Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
නිවසේ සිට හදිසියේ නගරයට පැමිණ ආක්රමණකාරී ආකාරයෙන් කුලී ගමන් යන්නේ යැයි රියදුරන්ගෙන්ම චෝදනාවකි. ඇතැම් බලවතුන් ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන්ගේ චණ්ඩිකම් මත ධාවනය වන ත්‍රිරෝද සේවාවන්ද නගරයේ අවසර ලත් රියදුරන්ට හිංසනයකි.
දූෂිතයන් සහ හොරුන් තම හොරකම් සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන්නේද ත්‍රිරෝද රථ යැයි පොලීසිය පවසයි. නව ක්‍රමය තවදුරටත් විකාශය කිරීම තුළ මෙවැනි ක්‍රියා වැළැක්වීමට ඇති අනුබලය බහුලය.
වරක් එක් නගරයකින් ත්‍රිරෝද රියකට නැගි කාන්තාවකගේ ස්වර්ණාභරණ සහ මුදල් එම රියදුරා විසින් අතරමගදී මංකොල්ල කෑවේය. පසුව ඇය ආසනන්තම පොලීසියට පැමිණිළි කළාය. දුටුවොත් හඳුනාගත හැකි යැයි ඇය පැවසූ හෙයින් පොලීසිය එම ප්‍රදේශයේ ලියාපදිංචි රථවාහන 45ක් එක් පිට්ටනියකට රැස් කළේය. එහෙත් එම කාන්තාවට කුලී ගමන සැපයු රථය එතැන නොවී යැයි එම කාන්තාව පොලීසියට ප්‍රකාශ කළාය.
තමන්ගේ අනන්‍යතාව තහවුරු වීමත් සමග රජය සමග තමන්ගේ නෛතික ලියාපදිංචිය වෙනුවෙන් බලපෑම් කිරීමට වාහනකරුවන්ට අවස්ථාව නිතැතින්ම සැලසේ. ඒ රජයේ අණපනත් යටතේ තම වෘත්තිය ජනතාවට සැපයෙන හේතුවෙනි. තම සේවයට විධිමත් නියාමනයක් අවශ්‍ය නම් කළ යුත්තේ රජයේ පවතින අණපනත් හරහා ශක්තිමත් වෙමින් තම අයිතිවාසිකම් දිනා ගැනීමය.
දවස පුරා වාර්තා වන වාහන අනතුරුවලදී එයින් තුනෙන් දෙකකට ත්‍රිරෝද රථයක් ඇතුළත්ව ඇතැයි අනතුරු නිවාරණය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්වත්හු අවධාරණය කරති. මේ හැම සිදුවීමක් තුළ තහවුරු වන්නේ වසර විසිපහක් පමණ ගතවුවද අදටත් ත්‍රිරෝද රථ නියාමනයට අදාළ විධිමත් නෛතික නියාමනයක් නොමැති බවකි.
තවත් සිදුවීමක් විමසමු. කොළඹ සිට රාත්‍රියේ සිය සේවය නිමකර තනිවම පැමිණි නැගණිය ත්‍රිරෝද රථයකින් කැඳවාගෙන යාමට අයියා රාත්‍රී 10.00ට පමණ මහනුවර ඔරලෝසු කණුව අසල රැඳී සිටියේය. අසල තිබූ ත්‍රිරෝද රථයකින් කුලී ගණන් කතාකර පළමුව සිය නැගණියට ගොඩවීමට අවස්ථාව සැලසුවේය. ඒ සමග අයියා එම රියෙන් තල්ලු කර දමා නැගණිය පැහැර ගෙන ගිය ත්රිරෝදකරුවෙකු පිළිබඳ මෙයට මාස හයකට පෙර මහනුවර නගරයේදී වාර්තා විය.
එසේ නම් ගෙවී ගිය කාලය තුළ මේ ක්ෂේත්රය මහමග දිගේ පදවාගෙන ගියේ කිනම් දිසාවකට දැයි ජනතාව අසන ප්රශ්නය අසාධාරණ නැත.
ජනතාවගේ විශ්වාසය දිනාගන්නා තුරු මෙම සේවයට මනා පැවැත්මක් ඇති නොවන බව වෘත්තියේ නිරත උගතුන් බුද්ධිමතුන් අවධානය යොමු කළ යුතු කරුණකි. මේ වනවිට පෞද්ගලික බස් සේවයට වසර 35ක් ගතවීද කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇතැයි බස්කරුවන් චෝදනා කරන්නේද මේ යථාර්ථයට පිළියම් නොසොයා සිටීමේ වරද හේතුවෙනි.
ජනතාව අතර ත්‍රිරෝද සේවය විධිමත් පිළිගැනීමකට ලක්වීම නව ක්‍රමය සමග නිරන්තරයෙන් සිදුවනු ඇත. එසේම නව මීටර් ක්‍රමය යටතේ ගෙවන මුදලට සරිලන සේවය පාරිභෝගිකයාට ලැබීම සහ ධාවකයාට ඉටුකරන සේවය වෙනුවෙන් සාධාරණ ගාස්තුවක් අය කරගත හැකිවීම මෙම රියදුරන් ලබන තවත් වාසියකි.
මහනුවර නගරයේදී එක් රථයක් විදේශීය සංචාරකයකුගේ කුලී ගමනක් වෙනුවෙන් අධික මුදලක් ඉල්ලා සිටියේය. එවිට ඔහු එතැනින් ඉවත්ව වෙනත් ත්‍රිරෝද රියකට ගොඩ විය. පසුව මුල් රථයේ රියදුරු විසින් ධාවනයට තෝරාගත් රථයේ රියදුරාට එම විදේශිකයා ඉදිරිපිට පහර දීමේ පුවතක් ගතවූ වසර අවසානයේ මහනුවර නගරයෙන් වාර්තා විය.
කෙටි දුරක් යාමට පැමිණෙන මගියාට මට වෙනත් හයර් එකක් තියෙනවා අරකට යන්න යැයි කියන පිරිස වැඩිය. ඔවුන් බලා සිටින්නේ අසූවේ කෑල්ලක් යාමට නොව හාරපන්සියයක කෑල්ලක් කිලෝමීටර තුනහතරකින් දුවා ගැනීමට යැයි ඒ දෙස බලා සිටින ඇතැම් රියදුරන් පෙන්වා දෙති. නීතියක් පැනවූ විගස පමණක් ප්‍රමිතිය පිළිබඳ කතා කරන රියදුරන්ගේ මේ නොහාබිනා ක්‍රියාව ඔවුන්ට නොපෙනීම ජනතාවටද ගැටලුවකි.
අනෙක් අතට යම් සේවයක් හෝ භාණ්ඩයක් ලබන පාරිභෝගිකයෙකුගේ අයිතීන් වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ අධීක්ෂණයට යටත් කළ හැකි බව එම පනත දක්වයි. එහිදී සේවාලාභියාට අය කළ ගාස්තුවට අදාළව රිසිට්පතක් ලබාදිය යුතුය.
ලදුපතක දිනය, ලදුපත් අංකය, අය කළ ගාස්තුව, අය කිරීමට හේතුව පැහැදිලිව ඇතුළත් විය යුතු බව අණපනත් තහවුරු කරයි. එසේ නොවන තැනක හෝ ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී නිසි දඬුවම් පැමිණවීමට ඇති බලය සහ ප්‍රතිපාදන පනත දක්වයි. ත්‍රිරෝද රථයකදී වාහනයේ ලියාපදිංචි අංකයද ඇතුළත් විය යුතුය.
එය යහපත් අනුබලයකි. අනෙක එය අද ඊයේ සිට නොව පාරිභෝගික නීතිය ක්‍රියාත්මක වූ මුල් අවධියේ සිට පාරිභෝගිකයන් රැකගැනීම වෙනුවෙන් රටේ පවතින නීතියකි.
එසේ නම් ඒ නීතියට කෝටි දෙකක් වූ මගියන් අතරින් අතළොස්සක් වූ ත්‍රිරෝද රියදුරන්ට පමණක් මගහැර යාමට ඉඩ සැලසීම මූලික නීතියේ 14 වැනි ව්‍යවස්ථාව යටතේ වන යාම ඊමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කිරීමකි.
තම සේවයේ ප්‍රමිතිය සහ වෘත්තීය අභිමානය රැකගත යුතු යැයි අවධාරණය කරන රියදුරන්ට වසර විසිපහක් ගතවීද අදටත් තම වෘත්තීය ගරුත්වය වෙනුවෙන් විධිමත් චර්යා පද්ධතියක් සකස් කර ගත හැකිවීද? අඩුම තරමින් නගරයේ එකපෙළට නතර කර ඇති ත්‍රිරෝද රථයෙන් තමා තෝරාගත යුතු වාහනය සහ රියදුරා පිළිබඳ මගියාට තීරණය කිරීමට ඇති අයිතිය හෝ අද බොහෝ රථ අංගනවල රියදුරන් විසින් තමන්ට මුදල් ගෙවන මගියාට ලබා දී තිබේද?
ගතවූ මහින්ද සන්ධානය සමයේ 2013 ජූනි මාසයේ මගී සේවා ඉටුකරන සියලුම වාහන සඳහා ප්‍රමිතිය සහ ගුණාත්මක බව වෙනුවෙන් විධිමත් නිර්ණායක සැලසීම සඳහා යෝජනා කැඳවීමක් කළේය. ඒ සඳහා ලක්ෂ ගණන් මුදල් වැයකර පුවත්පත් පිටු පුරා දැන්වීම් පළ කළේය. එකල පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සි.බී. රත්නායක එහි සඳහන් කළේ හොඳම යෝජනා සඳහා වටිනා ත්‍යාග ලබාදෙන කතාවකි. එසේ නම් ඒ අවස්ථාව සඳහා මෙම අවස්ථාවේ විරෝධය දක්වන රියදුරන් යෝජනා ඉදිරිපත් කළේද? කළා නම් ඔවුන්ගේ යෝජනා අතර මෙවැනි අර්බුද පිළිබඳ කියවුණේද? ඒවාට සාධාරණය ඉටු වූයේද? ඉටු නොවුණේ නම් බලපෑ හේතු මොනවාද යන්න නැවත මෙනෙහි කළ යුතු කරුණකි.
ඇතැම් රියදුරන් පවසන්නේ ස්වයංරැකියා සංගම් අටවාගත් ඇතැම් ගෝලබාලයන්ගේ බලපෑම මත එදා ඒ යෝජනා යටපත් කළ පුවතකි. මෙදා පක්ෂ දේශපාලනය හරහා ආණ්ඩුව අපහසුවට පත්කිරීමට ජනතාවට අදාළ නීතිය ඉදිරියේ විරෝධතා දක්වන්නේ එනිසා යැයිද ජනතාවගේ පැත්තෙන් ද චෝදනාවකි.
ස්වයං රැකියා නියුක්තිකයන් නමින් ගතවූ මහින්ද පාලන සමයේ ආරම්භ කළ ඇතැම් දේශපාලන සංවිධාන මුවාවෙන් කරන ලද කප්පම් ගැනීම, අල්ලස් සහ දූෂණ හේතුවෙන් මේ වනවිට අධිකරණයේ නඩු ගොනුවී ඇතැයි රියදුරන් පවසති. ඒ අනුව එදාත් ස්වයං රැකියාවට මුවාවී රටේ නීතියට පටහැනිව දුරාචාරය වපුරන සේවාවන් ක්‍රියාත්මක වූ බවට ඇතැම් රියදුරන් පෙන්වා දෙති.
එනිසා මෙය අංශ දෙකක් යටතේ පැහැදිලිව ක්‍රියාත්මක විය යුතු බව රථවාහන ධාවනය පිළිබද විද්වත්හු පෙන්වා දෙති.
පළමුවැන්න රජය විසින් මෙම සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමය. දෙවැන්න ත්‍රිරෝද රථකරුවන් විසින් රටේ අණපනත්වලට ගරු කරමින් මහජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි එම සේවය පවත්වාගෙන යාමකි.
විනයගරුක රියදුරන් වශයෙන් රජය සමග පවතින සුහද සංවාදය ශක්තිමත් කරගැනීම කාලීන අවශ්‍යතාවකි. එහිලා රජය රියදුරන්ට ඇහුම්කන් දිය යුතුය. මැතිවරණයක් ආසන්න වනවිට නිල්, කොළ, රතු බැලුම් එල්ලා පෙළපාළි යන්නේද මෙම වෘත්තිකයන් බව පාලකයන් සිහිපත් කළ යුතුය. එනිසා ඔවුන් කරපිංචා කොළයක් ගානට නොවැටිය යුතු යැයි ඔවුන් පවසන කරුණද සත්‍යයකි.
ත්‍රිරෝදයට නියාමනයක් අවශ්‍ය බව සැබෑවකි. එහිදී කළ යුත්තේ රජය ජනතාවටත් රියදුරන්ටත් හානියක් නොවන ආකාරයෙන් ඵලදායී ක්‍රමවේදයකට යාමය. එයට දෙපාර්ශ්වය විවෘත මතවාදීව දායක විය යුතුය.
එහෙත් ක්‍රමවේදයක් තිබුණද රියදුරන් කොතෙක්දුරට ජනතා හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි ජනතාවට ඇත්තේ සැකයකි. මන්ද ගෙවී ගිය වසර විසිපහ තුළ ඔවුන් කළේ ලද සැනින් කීයක් හෝ කඩාගෙන පැන යාමක් බවට ජනතාව චෝදනා කරති. තමන්ට මුදල් ගෙවූ මගියා සරදමටත් හිංසනයටත් අවමානයටත් පත්කරන රියදුරන් වැඩි යැයි ජනතාව පවසන කරුණ බැහැර කළ නොහැකිය.
එනිසාම රජය එහි එක් මූලික පියවරක් ලෙස මගියගේ ආරක්ෂාව වෙනුවෙන් ඔක්තෝබර් 1 දින සිට ක්‍රියාත්මක කිරීමට යන යෝජනා කෙරෙහි ජනතාවගේ පැත්තෙන් ඇසෙන්නේ ප්‍රසාදයකි. රියදුරන් අතරින් යම් පාර්ශ්වයකගෙන් නැගෙන්නේ චෝදනාවකි. තවත් රියදුරන් පිරිසකගෙන් ඇසෙන්නේ ඇගයීමකි.
එයින් පැහැදිලි වන්නේ රියදුරන්ද අතළොස්සක් හැර වැඩිදෙනෙකු රජය සහ ජනතාව සමග නව නියාමනයක මූලික ප්‍රවේශයක් ලෙස ඔක්තේබර් 1 දින නීතිය පිළිබඳ තම සිතැඟියාව පළකර ඇති පුවතකි.
ස්වයංරැකියා සංවිධාන රජය සමග ගැටුම් ඇතිකර ගැනීම වෙනුවට පවතින තත්ත්වය තුළ තමන්ට වඩාත් යහපත් පසුබිමක් නිර්මාණය කර ගැනීමේ වාසිය ඔවුන්ගේ පැවැත්මට අනුබලයකි.
එහිලා එක් රියදුරන් පිරිසකගේ අදහස් යෝජනා සියල්ල ගොනු කරමින් ලිපිය අවසන් කරමු.
“විධිමත් නියාමනයක් අවශ්‍යයි. ඒක මෙතෙක් නොවුණා නම් ඒකට මෙම අවස්ථාව අපි පාවිච්චි කරන්නේ කෙසේද යන්න පිළිබඳ බේද නොවී ඇති කරගත යුතු එකඟතාවක්. එතෙනදී අපේ සේවාලාභීන්ගේ පැත්ත හිතලා පළමුව එතෙනට යමු. එයින් පස්සේ රජයට අපි අවනත වූ නිසා දැන් අපේ සෙසු අපේක්ෂාවන් ඉටුකරන්න යැයි රජයට බල කරමු.
ආණ්ඩු තරහ කරගෙන මේවා කරන්න බැහැ. අපේ ත්‍රිරෝද නැත්නම් මිනිසුන් බස්වල යයි. කාර්වල යයි. මේවා ජනතාවට යන්න ගෙනාවා නම් ජනතාවට වගකියන ආණ්ඩුව මොකක් වුණත් ඒ නීතිරීතිවලට ඇහුම්කන් දෙමු. එහෙම බැරි අය වීල් එක පාරෙන් අයින් කර ගන්න. මොකද අය කරන මුදලට ජනතාවට බිල්පතක් දෙන්න බැරිනම් දුවපු කිලෝමීටර් ගණන කියවෙනවාට අකමැති නම් ගාල කඩාගෙන දුවන සේවයක් රටක තියෙන්න බැහැනේ.
අනික දකුණු පසින් බහින්න එපා යැයි කියන නීතිය හොඳ දෙයක්. සමහර මගියන් එහෙම කරනකොට වෙනත් වාහනවලට යට වෙනවා. අපි අමාරුවේ. එපා කීවොත් අපිට රවනවා. මේවා හොඳ යෝජනා.
ඇත්තටම මිනිස්සු අදටත් අපිට අවමානයෙන් ගරහමින් කතා කරන්නේ මෙවැනි ටික දෙනෙකුගේ අශීලාචාරකම් නිසා තමයි. මේකට අද දක්වා ගුණාත්මක සේවයක් හරි ප්‍රමිතියක් හදාගන්න බැරි වුණේ නුසුදුසු මැරයන් දේශපාලන තක්කඩියන් මේවයේ රජ කරන නිසා. මේක මහත්වරුන්ගේ වෘත්තියක් වුණත් ඒ ගරුත්වය රැකගන්න බැරි ඒකයි. අපේ වෘත්තියට ප්‍රමිතියක් ගරුත්වයක් සඳහා නීතිය හොඳ මඟපෙන්වීමක් කර ගනිමු. එපා නම් හොරුන් මැරයන් මෙතනින් අයින් වෙයි. එතකොට මේක ඉබේම පිරිසුදු වෙයි” ඔවුහු අවධාරණය කරති.
ජනතාව හිතෙන්නේද ඒ ටිකමය. ත්‍රිරෝද රියදුරන් අතළොස්සකගේ දේශපාලන ඕනෑ එපාකම්වලට අනුව ජනතා සුභසාධනය සඳහා වන රටේ නීති වෙනස් කිරීමට තරම් ආණ්ඩුව නිවට විය යුතුදැයි ජනතාව අසන ප්රශ්නය ආණ්ඩුවට ඇසිය යුතුය.
රටේ නීතියටත් නොමනා බලපෑම් කරන ඇතැමුන් තමන් සමග ගමනේ යෙදෙන මගියාට කරන අඩත්තේට්ටම පිළිබඳ තවත් කවර කතාදැයි ජනතාව අසන ප්රශ්නය පාලකයන්ට දැනිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd