ප්‍රතිපත්තියක් නැති සෞඛ්‍ය සේවාව
අමාත්‍යාංශ පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ අමාත්‍යාංශයට අයත් විෂයන් යටතේ ජනතාවට සේවය කිරීමට හා ජනතා අවශ්‍යතාවන් ඉටුකරදීමටය. එහෙත් ගෙවීගිය කාලය පුරාම හා වර්තමානයේදීත් අමාත්‍යාංශය භාරව සිටින දේශපාලඥයන් තමන්ට පැවරී තිබූ රාජකාරිය නිසි ලෙස ඉටුකළාද යන්න ප්රශ්නයකි.
මන්දයත් අද වනවිට අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය ඇතුළු සියලුම විෂය ක්ෂේත්රවල විශාල ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බැවිනි. රටක ආර්ථිකය දියුණු වීමේදීත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමේදීත්, සෞඛ්‍ය, අධ්‍යාපනය යන විෂය පථයන්වලට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. මෙම විෂය පථයන් දෙක ගතහොත් සෞඛ්‍යය සම්පන්න පිරිසක් රට තුළ සිටම අධ්‍යාපනය ලැබීමට හැකි අවස්ථා වැඩියෙන් හිමිවන කාරණයකි.
මේ නිසා සෞඛ්‍යය විෂය පථය යනු රටක අතිශය වැදගත් කාරණයකි. එහෙත් ගෙවී ගිය කාලය පුරාම හා වර්තමානයේදීත් සෞඛ්‍ය බාර දේශපාලඥයන් එම යුතුකම ඉටුකර තිබේද යන්න සියලුම දෙනාට ඇති වී තිබෙන ප්රශ්නයකි. මන්දයත් ගෙවී ගිය වසර ගත හොත් රට තුළින් ඩෙංගු වැළඳුණු රෝගීන් 80,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ඩෙංගු වැළඳ මිය ගිය ප්‍රමාණය 80 ඉක්මවා ඇත.
සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කරන්නේ මෙම සංඛ්‍යා ලේඛන රජයේ රෝහල්වලට පැමිණි රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන බවය. මේ රටේ ජනතාව පෞද්ගලික අංශයෙන්ද ප්‍රතිකාර ලබාගන්නා බැවින් රෝගීන්ගේ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා මියගිය ප්‍රමාණය සියය ඉක්මවා යා හැකි බවද එම සංවිධාන නියෝජිතයෝ පෙන්වාදෙති.
සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනවලට අනුව, වාර්තා වී තිබෙන රෝගීන්ගේ ප්‍රමාණය හා මියගිය ප්‍රමාණය ඉතිහාසයේ වාර්තා වී තිබෙන වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය හා මරණ සංඛ්‍යාව පසුගිය වසරේදී වාර්තා විය. මේ ආකාරයට ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු මර්දන එක්දින, තුන්දින, සති හා දෙසති වැඩසටහන් අතිවිශාල ප්‍රමාණයක් සිදුකර තිබියදීය. ඩෙංගු මර්දන වැඩසටහන්වල සැබෑ තත්ත්වය සොයා බැලුවහොත් ඉන් පැහැදිලි වන කාරණයක් වූයේ ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ ක්‍රියාත්මක කළ සෑම ඩෙංගු මර්දන වැඩසටහනක්ම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඩෙංගු බෝකළ බවට චෝදනා එල්ල කර ජනතාවට දඩගැසීම සඳහාය.
මේනිසා පසුගිය වසරේ සිදුකළ ඩෙංගු මර්දන වැඩසටහන් මාධ්‍ය සංදර්ශනයක් වූ අතර, සිදුවූයේ රජයේ දඩ ආදායම ඉහළ යෑම පමණි. පසුගිය වසරේදී ඩෙංගු මරණ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයෙන් රත් වූ ජන සමාජය නව වසර ආරම්භ කරන්නේ සීතල දුරුත්තත් සමගය. එහෙත් සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට හා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයට ජනවාරි පළමු දින පමණක් ඩෙංගු රෝගීන් 500කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පෙන්වා දුන්නේ මේ වසරේ පළමු දින 10 තුළදී ඩෙංගු රෝගීන් දහයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවය. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක වූවා නම් සීත දුරුත්ත මේ තරම් උණුසුම් වන්නේද නැත. ගෙවී ගිය වසර පුරාම ඖෂධ හිඟකම හා රෝහල් කාර්යමණ්ඩල හිඟකම ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක්ද ඇතිවිය.
