Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 06 වන ඉරිදා
2025 ජුලි මස 06 වන ඉරිදා
මෑතකාලීනව ගතහොත් පසුගිය ආණ්ඩුව සිදුකළ නගර අලංකරණය ඇතුළු විවිධ සංවර්ධන කටයුතු නිසා පාරම්පරික රැකියාව, පාරම්පරික ඉඩම් ඇතුළු බොහෝ දේ ජනතාවට අහිමි වී ගියේය. මේ නිසා එවකට විපක්ෂයේ සිටි වර්තමාන හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ තමන්ගේ පාලන කාලයක් තුළදී අසාධාරණයට පත් පාර්ශ්වවලට සාධාරණයක් ඉෂ්ට කර ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් රට තුළ ගොඩනගන බවත්ය.
මෙම පොරොන්දුව නිසාම රටේ ජනතාව ජනාධිපතිවරණයේදී පසුගිය ආණ්ඩුව ගෙදර යවන තැනට වැඩ කළේය. පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා පසුගිය ආණ්ඩුවට විශාල බලයක් ලබාදීමට පවා කටයුතු කළේ නැත.
ඊට ප්‍රධානම හේතුව වී තිබුණේ වර්තමාන ආණ්ඩුව සඳහන් කළ හා මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුවක් වූ නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සකසාගැනීම සඳහාය. එහෙත් වර්තමාන ආණ්ඩුවේ සමහර ක්‍රියා නිසා ජනතාවට ලබාදුන් පොරොන්දු හිතලුවක් බවට පත්වෙමින් තිබෙන බවද ඇතැම් කණ්ඩායම් චෝදනා කරයි.
මෙම චෝදනාව එල්ල කරන කණ්ඩායම් අතර ප්‍රමුඛතම කණ්ඩායම වී තිබෙන්නේ කොළඹ කොටුව හා පිටකොටුව ආශ්‍රිතව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන ජනතාවයි. පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නගර අලංකරණයේදී හා පදික වේදිකාවේ ගමන්ගන්නා ජනතාවට යම් හිරිහැරයක් සිදුවන බව පැහැදිලි වන කාරණයකි. මේ තත්ත්වය සැලකිල්ලට ගත් පසුගිය ආණ්ඩුව 2010 වසර වනවිට පිටකොටුව, කොටුව ප්‍ර‘දේශවල පදික වෙළෙඳාමේ නිරත පිරිස් ඉවත් කිරීම සඳහා සැලැස්මක් සකස් කෙරිණි.
පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳුන් සඳහා වෙළෙඳ සංකීර්ණ සකස් කර එම සංකීර්ණවලින් කඩකාමර ලබාදීමටත් සැලසුම් කෙරිණි. මෙම සැලැස්මට අනුව පදික වේදිකාවේ වෙළෙඳාම් කළ 2200කට අධික පිරිසක් පදික වේදිකාවෙන් ඉවත් කරනු ලැබිණි. මෙලෙස ඉවත් කළ පිරිස් වෙනුවෙන් බෝධිරාජ මාවතේ කඩකාමර 289කින් යුත් වෙළෙඳ සංකීර්ණයක්, ඊට ආසන්නව කඩකාමර 104කින් යුත් වෙළෙඳ සංකීර්ණයක් හා ගෑස්පහ හන්දියේ කඩකාමර 534 ක වෙළෙඳ සංකීර්ණයක් හා අඩි 100 පාරේ කඩකාමර 468කින් යුත් වෙළෙඳ සංකීර්ණයක් ඉදිකළේය.
මේ අනුව 2200 ක් පදික වේදිකාවෙන් ඉවත් කළද කඩකාමර ලෙස සකස් කරනු ලැබුවේ 1395කට ආසන්න කඩ කාමර ප්‍රමාණයක් පමණි. මේ අනුව කඩ කාමර ඉදිකිරීමේදී වෙළෙඳුන් 805 දෙනෙකු වෙනුවෙන් කඩ කාමර ඉදිකළේ නැත. මීට අමතර අඩි 100 පාරේ සකස් කළ කඩ කාමර 468 ක ප්‍රමාණය තවමත් පදික වෙළෙඳුන්ට ලබා දී නැත.
මේ අනුව 2010 වසර වනවිට පදික වේදිකාවෙන් ඉවත් කළ 1270කට අදටත් වෙළෙඳාම් කිරීමට ස්ථීර ස්ථානයක් නොමැත. මීට අමතරව දැනට වෙළෙඳුන්ට ලබා දී තිබෙන වෙළෙඳ සංකීර්ණවල කඩ කාමර ලබාදීමේදී සැබෑ වෙළෙඳුන් නොවන විශාල පිරිසකට කඩ කාමර ලබා දී තිබෙන බවට හිටපු පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතන ගණනාවකට අසාධාරණයට ලක්වූවන් පැමිණිලි කර තිබේ.
පදික වේදිකාවේ ගමන්ගන්නා පිරිසට සුළු බාධාවක් ඇති වුවද පදික වේදිකාවේ සිට වෙළෙඳාම් කරන සෑම කෙනෙකුගේම එකම බලාපොරොත්තුව පවුලේ අයගේ කුසගිනි නිවීමය. මේ නිසා පසුගිය ආණ්ඩුව පදික වේදිකාවෙන් ඉවත් කර වෙළෙඳ සංකීර්ණවල කඩ කාමර නොලැබූ සෑම කෙනෙකුම තම පවුල් වල බඩවියත රැකගැනීම සඳහා යළිත් පදික වේදිකාවට වී වෙළෙඳාම් කරනු ලබයි. එහෙත් මෙලෙස පදික වේදිකාවේ වෙළෙඳාම් කරන සියලුම දෙනා සැප්තැම්බර් මාසය තුළදී ඉවත් කිරීමට සැලසුම් සකස් කර තිබේ. වර්තමාන ආණ්ඩුව මෙම පිරිස ඉවත් කරනු ලබන්නේ අනවසරයෙන් වෙළෙඳාම් කිරීම චෝදනාව එල්ල කරමිනි.
පසුගිය ආණ්ඩුව මෙම පිරිස ඉවත් කරනු ලැබුවේ නගර අලංකාරයට මෙම පිරිස් බාධාවක් බව පවසමිනි. කොළඹ නගර සීමාවේ වෙළෙඳාම් කරන 1158 ක් අනවසරයෙන් වෙළෙඳාම් කරන බවට රජය තහවුරු කරගෙන තිබෙන අතර, මින් 720 දෙනෙකු පදික වේදිකාවේ වෙළෙඳාම් කරන බව තහවුරු කරගෙන තිබේ. මෙම පිරිසෙන් 699 දෙනෙකු පිටකොටුව, පළමු, දෙවැනි, පස්වැනි හරස් වීදිවල, මල්වත්ත පාර, ඕල්කට් මාවත, බෝධිරාජ මාවත, ගෑස්පහ හන්දිය ප්‍ර‘දේශවල වෙළෙඳාම් කරන බවටත් තහවුරු කරගෙන ඇත.
මීට අමතරව පත්තර තට්ටු 45 ක්, අත් කරත්ත වෙළෙඳාම් 52 ක්, ජංගම රථ 120 ක්, ලොතරැයි අලෙවි කුටි 221 ක්, මෙම සීමාවේ අනවසර ආකාරයෙන් පවත්වාගෙන යන බවද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම පිරිස් පදික වේදිකාවෙන් ඉවත් කළද ඔවුන්ට විකල්ප ස්ථාන ලබාදීමක් පිළිබඳව ආණ්ඩුව කිසිවක් සඳහන් නොකරන බවද පදික වෙළෙන්දෝ සඳහන් කරති.
"අපි පාර අයිනේ වෙළෙඳාම් කරන එකෙන් පාරේ යන අයට කරදරයි කියලා ආණ්ඩුවේ බලධාරීන් කියනවා. හැබැයි අපි මේ වෙළෙඳාමක් විදිහට කළත් මේ තුළින් ජනතාවට විශාල සේවාවක් සිදු වෙනවා. මොකද තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් පාරේ යන ගමන් මිලදී ගන්න පුළුවන්. ලොකු සාප්පු ගාණෙ ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. එහෙම කරන අපිව පසුගිය ආණ්ඩුව පාරෙන් අයින් කළා. එතකොට දැන් ආණ්ඩුවේ ඉන්න අය කිව්වා එයාලා ආවම සාධාරණයක් කරනවා කියලා.
ඒත් දැන් වෙන්නෙ ඒ ගොල්ලොත් කියනවා අපිව අයින් කරනවා කියලා. මේ හැමදෙයක්ම කරන්නෙ එදා වේල හොයාගන්න. මේක නැති වුණොත් බඩගින්නෙ මැරෙන්න තමයි වෙන්නේ. මම අවුරුදු 30කට වැඩි කාලයක ඉඳලා නගර සභාවට සල්ලි ගෙවලා වෙළෙඳාම් කරනවා."
"මම පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න පටන්ගෙන අවුරුදු 30 ක් වෙනවා. පාරේ යන කාටවත් අපෙන් කරදරයක් නැහැ. මේ කරන වෙළෙඳාමෙන් 06 දෙනෙකු ජීවත් වෙනවා. මෙතන වෙළෙඳාම් කරනවාට දවසකට රුපියල් 50 ක් නගර සභාවට ගෙවනවා. මේක නැති වුණොත් ජීවත්වෙන්න විදිහයක් නැහැ. පසුගිය ආණ්ඩුවෙන් විශාල ප්‍රශ්න තිබුණා. මේ නිසා දැන් තියෙන ආණ්ඩුවෙන් සැනසිල්ලක් වේවි කියලා හිතුවා. අපි මෙතැනින් අයින් කරනවා නම් වෙළෙඳාම් කරන්න පුළුවන් තැනක් හදලා දෙන්න ඕන. පසුගිය ආණ්ඩුවෙන් අපට තැනක් දෙනවා කියලා කිව්වා. ඒත් තැනක් දුන්නෙ නැහැ."
"දරුවො තුන්දෙනෙක් සහ පවුලේ අය ජීවත් වෙන්නේ මම වෙළෙඳාම් කරල හොයන මුදලින්. මේ වෙළෙඳාම නැති වුණොත් ගෙදර මිනිස්සුන්ගේ බඩ, කට පුරවන්න විදිහක් නැහැ. පහුගිය ආණ්ඩුවෙනුත් අපිව අයින් කළා. අයින් කරලා කිව්වා අඩි 100 පාරේ වෙළෙඳ සංකීර්ණයෙන් කඩ දෙනවා කියලා. ඒ සඳහා රුපියල් 4510කුත් ගත්තා. කඩ කාමර දුන්නෙත් නැහැ, ඒ මුදලට වෙච්ච දෙයකුත් නැහැ. අපි විකුණන හැම භාණ්ඩයක්ම ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ. අපි නැති වුණොත් එයාලට මේ භාණ්ඩ ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මොකද තමන්ට ඕන දෙයක් දැක්ක ගමන් ගන්න හැකියාව මේ නිසා ලැබෙනවා. අපි නගර සභාවට බදු ගෙවනවා. ඒ නිසා මේවා අනවසර කියලා කියන්න බැහැ."
"මම පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න පටන්ගෙන අවුරුදු 20කට වැඩියි. මහත්තයා අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. මම කරන වෙළෙඳාමෙන් 07 දෙනෙක් ජීවත් වෙනවා. මට මේ වෙළෙඳාම උරුම වුණේ අම්මලා, තාත්තලාගෙන්. ඒ කියන්නෙ අපි පාරේ වෙළෙඳාම් කරන්නෙ අවුරුදු 60 - 70කට එහා ඉඳලා. අපි කොච්චර දුප්පත්ද කියනවා නම් අපට ඉන්න ගෙයක්වත් නැහැ. මේ නිසා කුලියට ගෙයක් අරගෙනයි ඉන්නේ.
මේ වෙළෙඳාම නැති වුණොත් මම විතරක් නොවෙයි ගෙදර ඉන්න 07 දෙනාත් පාරට වැටෙනවා. අනෙක අපේ දරුවන්ට අනාගතයක් නැති වෙනවා. අයින් කරනවා නම් හොඳ තැනක් ඕන. මොකද රජයෙන් අපට නොමිලේ වතුර බිංදුවක්වත් දෙන්නෙ නැහැ."
"අනවසර වෙළෙන්දො කියලා අපිව මෙතැනින් ඉවත් කරන්න හැදුවට, අපි දවස ගාණේ අපේ ආදායමෙන් කොටසක් කොළඹ නගර සභාවට ගෙවනවා. එතකොට කොහොමද අපි අනවසර වෙළෙන්දන් වෙනේනේ. අපි අනවසර නම් කොහොමද ඒ ගොල්ලො අපේ ආදායමෙන් සල්ලි ගන්නෙ. පසුගිය ආණ්ඩුවෙන් අපිව ඉවත් කළා, කඩයක් දෙනවා කිව්වා. හැබැයි අපට හම්බ වුණ දෙයක් නැහැ. අනිත් එක අපි කාටවත් කරදර කරලා වෙළෙඳාම් කරන්නෙ නැහැ."
"පාසල් ගිහින් ඉවර වුණාට පස්සෙ රැකියා දෙන්න කියලා ආණ්ඩුවලට හරි වෙන කාටහරි කරදර කළේ නැහැ. කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්න ඕන කියලා හිතලා පාර අයිනේ ඉලොක්ට්‍රොනික් බඩු ටිකක් දාලා ජනතාවට අලෙවි කරලා කීයක් හරි හොයාගන්නවා. පසුගිය ආණ්ඩුව අපිව අයින් කරලා හොඳ තැනක් දෙනවා කිව්වා. ඒත් මොකුත් දුන්නෙ නැහැ. අපි මේ රටේ මිනිස්සු. අපේ රටේ වෙළෙඳාමක් කරන්න දෙන්නෙ නැත්නම් අපට මේවා පිටරට ගිහිල්ලා කරන්න වෙනවා. පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුව කරන්න හදන්නෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මම ආණ්ඩුවට කියන්නෙ මේවා විධිමත් කළාට කමක් නැහැ. හැබැයි මිනිස්සුන්ගේ බඩට ගහලා කටයුතු කරන්න හොඳ නැහැ. අපි හොරකම් කරන්නෙ නැහැ, මේ හම්බු කරන කීයකින් හරි ජීවත් වෙනවා."
"පසුගිය ආණ්ඩුව පදික වෙළෙඳුන් අයින් කරනකොට මම වෙළෙඳාම් කළේ කුඩා වාහනයක. ඒත් ඒවා කිසිම සොයාබැලීමක් නැතුව ඉවත් කළා. කඩ කාමර දෙනවා කිව්වා. ඒත් ලැබුණෙ නැහැ. දරු පවුලක් නඩත්තු කරන්න ඕන නිසා තට්ටුවක බඩු ටිකක් දාගෙන විකුණනවා. දැන් ඒකත් අයින් කරන්න හදන්නේ. අපට තේරෙන්නෙ නෑ මොනවද කරන්නේ කියලා. අපි මෙතැනින් ඉවත් කරනවා නම් සාධාරණ විකල්පයක් ඕන. මේ වෙළෙඳාම් නැතිවුණොත් අපට කරන්න දෙයක් නැති වෙනවා. මොකද මේවා අපි කරන්නේ දීර්ඝ කාලයක ඉඳලා."
"මම 1974 අවුරුද්දේ ඉඳලා මේ වෙළෙඳාම කරනවා. මම වෙළෙඳාම් කරල හොයන මුදලින් දරුවෙක් වගේම දරුවන්ගේ දරුවොත් ජීවත් වෙනවා. මහින්ද මහත්තයගෙ කාලෙ අපිව පාරෙන් අයින් කළා. මේ වයසක මට රැකියාවක් කරන්න බැහැ. මේ නිසා හොරාට පදික වේදිකාවේ වෙළෙඳාම් කළා. බලයට පත්වුණාම පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න දෙනවා කියලා, මේ ආණ්ඩුව පත්වෙන්න කලින් කිව්වා. ඒක නිසා මේ ආණ්ඩුව ගැන සෑම කෙනෙක්ම විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒත් දැන් ඒ අය කරන්න හදන්නෙත් අපිව ඉවත් කරන්න. අපි ගංජා, කුඩු විකුණන්නෙ නැහැ. මේ හැමදෙයක්ම මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ. වේලක් හැර වේලක් හරි කන්නේ මේ කරන වෙළෙඳාමෙන්. හොඳ තැනක් දු නොදුන්නොත් යන්නෙ නැහැ."
"පසුගිය ආණ්ඩුව බල්ලො, බළල්ලු ඇදලා දානවා වගේ පදික වෙළෙඳුන් වෙළෙඳාම් කරන තැන්වලින් ඇදලා දැම්මා. මේ ආණ්ඩුවත් සැප්තැම්බර් 15 වැනිදා ඉඳන් ඒ දේම කරන්න හදනවා. මේ මිනිස්සු මේ විදිහට පීඩාවට පත්කරන්නෙ මොන වරදක් කළාටද කියලා හිතාගන්න බැහැ. මොකද මේ හැම කෙනෙක්ම වෙළෙඳාම් කරන්නෙ එදා වේල හොයාගන්න. එහෙම නැතුව මාළිගා හදන්න, යානවාහන ගන්න නොවෙයි. ඒ නිසා පදික වෙළෙඳුන් ඉවත් කරන්න ඕන නම් ඒ සඳහා ඔවුන්ට විකල්ප ලබාදිය යුතුයි. එහෙම නැතිවුණොත් මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දිනාගන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd