කොස්ගම, සාලාව යුදහමුදා කඳවුරේ පිපිරීම සිදුවී මේ වනවිට සති තුනකට ආසන්න කාලයක් ගතවී හමාරය. එම සිදුවීම මිනිසුන්ගේ මතකයෙන් කෙමෙන් මැකී යමින් පවතින නිසාම සාලාවේ ජනතාව පිළිබඳව සහ එහි වත්මන් තත්ත්වය සොයාබැලීමට අපි සාලාවට ගියෙමු.
කඳවුරේ පිපිරීමෙන් විනාශ වූ රණවිරු ගම්මානයට යනවිට අපට මුලින්ම මුණගැසුණේ නිමල් විමලසිරිය. ඔහු විශ්‍රාමික රණවිරුවෙකි. ඔහුගේ නිවාසයද පූර්ණ ලෙස හානි වී ගොස්ය.
"රණවිරු ගම්මානයේ නිවාස අතරින් මගේ නිවස අයත්වෙන්නේ පූර්ණ හානි සිදුවූ නිවාස ගණයට. කඳවුරේ පිපිරීම සිදුවෙලා දැනට දවස් විස්සකට වැඩියි. නමුත් තවම ගෙදර වැඩ පටන්ගත්තෙ නැහැ. පූර්ණහානි නිසා එම නිවාස පසුව පිළිසකර කරන අදහසක් තමයි හමුදාව පැත්තෙන් තිබුණෙ. කොහොම වුණත් මේ වෙද්දි පූර්ණ හානි නිවාසවලත් වැඩ කරගෙන යනවා.
රණවිරු ගම්මානයේ විතරක් නොවෙයි සිවිල් ගම්මානවලත් වැඩකටයුතු හමුදාවෙන් කරගෙන යනවා. අපේ සහෝදර සොල්දාදුවෝ උදේ ඉඳන් රෑ වෙනකම් ගොඩක් මහන්සි වෙනවා. අපි විශේෂයෙන්ම ඔවුන්ව අගය කිරීමක් කරන්න අවශ්‍යයි. අවම පහසුකම් යටතේ තමයි ඔවුන් කටයුතු කරන්නේ. රජයෙන් ලැබුණු රුපියල් 50,000 නම් ලැබුණා. නිවාස අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් පොරොන්දුවක් දුන්නා. නමුත් හානියට පත්වුණ බඩුබාහිර ආදිය පිළිබඳව නම් මෙතෙක් අපිට නිශ්චිත අදහසක් දීලා නැහැ."
රණවිරු ගම්මානයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන එස්.පී.ඒ. නවරත්න
"අපේ නිවාස සම්බන්ධයෙන් යුද හමුදාවෙන් වෙන්න තියෙන සියලුම වැඩකටයුතු සීයට අසූ පහක් අනූවක්ම වෙලා අවසන්. රජය අපිට කිව්වා වන්දි දෙනවා කියලා. දැනට ඒ තක්සේරු වාර්තා ඇවිත් කියලා අපිට ආරංචියක් තියෙනවා. නමුත් මෙතෙක් අපිට නිශ්චිතව ලබාදීලා නැහැ. මගේ වෙළෙඳ ව්‍යාපාරය හානියට පත්වෙලා තියෙනවා. ඒ සඳහා මුදල් ලබාදෙන්න කියලා තමයි ඉල්ලුවේ. යුද හමුවෙන් එහෙම උපකාර ලැබුණත් රජයෙන් කිසිම දෙයක් මේ වෙනකම් ලැබිලා නැහැ"
බොහෝදුරට වැඩ අවසන් කර නිවාසයක හිමිකරුවෙකු වූ ටී.බී. රත්නායක
"අපේ ගෙදර සියලුම කටයුතු යුදහමුදාව මගින් සම්පූර්ණ කරලා දීලා තියෙනවා. තව සුළු සුළු වැඩ ටිකක් පමණයි තියෙන්නේ. ගෙදර විනාශ වුණු බඩුභාණ්ඩ නම් තවම ලැබුණෙ නැහැ."
පිපුරුම සිදුවීමේන් පසුව යුද හමුදා ප්‍රතිකාර ඒකකයක් මගින් රණවිරු ගම්මානයේ ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමේ ජංගම සේවයක් පවත්වාගෙන යයි. එහි ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි එස්.ඒ. චන්ද්‍රලතා
"එදා සිදුවීමෙන් පසුව අපි ගෙදර ඇවිත් බලද්දි ගෙදර අඩි දෙකක් විතර වතුර තිබුණා. වහලෙට දාලා තිබුණු ඇස්බැස්ටෝස් සීට් හතළිස් ගානක් විනාශ වෙලා තිබුණා. ගෙදර වහලෙ යුද හමුදාවෙන් හදලා දුන්නා. මේ වෙද්දි ගෙදර දොර ජනෙල් ටික හදාගන්න තියෙනවා. ඒවත් හදලා දෙනවා කියල අපිට කියලා තියෙන්නේ." හානියට පත් ප්‍රදේශවල ළිං සියල්ල පිරිසුදු කර අවසන් යැයි පැවසුවද, චන්ද්‍රලතා අප සමග පැවසුයේ මෙතෙක් ඇගේ ඉඩමෙහි පිහිටි ළිඳ පිරිසුදු නොකළ බවය.
බොහෝ දෙනෛකුට රු. 50,000 වන්දිය හිමිවුවද තමන්ට තවමත් එම මුදල නොලැබුණු බව පවසන ප්‍රදීපා,
"මගේ ගෙදරට විශාල හානියක් වෙලා තියෙනවා. නමුත් මට රුපියල් 50,000 වන්දිය තවම ලැබුණෙ නැහැ. මම අභියාචනයකුත් දැම්මා. ඒක ලැබෙනවා නම් හොඳයි. හමුදාවේ අය තමයි අපිට උදවු කළේ. වෙන කවුරුත් තවම නම් ආවේ නැහැ. ඉතුරු ටිකත් ඉක්මනින් කරලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
අපිට අපේ නාන කාමරය ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරගන්නට අවශ්‍ය වුණා. අපි කිව්වා බඩු අපි ගෙනත් දෙන්නම් අපිට හදලා දෙන්න කියලා. ඒ විදිහට අපි බඩු ගෙනත් දුන්නට පස්සේ ඒක හදලා දුන්නා. ගෙදර වයරින් එකත් හදලා දුන්නා. නමුත් අඩුපාඩු තියෙනවා. මේ දේවල්වලට අපිට 35,000 ක් විතර වියදම් වුණා. මට තේරෙන විදිහට අනිත් ගෙවල් හදලා දෙනවා වගේ අපේ ගෙදර හදලා දෙන්න ඔවුන් එතරම් කැමති නැති ගතියක් පෙනෙනවා"
සාලාවේ සෞඛ්‍ය අවදානමක් ඇතිවී ඇති බව අප තහවුරු කර ගත්තේ අනෝමා මුණසිංහ සමග සාකච්ඡා කිරීමෙනි. අප ඇගේ නිවසට යනවිටත් හමුදා සාමාජිකයෝ ඇගේ නිවාසය අලුත්වැඩියා කරමින් සිටියහ.
"ළිංවලට ක්ලෝරීන් දාලා තියෙන්නේ. වතුර සාම්පල් බලලා විස්තර කියනකම් අපිට වතුර බොන්න එපා කියලා කිව්වා. ළිඳේ වතුර ලා කහපාටයි. මළකඩ පාට තියෙනවා.ඒ වගේම ළමයින්ගේ කකුල් කැසීමක් ඇතිවෙලා තුවාල හැදිලා තියෙන්නේ. කැස්ස සෙම හතිය වගේ තියෙනවා. මේක ලොකු පොඩි හැමෝටම වගේ තියෙනවා. අපි ලොකු අසරණ වීමක ඉන්නෙ. අපිට රජයෙන් දෙන රුපියල් 50,000 නම් ලැබුණා. අපි ඉල්ලන්නේ සෞඛ්‍ය තත්ත්වයට විසඳුමක් දෙන්න කියලයි. ඒ වගේම අපේ ළිං එකපාරක් ඉහලා පිරිසුදු කළා. නමුත් තවමත් වතුර බොන්න අමාරුයි මළකඩ එක්ක එන්නේ."
සලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන් මේ වනවිට ජනතා එකමුතුවක් පිහිටුවාගෙන සිටිති. එහි සභාපති හේමන්ත ප්‍රියංකර
"සාලාව ප්‍රදේශයේ පීඩාවට පත්වූ ජනතාව එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගත්තා. පීඩාවට පත් ජනතා එකමුතුව කියලා එය නම් කරලා තියෙන්නේ. සාලාව නගරයේ තිබෙන ව්‍යාපාර දැඩි හානියට පත්වෙලා තියෙනවා. මගේ සියලු දේපළ විනාශයට පත්වෙලා අවසන්. අපි හැමෝම අසරණ වෙලා ඉන්නෙ. ව්යපාරවලටත් වඩා මිනිස්සුන්ගේ ජීවිත යහපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙවනුව අපේ ව්‍යාපාර ගැන හිතන්න කියලා රජයෙන් මම ඉල්ලනවා."
මෙම සිදුවීම හරහා ජනතාව රැකියා අර්බුදයකට ලක්ව ඇති බවත්, සති ගණනාවක් පුරාවට ඇතැමුන් රැකියාවන් සඳහා ගොස් නොමැති බවත් අප සමග පැවසූයේ අපේක්ෂා නිර්මාණිය.
"අපේ ගෙදරත් හොඳටම විනාශ වෙලා. රජයෙන් මීට වඩා දෙයක් කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ වුණත් එහෙම උනේ නැහැ. හමුදාවෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. රජයෙන් වන්දි බලාපොරොත්තු වුණා. ලැබෙයි කියලා හිතනවා. මේ සිදුවීම හින්දා ගොඩක් අයට රස්සාවලට යන්න විදිහක් නැහැ. ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නේ. මොකුත් කරගන්න විදිහක් නැහැ. හැමෝමට තියෙන්නේ එකම ප්‍රශ්නෙ. අපිට අවශ්‍ය දේවල් අපි අරගෙන තිබ්බේ. ඒ දේවල් විනාශ වුණා කියලා අපිට අනවශ්‍ය දේවල් දීලා වැඩක් නැහැ. අපිට අවශ්‍ය දේවල් දෙන්න කියල තමයි මට කියන්න තියෙන්නේ. අපිට 50000 ක් දුන්නා. නමුත් ඒක සතියකටවත් මදි."
සිය නිවසේ තනිව වෙසෙන ඩී.ජී. ඩයස් මහත්මියට මේ වනතුරු රජයේ මුදල් ලැබී නොමැතිකමින් ඇය දැඩි පීඩාවට පත්ව සිටියි.
"අපිට කොහොටවත් යන්න විදිහක් නැහැ. මේ ගෙවල් ගැනම බලාගෙන ඉන්නවෙලා. ඒත් වෙන දෙයක් නැහැ. මට රුපියල් 50000 ලැබුණෙත් නැහැ. ගෙදර දොරජනෙල් වත් හදලා නැහැ. ගෙවල් හදන්න කට්ටිය හිටියට දැන් බඩු නැහැ කියලා කියනවා. මේකට ඉක්මනින් විසඳුමක් දෙන්න කියලයි මට කියන්න තියෙන්නේ."
ප්‍රදේශයේ සෞඛ්‍ය අවදානමක් මතුව ඇතිදැයි කොස්ගම රෝහලේ වෛද්‍ය ජගත් පින්දෙණිය මහතා හමුවේ අපි තොරතුරු විමසා සිටියෙමු
"මේ තත්ත්වය නිසා රෝ‘ගීන්ට මෙවැනි ආසාත්මික තත්ත්වයක් ඇතිවුණා කියලා කියන්න තරම් වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රමාණාත්මක සාක්ෂි ලැබිලා නැහැ. මීට අමතරව මේ දිනවල සමේ රෝග ඇතිවෙනවා. ඒ සමේ රෝග තත්ත්වයක්ද නැතිනම් මේ ප්‍රදේශයේ සිදුවීම නිසා ඇතිවුණ රෝගී තත්ත්වයක්ද කියලා දැනට අපිට තහවුරු කිරීමට සාක්ෂි නැහැ.
