Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 07 වන සෙනසුරාදා
මෙරට විදේශීය ජාතිකයන්ට නතුවීමට පෙර සෑම පුරවැසියෙකුම පොදු යැයි සම්මත සෑම දේපොළක්ම ආරක්ෂා කර තිබෙන්නේ තමන්ගේ පෞද්ගලික දේපොළක් ආරක්ෂා කරන ආකාරයටය. ඉතිහාසය දෙස බැලීමේදී මෙය මනාව පැහැදිලි වන අතර, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන සංකල්පය මතය. එහෙත් විදේශීය ජාතිකයන් මෙරට නතු කරගැනීමත් සමග පොදු යැයි සම්මත බොහෝ දේවල් රජයට, එසේ නැත්නම් පාලන තන්ත්රයට අයත් දේවල් සේ සලකා කටයුතු කර තිබේ.
මේ නිසා විදේශීය ජාතිකයන් සමග කලකෝලාහල ඇති කරගත් පිරිස්, විදේශීය පාලකයන් රිදවීම සඳහා පොදු යැයි සම්මත දේවල්වලට පවා යම් යම් අවස්ථාවල විරුද්ධව කටයුතු කර තිබෙන බව ජනප්රවාදයේ සඳහන් වේ. විදේශීය ජාතිකයන් මෙරට බොහෝ සම්පත් පාලන තන්ත්රය සතු යැයි සිතුවද එය තමන්ගේම දෙයක් නොවන නිසා ඔවුන්ද පොදු යැයි සම්මත බොහෝ දේ විනාශ කර ඔවුන්ගේ රටවලට මේ රටේ සාරය රැගෙන ගොස් තිබේ. මහජනතාවගේ හා එවකට පැවැති පාලකයන්ගේ මෙම අනුවණ ක්‍රියා නිසා වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ වන වැස්මට හා වන සතුන්ටය.
කෙසේ නමුත් 1948 වසරේ පෙබරවාරි 04 වැනිදා මේ රටට නිදහස උදා වූ අතර, මේ නිසා විදේශීය ජාතිකයන් සතුව තිබූ සියලුම දේ අප රට සතු විය. මේ නිසා එතැන් පටන් සෑම කෙනෙකුගේම වගකීම වියයුතුව තිබුණේ මේ රටේ සම්පත් පෙර පරිදිම ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමය. එහෙත් නිදහස ලබා වසර කිහිපයක් ගත වනවිට නව ගොවි ජනපද ඇති කිරීම ඇතුළු වෙනත් සංවර්ධන කටයුතු සඳහා පෙර පරිදිම කැලෑ ඉඩම් එළිපෙහෙළි කිරීම සිදු වී තිබේ.
මේ ආකාරයට වන වැස්ම විනාශ කර දැමීම නිසා අද වනවිට රට තුළ ඉතිරිව තිබෙන වන වැස්මේ ප්‍රමාණය සමස්ත භූමියෙන් 16%ක් දක්වා අඩු වී ඇත. එහෙත් 1800 වසර වනවිට මේ රටේ සමස්ත භූමියෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් වන වැස්මෙන් වැසී තිබූ බවට තහවුරු වී තිබේ. රටක පරිසර සමතුලිතතාව නිසි ලෙස පවත්වාගෙන යාමට නම් ඒ රටේ සමස්ත පොළෝ භූමියෙන් 30%ක් හෝ වන වැස්මෙන් වැසී තිබිය යුතුය.
මේ නිසා 2030 වසර වනවිට දැනට පවතින වන වැස්මේ ප්‍රමාණය 30%ක් දක්වා ඉහළ දැමීම සඳහා වැඩ කටයුතු කරන බවට වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට පොරොන්දු ලබාදුන්නේය. තමා පරිසරයට දැඩිව ආදරය කරන බවත්, මේ නිසා අමාත්‍යාංශ බෙදාදීමේදී අනිවාර්යයෙන්ම පරිසර අමාත්‍යාංශය තමන් යටතට ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවල සඳහන් කළේය.
ජනාධිපතිවරයා කී ආකාරයටම අමාත්‍යාංශ බෙදාදීමේදී පරිසර අමාත්‍යාංශය තමා සතු කරගැනීමටද ඔහු කටයුතු කළේය. පසුගිය ආණ්ඩු සමයේදී සිදුකළ පරිසර විනාශය නවතා දමා පරිසරය සුරක්ෂිත කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවටද පරිසර අමාත්‍යවරයා වීමෙන් පසු ඔහු ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළේය.
