පවින් අන්ධ වූ මිනිසුන්ගේ දෑස් විවර කරන
රට, දැය හා සමය වෙනුවෙන් කැපවෙන්නෝ නූතන සමාජය තුළ සිටිනුයේ අතළොස්සකි. සුවහසක් මිනිසුන්ගේ අන්ධ වූ දෑස් විවර කරමින් යථාර්ථය පෙන්නුම් කර සුමගට මගපාදන්නෝ සිටිනුයේ එයින්ද අතළොස්සකි. එලෙස වැඳපුදා ගැනීමකින් අවසන් නොකර, යථාර්ථය පහදා දෙන විහාරස්ථානයක් ලෙස බදුල්ල කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම මහා ශ්‍රාවක විහාරය හැඳින්විය හැකිය.
සිත මෙන්ම ගතද සිසිල් කරවන පරිසරයක පිහිටි මෙම විහාරයට ඇත්තේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 11ක් පමණි. අපාය, මිහින්තලය, දිව්‍යලෝකය ආදිය බෞද්ධයන්ට එකම තැනකින් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි අවස්ථාවක් මෙම විහාරයට පැමිණෙන ඕනෑම කෙනෙකුට අත්විඳීමේ අවස්ථාව උදා වේ. මෙම විහාරස්ථානය මුල් කාලයේ පැවතියේ දැන් තිබෙන භූමියේ පහළ කොටසේය. එය මහාකුඹුරේ විහාරය නමින් හැඳින්විය. නමුත් එය දැන් කැලෑවකින් වට වූ භූමි ප්‍රදේශයක් වී හමාරය. මෙම විහාරස්ථානය ඉදිකරනු ලැබුවේ මෙම ඉඩමේම ඉහළ කොටසේය. නොයෙක් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කළත් මෙහි ස්ථිර විහාරධිපති වහන්සේ කෙනෙකු වැඩ වෙසෙන්නේ 1970 වර්ෂයේදීය. එම නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු මෙම විහාරයේ විහාරාධිපති තනතුර හිමිවූයේ ශාස්ත්‍රපති විමලකිත්ති ස්වාමීන් වහන්සේටය. එතැන්පටන් විහාරස්ථානය අලුතින් ඉදිකරනු ලැබුවේ විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ නොපසුබට උත්සාහයෙන් බව අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුය. එවන් යතිවරායණන්වරු ශාසනයට මෙන්ම සමාජයටද සම්පතකි.
විහාර වාහල්කඩයෙන් ඇතුළු වූ අපට මුලින්ම දැකගත හැකි වන්නේ අප දේශයට සම්බුද්ධ ධර්මය ගෙන ආ මිහිඳු මා හිමියන් ඇතුළු ශ්‍රාවක පිරිස ප්‍රදර්ශිත මිහින්තලයයි.
විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රකාරය සාදා නිම කිරීම සඳහා වෛද්‍ය රුබේරු මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් විහාරස්ථානයට හිමි විය. එමෙන්ම එම වෛද්‍ය රුබේරු මහතා සහා ඔහුගේ බිරිඳ වන වෛද්‍ය දිල්රුක්ෂි මහත්මියගේ දායකත්වයෙන් විහාරස්ථානයේ ඉදිරි වැඩකටයුතුද සිදුකළ අතර, චෛත්‍යය ඉදිකිරීම සඳහා එම දෙපළ විසින් එක්කෝටි පනස්දහසක මුදලක් පරිත්‍යාග කෙරිණි. මෙය ශාසනය වෙනුවෙන් කළ උත්තුංග පරිත්‍යාගයකි.
පසු කලෙක වෛත්‍යය වෙත වැඩම කරන පිළිම වහන්සේලා නෙළීමට සිතූ විමලකිත්ති හිමියන් ඒ සඳහා අච්චුවක් සකස් කර, පිළිම දෙකක් පමණ තනිවම නෙළිම ආරම්භ කළහ. අනතුරුව ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව පිළිම වහන්සේලා 93 නමක් ඉදිකිරීමට හැකි විය. විහාරස්ථානය සතු සෑම ඉඩකඩක්ම ප්‍රයෝජනයට ගනිමින් උන්වහන්සේ මිනිසුන්ට අනිත්‍ය පසක් කිරීම සඳහා නොයෙක් නිර්මාණයන් පන්සල් භූමිය තුළ නිර්මාණය කළහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස බුද්ධ මන්දිරයේ ඉතිරි වූ කුඩා ඉඩක් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රේත වස්තු උමං විහාරයක්ද සකස් කළහ. මෙහි විශේෂයක් වන්නේ මෙම විහාරයේ බිතුසිතුවම් වල දක්නට ඇත්තේ වර්තමානයේ මිනිසුන් විසින් සිදුකරන පව් නිසා ඔවුන්ට ලැබෙන විපාක පිළිබඳ වැටහීමක් ලබාගත හැකි වීමයි.
විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයේ දහම් පාසලක්ද පවත්වාගෙන යන අතර, දැනට එම දහම් පාසලේ ළමුන් 750ක් දහම් අධ්‍යාපනයේ නිරත වෙති. ස්වාමීන් වහන්සේලා 19 නමක් දැනට මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරති. සිය නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ දා පටන්, විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කළ විමලකිත්ති ස්වාමීන් වහන්සේ බුද්ධශාසනය උදෙසා තම දැනුම, මහන්සිය කැපකළ තෙරුන් වහන්සේ නමකි. සැබැවින්ම මෙවන් යුගයක මෙලෙස ශාසනය වෙනුවෙන් කැපවී ලෝ අනිත්‍ය දහම දෘශ්‍යමානව පෙන්නුම් කරන්නට උත්සාහ දරන ස්වාමීන් වහන්සේලා අප අගය කළ යුතුය. එවන් භික්ෂූන් ජාතියට සම්පතකි.
