මෙරට කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා නිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සමාජයක් ලෙස ප්රබලව දැනුණේ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත්, එයින් සිදු වූ මිල කළ නොහැකි ජීවිත විනාශයත් සමගය. ලංකාවේ කසළ ගැටලුවට ස්ථිර විසඳුමක් තවමත් රජයක් ලෙස ගැනීමට අපොහොසත් වීම නිසා රටේ බොහෝ තැන්වල කුණු කඳු නිර්මාණය වීම අපට කිසිලෙසකින්වත් නවතාලිය නොහැකිය. දැන් දැන් අප කසළ වර්ගීකරණය කර බැහැර කරන්නේ එය එක් අතකින් ප්‍රතිචක්‍රීකරණය කිරීමට පහසු වන පරිදිය. කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ආදී ස්ථානවලින් මෙලෙස කසළ ප්‍රතිචක්‍රීකරණය කරන බැවින්ද, ගෘහස්ථ වශයෙන් යම් පාලනයකින් යුතුව කසළ බැහැර කරන බැවින්ද යම් ප්‍රමාණයකින් මෙම ප්රශ්නය සීමාකර ගැනීමට හැකිව තිබේ. නමුත් කසළ යනු අප නිරන්තරයෙන් බැහැර කරන ද්‍රව්‍යයක් බැවින් රටක් වශයෙන් මෙයට ස්ථිරසාර විසඳුමක් අනිවාර්යයෙන් ගත යුතුව තිබේ.
අපේ රට වර්තමානයේ යම් පමණින් තාක්ෂණය භාවිත කර කසළ සඳහා විසඳුම් සොයන නමුත් ජපානය, කොරියාව, සිංගප්පූරුව ආදී රටවල නවීන තාක්ෂණික ඥානය භාවිත කරමින් ස්ථිරසාර විසඳුම් මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබේ. පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණය කිරීමට ගියේ එවැනි වූ මධ්‍යස්ථානයකි. ඒ ජපානයේ නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් වන ටොකියෝ නුවර පිහිටි ෂිනගාවාහි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයයි.
මිලියන 9.3ක විශාල ජනගහනයක් වෙසෙන ටොකියෝ නුවරින් දෛනික අවශ්‍යතා සපුරා ගනිමින් ඉවතලන මෙට්‍රික්ටොන් 11,000ක් පමණ වන කසළ කළමනාකරණය සඳහා ෂිනගාවාහි පිහිටි මධ්‍යස්ථානය වැනි මධ්‍යස්ථාන 23ක් දැනට ටොකියෝ නුවර පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ ෂිනගාවාහි පිහිටි මධ්‍යස්ථානය තුළ දෛනිකව අපද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 600ක් පමණ කළමනාකරණය කිරීම සිදු කෙරේ.
දිනකට දෙවරක් ලොරි රථවලින් කුණු ගෙන යන අතර, මේ සඳහා ලොරි රථ 200ක් පමණ ඔවුහු භාවිත කරති. ටොකියෝ නුවර එකතු වන කසළ මෙම ලොරි රථ මගින් ගෙන එන අතර, ඒ සියලුම ලොරි රථ සීල් තබාගෙන එන බැවින් පිටතට දුඟදක් නොහමයි. එම රථ මගින් ගෙන එන කසළ නවීන තාක්ෂණය යොදා ගනිමින්, පරිසර හිතකාමී අන්දමින් කළමනාකරණය කිරීම මෙහිදී සිදු කෙරෙන සුවිශේෂී කාර්යයකි. එහි අභ්‍යන්තරයට ගෙන එන කසළ සියල්ල කළමනාකරණය කරනු ලබන්නේ යන්ත්රානුසාරයෙනි. එහිදී නරඹන්නන්ට එය ප්‍රදර්ශනය වන සේ වීදුරු අාවරණයක් සකස් කර ඇති අතර, මෙම වීදුරු ආවරණය සීල්කර ඇති බැවින් අපද්‍රව්‍ය මධ්‍යස්ථානය තුළ වුවද කිසිදු දුඟදක් නොමැත. මේ සඳහා ඉතා විශාල ඉඩකඩක් අවශ්‍ය නොවීමද වාසිදායක තත්ත්වයකි. මෙම කසළ පොලිතින්, ප්ලාස්ටික්, ඉක්මනින් දිරාපත්ව යන ආදී වශයෙන් වර්ග නොකරන අතර, සියල්ල දහනය කරනු ලබයි. දොඹකර මගින් දහනය සඳහා කසළ යොමු කළ විට එය සෙල්සියස් අංශක 850ක් තුළ දහනය වේ. පිළිස්සීම තුළින් තිබෙන කසළ ප්‍රමාණය දොළොස් ගුණයකින් අඩු වීමක් සිදුවේ. මෙහි දහනය කිරීම කොටස් තුනක් යටතේ සිදු කෙරේ. කසළ වියළීම සඳහා පළමු ගිනි දැල්ලක්ද, දහනය සඳහා දෙවැනි ගිනි දැල්ලද, තෙවැනි ගිනිදැල්ල ප්ලාස්ටික් ආදිය සම්පූර්ණයෙන්ම දහනය කිරීමටද යොදා ගනී. මෙහිදී නිපදවන වායුව සෙල්සියස් අංශක 150කට පසුව සිසිල් කිරීමක් සිදු කෙරේ. ඉන් පසු සිලින්ඩර හරහා ගොස් අහිතකර වායූන් වෙන්කර, හිතරක වායුව පමණක් වායුගෝලයට මුදාහැරීම සිදු කෙරෙනුයේ නවීන තාක්ෂණය භාවිතයෙනි. කසළ තාප ශක්තිය බවට පත්වීමට ගත වනුයේ තත්පර 30ක් වැනි ඉතා කෙටි කාලයක් බව එහි කළමනාකාර හිඩෙනෝරි යොකොයාමා මහතා ප්‍රකාශ කළේය.