මීට අමතරව කැලෑ කැපීම නවතා දමා දැව ජාවාරම නැවැත්වීම සඳහා පරිසරය ආරක්ෂා කරගැනීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට පවරන බවටද මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති උත්සවයකදී ජනතාව හමුවේ පොරොන්දු විය. එහෙත් ඒ පොරොන්දු අද පුස්සක් බවට පත්වෙමින් ඇතැයි පරිසරවේදීන් සහ පරිසර සංවිධාන සඳහන් කරයි.
ඒ වෙනුවට පසුගිය ආණ්ඩුව සේම වර්තමාන ආණ්ඩුවද සියලුම පරිසර නීතිරීති උල්ලංඝනය කරමින් පරිසරය විනාශ කර දමන බව එම පිරිස් පෙන්වා දෙති. පරිසරය විනාශ කිරීම යටතේ පසුගිය ආණ්ඩුවට එල්ල වූ ප්‍රබලම චෝදනාව වූයේ රක්ෂිත භූමි, වනෝද්‍යාන සහ අභය භූමි විනාශ කර දමා ජනාවාස ඉදිකිරීම පිළිබඳවය.
මෙහිදී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි මෝදර ගං ආරු ඔයට මායිම්ව පිහිටි විල්පත්තු උතුරු අභය භූමිය 2010 වසරේදී එළිපෙහෙළි කරනු ලැබිණි. ජනාවාස ඉදිකිරීමට බව පවසමින් එවකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් එවකට පැවැති ආණ්ඩුවේ අනුදැනුම මත මෙම ක්‍රියාව සිදුවිය.
එහෙත් මෙම ක්‍රියාව රටේ පරිසර නීති උල්ලංඝනය කිරීමක් වූ අතර, මේ නිසා පරිසර සංවිධාන සහ පරිසරයට ආදරය කළ සෑම කෙනෙකුම මෙම ක්‍රියාවට එරෙහිව විරෝධය දක්වනු ලැබිණි. මේ නිසා එය නවතා දැමීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේය. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමග සිදුකළ පරිසර විනාශය නවතා දමන්නට දේශපාලනඥයන්ට සිදුවිය. මේ ආකාරයට වන විනාශය නතර වූ බවක් පෙන්නුම් කළද, ඊට වසර දෙකකට තුනකට පසු හොර රහසේ නැවත වතාවක් එම ප්‍ර‘දේශවල කැළෑ කැපීම සිදුවිය.
දේශපාලඥයන්ගේ සහයෝගය මත මෙම වන විනාශය සිදුකෙරුණු අතර, ඒ හරහා අතිශය වටිනාකමකින් යුත් ගහකොළ විනාශ කර එම ස්ථානවල කුඩා කුඩා ගෙවල් ඉදි විය. මේ ආකාරයට සුළුවෙන් සිදු වූ වන විනාශය මේ වනවිට මහා වන විනාශයක් බවට පත්ව තිබේ.
මීට අමතරව නව ජනාවාස ඉදිකිරීමට බව පවසමින් රක්ෂිත හතරක කැළෑ ඉඩම් අක්කර 3,400 ක් එළිපෙහෙළි කිරීමද මේ වනවිට ආරම්භ කර ඇතැයි පරිසර සංවිධාන සඳහන් කරයි.
මෙම රක්ෂිත හතරම මුසලි ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබෙන අතර, මෙම රක්ෂිත හතරම පොදුවේ හඳුන්වනු ලබන්නේ කල්ආරු රක්ෂිතය ලෙසිනි. කල්ආරු ඔයේ ජලපෝෂක පිහිටා තිබෙන්නේද මෙම රක්ෂිත හතර තුළය. ජනාවාස ඉදිකිරීම සඳහා ලබාගැනීමට නියමිත ඉඩම් අක්කර 3400 ක ප්‍රමාණයෙන් 2500 ක් ලබාගැනීමට නියමිතව තිබෙන්නේ මරිච්චුකඩචි - කරඩික්කුලි වන රක්ෂිතයෙනි.