ඖෂධ ගැටලු ඇතිවීම නිසා රජයේ රෝහලක බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට හා නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට තම පෞද්ගලික වියදමින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට සිදුවිය.
එය ප්‍රතිශතයක් ලෙස තම සෞඛ්‍යය රැකගැනීමට වියදම් වන රුපියල් 100ක මුදලකින් රුපියල් 69කට ආසන්න මුදලක් ජනතාවට දැරීමට සිදුවිය. ජනතාව තම සෞඛ්‍යය රැකගැනීම සඳහා මෙතරම් මුදලක් වියදම් කිරීමට සිදුව තිබෙන්නේ ජනතා මුදලින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ තිබියදීය. සේවා ඇතුළු අනෙකුත් ආයතන නඩත්තුව සඳහා ජනතාව දිනපතා අතිවිශාල මුදලක් බදු වශයෙන් රජයට ගෙවයි. එහෙත් ප්රශ්නය වී ඇත්තේ ජනතාව බදු මුදල් වශයෙන් රජයට ලබා දෙන මුදල්වලින් විශාල මුදල් කොටසක් දේශපාලඥයන් තම සුඛවිහරණය සඳහා සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සඳහා යෙදවීමය.
සෞඛ්‍ය ක්ෂේත්රය ගතහොත් ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ වර්ග 48කට උපරිම මිලක් නියම කර තිබේ. අදාළ ඖෂධ වර්ග 48ට රජය ප්‍රකාශ කළ ආකාරයට ජනතාවට ලබාදෙනවාද යන්න තවත් ගැටලුවකි. එහෙත් ඖෂධ වර්ග 48ක මිල අඩු කළ බව සඳහන් කරමින් අතිවිශාල මුදලක් වියදම් කර විද්‍යුත් හා මුද්‍රිත වෙළෙඳ දැන්වීම් පළකරන ආකාරයක් දැකගත හැකිය. මීට අමතරව බොහෝ රෝහල් ඉදිරිපිට වර්ග අඩි 300, 400 විශාල දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කර තිබේ.
මේ ආකාරයට වියදම් කරන මුදල් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ මුදල් නොව මහජනතාවට අයත් මුදල්ය. සැබෑ ලෙසම ඖෂධ 48ක මිල පාලනය කළේ නම්, එහි ප්රතිලාභ ජනතාවට හිමිවනු ඇත. මේ නිසා ඖෂධ වර්ග 48ක මිල අඩු කළ බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය වන්නේද නැත. මීට අමතරව මේ ආකාරයට විනාශ කර දැමූ මුදල් යොදා ගෙන රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් ලබාදීමටත් හැකියාව තිබුණි.
එසේ නොකර රටට අවශ්‍ය ඖෂධ වර්ගවලින් 80%ක් රට තුළ නිෂ්පාදනය කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට මාධ්‍ය සංදර්ශනය පවත්වමින් සිටියි. 80% ක් ඖෂධ රට තුළ 2018 වසර වනවිට නිෂ්පාදනය කරන බවට සෞඛ්‍ය ඇමතිවරයා පාරම්බෑවද රට තුළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව 60%කට වැඩි ප්‍රමාණයකින් කඩා වැටී තිබේ.
එනම්, මීට වසර කිහිපයකට පෙර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඖෂධ වර්ග 57කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබීය. එහෙත් මේ වනවිට නිපදවනුයේ ඖෂධ වර්ග 22ක් බවට වාර්තා වන අතර, මෙම ඖෂධ වර්ග 22 ප්‍රමිතියෙන් ඉහළම ඖෂධ බවද සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වාදෙයි. එහෙත් මෙම ඖෂධ සියල්ලම පෞද්ගලික අංශයට විකුණා දමන බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති. මේ ආකාරයට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ප්‍රමාණය පහළ වැටී තිබෙන්නේ එම ආයතනය පවත්වා ගෙන යෑමට අවශ්‍ය තරම් පහසුකම් ලබානොදීම හේතුවෙනි.
මේ නිසා 2018 ගැන සිහින දැකීමට පෙර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අවශ්‍ය පහසුකම් ලබාදී එහි ධාරිතාව ඉහළ දැමීමට මුලින්ම සිදුකළ යුතු කටයුත්තකි. ඩෙංගු රෝගීන්ගේ හා ඩෙංගු මරණවලට අමතරව හඳුනා නොගත් වකුගඩු රෝගයකටද මෙරට ජනතාව බිලිවෙමින් සිටී.
මීට වසර 23කට පෙර පදවිය ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම රෝගය, මේ වනවිට දිස්ත්‍රික්ක 11ක ගොවි ජනතාවගෙන් විශාල පිරිසක් බිලිගෙන තිබේ. හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා 25,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතර, රෝගීන් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවති. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති පෙන්වා දෙයි. වකුගඩු රෝගය මර්දනය කිරීමට හා රෝගී සත්කාර සඳහා නිසි පහසුකම් ලබානොදෙන පාලකයන් රෝගීන්ගේ ප්‍රමාණය පිළිබඳව හා රෝගී මරණ සංඛ්‍යාව පිළිබඳවත් දත්ත එක් රැස්කිරීමට කටයුතු නොකරන බව ඔවුහු ප්‍රකාශ කරති.
වකුගඩු සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල, මඩකලපුව හා මාතලේ යන දිස්ත්‍රික්කවල වකුගඩු රෝගය වැලඳීමේ අවදානමට ලක්වූ ලක්ෂ 06කට අධික පිරිසක් ජීවත් වන බවය. සුළු රෝගී පරීක්ෂාවකින් මෙම ප්‍රමාණය හඳුනාගත හැකි බවත්, රෝග ආරම්භයේදී රෝගීන් හඳුනා ගතහොත් ඔවුන් නිරෝගී පුද්ගලයන් බවට පත්කිරීමටත් හැකියාව තිබෙන බවද එම සංගමය පෙන්වාදෙයි.
එහෙත් 2018 වසරේදී රටට අවශ්‍ය වන ඖෂධවලින් 80%ක් රට තුළ නිෂ්පාදනය කරන බවට සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනතාවට රෝගීන් වීම වළක්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැත. අඩුම තරමින් රෝගය ඇතිවීමට හේතු වන බවට සොයා ගෙන ඇති පූර්ණ වල්නාශක රට තුළ භාවිත කිරීම නවතා දැමීමට අවශ්‍ය විධිමත් යාන්ත්‍රණයක්ද සකස් කර නොමැත.
මීට අමතරව හෘද ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ස්ටෙන්ස් ඇතුළු ඖෂධ වර්ග අලෙවිකර ගැනීම සඳහා රෝහල් තුළට ඇතුළුවීම කාලාන්තරයක සිට සිදුවන ජාවාරමකි. මෙම ජාවාරම ආරම්භයේදී සිදුවූයේ ඖෂධ හා උපකරණ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ කටයුත්තක් ලෙසය. එහෙත් මේ වනවිට ස්ටෙන්ස් හා අක්ෂි කාච රෝගීන්ට විකුණා ගැනීම දක්වා ඖෂධ සමාගම් මෙම ජාවාරම දියත් කර තිබේ.
ඇතැම් වෛද්‍යවරුන්ගේද සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ජාවාරම හරහා රෝගීන් විශාල සූරාකෑමකටද ලක්වේ. මේ පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වා දෙනු ලැබූ අතර, මේ නිසා කොළඹ ජාතික රෝහල තුළ ස්ටෙන්ස් අලෙවි කිරීමට අවසර නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
කල්ගත වී හෝ කොළඹ ජාතික රෝහල සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට ජනතාවගේ සහ සෞඛ්‍ය වෘත්තිය සමිතිවල ප්‍රශංසාව හිමිවෙයි. මෙය ප්‍රකාශ කළා සේම එය ක්‍රියාත්මක වනවාද යන්නත් සොයා බැලීම සෞඛ්‍ය අමාත්‍යාවරයාට පැවරී තිබෙන වගකීමකි.
