලුම්බිණි සෙල්ලිපිය සිදුහත් කුමරු එම පුදබිමෙහි උපන් නිසා එය අනුස්මරණය කිරීමටද අසෝක රජු (ක්‍රිස්තු පූර්ව 273-232) එම පුදබිමට පැමිණීම සඳහා වැඳ පුදා ගැනීම මෙන්ම එම පුදබිම බද්දෙන් නිදහස් කර අර්ථ ලාභය ඇති කිරීමද යන කාරණා ගැන සඳහන් වී තිබීම ඉතා වැදගත්ය. මෙය පුරාණ ජම්බුද්වීපයේ රජ කළ මහා අධිරාජයෙකු වූ අසෝක රජු විසින් පිහිටුවන ලද ඒ රජුගේ සහභාගීත්වයෙන් පිහිටුවන ලද ශිලා ටැඹකි.
අසෝක රජු විසින් පුරාණ දඹදිව ඔහුගේ රාජ්‍යයට අයත් රටවල මෙකල ඉන්දියාව පමණක් නොව නේපාලය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය ආදී රටවල් රැසක් ඒ රාජ්‍යයට අයත්ය. අසෝක රජුගේ ශිලා ස්ථම්භ මෙන්ම පර්වත වලද ශිලා ලේඛන ලියවා ඇත. ශිලා ලේඛන සිය ගණනක් ඇත. (ASOKA - B.C. 232 - D.R BHANDARKAR- P248-249 UNIVERSITY OF CALUTTA- 1925)
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ලුම්බිණි උයන සතුටු උයනක් හෝ විනෝද උයනක් ලෙසින් ජනතාව අතර භාවිත වූයේ නැත. ඒ වෙනුවට එම උයන සංචාරකයන්ගේත්, බෞද්ධ ජනතාවගේත් පුදබිමක් බවට පත් වූයේය. මෙම පුදබිම ලොව වටා ඉතා ප්‍රකට ස්ථානයක් බවට පත්වූවා පමණක් නොව විවිධ ස්තූප සංඝණමද, තවත් බෞද්ධ ගොඩනැගිලිද ඉදි වූයේය.
අසෝක රජතුමාට පසුව ක්‍රිස්තු වර්ෂ 406 දී චීන භික්ෂුවක් ලුම්බිණි පුදබිමට පැමිණියේය. පාහියන් නම් වූ ඒ භික්ෂූන් වහන්සේ සිය වාර්තාවල සඳහන් කරන අන්දමට සිදුහත් කුමාරයා උපත ලැබීමට පෙර මහාමායා දේවිය ස්නානය කළ පොකුණ උන්වහන්සේ දුටුවේය. සිදුහත් කුමාරයා උපත ලැබූ වෘක්ෂ සෙවනද උන්වහන්සේ දැක ඇත. තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂා හිමියෝ ක්‍රිස්තු වර්ෂ 634 ලුම්බිණි පුදබිමට පැමිණි බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් කර ඇත.
ලුම්බිණි පුදබිම ගැන ඉතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන හියුංෂං හිමියෝ ශාක්‍ය පොකුණ සහ තවත් ස්ථූපද විහාර ද මෙහි අසෝක රජතුමා පිහිටුවන ලද ශිලා ස්තම්භය ගැන සඳහන් කරයි. එපමණක් ද නොව ඒ ස්ථම්භය මුදුනෙහි අශ්වයෙකුගේ රූපයක් (මූර්තියක්) තිබෙනු බවද එය කඩා වැටී තිබුණු බවද සඳහන් කරන හියුංෂාං චීන භික්ෂූන් වහන්සේ මඳක් දුරින් පිහිටි පොකුණෙන් සිදුහත් කුමරා උපත ලැබූ මහා මායා දේවිය ස්නානය කළ බවද අවධාරණය කරයි. (සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායා දේවි විහාරය - සිරිසමන් විජේතුංග ( පි. 95-97 (2004)
මෙම පුරාවිද්‍යාත්මක සහ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කරුණු ඉතා පැහැදිලි ලෙසින්ම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ සිද්ධාර්ථ කුමාරයා ලුම්බිණි සල් වනයෙහි ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී උපන් බවය. කිසිදු ආගමික ශාස්තෘිිින් වහන්සේ කෙනෙකු උපන් ස්ථානය පුරාවිද්‍යාත්මකව සිදුහත් කුමරු උපන් මෙන්ම ලුම්බිණිය හැරුනු කොට ඔප්පු කර නැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.
ලුම්බිණියේ මායාදේවි විහාරයේ 2011-2013 කාලයේදී කළ පුරාවිද්‍යා කැණීම
එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය ජොබින් කොනිංහැම් සහ නේපාලයේ පශුපනි ප්‍ර‘දේශයේ සංවර්ධන භාරයේ කොෂ් ප්‍රසාද් ආචාර්ය යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද ඉහත සඳහන් කැණීම සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවී විහාරයේදී ආරම්භ කළේ 2011 වර්ෂයේදීය. 2013 නොවැම්බර් මස අග භාගයේදී එහි කැණීමෙන් හමු වූ පුරාවිද්‍යා දත්තයන් ලුම්බිණි සල් උයනේම තිබූ මහාමායා දේවි විහාර පරිශ්‍ර‘යේ නිශ්චිත වූද ඉතා වැදගත් වූද කාල පරිච්ඡේදයයි.
සිදුහත් කුමරු උපත ලැබුවේ නිශ්චිත ලෙසින්ම ක්‍රිස්තු පූර්ව හය වන සියවසේදී බව 1970-1971 දී කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී ද තහවුරු වී තිබුණි. එහෙත් මායාදේවි විහාරය ආශ්‍රිතව මෙවන් වූ පුරාවිද්‍යා කැණීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය විය. (මීට ඉහතදී 1977-78 වර්ෂයේදී මේ පුදබිමෙහි පුරාවිද්‍යා කැණීමක් සිදු කර ඇත.)
මායාදේවි විහාරයට අයත් වූ මෙම පුරාවිද්‍යා කැණීමේදී හමු වූ එම පුරාණ සල් වෘක්ෂයේ කොටස් (අවශේෂ) ක්‍රිස්තු පූර්ව 550 අයත් වන බව ප්‍රකාශයට පත් කර ඇත. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ජුලියා ෂෝ සඳහන් කරන පරිදි දේවි විහාරය (සල්වෘක්ෂය සහිත වූ) බුද්ධ කාලයට පෙර සිටම ජනතාව විසින් පුද පූජා පවත්වන්නට ඇත.
මහාචාර්ය රොබින් කොනිංහම් පවසන තවත් විශේෂ කරුණක් ඔහු ලංකාවට පැමිණි (2014) දී පසුව අප සමග ප්‍රකාශ කළේය. එනම් එම පුදබිමෙහි සත්ත්ව ඝාතනය හෝ කිසිදු බිලි පූජාවක් කිසිවක් මෙම පුදබිමෙහි කෙදිනකවත් සිදු කර නැති බවය. ඒ අනුව මෙම ලුම්බිණි පුදබිම බුද්ධ කාලයට පෙර (සිද්ධාර්ථ කුමරු උපතට පසු ජනතාව) වැඳුම් පිදුම් කළ ගෞරව කළ ස්ථානයක් බවට කිසිදු සැකයක් නැත.
මෙම පුරාවිද්‍යා කැණීමෙන් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කාල නිර්ණය (සිදුහත් උපත පිළිබඳ ) සමපාත වන බවද එකඟ වන බවද සත්‍යයක් වන බවද මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රකාශ කර ඇත. මේ අනුව මීට වසර 40 පමණ ඉහත දී පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කරන ලද සිද්ධාර්ථ කුමරෝත්පත්තිය සිදු වූයේ ක්‍රිස්තු පූර්ව හය වන සියවසේදී යන්න නැවත වරක් තහවුරු වී ඇත.
ඒ පුරාවිද්‍යා කැණීම් සිදුකරන ලද්දේ සැබැවින්ම මෙම සිදුහත් කුමරු උපත සිදු වූ සල්ගස තිබූ තැන නොවුවත් (එම පුරාවිද්‍යා කැණීම සිදු කළේ මායා දේවි විහාරය හා අසෝක ශිලා ස්ථම්භය අතර ප්‍රදේශයේ හෙයින්) එම කාල නිර්ණය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී තිබුණු බවද මේ අනුව පැහැදිලි වෙයි.
ලුම්බිණියේ මායා දේවි විහාරයේ 2011 දී ආරම්භ කළ පුරාවිද්‍යා කැණීම සඳහා මහාචාර්ය රොබින් කොනිංහැම් ලංකාවේ පුරාවිද්‍යා කැණීම් වලට ද සම්බන්ධ වී අති ප්රමුඛ පුරාවිද්‍යාඥයන් ද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිත තරුණ පුරාවිද්‍යාඥයන් මෙන්ම භාෂනල් ජ්යොග්රැෆි ආයතනය නේපාලයේ විශ්වවිද්‍යාලය හා තවත් දේශීය හා විදේශීය ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම පුරාවිද්‍යා කැණීම සිදු කෙරුණි.
මෙම පර්යේෂණ කැණීම නිසා බටහිර ඇතැම් විද්වතුන් තුළ පැවැති බුද්ධෝත්පත්තිය පිළිබඳ සැකය පැවැති කාල නිර්ණයන් ඒ සඳහා ඉදිරිපත් කරමින් පැවති සංචාරයන්ද නිෂේදනය වූයේය. මේ පිළිබඳ ANTIQUITY VOL.87 P 1104 - 1124 (DECEMBER) 2013 සඟරාවේ වාර්තාව පළ වී ඇත.
විශේෂයෙන් නැවත අවධාරණය කළ යුතු වන්නේ අසෝක රාජ යුගය පිළිබඳ ඉගෙනීම අධ්‍යයනය කළ මුල් කාලයේ විද්වතුන් වූ ජේම්ස් ප්රින්සෙප් (1834) ඇලෙක්සැන්ඩර් කනිහැම් (1879) එමිල් සොනැට් (1881) ඊහුල්ස්ට් (1925) ආචාර්ය ආනන්ද ඩබ්.පී.ගුරුගේ (2005) මහාචාර්ය අබය ආර්යසිංහ මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් (1967) වැනි දේශීය හා විදේශීය විද්වතුන් විසින් ද මෑතකදී ආචාර්ය වසන්ත බිඩාරි (නේපාල ජාතික) මහතාද ලුම්බිණිය ගැන මෙන්ම සිදුහත් කුමරු උපත ලද බව සඳහන් කරන බ්රාහ්මී ශිලා ලිපිය ගැන ද බොහෝ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් අතිබහුතර සංඛ්‍යාවක් පසුගිය වසර 150 තුළ ලියන ලද ග්රන්ථ සංඛ්‍යාව සියයකට අධිකය. සමස්ත ලෝක ජනතාව සිදුහත් කුමරු උපත ලැබුවේ මෙකල නේපාලයේ ලුම්බිණි සල් උයනේ බව පිළිගෙන ඇත. 1997 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ UNISCO ) විසින් ලෝක උරුමයක් ලෙසටද ප්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ පුදබිම ගැන මිථ්‍යා මත වපුරමින් ලංකාවේ එක්තරා පිරිසක් (නොමග ගිය) බුදුන් උපන්නේ ලංකාවේ මිස වෙන කොහේදැයි ප්‍රශ්න කරමින් පොත් පත් ලියමින් මුව සංවාදයේ යෙදෙන්නන් ගැන අපි අනුකම්පා කරන්නෙමු.
මෙපමණ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි තිබියදී සිදුහත් කුමරු උපන්නේ ලංකාවේ යැයි කියමින් මහජනතාව මුළා කිරීමට ඉඩදිය යුතු නොවේ. බුද්ධාගම නිසි ලෙසින් අනුගමනය කරන්නේ නම් මෙවන් මිථ්‍යා මත පළ කරන්නන් කිසිසේත්ම මේ ව්‍යාජ කතා පිළිගන්නේ නැත. උදර පෝෂණය සඳහා කරන මෙවන් මිත්‍යා මත පතුරන්නන්ට එරෙහිව කටයුතු කළ කාලය වෙසක් උළෙල ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව මුල්කර ගෙන නිසා මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවමු.
සිරිසමන් විජේතුංග (හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

