Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පාර්ලිමේන්තුව පෙරේදා (23දා) සභාව කල් තැබීමේ අවස්ථාවේදී යෝජනාවක් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ අවධානය යොමු කරනු ලැබුවේ රට පුරා විවිධ ප්‍රදේශවල පවත්නා දැඩි නියඟය හේතුවෙන් ජනතාව මුහුණදී ඇති ජීවන අරගලයේ පීඩිත තත්ත්වය වෙතය.
එසේම, කුඩා දේශපාලන කැළඹිලි මගින් ජනතාව මුහුණදී ඇති ගැටලු යටපත් කරමින් ඇති බව පෙන්වා දුන් ඒ මහතා එදිනෙදා සටන් ජවනිකා වෙත මුල් තැන ලබාදීමට මාධ්‍ය පෙළඹී සිටීම අවාසනාවට කරුණක් බවද සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දිසානායක මහතා වැඩිදුරටත් මෙලෙස සිය අදහස් දැක්වීය.
“මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පවුල් 340,000ක ප්‍රමාණයක් කියා මා ඇත්තටම සඳහන් කර තිබුණත්, ගොවි පවුල් 517,825ක ප්‍රමාණයක් නියඟයෙන් පීඩා විඳිමින් සිටිනවා. නියඟය දැඩි ලෙස බලපා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ 163,000කට වැඩි ජනතාවක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ 139,000කට වැඩි ජනතාවක්ද නියඟයෙන් මේ වනවිට පීඩාවට පත්ව තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල දිස්ත්‍රික්ක වැඩි ප්‍රමාණයක් නියඟයේ බලපෑමට ලක්ව තිබෙනවා.
ජනතාවට තම වගා බිම් සඳහා පමණක් නොව බීමට පවා ජලය සොයාගැනීම විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන්නෙ පවතින ජල ධාරිතාව 15'ක් දක්වා පහත බැහැලා කියලා. ප්‍රමාණවත් වැසි ඉදිරියේදී අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක්ද වාර්තා වෙනවා.
මේ තත්ත්වය තුළ ජනතාව තවදුරටත් පීඩාකාරී තත්ත්වයකට ලක්වෙන්න පෙර ඔවුන්ගේ මෙම ජල ගැටලුවට විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. ඒ සඳහා කඩිනමින් සහන සහ ඔවුන්ගේ හානිවූ වගාවන් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගත යුතුව ඇතැයි මම මෙම සභාවට යෝජනා කරනවා.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම නියං තත්ත්වය පැතිරෙමින් තිබෙනවා. සමහර පළාත්වල කන්න තුනක් වගා කෙරිලා නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් මහවැලි 'එච්' කලාපයේ පසුගිය කන්න තුනේම වගා කිරීම් සිදු නොවුණු ප්‍රදේශ තිබෙනවා. සමහර ප්‍රදේශ තිබෙනවා කන්න දෙකක් මුළුමනින්ම වගා කරලා නැහැ. සමහර ප්‍රදේශ තිබෙනවා මෙවර මහ කන්නය පමණක් වගා නොකරන ලද. ඒ නිසා මෙම තත්ත්වය එක් එක් දිස්ත්‍රික්කවල, එක් එක් පළාත්වල විවිධාකාරයෙන් තමයි පැතිර තිබෙන්නේ.
මෙතැන හඳුනාගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි, තමන්ගේ වගාබිම් මුළුමනින්ම වගා නොකරන ලද ගොවින් පිරිස්. ඒගොල්ලන් කන්න තුනක් වගා කළේ නැහැ. කන්න තුන වගා නොකරපු ගොවීන් ඉන්නවා කන්න දෙක වගා නොකරපු ගොවීන් ඉන්නවා.
එක් කන්නයක් වගා නොකරපු ගොවීන් ඉන්නවා ඒ වාගේම තව ගොවීන් පිරිසක් ඉන්නවා ඔවුන් වගා කළා නමුත්, ඔවුන්ගේ වගා විනාශයට පත්වුණා. මොකද ජලය තිබෙනවාය කියන විශ්වාසයෙන් යුතුව ඒ මොහොතේ ඔවුන් වගා කළත්, ඒ වගා කිරීම්වලින් නිසි අස්වැන්නක් ලබාගැනීම සඳහා අවශ්‍ය ජලය සැපයීමට නොහැකිවීම හේතුකොට ගෙන වගා විනාශ වෙලා තිබෙනවා.
