කොළඹ 'කුණු' වලට කදිම විසඳුමක් ගෙන ආ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය
කොළඹ කුණු ප්රශ්නය මේ වනවිට බොහෝ සංකීර්ණ වී තිබේ. අපද්‍රව්‍ය මධ්‍යස්ථාන සඳහා පොලීසිය යෙදවීමට සිදුවීමත්, උසාවි නියෝග මත කුණු බැහැර කිරීමට සිදුවීමත් තරමටම ප්රශ්නය උග්‍ර වී ඇති බව දැකගත හැකිය. කෙසේ නමුත් මෙතෙක් කල් නිදා සිටි වගකිවයුත්තන් සහ රටේ මහතැන් ගැටලුවට පිළියම් සෙවීම අරඹා තිබේ. ඒ අනුව අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් සිදු කිරීමට නියමිත බවද කිය වේ.
නමුත් එම මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවන අතර, එම කාලසීමාව තුළ කොළඹ මහ නගර සභා සීමාව ආශ්‍රිතව එක් රැස් වන කැළි කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම සඳහා නව අපද්‍රව්‍ය කළමනාකරණ
සැලැස්මක් කොළඹ මහ නගර සභාව වෙත හඳුන්වාදීමට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ. එම සැලැස්ම සහ එය ක්‍රියාත්මක වන ආකාරය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා 'අද' වෙත අදහස් දැක්වූයේ මෙසේය.
''බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් තමයි පළාත් පාලන ආයතන සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදෙන්නේ. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පළාත් සැලසුමක් අප සතුව තිබුණා. ඒ සැලැස්ම අනුව ගිය පළාත් පාලන ආයතන රැසක්ම අද සාර්ථක වී තිබෙනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා කොළඹ මහ නගර සභාව එම සැලැස්මට අනුගත වුණේ නැහැ.
ඒ අනුගත නොවීම නිසා කොළඹ නගර සභාවට විශාල ගැටලු රැසකට මුහුණදෙන්න සිදු වෙලා තිබෙනවා. නමුත් එහි සම්පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාවට විතරක් පවරන්න බැහැ. අපද්‍රව්‍ය කළමනාකරණය කියන ක්‍රියාවලිය අපි හිතන තරම් සරල කාර්යයක් නොවෙයි. පැහැදිලිවම කියනවා නම් ඒක සමාජ වගකීමක්. සමාජයේ සිටින ඔබ අප සියලු දෙනාම මීට දායක විය යුතුයි. අපද්‍රව්‍ය ගොඩගැසීම ඕනෑම වෙලාවක අපට කරන්න පුළුවන්. නමුත් කළමනාකරණයයි තිබිය යුත්තේ.
ඒ නිසයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මගපෙන්වීමෙන් සහ සෘජු අධීක්ෂණයෙන් යුතුව කොළඹ මහ නගර සභාවට මේ ආකාරයෙන් අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්මක් සකස් කළේ. මේ සැලසුම මේ වෙද්දි කොළඹ නගර සභාවේ ඉංජිනේරුවන්ට ඉදිරිපත් කරලා මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බවට ඔවුන් අනුමත කර තිබෙනවා.
සෑම පළාත් පාලන ආයතනයකටම අපි අවධාරණය කරලා තිබෙනවා අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අඩුම වශයෙන් පස් අවුරුදු සැලැස්මක්වත් තිබිය යුතුයි කියලා. කොළඹ මහ නගර සභාව වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු සංකල්පීය යෝජනාව ප්‍රජාවගේත්, වගකිවයුතු අංශයන්ගේත් සෑම ස්ථරයකම දායකත්වය ලබාගත හැකි ආකාරයෙනුයි සකස් කළේ.''
මෙම අතිරේක අපද්‍රව්‍ය කළමනාකරණ සංකල්පීය යෝජනාව අනුව දෛනිකව බැහැර වන අපද්‍රව්‍ය ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් බැහැරලන අපද්‍රව්‍ය, ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති මගින් නිපදවන අපද්‍රව්‍ය යන කොටස් 03 ට බෙදා තිබෙන අතර, එක් එක් කොටසට සරිලන ක්‍රමවේද ඔස්සේ මෙම අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීමට අපේක්ෂා කෙරේ.
ගෘහස්ථ අපද්‍රව්‍ය සඳහා වන සැලැස්ම
දැනට කොළඹ මහ නගර සභා සීමාව තුළ දෛනිකව මෙට්‍රික් ටොන් 550 ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර කෙරේ. මෙම ප්‍රමාණය අපද්‍රව්‍ය ජනනය අවම කිරීමට සහ වර්ගීකරණය කිරීමට ජනතාව යොමු කිරීම මගින් මෙට්‍රික් ටොන් 440 ක් දක්වා 20%කින් අඩු කිරීමට නියමිතය.
එසේ රැස් කරගත් කසළ මෙට්‍රික් ටොන් 440 ක ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක්, එනම් මෙට්‍රික් ටොන් 176 ක ප්‍රමාණයක් දිරාපත් වන කසළ ලෙසත්, 30%ක ප්‍රමාණයක් එනම් මෙට්‍රික් ටොන් 180 ක ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කසළ ලෙසත්, තවත් 30%ක ප්‍රමාණයක් එනම් මෙට්‍රික් ටොන් 180 ක් දිරාපත් නොවන සහ ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකි අවශේෂ කසළ ලෙසත් වශයෙන් ප්‍රධාන වර්ග 03කට වෙන් කරගනු ලබයි.
මෙසේ රැස් කරගන්නා දිරාපත් වන අපද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. නමුත් මෙහි පවතින ගැටලුවක් වන්නේ දැනට පවතින කොම්පෝස්ට් අංගණවල ධාරිතාව මේසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් කොම්පෝස්ට් කිරීමට ප්‍රමාණවත් නොවීමයි. එමනිසා හැකි උපරිම ප්‍රමාණය කොම්පෝස්ට් සඳහා භාවිත කර ඉතිරිය දීර්ඝකාලීන සැලසුම් ආරම්භ වනතෙක් මුතුරාජවෙල රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කළ භූමියේ අක්කර 02 ක පමණ ප්‍රමාණයක් භාවිත කර විවෘතව, නියමිත ක්‍රමවේද ඔස්සේ ගොඩගැසීමට නියමිතය.
එහි පවතින කාලගුණය නිසා එම කසළ ඉක්මනින් කොම්පෝස්ට් වීම නිසා එම කොම්පෝස්ට් උද්‍යාන සඳහා නොමිලයේ ලබාදෙයි. මෙම අපද්‍රව්‍ය ඉක්මනින් දිරාපත් වන නිසාත්, නිසි ක්‍රමවේද භාවිතය නිසාත් මෙමගින් සිදුවන පරිසර හානිය ඉතාමත් අවම බව නිගමනය කර තිබේ. ඊට අමතරව දිරායන ආහාර ද්‍රව්‍ය භාවිතයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමටද සැලසුම් කොට තිබේ.
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ දැනට ස්ථාපිත කර තිබෙන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යැවේ. කොම්පෝස්ට් අංගණවල මෙන්ම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලද ධාරිතාව තවත් වැඩි කිරීමට මේ වනවිට සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන අතර, ප්රතිචක්රිකරණ ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශවල සහායද ලබාගැනීමට නියමිතය.
'පරිසර පොළ' ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙන්නේ මීට සමගාමීවය. මීට අමතරව ගෘහාශ්‍රිතව අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ම යෝජනා වී තිබේ. ඒ අනුව කොම්පෝස්ට් බැරල් භාවිතයට ජනතාව දිරිමත් කිරීමට සිදු කෙරේ. එමෙන්ම නගරසභා සීමාව තුළ පර්චසයක් හෝ ඊට වැඩි ඉඩ ප්‍රමාණයක් ඇති ගෙවත්තක් සහිත නිවාස හඳුනාගැනෙන අතර, එම නිවාසයන්ගෙන් දිරාපත් වන කසළ භාර නොගනී.
එම කසළ කොම්පෝස්ට් වළවල් හෝ බැරල් භාවිතයෙන් කොම්පෝස්ට් කරගැනීමේ වගකීම නිවෙස් හිමියා වෙත පැවරේ. එමෙන්ම කසළ බාරදීමේදී වර්ගීකරණය කොට බාර දීම අනිවාර්ය කෙරෙන අතර, දිරාපත් වන අපද්‍රව්‍ය සතියකට දින 02 ක් ලෙසත්, ප්‍රතිචක්‍රිකරණය කළ හැකි හා අනෙකුත් දිරාපත් නොවන අපද්‍රව්‍ය සතියකට එක් දිනක් ලෙසත් කසළ රැස් කිරීමේ කාර්යය අදාළ නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් සිදු කෙරේ.