මීට අමතරව විලත්තිකුලම වන රක්ෂිතයෙන් අක්කර 700 ක්, චෙප්පාල් වන රක්ෂිතයෙන් අක්කර 100 ක්, වාවිල්ලු රක්ෂිතයෙන් අක්කර 100 ක් වශයෙන් පවරාගැනීමට නියමිත අතර, ජනාවාස ඉදිකිරීම සඳහා මේ වනවිටත් කැලෑ කැපීම ආරම්භ කර තිබේ. නැවත පදිංචි කිරීමේ මුවාවෙන් මෙම කටයුත්ත සිදු වෙයි. නැවත පදිංචි කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති අතර, එහෙත් වනාන්තර විනාශ කර නැවත පදිංචි කිරීම රටටත් ජාතියටත්, අනාගත පරපුරටත් කරන මහා අපරාධයකි.
මන්ද යත් යම් භූමියක් ආරක්ෂිත ප්‍ර‘දේශ බවට පත් කර තිබෙන්නේ එය රැකගත යුතු දෙයක් බවට පත්ව ඇති නිසාය. මෙවැනි දෑ විනාශ කිරීම හරහා එහි ඵලවිපාක විඳීමට සිදුවන්නේද මේ රටේ ජනතාවටමය. මීට අමතරව වන සතුන්ට තමන්ගේ වාසස්ථාන අහිමි වී යන අතර, ඒ හරහා වන සතුන් හා මිනිසුන් අතර ගැටුම් ඇති වීම සිදු වෙයි. මීට අමතරව තමන්ගේ ඉඩමේ තිබෙන ගහක් කපා දැමීමට මිනිසුන් අකමැති වුවත් පොදු දේපොළක් ලෙස පවතින ස්ථාන තමන්ට අයත් නොවන බව සිතමින් ඒවා විනාශ කර දැමීම වර්තමානය වනවිට දැකිය හැකි ලක්ෂණයකි.
මේ නිසා ආරක්ෂිත භූමි තුළ පදිංචි කරන ජනතාව ආසන්නයේ පිහිටි ජාතික වනෝද්‍යානයට අයත් ගහකොළ විනාශ කර නොදමනු ඇතැයි කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක. පාලකයන් තේරුම්ගත යුතු බොහෝ දේ තුළ මෙම අනතුරු පිළිබඳවද අවධානය යොමුකළ යුතුය. ජනාවාස ඉදිකිරීම සඳහා කැලෑ එළිපෙහෙළි කරන කල්අරු රක්ෂිතය (පොදුවේ) වන සංරක්ෂණ ආඥා පනතේ 03 වැනි වගන්තියට අනුව 2012 වසරේ ඔක්තෝබර් 10 වැනිදා රක්ෂිතයක් බවට පත් කර තිබේ. 1779/15 දරණ ගැසට් නිවේදනය මගින් මෙම රක්ෂිතභාවය ඇති කර තිබෙන අතර, මෙහිදී මරිචචුකඩ්ඩි - කරඩික්කුලි රක්ෂිතයට හෙක්ටයාර් 6042 ක් ඇතුළත් වී ඇත.
මීට අමතරව එම වසරේ මැයි 21 වැනිදා අංක 175912 දරන ගැසට් නිවේදනය මගින් විලත්තිකුලම වන රක්ෂිතය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, එහි විශාලත්වය හෙක්ටයාර් 2108 කි. කල්ආරු රක්ෂිතයට අයත් ඉතිරි සියලුම ඉඩම් වෙප්පායි හා මාවිල්ලු රක්ෂිතය යටතේ පවතී. මේ ආකාරයට රක්ෂිත බවට පත් වූ වනාන්තර හතරක් විනාශ කර දමන්නේ මොල්ලිකුලම හා මරිච්චිකඩවි ගම්මානවල අවතැන් වී සිටින ජනතාව පදිංචි කිරීමට බවද වාර්තා වේ.
ප්රශ්නය වි තිබෙන්නේ යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම් සිදු කිරීමේදී අදාළ ගම්මානවලින් ඉඩම් සොයාගෙන නැවත පදිංචි නොකිරීමය.
ජනතාවට අයත් යම් ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ සතුව තිබෙන නිසා සමහර පුද්ගලයන්ට තම පාරම්පරික ඉඩම් අහිමි විය හැකිය. ඒ සඳහා සිදුකළ යුතු වන්නේ කැලෑ නොවන විකල්ප ඉඩම් තුළ ජනතාව පදිංචි කරවීමයි.
