ගිම්හාන සෘතුවේ නිමාවත් සමග ජපානයම සරත් සෘතුවෙන් විචිත්‍රවත් වන්නේය. සරත් කාලයේ මුළු පරිසරයම සිත්තරෙකු ඇඳි සිතුවමකැයි මට සිතේ. කොළ, රතු, තැඹිලි සහ කහ ආදී නෙක නෙක වර්ණගැන්වූ ශාක පත්‍ර බැලූ බැලූ අතය. සිහින් සීතලක් මුසු වූ සුළඟක් වරින් වර ගත දැවටේ. සොබා සොඳුරු බවින් අලංකාර සරත් සෘතුවේ නිමාවත් සමගම ඇරඹෙන ශීත සෘතුව ජපාන කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණද ශීත සෘතුව අත ළඟටම ආ සෙයකි.
සරත් කාලයේ වෛර්ණ කොටගත් පත්‍ර පිරී තිබූ ගස්වල පත්‍ර තුරු අගින් බැස යන්නට පටන් ගෙන තිබේ. විටෙක මුළු සිරුර පුරා විදුලි සැර දුවන්නාක් මෙන් දැනෙන සීතලකි. ඒත් සරත් සෘතුවේ බලපෑම මුළුමනින්ම අවසන් නොවන බව කියාපාන සලකුණු තවමත් ඉතිරිව ඇත. මාස තුනක් පුරාවට අත්විඳිය හැකි සරත් සෘතුව සැප්තැම්බර් මස මැද වන විට හොක්කයිඩෝ කඳු පන්තියෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් ජපානයේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වේ. නොවැම්බර් මස අග පමණ වන විට තෝකියෝවට සහ කියෝතෝවට පැමිණෙන සරත් සෘතුව ශීත සෘතුවට ඉඩ ලබා දී නික්ම යයි. දෙසැම්බර් මාසය තුළද ප්‍රදේශ කිහිපයක සරත් සෘතුවේ විචිත්රත්වය දැකබලා ගැනීමේ අවස්ථාව නැතුවාම නොවේ.
තෝකියෝව වැනි අති නාගරික ප්රදේශයනට වඩා ජපානයේ ඈත පිටිසර ගම්බද පළාත්වලදී සරත් සෘතුවේ නියම සුන්දරත්වය දැකගත හැකිය. එක යායට වැඩී ඇති මහා දැවැන්ත වෘක්ෂලතා මෙන්ම ඒ අතර පිහිටි කුඩා කුඩා තුරුපතින්ද නෙක නෙක වර්ණයෙන් මේ සමයේදී හැඩවෙයි. කඳුකර පළාත් වල ලොකු කුඩා කඳු පන්ති සිසාරා බැලූ බැලූ අත රක්ත වර්ණ ගැන්වූ ගස් කොළන් පරිසරයට ගෙන එන්නේ අපමණ සුන්දරත්වයකි. එපමණකුදු නොව ජපානයේ අගනගරය මෙන්ම හරිත පැහැයෙන් තරමක් අඩු වූ තෝකියෝවේද Meiji JinguGaien, Meiji-jingu Shrine, KoisikawaKorakuen ආදී උද්‍යානයන් හි සහ රජ මාලිගාවේ නැගෙනහිර උද්‍යානයේද මේ සමයේදී ජපන් ජාතිකයන් ඔබ මොබ සැරිසරනු පෙනේ.
එක් පසෙක ගස් පේළියක් යට පේළියට පුටු තබාගෙන නෙක නෙක වර්ණයන් සහ දර්ශනයන් සජීවීව දකිමින් හා විඳිමින් එය චිත්‍රයට නගන පිරිසකි. තවකෙක් සිය කැමරා කාචය ඒ ඒ අත යොමු කරමින් කිසිවෙකු නොදුටු, කිසිවෙකුටත් හසුකර ගත නොහැකි දසුනක් සිය කැමරා කාචයේ සනිටුහන් කර ගැනීමට උත්සාහ කරති. මේ අතර මේ කිසිවක් සිදුනොවන පරිද්දෙන් තුරු අතර එකිනෙකාගේ හුස්ම වැටෙන හඬ පවා ඇසෙන තරමට ළංවූ පෙම්වතුන් පෙම් සුව විඳී. ඒ අතරම වයස අවුරුදු 3ක හෝ 4ක සිඟිති දියණියක සහ වයස අවුරුදු 6ක හෝ 7ක වයසේ යැයි අනුමාන කළ හැකි පුතකු සමගින් මැදි වයසට එළඹෙමින් සිට යුවළක් සරත් සෘතුවේ සුන්දරත්වය විඳිමින් විනෝද වෙති. මේ සියලු දසුන් විඳිමින් මා ද රජ මාලිගාවේ නැගෙනහිර උද්‍යානයේ ඇවිද ගියෙමි.
Matsutake නම් හතු වර්ගයද, Sanm නම් මාළු වර්ගය මෙන්ම, shinmai සහල් වර්ගයද සරත් සෘතුවේදී කරළියට පැමිණෙන ජපානයට ආවේණික ආහාර වෙයි. හතු, මාළු සහ සහල් මෙන්ම මස් වර්ගද යොදා ගනිමින් සරත් සෘතුවේදී පමණක් සකස් කරනු ලබන අහාර වේලක රස බැලීමේ අවස්ථාවක් ජපන් හිතවතෙකුගේ අරාධනාවෙන් මට ද හිමිවුණි.
shinmai සහලින් සැකසූ බත් තරමක් තෙත ස්වභාවයකින් සහ පැණි රසකින් යුක්තය. එයට ගින්ග්කෝ (gingko) ඇට එකතු කර ඇති අතර, ඒ නිසාම එය වෙනස් රසයකින් සහ හැඩයකින් යුක්ත යැයි මට සිතුණි. ලුණු සමග මිශ්‍ර කොට ග්‍රිල් කරගත් Sanma මාළු ලාංකික රසයට තරමක් හුරු වුවද එකී සියල්ල එක්ව ගත් විට වෙනස්ම අකාරයක රසයක් විඳිය හැකි විය. එසේ සරුවට සප්පායම් වූ රාත්‍රී ආහාර වේලෙහි අතුරුපස වූයේ සරත් සෘතුවේදී මුළු ජපානයේම සරුවට වැවෙන කකි හෙවත් persimmon නම් පලතුරකි. එසේම පෙයාස්, ඇපල් මෙන්ම මැන්ඩරීන් දොඩම් සමගින් රාත්‍රී අහාරය අවසන් වූයේ ගත මෙන්ම සිතද ප්‍රීතිමත් කරමිනි.