විෂබීජ නිසා රෝග හටගෙන තිබෙන බව තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඒ වගේම මේ සිදුවීමත් සමග වාතයේ තිබෙන සලෆර් ඩයොක්සයිඩ් වැනි විෂ වායු ඝන වී පොළොවට පතිත වෙනවා. ඒ නිසා ළිංවල ජලය භාවිත කිරීමේදී අනිවාර්යෙන්ම පිරිසුදු කරලා භාවිත කරන්න වෙනවා. කොහොම වුණත් අපිට නිශ්චිතවම කියන්න බැහැ ළිං ජලය බීමට සුදුසු තත්ත්වයේ තියෙනවා කියලා. ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය ගැටලුවක් ඇති වුණොත් වහාම රෝහලට එන්න කියලා ජනතාවට කියන්න කැමතියි."
සාලාව මෙහෙයුම් භාරව කටයුතු කරන යුද හමුදාවේ ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පැවසූවේ මෙවැන්නකි.
"මේ වෙද්දි ගෙවල් 625 කට වැඩි ගණනක වහල සාදා නිමකර තිබෙනවා. තවත් නිවාස ගණනක වැඩ කටයුතු අද හෙට දිනවල කරගෙන යනවා. ඊට අමතරව ළිං 800 කට වඩා පිරිසුදු කර තිබෙනවා. ජලය පරීක්ෂා කිරීම් 800 වඩා කර අවසන් කර තිබෙනවා. ඒ නිසා සාලාවේ ජලය සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. විදුලිය සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස වෙත විදුලිය ලබාදෙන්න තවම හැකියාවක් නැහැ. ඒ වාගේම අලුත්වැඩියා කිරීම අදියර තුනක් යටතේ සිදුකරගෙන යනවා."
සමස්ත කටයුතු සම්බන්ධයෙන් අවසානයේ සීතාවක ප්‍රදේශීය ලේකම් එම්.එම්.කේ. බණ්ඩාර මහතාගෙන් අප විමසූ අතර, ඔහු මෙසේ පැහැදිලි කිරීම් කළේය.
"මේ වෙද්දි පූර්ණ හානි වූ නිවාස 161 හඳුනාගෙන තිබෙනවා. අර්ධ හානි වූ නිවාස 345 ක් සහ සුළු හානි වූ නිවාස 1318 ක් හඳුනාගෙන තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කැබිනට් මණ්ඩලයට යම් යම් ඉල්ලීම් කිහිපයක් සිදුකරලා තියෙනවා. ඒ දේවල් අනුමත වෙනකම් ඉන්න වෙනවා.
මේ වෙද්දි නිවාස 328 ට චෙක්පත් ලබාදීලා තියෙනවා. රුපියල් 50,000 බැගින් දෙනවා. තවත් චෙක්පත් 20 ක් ලියමින් පවතිනවා. මේ වෙද්දි අභියාචනා 552 ක් ලැබිලා තියෙනවා.
ඒ වගේම පොලිස් පැමිණිලි 1704 ක් ලැබිලා තියෙනවා. දැන් තිබෙන්නේ ව්‍යවස්ථාපිතව නීත්‍යනුකූලව සිදුකළ යුතු කාර්යයන්. මොවුන්ගේ රැකියා නැතිවීම සම්බන්ධයෙන් මාසිකව වැටුපක් වැනි දීමනාවක් මාස තුනක් යන තුරු ලබාදීමට අනුමත කරලා තිබෙනවා. ඒ වගේම නගර සැලැස්මක් පිළිබඳවත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරගෙන යනවා. මේ නිසා නීත්‍යනුකූල කටයුතු කිරීමට යම්කිසි කාලයක් ගතවෙනවා. ඒ ප්‍රතිඵලය එන තුරු ඉවසන්න වෙනවා. මේ සිදුවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර අරගෙන තිබෙන්නේ. ඒනිසා ඉවසීමෙන් කටයුතු කරන්න කියල මම ඉල්ලා සිටිනවා"
අප සොයාගත් තොරතුරු අනුව සාලාව පිපිරීම සිදුවූ දිනට පසුදින සිට එහි පැමිණි සෙබළ නිලධාරීහු මෙතෙක් නිවාඩු නොලබා අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටිති. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යලය මගින්ද උපරිම සේවාවන් සිදුකිරීමට නිරන්තරයෙන් කැපවී සිටින අතර, ජනතා ජීවිත යථාතත්ත්වයට පත්කිරීම තවදුරටත් කඩිනම් කිරීමට රජයේ බලධාරීන්ද කටයුතු කරන්නේ නම් එය අගනේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