මීට අමතරව උතුරු නැගනෙහිර ප්‍රදේශවල ඉඩම් බෙදාදීම සඳහා ජතික ප්රතිපත්තියක්ද සකස් කළ යුතුය. මන්දයත් වෙනත් ප්‍ර‘දේශවලින් පැමිණි පිරිස්ද යුද්ධයෙන් අවතැන් වූ ජනතාව සේ පෙනී සිටිමින් ඉඩම් ලබාගැනීමට උත්සහ ගන්නා බවට තොරතුරු වාර්තා වන නිසාය.
මීට අමතරව නැවත පදිංචි කිරීම් සිදු කළයුත්තේ කුමන ස්ථානවලද යන්න පිළිබඳවද ජාතික මට්ටමේ කමිටුවක් හරහා සැලසුම් සකස් කළ යුතුය. එසේ නොමැතිව තමන්ට ඡන්දය දෙන ජනතාවට ඉඩම් ලබාදිය යුතු බව පවසමින් දේශපාලඥයන්ට අවශ්‍ය ආකාරයට ඉඩම් බෙදාදීම හා රටේ ඉඩම් අත්පත් කරගැනීමට අවස්ථාව ලබානොදිය යුතුය.
මීට අමතරව තම තනි මතයට අනුව කටයුතු කර තිබෙන මෙම දේශපාලඥයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමද පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන වගකීමකි. මන්දයත් 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධනය වූ 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක කැළෑ එළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, පදිංචි වීම, වගා භූමි සකස් කිරීම ආදිය නීතිවිරෝධී කටයුතු බවට පත්වන නිසාය.
මීට අමතරව මෙම ක්‍රියා සඳහා අනුබල හා ආධාර දීමද දඬුවම් ලැබෙන වරදක් ලෙසද සඳහන් කර තිබේ. මෙම නීති උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කළ හැකි අතර, එහිදී වරදකරු වුවහොත් ඔහුට රුපියල් 5,000 ක් හා 50,000 ක් අතර දඩ මුදලක් නියම කළ හැකිය. මීට අමතරව වසර දෙකක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමටද හැකිය. මීට අමතරව මෙම දඩ දෙකටම එකවර යටත් කිරීමට හැකියාව තිබේ.
මෙම වනාන්තර එළි කිරීම වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කිරීමට අමතරව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත්ද උල්ලංඝනය කිරීමකි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පරිසර පනතේ 23 (ප) වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වැනිදා අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර් එකකට වඩා වනාන්තර එළිපෙහෙළි කිරීම හා පවුල් 100කට වඩා එකවර පදිංචි කිරීමට පෙර ඒ සඳහා පරිසර ඇගයීම් පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබාගත යුතු වේ.
එහෙත් එවැනි අවසරයක් මේ සඳහා ලබාගෙන නැත. මීට අමතරව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23 (අ) සහ 47 වැනි වගන්තියට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 වැනිදා නිකුත් කළ 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පදිංචි කිරීමකට පෙර හා හෙක්ටයාර් දෙකකට වැඩි භූමි එළිපෙහෙළි කිරීමට පෙර හා ඉදිකිරීම සිදු කිරීමට පෙර පුරාවිද්‍යා හානි ඇගයීම ක්‍රියාවක් සිදුකරන ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එවැනි කටයුත්තක්ද මෙහිදී සිදුකර නැත.
මීට අමතරව වන සංරක්ෂණ ආඥා පනතේ 07 වැනි වගන්තියට අනුව වනයට සිදුකළ හානිය දඩයක් ලෙස අය කරගැනීමේ නීති පවතින අතර, 07 වැනි වගන්තියට අනුව අනවසරයෙන් ඇතුළු වීම, රැඳී සිටීම ඇතුළු වැරදි සිදුකරන පිරිසද අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.
මීට අමතරව ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන්ද වරදකරුවන් කළ හැකි අතර, වරදකරු වුවහොත් ඔහුට වසර 05 ක් දක්වා සිරගත කිරීම, රුපියල් ලක්ෂයත් රුපියල් ලක්ෂ 10 ත් අතර දඩ මුදලකට යටත් කිරීමට හෝ මෙම දඩ දෙකටම යටත් කළ හැකි නීති පවතී. එහෙත් මෙතෙක් මෙම විනාශය නවතා දැමීමට නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින ආයතන ඉදිරිපත් වී නැත. එය රටේත්, අනාගත පරම්පරාවේත් අවාසනාවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd