(GRAPHIC)බෞද්ධ ඉතිහාසය තුළ මෙන්ම බෞද්ධ සාහිත්‍ය තුළද අප වැඩි වශයෙන් අසා ඇත්තේද, දැක ඇත්තේද ටැම්පිට විහාරය. නමුදු ටැම්පිට වෙහෙර හෙවත් ටැම්පිට චෛත්‍ය පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි.කණු 32ක් මත ඉදිවූ එවන් අපූරු දර්ශනීය චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් අද (20දා) දින සැදැහැති බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත වීමට නියමිතය.
ථූප වංශයට අලුත් පරිච්ඡේදයක් එක්කරමින් එලෙස විවෘත වන්නේ රුවන්වැලි මහා සෑයට පමණක් දෙවැනි වන ලෙස ඉදිවූ කොත්මලේ මහවැලි මහා ස්ථූපයයි. අද (20දා) පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ මහා සෑය විවෘත වීමට නියමිතය.
අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටි රුවන්වැලි දාගැබට අනුරූප වන ලෙස ගොඩනගා ඇති කොත්මලේ දාගැබ උසින් අඩි 289ක් වන අතර, වට ප්‍රමාණය අඩි 628 කි. නව ශිෂ්ටාචාරය තුළ නව තාක්ෂණය යොදා ගනිමින් ඉදිකර ඇති මෙම චෛත්‍ය‘යේ සුවිශේෂී ලක්ෂණය වන්නේ බැතිමතුන් 4000කට පමණ එකවර චෛත්‍ය ගර්භය තුළට පිවිස වන්දනාමාන කිරීමට හැකි වීමයි. තවද වාහල්කඩ දොරටු දෙකකින් සමන්විත වේ.
හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් අනුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මහා ජලාශයන්ට යටවූ විවිධ ආගමික පූජනීය සිද්ධස්ථාන සිහිකිරීම අරමුණු කර ගනිමින් මෙම ස්ථූපය ඉදිකිරීමට කටයුතු කර තිබේ.
කොත්මලේ ප්‍ර‘දේශය තුළ පැවති කඩදොර ප්රියබිම්බාරාමය, මොරපේ බෝධිරුක්ඛාරාමය, මොරපේ බෝධිමාලකාරාමය, වටද්දර ශ්‍රී විසුද්ධාරාමය, වටද්දර ඥානෝදය පිරිවෙන, තිස්පනේ ශ්‍රී සුදර්ශනාරාමය වැනි විහාරස්ථාන රාශියක් ජාලාශය වෙනුවෙන් යටවූ අතර, ඒ වෙනුවෙන් හා අපරිමිත පරිත්‍යාග කළ එම ප්‍ර‘දේශවාසීන්ට කෘතගුණ සැලකීමක් ලෙස මෙම ස්ථූපයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත.
තවද එම විහාරස්ථානයන්හි පැවති කොරවක්ගල, සඳකඩ පහන්, ගල්කණු, පැරණි බුදු පිළිම, කරඬු, මුරගල්, පැරණි දැව කණු, පත්තිරු ආදී පුරාවිද්‍යා වටිනාකම් ඇති භාණ්ඩ සංරක්ෂණය කර අනාගත පරපුරට දැකගත හැකිවන පරිද්දෙන් මෙය ඉදිකිරීම අරමුණු කරගෙන තිබූ අතර, ඒ සඳහා මුල්ගල් තැබෙන්නේ ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ 31 වැනි ජන්ම දිනයේදී මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ 1983 මාර්තු මස 20 දිනය.
එමෙන්ම මෙම ස්ථානය අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝද සහයෝගය දක්වා තිබේ. මහවැලි මහා සෑය කොත්මලේ ස්ථාපිත කිරීමට කරුණු කිහිපයක් මුල්වී ඇත. සිංහල වංශ කතාවේ වීරෝධාර චරිතයක් වන දුටුගැමුණු කුමරු සැඟවී සිටි කොත්මලේ කොටගේපිටිය පිහිටා ඇත්තේද මෙම ස්ථූපය ඉදිකර ඇති ප්‍ර‘දේශය ආසන්නවය.
එමෙන්ම දොළොස්වැනි ශත වර්ෂයේදී කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණයකොට රට විනාශ කළ අවස්ථාවේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සඟවා තබන ලද්දේද කොත්මලේ මල්නෑව නම් ස්ථානයේය.
ඉන්පසු මහා සංඝයා විසින් එම ධාතූන් වහන්සේලා මහ පෙරහරින් දඹදෙණියට වැඩම කිරීම කොත්මලේ ජනතාව කළ දැඩි කැපකිරීම් මත සිදුවූවක් බව ඉතිහාසය සඳහන් කරයි. කොත්මලේ මහවැලි මහා සෑ සංකීර්ණය මහා ස්ථූපයක් පමණක් නොව තවත් ක්‍රියාකාරකම් රැසකින් සමන්විත සංකලන කේන්ද්‍රස්ථානයකි.
මහා සෑ ගර්භයෙහි ආධ්‍යාත්මික තේමා රැගත් ශබ්ද ආලෝක සංදර්ශන නොකඩවා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ස්ථූප ගර්භ‘යෙහි එක් තලයක බිතු සිතුවම් නිර්මාණය කිරීමට අදහස් කර ඇති අතර, පුස්තකාල සහ පර්යේෂණ පහසුකම් සැපයීමටද සැලසුම් කර ඇත. දෙස් විදෙස් සැදැහැවතුන්ට නේවාසික පහසුකම් මෙම සංකීර්ණය තුළින් සපයා ඇති අතර, ඒ අනුව මෙය ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වනු නිසැකය.
කොත්මලේ මහා සෑය ඉදිකිරීමේ නිර්මාණ දායකත්වය දිවංගත ආචාර්ය කුලසිංහ ඉංජිනේරු මහතාගෙනි. කෙසේ වුවද 1994 ඔක්තෝබර් 23 වැනි දින නොසිතූ ආකාරයෙන් ගාමිණී දිසානායක මහතා ඝාතනය වීම තුළ චෛත්‍ය ගොඩනැගීමේ කටයුතු අතරමග නතර විය.
2003 වසරේදී මෙම සෑයේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මහවැලි සංස්කෘතික පදනම් භාරය නමින් පූණ්‍ය ආයතනයක් බිහිකෙරුණි. 2013 වසරේදී මහවැලි සංස්කෘතික පදනම් භාරය රජයේ පූණ්‍ය ආයතනයක් හා සංස්ථාවක් ලෙස නීතිගත කර ප්‍රකාශයට පත්කෙරුණු අතර, වත්මන් වැවිලි කර්මාන්තය අමාත්‍ය නවීන් දිසානායක මහතා එහි සභාපතිත්වය දරනු ලැබේ.
එදාමෙදා තුර කාලය තුළ රට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන් මෙන්ම මහවැලි අමාත්‍ය ධුරය හෙබවූ ආමත්‍යවරුන් සියල්ලෝම මෙම චෛත්‍ය‘යේ සාර්ථකත්වය වෙනුවෙන් සිය දායකත්වය දැක්වූ බව මහවැලි සංස්කෘතික පදනම ස්තුතිපූර්වකව සිහිපත් කර සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සභාපති වැවිලි කාර්මාන්ත අමාත්‍ය අධි නීතිඥ නවීන් දිසානායක මහතා පැවසුවේ මෙවැන්නකි.
"අවුරුදු 33 න් නිම කිරීමට යෝජිතව තිබූ මහවැලි ගඟ උතුරට හැරවීමේ යෝජනා ක්‍රමය වසර හයකින් නිම කිරීමේ භාරදූර වගකීම දැරූ මගේ පියාණන්ගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ කොත්මලේ මහවැලි සෑය ඉක්මනින් ජාතියට පැවරීමයි. නමුත් වෙනස්වන සුළු දේශපාලනය නිසා එම කාර්යය එතුමාට කරන්න නොහැකි වුණා.
1994 එතුමා අප අතරින් සදහටම වෙන්වූ අතර, එතුමා නැවතූ තැනින් එම කටයුතු ආරම්භ කිරීමට මම අදහස් කළේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුතු මා වන නිසායි. වසර 21කට පසුව මගේ පියාගේ සිහිනය, ජනතාවගේ බලපොරොත්තුව ඉෂ්ට කිරීමට අප සමත්වී තිබෙනවා. එමෙන්ම මෙම කාරණයේදී මගේ පියාගෙන් පසුව මහවැලි අමාත්‍ය ධුරය දැරූ සහ ජනාධිපති ධුරය හෙබවූ සියලු නායකයන්ට මගේ ගෞරවය මෙහිදී පුදකර සිටිනවා" ස්ථූප වංශ කතාවට අලුතින් එක්වන මහා ස්ථූපයක් වන කොත්මලේ මහවැලි මහා සෑය වන්දනා කිරීමට ඔබත් නොපමාව එක්වන්න.
ග්‍රැෆික් සටහන සුපුන් සම්පත්/ ඡායාරූප චමිල් රූපසිංහ