ගිං ගඟේ රුදුරු ජල පහර පාලනයට නව සැලැස්මක්
වසර දෙක තුනකට වරක් ගිං ගඟ දෙගොඩතලා යාමෙන් ඇතිවන ගංවතුර උවදුර පාලනය කිරීම සඳහා කලක සිට නොයෙකුත් ශක්‍යතා අධ්‍යයන සිදුකොට ව්‍යාපෘති වාර්තා සකස්කොට තිබේ. කොතෙකුත් ශක්‍යතා අධ්‍යයන සිදුකළද ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන තෙක් ආරම්භකොට නැත.
සැබවින්ම ගිං ගඟ රුදුරු වීම නිසා ඒ ආශ්රිත පදිංචිකරුවන්ට වූ විපත සුළුපටු නොවේ. හානි වූ නිවාස හා දේපළ සංඛ්‍යාවද අති විශාලය. ගිං ගඟ කොමලිය කුරිරු වී ඇතිවන විපතෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ස්ථිරසාර විසඳුමක් අත්‍යවශ්‍ය වේ. ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වහා වහා කටයුතු කළයුතුය. හැමදාමත් බත් පාර්සල්, වතුර බෝතල් බෙදා දීමෙන් විපතට පත්වන ජනතාවට ඇතිවන සෙතක් නැත.
සැබවින්ම ගංවතුර පාලනය කිරීම සඳහා ගිං, නිල්වලා හා කළු යන ගංගා ද්‍රෝණි සම්බන්ධ කරගෙන අධ්‍යයනයක් කරනු ලබන්නේ 60 දශකයේ මුල් භාගයේ පමණය. ඇමරිකානු සමාගමක් විසින් 1967 වර්ෂයේ මෙම වාර්තාව එළිදක්වනු ලැබිය.
ගිං ගඟේ තවලම ප්‍රදේශයේ හා කළු, නිල්වලා යන ගංගාවල ඉහත්තාවේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීම ගංවතුර පාලනයට විසඳුමක් ලෙස මෙකී අධ්‍යයනයෙන් යෝජනා කොට තිබුණි. මීට අමතරව ජල විදුලිය නිෂ්පාදනය, වාරිමාර්ග කටයුතු සඳහා ජලය ලබාදීමටද මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කොට තිබුණි.
මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන්
මේ අතර ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් ඉදිකිරීමට ලබන වසරේ ජනවාරි 08 වැනිදා වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේය.
''මං පැහැදිලිව කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතිවුණු මේ මහා ගංවතුර අපිට නවත්වන්න පුළුවන් බව. ගිං ගඟ හරහා රන්දෙණිගල වගේ පටු, උසින් වැඩි මහා වැව් බැම්මක් ඉදිකළ යුතුව තිබෙනවා. එතකොට මහා ජලාශයක් ඉදිවෙයි. ඒ ජලාශයෙන් විදුලිය මෙගා වොට් 50- 60ක් නිපදවන්න පුළුවන් වෙයි. කුඹුරු අස්වද්දගන්න පුළුවන් වෙයි.
දැන් අපි මෙවැනි ඛේදවාචකයක් සිදුවන වෙලාවේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ වගේ ඛේදවාචකයන්ගෙන් මිදෙන්න අපට මේ වැඩේට උදවු කරන්න කියලා. හැබැයි ජාතියක් හැටියට අවාසනාවට අපි සියලුදෙනාම කෑකෝ ගහගත්තා මිසක්, වැඩේ පටන්ගන්න යනකොට කවුරු හරි ඇවිල්ලා බෝඩ් ලෑල්ලක් අල්ලලා විරෝධය පානවා මිසක් වැඩේ කරන්න කවුරුවත් සහයෝගය දුන්නේ නැහැ.'' යනුවෙන් වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගංවතුර පාලනය කිරීම සඳහා ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක්ද සැලසුම් කොට තිබේ. මෙය එක දිස්ත්‍රික්කයක් මූලික කරගත් ව්‍යාපෘතියක් නොවේ.
ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්ක පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබේ. ගිං නිල්වලා, වළවේ, කිරම, ඌරුබොක්ක, මලලාර යන ගංගා ද්‍රෝණි 06ක් සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.
වසරකට ගිං ගඟේ ජලය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඝන මීටර් මිලියන 2000ක් පමණ මුහුදට ගලා යයි. ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයන සිදුකරනු ලබන්නේ 2011 වර්ෂයේ සිටය. චීන සමාගමක් වාරිමාර්ග ජල කළමනාකරණ ආයතනයත් සමග එක්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකරනු ලැබීය.
කෙසේවුවද මෙකී ව්‍යාපෘතිය ගැන මේ වනවිට විවිධ මතගැටුම් ඇති වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලඥයන්ට අවශ්‍ය වන්නේ මෙකි ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබෙන ප්රතිලාභ ගැනය. ගිං ගඟෙන් ජලය රැගෙන යාමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවක් ඇතිවේද?
''ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පොඩි සැකයක් තියෙනවා. ගාල්ලේ ගංවතුර වළක්වන්න මේක වැදගත් වෙනවාද කියලා. ගාල්ලේ වතුර ටික මාතරට, හම්බන්තොටට, රත්නපුරයට අරන් යනවා කියලා ඒ අය තුළ මතයක් තියෙනවා මෙකී ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙන යාම බවය. මේ ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.'' ඇමති චන්දිම වීරක්කොඩි මහතා කියන්නේ එවැනි කතාවකි.
අපේ දිස්ත්‍රික්කයේ ජල සම්පත සුරක්ෂිත වන බවට අපට සහතිකයක් අවශ්‍යයි
ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙකී ව්‍යාපෘතිය ගැන කියන්නේ මෙවැනි කතාවකි.
''ඇත්තටම දැනට ඉදිරිපත්වෙලා තියෙන ව්‍යාපෘතිය ගැන අපට සෑහීමකට පත්වෙන්න බැහැ. නිල්වලා ව්‍යාපෘතිය අසාර්ථක වුණා. ගිං ගඟ ව්‍යාපෘතියත් සාර්ථක නැහැ. ගිං ගඟේ වතුර හම්බන්තොට, මොනරාගල වැනි දිස්ත්‍රික්කවලට රැගෙන ගියවිට අපේ දිස්ත්‍රික්කයේ ජල සම්පත සුරක්ෂිත වන බවට අපට සහතිකයක් අවශ්‍යයි.'' මේ කතා සත්‍යයක්ද?
වසරකට අක්කර අඩි ලක්ෂ තුනහමාරක පමණ ජල ධාරිතාවක් ගෙනියන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ
මේ ගැන අපි මාතර හා ගාල්ල ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු එල්.එස් සූරිය බණ්ඩාර මහතා සමග කතාබහ කළෙමු.
''ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පානීය ජල පහසුකම් සඳහා දැනට තියෙනවාට වඩා අවශ්‍ය සුරක්ෂිතභාවය ලබාදීම, යල මහ දෙකන්නයට වගා කිරීමට හා වාණිජ කෘෂි වගාව සඳහා ජලය ලබාදීම, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, ජල විදුලිය නිෂ්පාදනය කිරීම තමයි ව්‍යාපෘතියේ අරමුණ. ගිං ගඟේ දැවැන්ත අතිරික්ත ජල ප්‍රමාණයක් තියෙනවා. එය විධිමත් අයුරින් ප්‍රයෝජනයට ගැනීමත් එක් අරමුණක්.''
ඔහු මෙකී ව්‍යාපෘතියේ දැනට සිදුකොට ඇති ශක්‍යතා අධ්‍යයනය ගැන විස්තර කළේ මේ අයුරිනි.
''පිටදෙණිය ප්රදේශයෙත් අමුණක් ඉදිකරනවා. එහි සිට ජලය කොටපොල දක්වා අරගෙන යනවා. කොටපොල ප්රදේශයෙත් අමුණක් ඉදිවෙනවා. අම්පනාගලට ජලය ගෙන ඒමෙන් පසු එහි සිට උමං මාර්ගයක් හරහා මුරුතවෙල ජලාශය දක්වා අරගෙන යනවා. මුරුතුවෙල ජලාශයේ අක්කර අඩි 40,000ක විතර ධාරිතාවයක් තියෙනවා.
ඒ ලබාගන්නා ජලය චන්ද්‍රිකා වැව දක්වා නැවත අරගෙන යනවා. ඒ නිසා උඩවලව ජලාශයෙන් චන්ද්‍රිකා වැවට ජලය ලබාදෙන්න අවශ්‍ය වන්නේ නැහැ. උඩවලව ජලාශයේ ජලය මව්ආර ජලාශයට දීමට යෝජනා වෙලා තියෙනවා. මව්ආරට ඉහළින් ජල හැරවුමට තිබෙන යෝජනාව වෙනසකට ලක්වී තියෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමියක තමයි ඉදිකිරීම් කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න බැහැ. සැලසුම වෙනස් වෙලා තියෙනවා. කිරිඉඹ්බන්ආර වැව හරහා මව්ආර දක්වා ජලය පොම්ප කිරීමටත්, අම්පනාගල ජලාශයක් ඉදිකිරීමටත් යෝජනා වී තියෙනවා.
පිටදෙණියේ අක්කර අඩි 250ක ධාරිතාවක අමුණක් තමයි ඉදිවන්නේ. අවම හානියක් වන අයුරින් තමයි සැලසුම් කරලා තියෙන්නේ. 1968 කරපු අධ්‍යයනයක් එක්ක තමයි පවුල් 800ක් යට වෙන බව කියන්නේ. මේ ව්‍යාපෘතියෙන් එවැනි දෙයක් නැහැ
නියඟය කාලයේදී වතුර ගෙනියන්න බැහැ. අවුරුද්දෙන් මාස 04ක් විතර ජලය ගෙනියන්න බැහැ. පිටදෙණියේ එක්රැස් වන්නේ අක්කර අඩි 200ක් 250ක විතර ජල ධාරිතාවක්. පෝෂක ප්‍රදේශයෙන් සියයට 10ක් විතර ගන්නවා. වසරකට අක්කර අඩි ලක්ෂ තුනහමාරක පමණ ජල ධාරිතාවක් ගෙනියන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මෙම ව්‍යාපෘතියට මිලියන 80,000ක් විතර වැයවෙන බවට ගණන් බලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ජල සම්පාදන මණ්ඩලය සමගත් අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. අනික් කාරණය තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ වැසි ජලයෙන් තමයි කුඹුරු වගා කරන්නේ.'' යැයි සූරියබණ්ඩාර මහතා පැවසීය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