මීට අමතරව ඖෂධ හා උපකරණ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීමට වෙළෙඳ නියෝජිතයන් රෝහල් තුළට පැමිණීම තහනම් කිරීමද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමකි. මන්දයත් නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ප්‍රචලිත කිරීම රජයේ රෝහල් පරිශ්‍ර තුළදී සිදුකිරීම සදාචාර නොවන බැවිනි. වෙළෙඳ සමාගම්වලට ඖෂධ හා උපකරණ පිළිබඳව යම් වෛද්‍යවරයෙකු දැනුවත් කිරීමට අවශ්‍යනම්, එය පෞද්ගලික සේවා ස්ථානවලදී සිදුකළ හැකිය. එහෙත් පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරතවීමේදී ගෙවන සෑම විනාඩියක්ම වටිනා නිසා එවැනි ස්ථානවලට වෙළෙඳ නියෝජිතයන් ඇතුළත් කර ගැනීමද සීමා කර තිබේ.
මේනිසා මෙම ගැටලුවට හොඳින් හෝ නරකින් විසඳා ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි. මීට අමතරව බෝනොවන රෝග ගණනයට අයත් කොලොස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය, ලේවල සීනි අගය ඉහළ යෑම, හෘද රෝග හා පිළිකා ඇති වීමද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. මේනිසා මෙම රෝග රටින් තුරන් කර රෝගයට ලක්වූවන්ගේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු කිරීමද සෞඛ්‍ය අමාත්‍යාංශය සතු කාර්යයකි. මෙම රෝගවලින් ජනතාව ගලවා ගැනීමට භාවිත කළ හැකි එක් ක්‍රමයක් වන්නේ පවුල් සෞඛ්‍ය සේවාව දියුණු කිරීමෙන් හා ප්‍රජා හෙද සෞඛ්‍ය සේවා දියුණු කර ඒ හරහා ජනතාව දැනුවත් කිරීමය.
මීට අමතරව රෝගී වූ පුද්ගලයන්ට ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත කරනවාද යන්න සොයාබැලීම හා රෝගය වළක්වා ගැනීම සඳහා සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳව මෙම සේවාව හරහා සිදුකළ හැකි ක්රමවේදයන්ය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති පවා මෙම ක්රමයේ ඇති වැදගත්කම පෙන්වාදී තිබෙන අතර, එහෙත් දේශපාලඥයන් බලධාරීන් ඒ පිළිබඳව තවමත් අවධානයක් යොමුකර නොමැත.
මීට අමතරව සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමේදී වෛද්‍ය, හෙද, ඖෂධ, පරිපූරක සේවා, රෝහල්, කනිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. පවතින කාර්යමණ්ඩල හිඟය නිසා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට යන රෝගියෙකුට තම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට රෝහල් තුළ පැය ගණනක් රස්තියාදු වීමට සිදුව තිබේ.
මීට අමතරව නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන දහවල් 12.00ට රෝගීන් පිටව යාමට වෛද්‍යවරයා අවසර ලබාදුන්නද රෝගියාගේ නික්ම යෑම පිළිබඳව සිදුකළ යුතු ලිපි ලේඛන කටයුතු සම්පූර්ණ කරගැනීමට පැය ගණනක් ගත වීම නිසා රෝගියාට රෝහලින් නික්ම යෑමට සිදුවන්නේ සවස 05න් පසුවය.
දැඩි රෝගී තත්ත්වයක් මත බාහිර රෝගී අංශයෙන් රෝහල් වාට්ටු තුළට ඇතුළත් කරන රෝගියෙකුට තමන් සම්බන්ධ ලිපි ලේඛන වැඩකටයුතු සිදුකරන තෙක් සමහර රෝහල් තුළදී පැය ගණනක් රස්තියාදු වීමට සිදුවේ. මුලින්ම මෙම ගැටලුවට විසඳුම ලබාදීම දේශපාලඥයන්ගේ වගකීමකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

