ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙරට රාජ්‍යයන් ත්‍රිත්වයක් යටතේ පාලනය විය. ඒ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි රාජ්‍යයන්ය. ලංකාවේ මුහුදුබඩ පළාත් පමණක් ආක්‍රමණය කිරීමේ හැකියාව පෘතුගීසි හා ලන්දේසීන්ට ලබුණද කන්ද උඩරට රාජ්‍යය තම අණසකට යටත් කර ගැනීමට හැකි වූයේ ඉංග්‍රීසීන්ට පමණි. ඒ ක්‍රි.ව 1815 දීය. ඉන්පසු මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට අනුව පාලනය කිරීමට එවකට සිටි ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.
එවකට ලාංකේය නීතියට අනුව රටේ සියලුම ඉඩම් රජුට අයත් විය. මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසි හා ලන්දේසීන්ගේ පාලන කාලයේදී මෙම නීතිමය සංකල්පය පාදක කර ගනිමින් සියලුම ඉඩම්වල අයිතිය ඔවුන් යටතට ගනු ලැබීය. ක්‍රි.ව. 1839 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් මුලින්ම තේ සමාගමක් ඉන්දියාවේ ආරම්භ කරන ලදී. මෙකල බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙහි තේ වගාව ආරම්භ කර තිබූ අතර, ලංකාවේ කඳුකර ආසන්න ප්‍රදේශද තේ වගාව සඳහා ඉතා යෝග්‍ය වූ බැවින් ඉන්දියාවෙන් ලංකාවට තේ බීජ හා පැළ ගෙන්වනු ලැබීය. ලංකාවට තේ ගස හඳුන්වා දීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ දැරුවද ලාංකේය වගාකරුවෝ ඊට විරෝධය දැක්වූහ. මේ නිසාවෙන් කන්ද උඩරට තේ වැවිල්ලක් ලෙස ආරම්භ කිරීමට සේවකයන් නොමැති වූ හෙයින් ඉන්දීය සේවකයන් එරටින් ගෙන්වීමට සිදු විය. වර්තමානයේදීත් නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශවල තේ වගාව හා සබැඳි අතීතයේ සිට පැවත එන පරම්පරාගත ඉන්දීය ජාතිකයෝ වාසය කරති. නමුත් දැන් අපි ඔවුන් 'ඉන්දීය - සිංහල' ජාතීන් ලෙස හඳුන්වමු.
එවකට ලංකාව තුළ ප්‍රචලිත භෝගයක් වූ කෝපි සඳහා හොඳ ආදායම් ලැබීය. කෙසේවෙතත් කෝපි වගාවේ නිරත වූ ලාංකේය ජනයා හට කලක් යන විට නොසිතූ දෙයක් සිදු විය. එනම්, කෝපි ශාකවලට දිලීර රෝගයක් වැලඳීමය. මේ නිසා කෝපි වගාව අතහැර දැමීමට ඔවුන්ට සිදු විය. මේ නිසාවෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පැවතුණ තේ වගාවට පා තැබීමට මොවුන්ට සිදු විය.
ඒ අනුව කලක් ගතවී තේ වගාව දියුණු කරගත් බ්‍රිතාන්‍යයෝ ලෝක වෙළෙඳ පොළට 'සිලෝන් ටී' නමින් අපනයනය කළහ.
එකල %සිලෝන් ටී^ හි ප්‍රධාන ගැනුම්කරුවා වූයේද බ්‍රිතාන්‍යයයි. ලන්ඩන් වෙළෙඳ පොළේ තේ මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලාංකේය තේ වගාව ව්‍යාප්ත වීම හා ආදායම් ලබන කර්මාන්තයක් බවට පත් විය. 1890 දී අපනයන ආදායමින් 44.8% උපයන ලද්දේ තේවලිනි.
ඒ අනුව කෝපි වෙනුවට තේ ආදේශ කර ගැනීම කදිම යැයි සිතූ යුරෝපීයන්ගෙන් තේ සඳහා ඇති ඉල්ලුමද වැඩි විය. එය කෙතරම්ද කිවහොත් ලෝක වෙළෙඳ පොළට ඉතාමත් රසවත් තේ නිෂ්පාදන යැවීමට හැකි වූ අප රට ඔවුන් හැඳින්වූයේ 'ලිප්ටන් තේවත්ත' යන නමිනි.
කාලයාගේ ඇවෑමෙන් මෙරට තුළ ක්‍රම කිහිපයක් ඔස්සේ තේ නිෂ්පාදනය සිදු කිරීම ඇරඹුණි. ඒ අනුව සම්ප්‍රදායානුකූලව CTC ක්‍රමයට හා හරිත තේ නිෂ්පාදනය කරනු ලැබීය. එසේම දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ නිපදවනු ලබන දියවන සුළු තේ ලෝකයේ 'Iced Tea' සඳහා බෙහෙවින් භාවිත කරනු ලබයි. මෙහැනි තාක්ෂණික ක්‍රම මගින් තේ නිෂ්පාදන කටයුතු සිදු වෙයි.
තේ නෙළීම, නෙළාගත් දලු විජලනය, යන්ත්රාණුසාරයෙන් තේ දලු අඹරා ගැනීම, තාක්ෂණික ශිල්පියෙකු මගින් සුවඳ හා රසායනික ක්‍රියාකාරීත්වය හා පදම් වූ රත් කිරීමෙන් වියළා ගැනීම යන කරුණු තේ නිෂ්පාදනයේදී මූලික කරගන්නා කරුණු වෙයි.
මෙරට නිෂ්පාදනය වන තේ විශේෂිත වූ අයුරින් නිපදවනු ලබයි. ඒ එක් එක් රටවල ජන පිරිස් අප රටේ තේ සඳහා දක්වන ඇල්ම නිසාවෙනි. එක් එක් ප්රමාණයන්ට කැබලි කරගන්නා මෙම තේ දලු රසයේ හා සුවඳේ වෙනස් වීම් අනුවද වර්ග කළ හැකිය. එමෙන්ම එසේ වෙන් කර ගත් තේ නම් කිරීමට ඔවුන් එම ප්‍රමාණයන් සඳහා නම් යොදා ඇත. BOP, BOPF, Flowery, Fanning, Dust ආදී වශයෙන් වෙනස් වුවද, Silver Tips, Golder Tiops, White Tea, Red Tea වශයෙන් විශේෂිත නිෂ්පාදන අප රට තුළ නිෂ්පාදනය කරනු ලබයි.
ලෝක වෙළෙඳ පොළේ ඉහළ සන්නාම නාමයක් දිනා තිබූ 'සිලෝන්' යන නාමය හේතුවෙන් ශ්‍රී ලංකාව, ලෝකය දැන හැඳින ගනු ලැබීය.
නමුත් 1972 වර්ෂයේ දී බලයට පැමිණි ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේදී නොසිතූ විරූ අන්දමින් ලංකාව තුළ පෙරළිකාර සිදුවීම් රැසක් සිදු විය.
ඒ අනුව ඉඩම් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් රජයට පවරා ගැනීමට රජය තීරණය කිරීමත් සමග 'සිලෝන්' යන නාමය වෙනුවට 'ශ්‍රී ලංකා' යන නමින් තේ ඇතුළු සියලු ලාංකේය අපනයන නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළට යැවීමට කටයුතු කළේය.
මේ හේතුවෙන් සිලෝන් යන වෙළෙඳ නාමයට තිබූ ආකර්ෂණය ක්රමක්රම‘යෙන් ඈත්වීමට පටන් ගැණුනි. වර්ෂ ගණනාවක් මුළුල්ලේ ගොඩනැගෙමින් තිබූ මෙම වෙළෙඳ සන්නාමය එකවරම වෙනස් වූ හෙයින් අපනයන ආදායම්වල පහළ බැසීමක්ද සිදු විය. එසේම ලෝක වෙළෙඳ පොළේ නමක් දිනාගැනීමට නම්, ඉහළ ප්‍රාග්ධනයක් හා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් ලංකාවට පැවැති 'සිලෝන් ටී' නාමය අහිමි විය. මේ නිසාවෙන් ලාංකේය ආර්ථිකයට ඉතාමත් විශාල ගැටලුකාරී තත්ත්වයන් ද ඇති විය.
මෙරට තේ නිෂ්පාදන සඳහා වෙන් වූ ප්‍රධාන කලාප කිහිපයකි. එම තේ වගා ප්‍ර‘දේශයන් මුහුදු මට්ටමේ සිට අඩි 2000කට වඩා වැඩි උස කඳුකර ප්‍ර‘දේශයන්හි ඉතාමත් සාරවත්ව තේ වැඩීම සිදු වේ. නුවරඑළිය, දිඹුල, ඌව, රුහුණ, නුවර, සබරගමු හා උඩුපුස්සැල්ලාව යනු ලංකාවේ ප්‍රධාන තේ කලාපයන්ය.
නුවරඑළිය කලාපයේ තේ
මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් පමණ උසින් යුතු ප්‍ර‘දේශවල වැවෙන විශේෂිත වූ කලාපයක් ලෙස නුවරඑළිය තේ හඳුන්වා දිය හැකිය. අවිනිශ්චිත කාලගුණය නිසාත් පරිසර සෞම්යතාව නිසාත් තේ දලුවල වර්ණය ඉතාමත් ළා පැහැයක් ගනී. මේ හේතුවෙන් නුවරඑළිය තේ ඉතාමත් වර්ණවත් සෞම්‍ය වූ තේ වන අතර සීනි හෝ කිරි එක්කර නොගනිමින් තේ පානය ඉතා රසවත්ය. නුවරඑළිය තේ සඳහා වැඩි ඉල්ලුමක් ලෝක වෙළෙඳ පොළ තුළ තිබීමට මෙය ද හේතුවක් වේ.
ඌව කලාපයේ තේ
අප පානය සඳහා යොදා ගන්නා තේ කොළ වර්ග අනුව එක් එක් තේ සඳහා ආවේණික වූ රසයේ හා පැහැයේ විශාල වෙනසක් දැකගත හැකිය.
අගෝස්තු, සැප්තැම්බර් යන මාසවලදී ඌව ප්‍ර‘දේශවල වැවෙන තේ ඉතාමත් රසවත් වන බවත්, ඒ සඳහා තද හිරු රශ්මිය හා මුහුදු හරහා ගමන් කරන සුළං නිසාත් වර්ෂාව අවම වීම නිසාත්ය. මුහුදු මට්ටමේ සිට අඩි 2000-4000ත් අතර උස් වූ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර හා ගිනිකොණ දිශාවන්ට මුහුණලා ඇති කඳු පන්ති ආශ්‍රිතව ඌව කලාපයේ තේ වගාව සිදු වේ.
දිඹුල කලාපයේ තේ
බොගවන්තලාව, දික්ඔය, කොටගල, මස්කෙලිය, නානුඔය, තලවකැලේ යන ප්‍ර‘දේශ දිඹුල කලාපයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට අඩි 5000ත් 6000ත් අතර කඳු පන්තියෙන් බටහිරට අයත් ප්‍රදේශයේ දිඹුල කලාපයේ තේ වගාව ව්‍යාප්තව ඇත. දිඹුල තේ සඳහා මාර්තු, අප්‍රේල් මාසවලදී ඉතා හොඳ ඉල්ලුමක් ලැබීමට, අධික ආලෝක රෂ්මියත් ආවේණික දේශගුණය හා බටහිර දෙසින් හමන උණුසුම් සුළං දිඹුල තේ රසවත් වීමට හේතු සාධක වී ඇත.
රුහුණු කලාපයේ තේ
ලංකාවේ තේ වගා කරන කලාප අනුව ඉතාමත් තද පැහැ කහට සහිත තේ නිෂ්පාදනය කරන කලාපය නම් රුහුණු කලාපයයි. දකුණු පළාතට අයත් මෙම කලාපයේ උස්බිම් මූලික කරගනිමින් තේ වගාව ව්‍යාප්ත වී ඇත. කුඩා තේ වතු හිමියන්ගෙන් පෝෂණය වන මෙම කලාපයේ තේ තද පැහැයක් ගැනීමට දහවල් කාලයේදී හා රාත්‍රී කාලයේදී ලැබෙන අධික සීතලත් නිසාවෙනි. රුහුණු තේ කිරි මිශ්‍ර කර පානය කිරීමට වඩාත් උචිත වේ.
නුවර කලාපයේ තේ
නුවර කලාපයේ වගා කරනු ලබන තේ සඳහා ආවේණික රසයක් ද ඇත. මේ රසය, දේශගුණය හා පාංශු වෙනස්වීම් සිදු වූවද, රසයේ වෙනසක් සිදු නොවේ. මුහුදු මට්ටමේ සිට අඩි 2000 – 4000 අතර උස ප්‍ර‘දේශයක වගා කරනු ලබන මෙම තේ අනෙකුත් තේ වර්ග, කිරි හා දෙහි මිශ්‍ර කර ගනිමින් පානය කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වය වෙයි.
ලාංකේය තේ පර්යේෂකයන් හට මෙම කලාප හතෙහි තේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාවක් ඇත. ඉතාමත් සංවේදී වූ දිව, වඩාත් සංවේදීව පවත්වාගෙන යාමට ඔවුන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයෙන් තොරවීම අගය කළ යුතු කරුණකි.
තේ පානයේ ඖෂධීය ගුණ
ශ්‍රී ලාංකික ජනතාව පිටරට පාන වර්ගවලට හුරුවීම නිසා මෙරටට ආවේණික වූ තේ කලාපයන්ගෙන් ලබා ගන්නා තේ දලුවලින් නිෂ්පාදනය කරනු ලබන තේ අපගේ ශරීරයට හිතකර ඖෂධීය පානයක් බව ඔබ මෙතෙක් කල් දැන සිටියාද?
අපි තේ පානය කරන්නේ, විඩාපත් වූ අපගේ ගතට සිතට සැහැල්ලුවක් ඇති කර ගැනීමටය. නමුත් අපගේ විඩාවට පමණක් නොව යම් යම් රෝග සඳහා ශරීරයට හිතකර ඖෂධීය ගුණ රාශියක් තේවල අඩංගු බව පර්යේෂණවලින්ද සොයාගෙන ඇත.
සාමාන්‍ය‘යෙන් තේ කහටවල අඩංගු ෆොලිෆිනෝල් රසායනික ඒකක කැටිකින් යනුවෙන් හඳුන්වයි. කැටිකින් බොහෝ රෝග සුව කරන චිකිත්සකයක් ලෙස හඳුන්වා දෙයි. එසේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් එනම්, ශරීර අභ්‍යන්තරයේ හා බාහිරින් ශරීරගත වන විෂ පාලනය කිරීමේ හැකියාව තේවල ඇති බව වෛද්‍ය මතයයි. එසේම හන්දි, පටක ගෙවීයාම හා දියවීම වැළැක්වීමේ හැකියාවද තේවලට ඇති බව එංගලන්ත පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇත.
ස්නායු පද්ධතිය ආශ්රිත ඇතැම් රෝග දියවැඩියාව, හිසරදය, ක්ලාන්තය, මුඛ රෝග, හෘද රෝග සඳහා සීනි රහිත තේ පානය ශරීරයට ඉතා ගුණදායක වෙයි.
කොළ හා කළු තේ සමේ පිළිකා මැඬලීමේ ගුණ සහිත වන අතර දිනකට තේ කෝප්ප කිහිපයක් පානය කිරීමෙන් හෘද රෝග, ආඝාතය පිළිකා වැලඳීමේ ප්රවණතාවෙන් මිදිය හැකි බවද වෛද්‍ය මතය වේ. දත් හා විදුරුමස් රෝග සඳහා තේ පානය හා තේ වතුරින් කට සේදීම ද ඉතාමත් ප්‍රතිඵල දායක බවද වෛද්‍යවරු පවසා සිටිති.
එසේම අධි රුධිර පීඩනයට ඔසුවක් ලෙසද රුධිරගත මේද ප්‍රමාණය පාලනය කිරීමටද තේ පානය යෝග්‍ය වේ. කළු තේ සීනි රහිතව පානය කිරීම මගින් එල්.ඩී.එල්. කොලෙස්ටරෝල් පාලනයට සුදුසු වේ.
මෙවැනි ගුණාත්මක බවින් යුතු අපේ රටේ තේ නිෂ්පාදනයෙන් ඉවත් කරමින් වෙනත් පාන වර්ගවලට යොමු වී සිටින ඔබ ගෙදරට එන අමුත්තාට සීනි රහිත උණුසුම් තේ කෝප්පයක් පිළිගැන්වීමෙන් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය වර්ධනයට ඔබ කරන්නාවූ අගනා මෙහෙය මිල කළ හැකිද? මේ ගැනත් සිතා ජීවිතය ප්‍ර‘බෝධමත් කර ගන්න.
සප්නා කුරේ