ශාස්ත්‍රපති කහටරුප්පේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ
'මේ විහාරය අවුරුදු 100කට අධික කාලයක් පැරණි විහාරයක්. නමුත් මේ පන්සල මුල් කාලයේ පැවතියේ මහාකුඹුර පන්සල නමින් පහළ කොටසේ. අතීත රජ කාලයේ මුදල් පවා අච්චු ගැසූ විහාරයක් ලෙස ජනප්රවාදයේ සඳහන් වෙනවා. එකල පැවති විහාරස්ථානයේ බුදුගෙය ඉදිකිරීමේදී එහි නේත්‍රා පිංකම තිබෙන අවස්ථාවේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සහ චිත්‍ර ශිල්පියා සමග විරසක වීමක් සිදුවෙලා තිබෙනවා. ඒ මුදල් ගනුදෙනු කිරීමේදී සිදුවූ බහින්බස් වීමක් නිසා. සිතේ තියා ගත්තු එම විරසකය නිසා ඔහු මෙම විහාරස්ථාන බුදු පිළිමයේ නේත්‍රා තබා ඇත්තේ වැරදි විදිහට. ඊට පස්සෙ මේ විහාරස්ථානය හොඳටම පාළු වෙලා ගියා. ස්වාමීන් වහන්සේලා වැඩ සිටියේ නැහැ. ඒ පැත්තේ ගහක් කොළක්වත් හැදෙන්නේ නැහැ. දැනටත් පිළිම වහන්සේ සහ අගසව් දෙනම වැඩ සිටියත් ඒ සියල්ල කැලෑවෙන් වැසී ගොස් තිබෙන්නේ. කවුරුත් යන්නෙත් නැහැ. මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු වුණොත් එය යහපත් දෙයක් කියා මා සිතනවා.
එම ඉඩමේ ඉහළ කොටසේ තමයි අලුත් විහාරය සාදා තිබෙන්නේ. 1970 ගණන්වල මෙහි ස්ථිර වශයෙන් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වැඩ සිට නැහැ. අපේ නායක ස්වාමීන් වහන්සේ කොරසගොඩ නාභිත හාමුදුරුවෝ. උන්වහන්සේ 70 ගණන්වලින් පසුව මෙහි වැඩ සිට තිබෙනවා. උන්වහන්සේ මඩිහේ නායක හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උන්වහන්සේ මේ විහාරස්ථානය ඉදිකිරීමට මූලාරම්භය ගත්තා. නමුත් උන්වහන්සේ 2000 වර්ෂයේ අපවත් වුණා. ඉන්පසු විහාරස්ථානයේ කටයුතු සිදුකළේ මම. 2000 වර්ෂයේ මම පැමිණ මෙහි තිබෙන සියලු දේම අලුතින් ඉදිකළා.
මුලින්ම බුදු මැදුර සකස් කළා. මගේ සහෝදර හාමුදුරුනමක් විසින් ගෙන ආ ග්‍රන්ථයක තිබූ පෙරවදනක සඳහන් වෛද්‍ය මහත්මයෙකුගේ ලිපිනයට මේ විහාරස්ථානයේ ඉදිරි කටයුතු කිරීම සඳහා ආධාර කර ඉල්ලා ආයාචනාත්මක ලිපියක් යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථානය ඉදිකිරීම සඳහා ඒ මහතා මුදල් පරිත්‍යාග කළා. ඒ මුදල්වලින් සහ ගම්වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කළා. නැවතත් කෝටි එකහමාරක් ඒ මහතා ෙෙචත්යයක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළා. කළුතර චෛත්‍යයේ ආකෘතියට විහාරස්ථානයේ නව ෙෙචත්යය ඉදිකළා. ගම්වාසීන්ද මේ සියලු වැඩකටයුතු සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. මේ ඉදිකිරීම් අවසන් වුණහම මට හිතුණා ෙෙචත්යයට වඩින අයුරින් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් ඉදිකරන්න ඕන කියලා. ඒ අනුව 93න් නමක් ඉදිකරන්න හැකිවුණා. ඒ වගේම ප්‍රේත ලෝකයකුත් ඉදිකළා. ඊට පස්සේ මට හිතුණා ලංකාවට මිහිඳු හාමුදුරුවන් වැඩම කළ ආකාරය නිරූපණය කරන මිහින්තලය නිර්මාණය කරන්න ඕන කියලා. මේ වන විට අවීචි මහා නරකාදියත් හදමින් පවතිනවා. දිව්‍යලෝකය සහ අපායත් ඉදිරියේදී සකස් කරන්න මම අපේක්ෂා කරනවා. මේ සෑම දෙයක්ම එකම තැනක නරඹන්න බදුලු පුරවරයේ තැනක් නැහැ. ඒ නිසා අලුත් දෙයක් කරන්න ඕන කියලා හිතුණ නිසා මේවා ඉදිකිරීමට පියවර ගත්තා'
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