මිශ්‍ර කසළ ලබාදෙන්නේ නම් ඒ සඳහා 'පරිමාන පාදක මලු' හඳුන්වා දෙන අතර, එම මලු අදාළ පළාත් පාලන ආයතනවලින් හෝ වෙළෙඳ සැල්වලින් මිලදී ගත යුතුය. මිශ්‍ර කසළ ලබාගැනීම සිදුකරන්නේ පරිමාණ පාදක මලු මගින් පමණි. එමෙන්ම මහල් නිවාස සහ අවිධිමත් නිවාස සංකීර්ණවල අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කෙරේ.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා වන සැලැස්ම
මෙහිදීද කසළ නිසි අයුරින් කසළ වර්ගීකරණය කර ලබාදෙන ආකාරය පිළිබඳ මෙම අංශයෙන් දැනුවත් කෙරේ. එමෙන්ම සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයකටම කසළ කළමනාකරණ සැලැස්මක් තිබීම අනිවාර්ය කිරිමට නියමිතය. සාමාන්‍යයෙන් දෛනිකව මෙම කාණ්ඩයෙන් මෙට්‍රික් ටොන් 200 ක කසළ ප්‍රමාණයක් බැහැර කෙරේ.
මෙම සැලැස්ම ඔස්සේ එසේ බැහැර කෙරෙන කසළ මෙට්‍රික් ටොන් 200 ක ප්‍රමාණයක්, දිරාපත් වන කසළ සඳහා මෙට්‍රික් ටොන් 80 ක්, ප්‍රතිචක්‍රිකරණය කෙරෙන කසළ සඳහා මෙට්‍රික් ටොන් 60ක්ද, භාවිතයට ගත නොහැකි නොදිරන අවශේෂ කසළ සඳහා මෙට්‍රික් ටොන් 60ක්ද වශයෙන් වෙන් කර ගැනේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අපද්‍රව්‍ය එක් රැස් කිරීම දිනපතා සිදුවන අතර, විශාල ප්‍රමාණයේ ද්‍රව්‍ය මසකට වරක් රැස් කරයි.
මීට අමතරව ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘති මගින් විශාල ලෙස බැහැර කෙරෙන කොන්ක්‍රීට්, යකඩ වැනි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මුතුරාජවෙල රජයේ ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති භූමියෙන් අක්කර කිහිපයක කොටසක් ලබාගැනීමට සහ දොම්පේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යොදාගැනීමට නියමිතය.
දැනට පවතින ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානවල සහ කොම්පෝස්ට් ව්‍යාපෘතිවල ධාරිතාව තවත් වැඩි කිරීමට කටයුතු කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශවලද සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කෙරෙන අතර, අපද්‍රව්‍ය මගින් බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතීන් මේ වනවිට ඇරඹීමට සූදානම්ව පවතියි. එමෙන්ම පර්යේෂකයන්ගේ සහ විශ්වවිද්‍යාලවල සහයෝගයද මේ වෙනුවෙන් දායක කරගැනීමට සැලසුම් කර තිබේ.
මෙහිදී අවසාන වශයෙන් නලීන් මාන්නප්පෙරුම මහතා මෙසේ සඳහන් කළේය.
''අපද්‍රව්‍ය කළමනාකරණය කියන්නේ සමාජ වගකීමක් වගේම සාමූහික ප්රයත්නයක්. එහි මූලික කාර්භාරය සිදු කළ යුත්තේ ජනතාව. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඒ ඒ පළාත් පාලන ආයතන රැගෙන යන වැඩසටහනට සහයෝගය දැක්වීම ජනතාවගේ වගකීමක්. නමුත් ගැටලුව තිබෙන්නේ සෑම පළාත් පාලන ආයතනයකටම ඒ සැලසුම තියෙනවාද කියන එකයි. එසේ නොමැති නම් ඒ ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තිබෙනවා. වගකිවයුතු ආයතන නිසි ලෙස ක්‍රියා නොකරනවා නම් ජනතාව විතරක් කැප වෙලා වැඩක් නැහැ.''
දිගුකාලීන මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් මෙසේ තාවකාලික සැලසුමක් ඉදිරිපත් ව ඇත. ඉංජිනේරුවන්ද පිළිගෙන ඇති නිසා කොළඹ මහ නගර සභාව මෙය ක්‍රියාත්මක කිරීමට තවත් ප්‍රමාද නොකළ යුතුය. මන්ද දැනටමත් මහා විනාශයකින් ජීවිත රැසක් අපට අහිමිව ඇති නිසාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