කසළ දහන යන්ත්‍රය, අළු ද්වාරණය හා පිටත වායුව වශයෙන් පර්යන්ත තුනකින් සැදුම්ලත් මෙම බලාගාරය තුළින් පිටවන දුම පවා පරිසරයට හිතකර අයුරින් මුදාහැරීමට මධ්‍යස්ථානයේ කළමනාකරුවන් කටයුතු කර තිබේ. කසළ පිළිස්සීමේදී ඇති වන විස දුම හිතකර තත්ත්වයට පත් කිරීම සඳහා නවීන උපකරණද මොවුන් සතුවේ. කසළ කළමනාකරණයෙන් ජනනය වන තාප ශක්තිය පසුව විදුලිය බවට පත්කරනු ලැබේ. එයින් නිපදවන විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගෙන ඉතිරි ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී සුවිශේෂී කාරණයකි. මෙමගින් දිනකට කිලෝවොට් 15,000ක් පමණ මුදාහැරෙන අතර, වර්ෂයක් තුළ ජාතික විදුලිබල පද්ධතියට කිලෝවොට් 600,000ක් පමණ මුදාහැරීමට මොවුන් සමත්ව තිබේ. කසළ ශක්තිය බවට පත්කිරීම කසළ ගැටලුවට හොඳම විසඳුම බව මෙහි කළමනාකාරවරයාගේ අදහස විය. මේ තුළින් පරිසරයට වන හානිය අවම කර ගනිමින් බලපෑම සීමා කිරීමට සමත් වන මෙහි පාලක මණ්ඩලය මෙයින් නිකුත් වන අතුරු ඵලයන්ගෙන්ද උපරිම ප්‍රයෝජනයක් ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව මෙයින් ඉතිරි වන අතුරුඵල මගින් තාර සකස් කරන බැවින් කිසිවක් අපතේ නොයවා 100%ක් ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවේ.
මෙම මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු හා පාලන කටයුතු සඳහා ප්‍රධාන පාලන මැදිරියක් සකස් කර ඇති අතර, එහි එකවර දෙදෙනෙකු පමණක් සේවය කිරීම ප්රමාණවත්ය. මොවුන් පැය 24 පුරාම සේවය කරන අතර, සම්පූර්ණ ක්‍රියාවලිය යන්ත්‍ර මගින් සිදුවන නිසා මිනිස් ශ්‍රමය යොදවනුයේ පාලන කටයුතු සඳහා පමණි.
එම නිරීක්ෂණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලංකාවේ පවතින කැළි කසළ ගැටලුව විසඳීම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට කටයුතු කෙරිණි. එම නිසා එවැනි ක්‍රමයක් ලාංකේය කසළ අර්බුදයටද අනුගමනය කිරීමට තිබෙන්නේ නම්, අපට ඉතාම ඵලදායී ප්‍රතිඵල අත්කර ගත හැකිය. කසළ ප්රශ්නය ප්රබලව දැනෙන කොළඹින් දිනකට එකතු වන කසළ මෙට්‍රික්ටොන් 600ක් පමණ ප්‍රමාණයක් වන අතර, මෙම මධ්‍යස්ථානයෙන් දිනකට විදුලිය උත්පාදනය සඳහා යොදා ගන්නා කසළ ප්‍රමාණයද ඒ හා සමාන වේ. මේ සඳහා කසළ වර්ගීකරණයක් අවශ්‍ය නොවන බැවින් කිසිදු අපහසුවකින් තොරව කසළ බැහැර කිරීමේ හැකියාවද එමගින් ලාංකේය ජනතාවට හිමිවේ.
අනෙක් අතින් බලශක්තිය උත්පාදනය කරන්නේ අප රට තුළ ඉතාම සිමීත වශයෙනි. වැඩි ප්‍රමාණයක් බලශක්තිය අප විසින් ආනයනය කරනු ලබයි. එම නිසා මෙවැනි අපතේ දමන කසළ මනා කළමනාකරණයක් යටතේ බලශක්තිය උත්පාදනය කිරීමට යොදා ගැනීම ඉතා ඵලදායී දෙයකි. තෙල් නැවක් එනතුරු සතියක් බලා සිටි අපට පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම සඳහා පියවර ගන්නේ නම්, එය ඉදිරියේදී බලශක්ති අර්බුදයටද මනා විසඳුමක් වෙනවා නොවනුමානය.