අනුරාධපුර, පොළොන්නරුව, විශේෂයෙන්ම මොනරාගල හම්බන්තොට හා අම්පාර වැනි ප්‍රදේශවල තව හේන් ගොවීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් වැවකින් හෝ ගඟකින් හෝ විධිමත් වාරිමාර්ග රටාවකට අනුව වතුර ලැබෙන පිරිස් නොවෙයි. ඔවුන් හේන් ගොවිතැන් කරනවා, වර්ෂාව අපේක්ෂා කරමින් එතකොට එසේ වගා කරන ලද හේන් ගොවිතැන් අහිමි වුණු ගොවීන් සංඛ්‍යාවකුත් ඉන්නවා.
මේ සමස්ත පළාත්වලම ආර්ථිකයේ විශාල පංගුවක් ඇති වෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මතයි. ඒ අනුව තමයි කඩේට බිස්නස් එකක් තිබෙන්නේ. හෝටලයකට බිස්නස් එකක් තිබෙන්නේ. හාඩ්වෙයාර් එකකට බිස්නස් එකක් තිබෙන්නේ.
රෙදි කඩයකට බිස්නස් එකක් තිබෙන්නේ. ඒ නිසා කෘෂි කර්මාන්තය මත පදනම් වුණු ආර්ථිකයක් තමයි අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, අම්පාර, පුත්තලමේ ආණමඩුව පැත්තට බර වෙන්න සහ හම්බන්තොට කියන මේ ප්‍රදේශ ගණනාවකම තිබෙන්නේ.
අද අපේ රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පාසලේ අධ්‍යාපනය මත පමණක් රඳා පවතින්නේ නැති බව අපි දන්නවා. දරුවෝ පළමුවැනි පන්තියට භාරදෙන කොටම ඒ දරුවා පෞද්ගලික පන්තියටත් භාරදෙන්න දෙමාපියන් පෙළඹෙනවා. හැබැයි ඒ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාවක් අද එම පවුල්වලට නැහැ.
ඒ වගේම ඔවුන්ගේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට පුළුවන් තත්ත්වයක් ඔවුන්ට නිර්මාණය වෙලා නැහැ. ඒනිසා, මේ නියංකාරී තත්ත්වය එම පළාත්වල සමස්ත ජන ජීවිතය, ආර්ථිකය සාමාජීය ජීවිත මුළුමනින්ම බිඳ වට්ටලා තිබෙනවා.
සමහර මාධ්‍ය ආයතනවල මේ තත්ත්වය යම් ප්‍රමාණයකට වාර්තා කරලා සමාජයේ පෙළඹීමක් හැදිලා තිබුණත් අවාසනාවකට අපේ මාධ්‍ය අද වැඩිපුර පෙළඹිලා තිබෙන්නෙ එදිනෙදා සටන් ජවනිකා ඉදිරිපත් කරන්නයි.
පසුගිය පුවත්පත් ගණනාවක් අපි හොයලා බැලුවොත් ඒ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත්වෙලා තිබුණේ, රවි කරුණානායක අමාත්‍යවරයා ඇමති ධුරයේ ඉඳියිද නැද්ද, යයිද කියන කාරණයයි. මෑත කාලයේ පුවත්පත් විශාල ප්‍රමාණයක් අපි අවුස්සලා බැලුවොත්, ඒවායේ ප්‍රධානතම ශීර්ෂපාඨය බවට පත්වෙලා තිබෙන්නේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට කවර ඉරණමක් අත්වෙයිද කියන කාරණයයි.
මෙවැනි උඩ තලයේ සිද්ධ වෙන කුඩා, කුඩා දේශපාලන කැළඹිලි විසින් ඇත්ත සමාජ ජීවිතයේ ජනතාව මුහුණදී තිබෙන ගැටලු යටපත් කරමින් තිබෙනවා. ඒ නිසාම තමයි අද පාර්ලිමේන්තුව තුළවත් මේ පිළිබද විධිමත් සංවාදයක් සාකච්ඡාවක් ආරම්භ කරන්නට මම උත්සාහ කළේ.
මොකද, අපිටත් මහවැලියේ කුඹුරු තමයි තිබුණේ. අදත් මහවැලියේ කුඹුරුවලින් ලැබෙන වී ප්‍රමාණයෙන් තමයි අපේ ගෙදරටත් හාල් සපයා ගන්නේ. නමුත් දැන් කන්න තුනක් අපට වී නැහැ. මේක තමයි ඇත්තම කතාව. මේ තත්ත්වය සමස්ත ජනතාවගේ ආර්ථිකය සහ සමාජ ජීවිතය කඩා වට්ටලා තිබෙනවා.
ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා ගිහිල්ලා බැලුවොත් මීගලෑව පැත්තේ, එහෙම නැතිනම් ගල්ගමුවේ, නැතිනම් ගිරිබාවේ ගොවි ජනතාවගේ ජීවිත මුළුමනින්ම ව්‍යසනයට පත්වෙලා තිබෙන බව දකින්න පුළුවන්. ඒනිසා රජයක් හැටියට මේ පිළිබඳව විධිමත්ව අවධානය යොමු කරලා වහාම එම ජනතාවගේ ආර්ථික ජීවිතයත්, සමාජ ජීවිතයත් සහ එම කලාපයේ ආර්ථික තත්ත්වයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.
මේ තත්ත්වය මතු වෙනකොටම පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා, මාස හතරක් - අප්‍රේල්, මැයි, ජුනි, ජූලි කියන මාස හතරේ ගොවි පවුලකට රුපියල් 10,000 බැගින් ලබා දෙනවාය කියලා. මම පළමුව කතා කරන්නේ කෘෂිකර්මාන්තයේ යෙදුණ අය ගැනයි. එහි අතුරු කණ්ඩායම් ගැන නොවෙයි.
ගොවි පවුලකට රුපියල් 10,000 බැගින් ලබාදෙනවා කිව්වා. ඒ අනුව ත්‍රිකුණාමලේ, කන්තලේ ප්‍රදේශයේ ගොවි පවුල් සඳහා රුපියල් 10,000 පළමු වාරික මුදල කියලා රුපියල් 8,650ක් දුන්නා. වෙන කොහේවත් දුන්නේ නැහැ. රක්ෂණයට කියලා රුපියල් 1350ක් කපාගෙන ඉතුරු ගණනයි දුන්නේ.
ඒක මොන රක්ෂණයක්ද? විපතින් විනාශ වුණු ගොවි පවුලකට රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ආධාරයක් දෙනවා නම්, ඒක රක්ෂණයකින් දීපු මුදලක්ද? රුපියල් 10,000ක් දෙනවාය කියලා එකඟතාවට ඇවිල්ලා රක්ෂණයට රුපියල් 1350ක් කපලා රුපියල් 8650ක් ගොවි පවුලක් වෙත ලබා දෙනු ලැබුවා.
හැබැයි ඒක ලබාදුන්නේ අප්‍රේල් මාසයේ, ත්‍රිකුණාමලයේ සහ කන්තලේ ගොවි ජනතාවට විතරයි. ඊට පසුව මැයි මාසයේ හෝ ජුනි මාසයේ හෝ ජූලි මාසයේ හෝ ගොවි ජනතාවට එම ආධාර මුදල ලැබුණේ නැහැ. එක වාරයයි ලැබුණේ. ඊට පසුව මෙම රුපියල් 10,000 මුදල පසුගිය ජුලි මාසය වෙනුවෙන් අගෝස්තු මාසයේ 09 වැනි දින ගොවි පවුල් 65,000ක් සඳහා රුපියල් 10,000 මුදල ලබාදී තිබුණා.
ඒකත් අර රුපියල් 1350 කපාගෙනයි දීලා තිබෙන්නේ. රුපියල් 10,000 බැගින් මාස හතරකට දෙනවා කියලයි කිව්වේ. මේක ජනාධිපතිතුමා පොළොන්නරුවේදී කිව්වා. ත්‍රිකුණාමලයේදී කිව්වා, අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගොවි පවුලකට රුපියල් 10,000 බැගින් මාස හතරක් ලබාදෙන බව.
හැබැයි අප්‍රේල් මාසයේ කන්තලේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගොවීන්ට රුපියල් දහදාහ බැගින් ලබා දුන්නාට, අනික් අයට ජූලි සහ අගෝස්තු මාසවල එක් වාරිකයක් පමණක් ලබාදී තිබෙනවා. ඒ අනුව මසකට රුපියල් දහදාහ බැගින් ලබාදෙනවාය කියන වාරිකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවෙයිනේ. ඒ නිසා අපි ඒ කාරණා ගැන දන්නේ නැහැ. හැබැයි අපි මේ කාරණය ගැන දන්නේ ජනාධිපතිවරයා විසින් ගොවි ජනතාව අමතා කරන ලද ප්‍රකාශයෙන්.
ඒ ප්‍රකාශය මා ළඟ තිබෙනවා. එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. 'රුපියල් දහදාහ බැගින් ඉදිරි මාස හතරක කාලය තුළ ලබා දෙනවා' ය කියලා. එතුමා මාස හතර හැදුවේ යල කන්නයේ අස්වැන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙනුයි. ඒ මාස හතර තමයි අප්‍රේල්, මැයි, ජුනි, ජූලි මාසයේ අග වනකොට යල කන්නයේ වගා කරපු අස්වැන්න ලැබෙනවා.
නමුත් මේ වතාවේ යල කන්නයේ වගා වුණෙත් නැහැ. ඒක තමයි ඊළඟ ප්රශ්නය. නමුත් එතුමා ඉතා පැහැදිලිව එදා කිව්වා, 'මාස හතරක් එක දිගට මේ රුපියල් දහදාහ ලබාදෙනවා' කියා. නමුත් ඒ රුපියල් දහදාහ ලබාදුන්නේ නැහැ. ඔබතුමන්ලා එක් වාරිකයක් ලබා දෙනවාය කියලා කිව්වාට එක් වාරිකයකින් රුපියල් දහදාහක් ලැබුණේ නැහැ.
ඊළඟට, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමා මතු කළ ප්රශ්නය ගැන බලමු, මේ රුපියල් 10,000 කතාව ආවේ ගොවි පවුල් ඒකක සඳහායි. නමුත් මේ නියඟයෙන් විපතට පත් වෙලා තිබෙන්නෙ එම පළාත්වල කෘෂි කර්මාන්තයේ යෙදෙන පවුල ඒකක විතරක් නොවෙයි. ඒ පළාත්වල අනෙකුත් සියලු පවුල් ඒකකත් යම් විපත්තිදායක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
එමනිසා ගොවි ජනතාවට විශේෂ ආධාර වැඩපිළිවෙළක් හදන අතර පොදු ජනතාව ඉලක්ක කරගත්ත ආධාර වැඩපිළිවෙළක අවශ්‍යතාවත් තිබෙනවා. අන්න ඒ අවශ්‍යතාව තමයි දැන් ප්‍රා‘දේශීය ලේකම් මට්ටමින් දැන් රාජ්‍ය පරිපාලන ඇමතිතුමා කියපු දේ, ක්‍රියාත්මක වෙන්නේ. සති දෙකකට රුපියල් 2500ක බඩු මල්ලක් ලබාදීම.
මා ළඟ තිබෙනවා මේ බඩු මල්ලට අයත් ද්‍රව්‍ය ලැයිස්තුව. පිටි කිලෝ 8.25ක්. ඒ කියන්නේ පිටි කිලෝ 8කුත් තව ග්‍රෑම් 250ක්. සීනි කිලෝග්‍රෑම් 2යි. කව්පි කිලෝග්‍රෑම් 1යි. පරිප්පු කිලෝග්‍රෑම් 1යි. තේ කුඩු ග්‍රෑම් 200යි. ලුණු කැට කිලෝග්‍රෑම් 1යි. මිරිස් කුඩු ග්‍රෑම් 250යි.
කහ කුඩු ග්‍රෑම් 100, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100යි, තුනපහ කුඩු ග්‍රෑම් 100යි සෝයාමීට් ග්‍රෑම් 250යි. ටින් මාළු 2යි, පැනඩෝල් 2යි, මේ බඩුවල වටිනාකම රුපියල් 2502යි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමතිතුමනි, හරි නේද? ඔබතුමා එවලා චක්‍රලේඛයේ මේවා නේද තිබෙන්නේ? ඒ කියන්නේ සති දෙකෙන් දෙකට පිටි කිලෝ 8යි ග්‍රෑම් 250යි.
