ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන වට්ටාරම විහාරස්ථානය
වට්ටාරම විහාරස්ථානයේ පැවැත්වීමට තෝරාගැනීම
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පොහොය ලාංකේය ජනතාවට අතිශ්‍ය පූජනීය දිනයක් වේ. ලංකාවේ බලපෑම්වලින් පෝෂණය වූ පෙර අපර දෙදිග බොහෝ රටවල්ද වෙසක් පොහොය බුද්ධ චරිතයේ අවස්ථා තුනම සිදුවූ දිනය ලෙසට සලකයි. ථේරවාදී සම්ප්රදායේ සඳහන් වෙන බුද්ධ චරිතයේ බෝසත් උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන කරුණු තුනම වසර අසූවක බුද්ධ ජීවිතය හා සම්බන්ධ වේ. දිනවකවානුවල ගැටීමක් දක්නට නොලැබේ.
මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය මෙරට පැවැත්වීමට එකඟතාව ඇතිකර ගැනීම අතිශයින්ම වැදගත් වන අතර, කෑගලු දිස්ත්‍රික්කයේ වට්ටාරාම විහාරස්ථානය තෝරාගැනීම අතිශයින්ම වැදගත් වේ. මෙම විහාරස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ අතිවිශාල සංඛ්‍යාවක් වෙසෙන බෞද්ධ සැදැහැතිකයන්ගේ ගෞරවාදරයට පත්වූ පූජනීය ස්ථානයකි.
ශ්‍රී ලංකාවේ වැඩ වාසය කළ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩවාසය කළ ස්ථානයක් ලෙසද මෙම විහාරස්ථානය සැලකෙන අතර, 'පපඤච සුදනී ම.නි.' අටුවාවෙහිද මේ පිළිබඳ සටහනක්ද ඇතුළත් වේ. උන් වහන්සේ ක්‍රි.පූ. පළමු සියවස වැඩවාසය කළ බව විවිධාකාරයෙන් පරීක්ෂණ කළ විද්වතුන්ගේ මතයයි. සෑම වර්ෂයකදීම වෙසක් පුරා පසළොස්වක පොහොය දින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණීම නිරායාසයෙන්ම සිදුවන්නකි.
මලියදේව මහරහතන් වහන්සේ වැඩවාසය කළ මණ්ඩරාම විහාරය
ඓතිහාසික ලේඛනවල සඳහන් වන ලක්දිව කලල ග්‍රාමයේ මණ්ඩලාරාම මහා විහාරයේ මලියදේව මහරහතන් වහන්සේ ත්‍රිපිටකය ඉගෙන ගෙන කමටහන් වඩා රහත් වූ භූමිය බව 'මනෝරථපුරණී' අංගුත්තර නිකාය අට්ඨකතාවේ සඳහන් වේ.
මහාදේව, මලියදේව යන නමින් හැඳින්වෙන මලයවාසී මලියදේව හිමියෝ, ග්‍රන්ථධුරය පුරමින්ම විදර්ශනා ධුරයද පුරමින් සිටින අතර, එක්දිනක් කලල ග්‍රාමයේ වර්තමාන (හැලමඩ) ගමේ සිටිය උපාසිකාවක විසින් පිඬුසිඟා වඩිමින් සිටි මලියදේව හිමියන්ට කැඳ සරථමක් පිළිගන්වා, පුත්‍ර සෙනෙහයෙන් ඇතුළු ගෙයි වඩා හිඳුවා, දවල් දානය ප්‍රණීත ලෙස සකසා දෙන ලදී. වාසය කරන ස්ථානය විමසූ විට මණ්ඩලාරාමයේ වැඩවසන බව උන්වහන්සේ පැවසූහ.
එහිදී ග්රන්තධුරය පුරා නිමවන තෙක් (ත්‍රිපිටක ධර්මය ඉගෙන අවසන් වනතුරු) ඇයගේ නිවසින් දානය වළඳන්න ආරාධනා කළාය. මෙය පිළිගත් තෙරුණුවෝ, දන් පිළිගැනීමෙන් පසු, 'සුවපත් වේවා දුකින් මිදේවා' යැයි දේශනා කළහ. එහෙත් ටික කලකින් රහත් වූ මලියදේව තෙරුන් දහම් දෙසන බව දන්වා සිටියද උපාසිකාව විහාරයට නොගොස් සිටි අතර, සාමණේර තෙරනමකගේ බලවත් ඉල්ලීම අනුව ආරාමයට ගොස් පහන්වන තුරු ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ බව මනෝරථපුරන් අටුවාවේ සඳහන් වේ.
අනතුරුව ධම්මපදට්ඨ කතාවේ සඳහන් වන කතා පුවතක 'සුකරපෝනිකා' කතා වත්ථුවේ කලල ග්‍රාමයේ මණ්ඩලාරාමය පිළිබඳව සඳහන් වේ. ගොක්කන්න ග්‍රාමයේ (ගොකරැල්ල) සුමන නම් කෙළඹිසෙක්, දුටුගැමුණු යුද සමයේ ගම විනාශ වූ හෙයින් තම දියණිය වූ සුමනා කුමරිය සමග දීඝවාපිරට්ඨ හෙවත් දීගාවැව, දීඝවාපී ජනපදයේ පදිංචි විය.
සුමනාගේ තරුණ වියේදී දුටුගැමුණු රජුගේ ලකුණටක අතිම්බර් නොහොත් (ගෝඨයිම්බර) යෝධයා දීඝවාපියට ගිය අවස්ථාවක මෙම සුමනා සිටු කුමරිය දැක පිළිබඳ සිත් ඇතිවී මහත් වූ සතුටකින් ඇය අවාහ කර ගත්තේය. පසුව මාගමට ගොස් ඔවුහු මහා පුණ්ණක ග්‍රාමයේ පදිංචි වූහ.
ඇයගේ නිවසට පිඬුපිණිස වැඩම කළ කෝඨඩ පබ්බත වාසීවූ අනුරුද්ධ තෙරණුවෝ ඇයගේ අතීතය දැක අනෙක් තෙරවරුන්ට ඇය බුද්ධ කාලයේ රජගහනුවර සිට සූකරපෝනිකානාම් බව විස්තර කෙරුණු අතර, ඉන් ඇයගේ අතීතය සිහිකර සසර ගමන පිළිබඳව කලකිරී මහා සංග්රාම‘යෙන් පසුව පැවිදි වූ බවත්, ඇයගේ මෑණියන්ගේ ගම වූ ගෝක්කන්න (ගොකරැල්ල) ගමට ගොස් සිටියදී කලල ග්රාමවාසී විහාරයේ තෙරුන්ගෙන් 'ආසිවිෙසා්පම' සූත්‍රයෙන් බණ අසා රහත් වූ බවද සඳහන් වේ.
කල්ලක ග්‍රාමයේ මණ්ඩලාරාමය මහා විහාරයේ සිදුවූ තවත් පුවතක් 'මජ්ඣිම නිකාය' අටුවාවේ හා මනෝරථ පුරණී අටුවාවේ සඳහන් වේ. 'ගත පවජගත වත' සමාදන්ව සිටියදී තිස්සඥති නම් තරුණ භික්ෂුවක මණ්ඩලාරාමයේ විනය හදාරමින් සිටියදී, පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අතරමගදී රූමත් යුවතියක දැක ස්ත්‍රී රූපයට වසඟ වී ලෝබ සිතක් ඇතිවූ විට ලැබුණු කැඳ ටික උපස්ථායක තෙරුන් පාත්‍රයට දමා ආපසු විහාරයට ගොස් ආචාර්යන් වහන්සේට ව්‍යාධියක් ඇතිවී ඇති යැයි පවසා පිළියම් කිරීමට හැකි වුවහොත් එමි, නොහැකි වුවහොත් නොඑමි යැයි පවසා දහවල් සහ සවස උගන්වන පාලි වචන මා වෙනුවෙන් කියා දෙන්නේ දැයි පවසා මලයාවාසී මහා සංඝරක්ඛිත තෙරුන් වෙත ගොස් තම සිතේ ස්වභාවය ප්‍රකාශ කර සුදුසු කමටහනක් ලබාගත්තේය.
ඒ අනුව විදර්ශනා වඩා තිස්සඥති තෙරණුවෝ රහත් වූහ. මේ තෙරුන් පසු කලෙක අභිධර්ම පිටකයේ නිදානය ගැන ගැටලුවක් ඇතිවූ විට ලෝහ ප්රසාදයේදී විසඳන ලද්දේ මේ තිස්සඥති තෙරුන් විසින් බව 'ධම්මසංගණී' අටුවාව වූ 'අක්ථසාලිනියේ' සඳහන් වේ. අභිධර්මයට නිදාන කිහිපයක් ඇති බව පෙන්වා දෙයි. මණ්ඩලාකාරෙන පතිට්ඨිතං ආරාමං, මණ්ඩලාරාමං, මණ්ඩල ආරාමං, වට්ටා ආරාමං, වට්ටාරාමං, වට්ටාරාම.
මලියදේව නමින් රහත් වහන්සේ නමක කැලණියේ නාග ගෝත්‍රික රාජ්‍යයේ කැලණිතිස්ස රජ දවස වාසය කළ බව තවත් ප්‍රකට සිදුවීමකි. ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයේද ඒ බව සඳහන් කරයි.
''ගිලිය නොදී සැට මහණක් බව මහණ
මලිය දෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බණ
දිලිය පස් මහල් පායෙහි විණි කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා කළණ''
මලියදේව රහතන් වහන්සේ හා මණ්ඩලාරාමය පිළිබඳව ඓතිහාසික තොරතුර ගවේෂණයක යෙදුණු මහාචාර්ය එම්.ඩබ්ලිව් .විමල විජේරත්න මහතා ක්‍රි.පූ. 161 වර්ෂයේදී අනුරාධපුරය ආසන්නයේ සංගමු විහාරයේ වැඩසිටි බවත්, කලල ග්‍රාමයේ මණ්ඩලාරාමය සංගමු විහාරස්ථානය ලෙසටත් නිගමනය කරයි.
එහෙත් එතුමන් මී වැව විත්ති පොතේ හෝ ජුනිගධර ගුප්ත කුමරුගේ මී වැව ජනපදය හා බෝධිගුප්ත කුමාරවරුන්ගේ පදිංචිය පිළිබඳවත් තොරතුරු නොදනිති. බෝධිගුප්ත කුමාරවරු ගිරිබාව දෙනගමුව හා මැටියගනේ, පැන්තැනිගොඩ විහාරගම ජනපද පිහිටුවා ගෙන සිටිය බවත්, මෙම බෝධි ගුප්ත පරපුරේ කුමාරයෙකු නිසාම මලියදේව රහතන් වහන්සේ ශිෂ්‍ය භික්ෂුවක් ලෙස සිටියදී වට්ටාරාම දෙනගමුව හා පැන්තැනිගොඩ වාසය කළ බවත් මහාචාර්ය විජේරත්න මහතා නොදනී.
අරහත්ත මලියදේව විහාරස්ථානය පොල්ගහවෙල, පුහුරිය, උඩපොළ, හැඩමඩ, දේවාලේගම ආදී වට්ටාරාම විහාරස්ථානය වටා පිහිටා තිබේ. මෙම ස්ථානවල එම රහතන් වහන්සේ වැඩවාසය කළ බවට සාධක දක්නට ලැබේ. වෙසක් හා පොසොන් පොහොය දෙකට දසදහස් ගණන් ජනතාව ඇදී යන්නේ කිසියම් මාධ්‍යයක ප්‍රචාරයක් නිසා නොවේ, වසර දහස් ගණනක් මුළුල්ලේ පාරම්පරිකව පවතින දැනුම නිසාමය.
වට්ටාරම විහාරයට හා විහාරගම රාජමහා විහාරස්ථානවලට ජනතාව අරහත්ත භූමිය සැදැහැ සිතින් වන්දනාව සඳහා ප්‍රවාහන සේවයක් නොපැවැති කාලවලදී පවා සැතපුම් ගණනක් පාගමනින් වන්දනාවේ යෙදෙති. මෑතකදී අනාවරණය වූ 'මී වැව විත්ති පොත' අලුත් මුද්‍රණය වූ ග්රන්ථ තුනකම ඒ බව දක්නට ලැබේ. මෙයින් පෙන්වා දෙන කරුණු අනුව අනාවරණය වන්නේ මලියදේව රහතන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන පැමිණි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගේ ඥාති බෝධිගුප්ත කුමාරවරුන්ගෙන් ජනිත වූ පුත්‍රයෙකු බවයි.
බෝධි වංශය පෙන්වා දෙන්නේ, බෝධිභාරක මෞර්ය වංශික කුමාරවරුන්ගේ අටවැනි පුනිත්ටර ගුප්ත කුමරුන්ට දෙවන පෑතිස් රජුගේ සොහොයුරෙකු වූ තිස්සා දේවියගේ දියණියන් වූ මිත්තා කුමරිය සරණ කරද්දී මධුවාපි දෝණිය හෙවත් 'මීවැව' ජනපදය පවරා දුන් බවයි.
එම කාලයේදී ධර්ම ගුප්ත කුමරුට දඹදෙණිය අසල මෞර්ය ජනපදය ඇතිකරද්දී (මැටියගනේ) පරපුර ව්‍යාප්ත කළ බවකි. ඔවුන්ගේම සොහොයුරෙකුට පොල්ගහවෙල ආසනයේ පිහිටි දෙනගමුව ගම ජනපදයක් ලෙසට පවරා තිබේ. අනෙක් කුමාරවරු සයදෙනා පදිංචි කළ ස්ථාන බෝධි වංශයේ පිළිවෙළින් සඳහන් කර තිබේ.
ප්‍රසිද්ධ ජනශ්රැතිවල සඳහන් ලෙසට මලියදේව හිමියන් වට්ටාරම වැඩසිටියදී අන්ධ වූ සහෝදරියක දෙගමුවේ සිටිය බවත්, අනෙක් සොහොයුරිය නාරම්මල, පැන්තැනිගොඩ වාසය කළ බවත් ප්‍රසිද්ධ ජනශ්රැතියකි. මලියදේව හිමි මෞර්ය්යවංශයේ කුමාරයෙකුගේ දරුවෙකු වන අතර, මේ නිසා පිරිනිවන් පෑමෙන් අනතුරුව උන් වහන්සේ අධිෂ්ඨාන කළේ තමන් වහන්සේග් මෘත ශරීරය සයනය කළ ඇඳත් සමග දෙනගමුවට ගෙන්වීමටයි.
එම දේහය දුටු ඇස් අන්ධව සිටි සොහොයුරියගේ දෑස් පෙනෙන්නට විය. පසුව මෙම ශෛලමය ඇඳ නාරම්මල, පැන්තැනිගොඩ විහාරයට අහසින් ගමන්කර පහත්වූ පසුව ඉමහත් ගෞරවයෙන් දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් ආදාහනය කරන ලදී. එහි ඉදිකළ චෛත්‍යය අදත් නිරුපද්‍රිතව පවතී.
පැන්තැනිගොඩ රාජමහා විහාරය පළමුව පිහිටුවන ලද්දේ දෙවන පෑතිස් රජුගේ සොහොයුරියක වූ තිස්සා දේවිය විසිනි. දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේද ඇය විසින් රෝපණය කර මෙම විහාරස්ථානය ඉදිකර තිබේ. එතුමියගේ ඥාතිවරියකගේ පුතණු කෙනෙකු වූ මලියදේව රහතන් වහන්සේ වට්ටාරමදී පිරිනිවන් පෑමෙන් පසුව මෙම විහාර භූමියේදී ආදාහනය කරන්නට ඇත්තේ ඥාතී සබඳතාව අනුවය.
මෙම විහාරස්ථානයේ ගල් ලෙනක පිහිටා ඇති කුඩා චෛත්‍යයක් 'ඇඹුල් වෙහෙර' නමින් හැඳන්වේ. උන් වහන්සේ උදරාබාධයක් ඇති වූ විට උපස්ථායක සුළු ගුළු උපාසක (හුලුගල්ලේ) වෙද පරපුරකට අයත් වූවෙක් නිසා ඇඹුල් කැඳක් සාදන අතර, දිව්‍ය ලෝකයට කැඳවා ගෙන ගොස් දෙවියන්ගෙන් දිව්‍ය සම්පත්ද ලබාගෙන තිබේ.
මෙම දිව සළුවත් කැඳ භාජනයත් මෙම චෛත්‍යයේ නිදන් කර තිබේ. ඒ අනුව මලියදේව රහත්න වහන්සේ ජුන්ධගුප්ත පරපුරේ මෞර්ය වංශික කුමාරයෙකු ලෙස සැලකිය හැකිය. මෙවර වෙසක් උත්සවය සඳහා මෙම ඓතිහාසික පුරාවිද්‍යා භූමිය තෝරාගැනීම විශේෂ වැදගත්කමක් ලෙස සලකමි.
විහාරාධිපති, පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක,
පූජ්‍ය පන්නල සුමේධ නායක ස්ථිවිර
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
ශ්‍රී සෝණුත්තරාමය, වේවැල්වල කු/මැටියගනේ.
ඡායාරූප - දර්ශන් ජූලියන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

