තවත් වසර 25-30කදී මෙරට උෂ්ණත්වය ඉහළට
දේශගුණික විපර්යාස නිසා ඇතිවන අහිතකර පාරිසරික බලපෑම ගැන ලොව පුරා කතිකාවතක් දැනටමත් ආරම්භ වී ඇත. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෑම තැනකම සාකච්ඡා සිදුවෙමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයට ඍජුව ගොදුරු වන බවත්, එහි බලපෑම නියත ලෙසම මෙරටට දැනෙන බවත් මෙරට සිටින දේශගුණික විද්‍යා පිළිබඳ විද්වතෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි හිටපු උපකුලපති මහාචාර්ය සෙනවි එපිටවත්ත මහතා පවසයි.
ඒ මහතා පවසන අන්දමට මෙරට වර්ෂාපතනයේ තීව්‍රතාවය වැඩි වීම තුළින් මෙරටට දැඩි බලපෑමක් ඇති විය හැකි බවත්, තව අවුරුදු 25-30 ක් යනවිට තත්ත්වය වඩාත් උග්‍ර වනු ඇති බවත් ඔහු පවසයි.
දේශගුණික විපර්යාස ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය ඉහළ ගොස් ඒ තුළින් මෙරට වෙරළබඩ ප්‍රදේශ යටවී යා හැකි බවද ඔහු පවසයි. විශේෂයෙන් 'යාපන අර්ධද්වීපය' පවා වසර 25-30 ක් අතර කාලය තුළ සමුද්‍ර ඛාදනයට ලක්ව යටවී යන තර්ජනයට ගොදුරුවිය හැකි බව ඔහු පවසයි.
දේශගුණික විපර්යාස ඇති වීම පිළිබඳව මත 02ක් පවතින අතර ඉන් එක් කොටසක් නිසැකවම එය සිදුවන බවට පවසන අතර, විවිධ සමාගම් අනුග්‍රහය මත යැපෙන ඇතැම් සමාගම් එය එසේ සිදුනොවන බවට කරුණු දක්වන බවත් හෙතෙම පවසයි. එනමුත් තමාගේ අදහසට අනුව එය නියත වශයෙන්ම සිදුවන බව ඔහු පවසයි.
අදාළ තත්ත්වය ශ්‍රී ලංකාවේ සියලු භූගෝල කලාප තුළ ඇති විය හැකි බව ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ සාගර උෂ්ණත්වය ඉහළ යාමෙන් බලපාන අනතුරුවලට අමතරව පසේ තෙතමනය වැඩි වී සුළඟේ ප්‍ර‘වේගය වැඩි වීම ආදිය සිදුවිය හැකි බැවින් ඒ තුළින් සමස්ත ශාක වගාවන්ට බලපෑම් ඇති විය හැකි බව ඔහු පවසයි.
වර්ෂාපතනය වැඩි වීම මත කෘමි ගහණය වැඩි විය හැකි බවත්, පාංශු ඛාදනයද වැඩි වී එයින් පසේ වාතය, තෙතමනය වැඩි වන බැවින් අපගේ ශාක පද්ධතිය ඊට අනුරූපගතව හැඩගැසිය යුතු බව ඔහු පවසයි. අවු 25 ක් වැනි කෙටි කාලයක් තුළ එය සිදුවිය හැකි බවට ඔහු අනුමාන කරයි. වගාවන් කෙරෙහි දේශගුණික විපර්යාසන්හි බලපෑම කෙලෙස වේවිදැයි විමසූ විට මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ පොල් වගාවේ අස්වැන්න අඩුවීම හා පොල් ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම එහි ප්‍රතිඵලයක් බවයි. විශේෂයෙන්ම පොල් ගෙඩියක ප්‍රමාණය 25-30%ක් අතර ප්‍රමාණයකට කුඩා වී ඇති බව ඔහු පවසයි.
මේ පිළිබඳ සැලකිලිමත් වීමේදී දේශගුණක විපර්යාසයන්ට අනුවර්තනය වූ භෝග ඇති කිරීමේ වටිනාකම ඔහු මෙහිදී අවධාරණයට කරන ලදී. දැනටමත් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට ගන්නා පියවර අසතුටුදායක බවත්, ඒ සඳහා පර්යේෂණ කිරීම ඉතා අඩු බවත් ඒ මහතා පැවසීය.
දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට ජාත්‍යන්තර සංවිධාන එකමුතුව කටයුතු කළයුතු බව ඔහු ප්‍රකාශ කරයි. පරිසරය හා මිනිසා අතර බැඳීම මවක් තම දරුවා අතර පවතින බැඳීමට සමානය. පෘථිවිතලයේ හා මිනිසාගේ පැවතීම පරිසරය හා රඳා පවතින බැවින් කල්යල් බලා විද්වත් මතවලට සවන් දී පිළියම් යෙදීම කාලෝචිතය.
මහේෂානි මීගහපොල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