මා කලින් කිව්වා වාගේ සීනි කිලෝග්‍රෑම් 2යි කව්පි කිලෝග්‍රෑම් 1යි. පරිප්පු කිලෝග්‍රෑම් 1යි. තේ කුඩු ග්‍රෑම් 200යි,ලුණු කැට කිලෝග්‍රෑම් 1යි මිරිස් කුඩුග්රෑම් 250, කහ කුඩු ග්‍රෑම් 100, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100යි. තුනපහ කුඩු ග්‍රෑම් 100යි, සෝයාමීට් ග්‍රෑම් 250යි. ටින් මාළු 2යි, පැනඩෝල් 2යි - රුපියල් 1.50ක් දාලා තිබෙනවා ඒකට. එතකොට මේ බඩුවල එකතුව රුපියල් 2,502යි.
රුපියල් 2,502ක ආහාර මල්ලක් ලබා දෙන්න තමයි ඔබතුමන්ලා දැන් මේ චක්‍ර‘ලේඛය යවා තිබෙන්නේ. හැබැයි මේ රුපියල් 2,502 ආහාර මල්ල ලබා ගැනීමට මට ඒ අය අවම වශයෙන් දින පහක වරු පහක් පොදු කාර්යයක යෙදෙන්න ඕනෑ. එක්කෝ පාර හදන්න ඕනෑ. එක්කෝ කනත්ත ශුද්ධ කරන්න ඕනෑ. එක්කෝ ඇළවේලි බැඳගන්න ඕනෑ.
ඉස්සරත් ඒ ක්‍රමය තිබුණා. ඉස්සරත් ආධාර දෙනවා නම් පොදු වැඩ කරවා ගත්තා. නමුත් දැන් කියන්නෙ දින පහක වරු පහක් වැඩ කළ යුතු බවයි. මේ සහන මල්ල ලැබෙන්නේ වරු පහක් වැඩ කළොත්. වරු පහක් කියන්නේ මොකක්ද,? ආසන්න වශයෙන් සාමාන්‍ය කුලී කම්කරුවෙකුට දැන් දවසකට රුපියල් 2000ක් ගෙවනවා.
උදේ වරුවට ගණන වැඩියි එතකොට වරුවක් කියන්නේ රුපියල් 1000ක්. ඒ අනුව වරු පහක් කියන්නේ රුපියල් 5000ක් උදේ සහ දවල් කෑම දීලා තමයි ගම්වල කුලී කම්කරුවෙකුගෙන් වැඩ ගන්නේ. දැන් තමුන්නාන්සේලා වරු පහක් වැඩගන්නවා.
ඒ වරුවකට රුපියල් 1000 ගණනේ බැලුවත් වරු පහට රුපියල් 5000ක් එන්න ඕනෑ. නමුත් තමුන්නාන්සේලා දෙන්නේ රුපියල් 2500ක බඩු මල්ලක්. එතකොට ඒක සාධාරණද? මම මේ කියන්නේ ඒ අයගෙන් ගන්න වැඩ ප්‍රමාණය මීට වඩා අඩු කරන්න කියන එක නොවෙයි.
ඔබතුමන්ලා විශ්වාස කරනවාද, ගොවි පවුලකට මේකෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා? ගොවි පවුලක් කිව්වාට දැන් ඒ ගෙවල්වලත් වී නැහැ. ඔවුන් හාල් ගන්නේත් කඩෙන්. දැන් හාල් කිලෝ එකක් රුපියල් 110ක්, රුපියල් 100ක් වගේ වෙනවා. දැන් ඔබතුමන්ලා මේ කියන්නේ පාන් පිටි කන්න කියලා. අනුරාධපුරයේ,පොළොන්නරුවේ මිනිස්සුන්ට තුන් වේලටම පාන් පිටි කන පුරුද්දක් නැහැ.
ඒ ගොල්ලන් තුන් වේල බත් කන මිනිස්සු. ඒකයි මා මේ ඇත්ත කතාව කියන්නේ. මට තේරෙන්නේ නැහැ. මේක කරන්න මොකක් හරි කොන්ත්‍රාත් එකක් හම්බ වෙලාද කියලා. මට මේ සම්බන්ධයෙන් ඒ තරම් සැකයක් හිතෙනවා.
මොකද හැම ගෙදරකටම පිටි කිලෝ 8යි ග්‍රෑම් 250කුයි ගන්න කිව්වාම ඒක හොඳ බිස්නස් එකක් නේ. මේක අස්සේ මොකක් හරි සම්බන්ධයක් තිබෙනවාද කියලා බලන්න ඕනෑ.
පිටි කිලෝග්‍රෑම් 8ක් දුන්නාම, ඒ මිනිස්සු දිනපතා පිටි කන්නද? මේ ලැයිස්තුවේ කහ ග්‍රෑම් 100යි, ගම්මිරිස් ග්‍රෑම් 100යි කියලාත් තිබෙනවා. තමුන්නාන්සේලා මේ බලු කපුටු දානයක් දෙනවාද? අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ ඒකයි. මේ දේවල් දෙන්නේ මිනිසුන්ට නේ.
දැන් පොල් ගස් කඩා වැටිලා පිටි දෙනවා, පොල් නැතිව රොටී කන්න කියලා, තමුන්නාන්සේලාට පොල් ගෙඩියක්යත් දෙන්න. බෑනේ. මම කියන්නේ මේකයි. මේ මිනිස්සුන්ට වෙන ආදායම් මාර්ග නැහැ.
තමුන්නාන්සේලා මේ අයගෙන් වරුවක වැඩ ගන්න. හැබැයි සාධාරණව ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට යමක් ඒ අයට දෙන්න මේ කාරණය සරල නැහැ.
නියඟය නිසා හානි වූ ගොවි පවුල්වල සංඛ්‍යා මේ ආණ්ඩුවේ වාර්තාවම අරගෙන මම දැන් කියන්නම් අම්පාරේ පවුල් 19,321යි. අනුරාධපුරයේ 109,442යි, බදුල්ලේ 10549, මඩකලපුවේ 25083යි, ගාල්ලෙ 37යි, ගම්පහ 9537යි, හම්බන්තොට 22790යි, යාපනයේ 18569යි, කළුතර 135යි, මහනුවර 4409යි, කෑගල්ල 9619යි, කිලිනොච්චියේ 4881, කුරුණෑගල 101,447යි, මන්නාරමේ 8,505යි, මාතලේ 7084යි, මාතර 393යි, මොනරාගල 48,957යි, මුලතිව් 17081යි, නුවරඑළියේ 83යි, පොළොන්නරුවේ 19177යි, පුත්තලමේ 16877යි, රත්නපුරයේ 3,073යි, ත්‍රිකුණාමලයේ 20378යි, වවුනියාවේ 15188යි, මුළු එකතුව 496,272යි ගොවි පවුල් 496,272ක් කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 20ක මිලියන දෙකක ජනතාවත්. මේ ලේඛනයේ සඳහන් වන්නේ ගොවි පවුල් ගැන විතරයි. හැබැයි ඒ පළාත්වල ඉන්න ඔක්කොම ගොවිතැන් කරන අය නොවෙයි. මේ ගැන මම කලිනුත් කිව්වා.
මේ පළාත්වල මේසන් බාස්ලා ඉන්නවා, වඩු බාස්ලා ඉන්නවා, කුලී වැඩ කරන අය ඉන්නවා. අත් වැඩ දෙන අය ඉන්නවා. හාඩ්වෙයාර් එකක වැඩ කරන අය ඉන්නවා. රෙදි කඩයක වැඩ කරන අය ඉන්නවා. මෙහෙම තමයි ගමක් සකස් වෙලා තිබෙන්නේ.
ඒ අයගේ පවුල් ඒකකත් ගත්තොත් මීටත් වඩා මේ ගණන විශාලයි එමනිසා මේ නියඟයෙන් ඇතිවී තිබෙන බලපෑමට සාපේක්ෂව ආණ්ඩුවක් ලෙස තමුන්නාන්සේලා ඒ පිළිබඳව දක්වා තිබෙන අවධානය හෝ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා සති දෙකකට දෙන මේ රුපියල් 2499 සහ පැනඩෝල් පෙති දෙකේ බඩු මල්ල නම් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.
ඊළඟ කාරණය මේකයි. අද අපි අනුරාධපුර නගරයේ හැම කඩයකටම ගිහින් ඇහුවොත් ඒ අය කියන්නේ මොකක්ද? ඒ අයගේ ව්‍යාපාරය කඩාවැටිලා කියන එකයි. හැබැයි ඒ අයගේ ව්‍යාපාර කඩා වැටුණා කියා ඒ කඩේ වැඩ කළ සේවකයන් අයින් කරන්න බැහැ. ඒ අය අඩු කරන්න බැහැ. ඒ හෝටලයේ වැඩ කළ සේවකයෝ අඩු කරන්න බැහැ.
