උතුරු පළාතේ පාසලක උත්සව අවස්ථාවට සහභාගි වූ එහි අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම වෙනුවෙන් තමන්ට ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ පුවතක් ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ඔහු පවසා සිටියේ, එහි සම්ප්රදායක් ලෙස එවැන්නක් සිදු නොවන පුවතකි.
සියල්ල දුටු ජනතාව පැවසුවේ, මෙය සම්පූර්ණයෙන් වැරදි පූර්වාදර්ශයක් වශයෙනි. එකම රටක්, එක ජාතියක්, එක කොඩියක් වෙනුවෙන් බහුතරයක් හඬ නගන යුගයක උතුරේ විග්නේෂ්වරන් සහ අත්ළොස්සක් වූ ගෝලබාලයන් ප්රභාකරන්ගේ හොල්මන් කෙරෙහිත් අදටත් දක්වන බිය තුළ උතුරට ජාතික සංහිඳියාව කවදා කෙසේ උදාකළ හැකි දැයි එම වැසියෝ විමසති.
මෙනිසා අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රී ලාංකික පුරවැසියෙකුද යන පැනය ජනතාවට ඇත. සෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුම රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමට බැඳී සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටේ මූලික නීතියද වෙයි. එහෙත් එසේ සිදු නොවන්නේ නම්, හෝ සිදු නොකරන්නේ නම්, එබඳු පුද්ගලයන්ට එරෙහිව රජය ගන්නා නීතිමය පියවර දෙස ජනතාව බලා සිටිති.
එමෙන්ම ඔහු දේශපාලන බලය ඇති පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එසේ නම්, ඔහුගේ දිවුරුම අනුව ඒකීය රටක් මෙන්ම රාජ්‍යයේ අඛණ්ඩතාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පළාත් සභා සඳහා වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තවදුරටත් සනාථ වෙයි.
සෑම පුරවැසියෙක්ම රටේ ජාතික කොඩියට ගරු කිරීමට සහ ඒ සමග පවතින අණපනත් පිළිපැදීමට සදාචාරාත්මකව සහ නෛතිකව බැඳී සිටියි. එහෙත් ශ්‍රී ලංකාව නමැති කුඩා දූපතක වාසය කළද අදටත් මිනීමරු ප්රභාකරන් සහ බටහිර ගැති එන්.ජී.ඕ. කාරයන්ගේ දූපත් මානසිකත්වයෙන් රට බෙදා වෙන්කළ යුතුය යන වියරු මානසිකත්වයක් පවතින උතුරු පළාත් සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ජාතික යන වචනය %අරහං^ යැයි දකුණේ ජනතාව මෙවැනි සිදුවීම් දෙස බලා පවසති.
මේ හැම කරුණක් තුළම පැහැදිලි වන්නේ නව ව්‍යවස්ථාවක් මගින් දිනාගැනීමට අපේක්ෂිත පෙඩරල් මානසිකත්වය තවදුරටත් ක්‍රියාවෙන්ද ජනතාවට පෙන්වා දීමේ බෙදුම්වාදී ප්රයත්නයක් යැයි ජනතාව පවසති. %අපි නුඹලාගේ රටවැසියන් නොවන බව හෝ නුඹලා අපේ රට වැසියන් නොවන බව^ ක්‍රියාවෙන් පෙන්වා දීමේ උත්සාහයක් මෙම සිදුවීම් විවරණය කරන ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවතින ප්‍රතිපාදන තුළ ඔහු අමාත්‍යවරයෙකු දක්වා පත්ව සිටියි. එහිලා ඔහුට ඡන්දය දුන්නේ උතුරු පළාතේ ජනතාව බව අමුතුවෙන් කිව යුතු නැත. එහිදී ජනතාව ප්‍රකෝප කරවන හෝ ජාතික සංහිඳියාවට අහිතක් විය හැකි දේ වෙනුවෙන් ජනතාව ඔහුට ඡන්දය නොදුන් බව බහුතරයක් දමිළ ජනතාවද අවධාරණය කරති.
ඔහුට වැටුප් ගෙවන්නේ කවුද? ශ්‍රී ලාංකික ජනතාව බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ ආරක්ෂාව සහ අඹුදරුවන් නඩත්තුව කරන්නේද උතුරේ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික එක කොඩියක් තුළ වෙසෙන බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව ඇතුළු සෙසු ජාතීන් යැයි කීමට ජනතාව බිය නැත. ශ්‍රී ලාංකික ජනරජයේ සම්මත සිරිත්විරිත් සංස්කෘතික දේශපාලන චර්යාවන්ට පිටුපා ත්රස්තවාදීන්ටත්, බෙදුම්වාදීන්ටත්, ලේ පිපාසිත මිනීමරුවන්ටත් අවශ්‍ය පරිදි රටේ පළාත් සභාවක අමාත්‍යවරයෙකුට ක්‍රියා කළ හැකි දැයි එහි මහ අමාත්‍යවරයාත්, ආණ්ඩුකාරවරයාත් තම අවධානය යොමුකළ යුතු බව උතුරේ ජනතාව පවසති. රටේ ජනාධිපතිවරයා තම බලතල අනුව එය තීරණය කළ යුතුය.
දශක හතරක මිනීමරු යුද්ධය එපා යැයි කියූ දරුවන්ට නැවතත් යුද්ධයට අත වනමින් රට තුළ භේදයක් මැවීමට මෙම අමාත්‍යවරයා ගත් පහත් වියරු උන්මාදය රටේ පාලකයන්ගේ අවධානයට යොමුවිය යුතුය. ජාතික සංහිඳියාවට දකුණේ ජනතාව හැමදාමත් පෙරමුණ ගනිති. ඒ වෙනුවෙන් නොකරන කැපවීමක්ද නැත. එහෙත් මෙම ජනතා මුදලින් වැටුප් ලබන දේශපාලකයා ක්‍රියා කළ ආකාරය උතුරේ දරුවන්ටත් අවස්ථාවාදී දේශපාලකයන්ටත් දුන් වැරදි පූර්වාදර්ශයක් බව කිව යුතුය.
මෙම සිදුවීම විමසන විට එය නීතිය අනුව වරදකි. බේරුවලදී මෙන්ම ගිංතොටදීත් ජාතීන් අතර අසමගියක් පැතිර යෑමේ අවදානම ඉදිරියේ ආණ්ඩුව පැවසුවේ වැරදි ප්‍රචාර ගෙනයන අයට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන පුවතකි. වැරදි කළ අයට දඬුවම් දෙන පුවතකි.
එය යහපත් ක්‍රියාවකි. මෙතෙක් නිසි ආකාරයෙන් දකුණට මිස උතුරට සිදු නොකරන නීතිය ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ හැසිරීමද එක් පැත්තකට පමණක් නොවිය යුතු යැයි ජනතාව පෙන්වා දෙති. එහි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු පවා අවලංගු කරමින් හදිසියේ නීතියත්, සාමයත් රකින තැනට කරුණු යෙදෙන්නේද මෙවැනි එක් පැත්තකට වැනෙන නීතිය සහ රජයේ දේශපාලන ස්ථාවරය නිසා දැයි සියල්ල දෙස බලා සිටින ජනතාව චෝදනා කරති.
එනිසාම උතුරේ විග්නේශ්වරන්ගේ සිට පහළට සහ පියවරෙන් පියවර අධ්‍යාපන අමාත්‍ය හරහාද අවුළුවන මේ ගින්න සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කෙරෙහි සමස්ත ජනතාව බලා සිටිති. එස්.බී. පැවසුවේ අමාත්‍යවරයා ඉවත් කළ යුතුය යන අදහසකි.
බටහිර ඊනියා සමාජ ජාල සහ ජනමාධ්‍ය මෙන්ම එන්.ජී.ඕ. කරුවන්ද මෙම සිදුවීමේදී ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරුණේ යැයි ජනතාව මවිතය පළ කරති. ගිංතාට එක් පාර්ශ්වයක් පිළිබඳ කම්පනයෙන් සහ තවත් පාර්ශ්වයක් පිළිබඳ පිළිකුලෙන් කතා කිරීමට උනන්දුව ඔවුන් ජාතික කොඩිය නොඑසවීම ගැන කතා කිරීම අමතක කර ඇතැයි සිදුවීම සමතුලනය කළ ජනතාව පවසති.
කිසිසේත්ම ගිංතොට සුළු ජාතීන්ට යම් අසාධාරණයක් සිදුවී නම් සිදුකළ සහ අනුබල දුන් අය අගමැතිවරයාත්, අමාත්‍යවරයාත්, පොලිස්පතිවරයාත් පැවසූ පරිදිම නීතිය ඉදිරියට ගෙන ගොස් දඬුවම් කළ යුතුය.
එය අපරාධ ගොන්නට වැටෙන සමාජ ක්‍රියාකාරකමකි. එසේම කොඩිය සම්බන්ධ සිදුවීමේදී එය අපරාධයකටත් වඩා අපරාධයක් වන්නේ රටේ ඒකීයත්වයත්, අඛණ්ඩතාවත් රැකදීමට පොරොන්දු වී දිවුරා ඒ නමින් වැටුප්ද ලබා ගන්නා අමාත්‍යවරුන් නිසා යැයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ පෙනී සිටින රාජ්‍යය විධායකය එය උල්ලංඝනය කිරීමේ රාජද්‍රෝහී ක්‍රියාව හේතුවෙන් බව නීති විශාරදයෝ අවධාරණය කරති. එයින්ද මෙම සිදුවීම් තුළ සැඟවුණු යටි අරමුණු පැහැදිලි වන්නේ යැයි මධ්‍යස්ථ ජනතාව අවධරණය කරති.
ඇතැමුන් පවසන්නේ එය අදාළ අමාත්‍යවරයාගේ පෞද්ගලික මතය විය හැකි බවට නිදහසට කරුණකි. අමාත්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට පොදු කාර්යයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම සහ පෞද්ගලිකත්වයට යටත්ව තම කල්ක්‍රියා පවත්වාගත නොහැකි බව දේශපාලන විශාරදයෝ පෙන්වා දෙති.
ජනාධිපතිවරයා රටේ ප්‍රධාන පුරවැසියා වන්නේත්, අගමැතිවරයා දෙවැනි පුරවැසියා ලෙස පිළිගැනීමට ලක්වන්නේත් ඒ පෞද්ගලිකත්වයෙන් මිදුණු සාධකය වශයෙනි. එහෙත් දකුණේ මෙවැනි සිදුවීමක් සිදුවී නම්, වගකිව යුත්තන්ගේ හැසිරීම කෙබඳු විය හැකි දැයි බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇසූ ප්‍රශ්නයම ජනතාවද ඇසූහ. කළ යුත්තේ ඇති සැටියෙන් දැකිය හැකි විවෘත මනසකින් ප්රශ්නය තේරුම් ගැනීම යැයි දේශපාලන නිරීක්ෂකයන් පවසන දේ ඒ ඇත්තන්ට ඇසිය යුතුය.
රාජ්‍ය නියෝග නොසලකා ත්‍රස්තවාදී විරුවන් සැමරීමත්, පන්සල් කඩාබිඳ දැමීම සහ ඒවා ඉදිකිරීමට තහංචි පැනවීමත්, විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ සිංහල සංස්කෘතික අංශයන්ට වාරණ පැනවීම සහ පහරදීම වැනි ගෙවීගිය උතුරේ ආසන්නතම සිදුවීම් ජනතාව සිහිපත් කරති. ජනාධිපතිචරයාටත් උතුරට එන්න එපා යැයි තර්ජනය කළ කතා වගකිවයුත්තන්ට සහ නීති අංශයන්ටද අමතකය.
අධ්‍යාපනය නමැති බුද්ධිමය සංවාදයක මුදුන්මුල විය යුතු අධ්‍යාපන අමාත්‍යවරයාද ගල් යුගයේ හෝ වනචාරී චර්යාවන් ඇති අයෙකු සේ හැසිරෙන්නේ නම්, එවැනි පළාතක සිසුන්, උගතුන් සහ බුද්ධිමත් ජනතාව අතර අධ්‍යාපනය තුළින් ජාතික සංහිඳියාවට ඇති අවකාශය අහිමි කිරීමක් බව ජනතාව පෙන්වා දෙති.
එසේ නම් නව ව්‍යවස්ථාවකින් පමණක් මිනිසුන්ගේ මොළය සේදිය හැකිද යන තර්කය අසාධාරණ නැත. ව්‍යවස්ථාවකින් පමණක් නීතියත්, සදාචාරයත්, සහජීවනයත් ඇති කළ හැකි දැයි ජනතාව අසන දේ පාලකයන් තේරුම්ගත යුත්තේ ව්‍යවස්ථාව මෙන්ම මෙවැනි දේශපාලකයන්ගේ ඔළුගෙඩිද පිරිසුදු කළ හැකි භාෂාවක් නීතියක් තෝරාගත යුතු හෙයිනි.
දමිළ ජනතාවට නොවිසඳුණු ප්‍රශ්න තිබේ යැයි ඇතැම් දේශපාලකයෝ සහ ජනමාධ්‍ය උළුප්පා දක්වති. එසේ නම්, ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවාද, සිංහල ජනයාට තරම් ප්‍රශ්න ඔවුන්ට නැතැයි බහුතරයකගේ මතයකි. සමාජ විද්වත්හු පවා එය තහවුරු කරති. ප්‍රශ්න විසඳා ගැනීමට අනුබලයක් වන්නේ ප්‍රශ්න තිබෙනවා යැයි පැවසීම නොව ඒවා සැබෑ අර්බුද ලෙස හඳුනා ගැනීම තුළිනි.
මෙය ජාතිවාදය ඇවිස්සීම පිළිබඳ කතාවක් නොවේ. එකට එක කිරීමට අනුබල සැපයීමක්ද නොවේ. වඩාත් නිවැරදි ප්‍රවේශයක් වෙනුවෙන් ඉතා උචිත ක්‍රමවේදයක් උදෙසා පාලකයන්ගේත්, නායකයන්ගේත්, ජාතික සංහිඳියාව අගය කරන ජනතාව අතරත් සාකච්ජාවට ලක්විය යුතු කරුණකි. අදටත් යෝජිත ව්‍යවස්ථාව කෙරෙහි විරෝධතාවක් පවතිනවා යැයි ජනතාව කියන්නේද මේ කතාවමය. එය තේරුම් ගන්නා තෙක් මේ අර්බුද විසඳීමට සාධක සෙවීමද අපහසුය.