ඒ අයගේ පඩි ගෙවාගෙන ව්‍යාපාරය ගෙන යන්නත් ඕන. හැබැයි ඒ ව්‍යාපාර ජනවාරි මාසයේ තිබුණාට වඩා සියයට 75ක් මේ වෙනකොට කඩා වැටිලා තිබෙන්නෙ. අනුරාධපුර නගරයේ මේ සිංහල අලුත් අවුරුද්ද තමයි ඉතිහාසයේ අඩුවෙන්ම බිස්නස් තිබුණු අවුරුද්ද වුණේ. මේක හරි ඛේදවාචකයක්.
ඒ නිසා ඒ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නයට තමුන්නාන්සේලා හොයන විසඳුම මොකක්ද? ඔවුන්ගේ ව්‍යාපාර වෙනුවෙන් බැංකුවලින් ණය අරගෙන තිබෙනවා. අඩුම තරමින් ඒ ණයවල පොලියට යම් සහනයක් ලබාදෙනවාද? ඒ අයගේ සේවකයන්ට යම් ප්‍රමාණයකට දායකත්වයක් ආණ්ඩුවෙන් ලබාදෙන්න පුළුවන්ද?
මම කියන්නේ සෞඛ්‍ය සේවයේ බිඳවැටීමක් තිබෙනවා. ගමේ මිනිහෙකුට හදවත් රෝගයක් ඇති වුණොත් දැනට පවතින නියං තත්ත්වය මත ඔහුට සැත්කමක් කරගන්න සල්ලි නැහැ. ජනාධිපති අරමුදලෙන් ඔහුට ආධාරයක් වශයෙන් රුපියල් 175,000යි දෙන්නේ. ඒක ලබාගන්නත් ඔහුට ආදායම් මාර්ග නැති බවට ග්‍රාම සේවකගේ සහතිකයක් ඕන.
එම සහතිකය සත්‍ය බවට ප්‍රා‘දේශීය ලේකම් සහතික කරන්න ඕන. මෙම පුද්ගලයාට සැත්කමක් කළ යුතු බවට වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාව ඕන. හැබැයි රටේ සෞඛ්‍ය ඇමතිට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් දෙනවා බෙහෙත් ගන්න. මේ සෞඛ්‍යය සේවයේ ඇතිවී තිබෙන බිඳවැටීම. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍යය සේවයේ ඇතිවී තිබෙන බිඳවැටීම පිළිබඳ සැලකිල්ලට ලක්කොට ඒ අයට විශේෂ ආධාර මුදලක් ලබාදෙන්න ඕනෑකම තිබෙනවා.
මොකද විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිරිලා තිබෙන පළාතක්. මම දැක්කා විජයදාස රාජපක්ෂ හිටපු අමාත්‍යතුමාත් වකුගඩු රෝගය ගැන ගොඩක් දේවල් කිව්වා. වකුගඩු රෝගය විශාල ලෙස පැතිරෙමින් යනවා. ඒ වගේම පිළිකා රෝගය පැතිරිලා තිබෙනවා. එම රෝගවලට දිනපතා බෙහෙත් ගන්න ඕන.
අද කෘෂිකර්මාන්තය මුළුමනින්ම බිඳවැටිලා තිබෙන්නෙ. එම ගොවි ජනතාවට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සියයක් දෙන්නේ නැහැ, ඇමතිවරයාට දුන්නා වගේ බෙහෙත් ගන්න. එම නිසා තමුන්නාන්සේලා අනිවාර්යයෙන් වකුගඩු රෝගයෙන් පෙළෙන ගොවි ජනතාව ගැන කල්පනා කරලා, වකුගඩු රෝගයට දිනපතා බෙහෙත් ගන්න සිදුවෙලා තිබෙන ගොවි ජනතාව ගැන කල්පනා කරලා ඒ අයට සෞඛ්‍යය සේවා දීමනාවක් මේ නියඟයත් එක්ක ලබාදෙන්න කියලා මම ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ නිසා ඔබතුමන්ලා මේ ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතය ඉදිරියට ගේනකොට ඒ අයගේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් කල්පනා කරලා ඒ අයගේ ලෙඩ රෝග ගැනත් කල්පනා කරලා විශේෂ දීමනාවක් ලබාදෙන්න කටයුතු කරන්න ඕන. ඒකයි මගේ යෝජනාව.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd