ලෝකයෙන්ම කිතුල්ගලට පමණක් සීමා වූ දුලබ ආවේණික ශාකයක් පිළිබඳ හැදෑරීමට අවශ්‍ය නම් මාකන්දාව වැසි වනයට ගියොත් හැකියාව ලැබේ.කිතුල්ගලට යන බොහෝ දෙනෙක් කැලණි නදියෙන් දිය නා විනෝද වනවා හැරෙන්නට ඒ අවට ඇති සුන්දර ඉසව් දැක බලාගෙන සිත පුරවා ගැනීමට හෝ පාරිසරික දැනුමක් ලබාගැනීමට එතරම් උනන්දු නොවෙති. කිතුල්ගල තානායම අසල ඇති තොටුපොළෙන් කැලණි නදියෙන් එගොඩවී පරවලතැන්න පාරේ කිලෝමීටරයක් පමණ පාගමනින් පියමං කිරීමෙන් මාකන්දාව වැසි වනාන්තරයට ඇතුළු විය හැකිය.
මේ වනවිට එහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මධ්‍යස්ථානයක් අරඹා නරඹන්නන්ට තොරතුරු ලබාගැනීමේ පහසුකම් සලසාදී තිබේ.
ඔරුවෙන් එගොඩ වූ අපිට මගපෙන්වූයේ කිතුල්ගල සංචාරක කලාපයේ පරිසරය සුරැකීමේ සංගමයේ සෑම් ජයනන්ද ය. අවට හමුවන සියලුම දෙනා 'සෑම් අයියා' යයි ඔහු හැඳින්වීමෙන්ම සියලුම ගැමියන් ඔහු හඳුනන බව අපට පෙනුණි. අවට කුඩා තේවතු සහ ගෙවතු පැතිර තිබේ. පොල්, කෙසෙල්, අඹ, මැංගුස්, ජම්බු, පිනිජම්බු, පුවක්, ගම්මිරිස්, ඇතුළු ගහකොළ පිරි ගෙවතු බැදිකුට්ටි වැන්න. ගම හරහා ගලාබසින ඇළක් කැලණි නදිය බලා යයි. ගහකොළින් පිරි මාකන්දා මූකලාන කන්දක් ඉදිරියෙන් ඉහළ නගී. ඈතින් ඇටිකුකුළෙකු 'බුං බුං' ගායි.
පුරාණයේ කැලණි ගංනිම්නය තෙක් පැතිර තිබූ මේ වනය විනාශ කිරීම නිසා මේ වනවිට ගං ඉවුරේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ගඟ ආසන්නයේ සිටම ගම්මානය පැතිර තිබේ.'මහත්තයෝ අපට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි, පාලමක් නැතිවීම. වැසි කාලෙට ඔරුවෙන් එගොඩ වෙන්න අමාරුයි. ඒ කාලෙට ළමයින්ට ඉස්කෝලෙ යන එකත් ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ. මාර්ග පහසුකම් නැතිකම විශාල ප්‍රශ්නයක්'. අප හා ළෙන්ගතු වූ ගැමියෙක් කීවේය. ඔහු තම 03 වසරේ මුණුපුරා පාසලේ සිට කැඳවාගෙන යාමට පැමිණි සීයා කෙනෙකි. පාසල් සිසුන් පාසල් යන්නේත්, ආපසු එන්නේත් ඔරුවෙනි. මහ වැසි සමයට එය අවදානම්ය. මේ නිසා බොහෝ සිසුහු ඒ කාලයට පාසල් නොයති.
ඉදිරියට ගමන් කළ අපි මද බෑවුමක් නැගීමෙන් පසු පිවිසියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මධ්‍යස්ථානයටය. වනයටම ගැළපෙන පරිදි ඉදිකළ ගොඩනැගිල්ලකින් එය සමන්විත විය. එහිදී අඩවි වන නිලධාරී වෙනුවන් අප වෙත අදහස් දැක්වූයේ, සහකාර වන ක්ෂේත්‍ර නිලධාරී එච්.එම්.ආර්.පී. හෙට්ටිආරච්චි මහතාය. "රක්ෂිත වනයක් වශයෙන් තිබුණු මෙය අධ්‍යාපනික වශයෙන් විශාල වැදගත්කමක් දරනවා. ඒ වගේම මෙය ඉහළ ජෛව විවිධත්වයකින් යුක්තයි. මේ නිසා දේශීය විදේශීය සංචාරකයන්ට අවශ්‍ය පාරිසරික දැනුම සහ මගපෙන්වීම ලබාදීමට මෙම තොරතුරු මධ්‍යස්ථානය 2009 දී ආරම්භ කළා." යනුවෙන් පැවසීය.
"නරඹන්නන්ගේ ඉතා හොඳ උනන්දුවක් තිබෙනවා. ඔවුන් අපෙන් තොරතුරු විමසනවා. විදේශීය සංචාරකයන් රැසක් දිනපතාම පක්ෂීන් නැරඹීමට මෙහි පැමිණෙනවා. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් මේ වනයටම අාවේණික Balunocaprpus kitulgalensis නම් ශාකය සොයාගත්තා."
මදක් විවේක ගත් අපි එහි සිට වනය තුළට දිවෙන අඩි පාරේ ගමන් කළෙමු. වනතුරු අතරින් වැටී ඇති මාවත අනන්තය තෙක් ඇදීයන්නාක් වැන්න. එලෙසම වනයද අනන්තය. එහි ජෛව විවිධත්වය ගැන කලින් කල අලුත් තොරුතුරු මතුවේ. මෑතකදී සොයාගත් ශාක විශේෂයද එවැනි හමුවීමකි.
කුඩා කඳුගැට කිහිපයක් ආශ්‍රිතව පැතිරුණු මේ නිවර්තන වැසි වනාන්තරය යටියන්තොට ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. එය මාකන්දා මූකලාන සහ බණ්ඩාර කැලය වශයෙන් කොටස් දෙකකට බෙදා පාලනය කෙරේ. නරඹන්නන්ට පහසුකම් සලසා ඇති මාකන්දා මූකලාන විශාලත්වයෙන් හෙක්ටයාර් 195 කි. එය පරවලහැත්ත, කොස්කඳහේන, පල්ලෙබාගේ යන ගම්මානවලට සහ උතුරු පසින් කැලණි නදියට මායිම් වී තිබේ. බණ්ඩාර කැලය හෙක්ටයාර් 154 ක් විශාල වන අතර, නාවෙල, බල්ලාහෙල, විලගම යන ගම්මානවලට සහ කැලණි නදියට මායිම්ව පිහිටියේය.
දැන් වේලාව දහවල් දෙක පමණ වී ඇති බව හෝරා යතුර දක්වයි. එහෙත් වනයේ සිටින අපට දැනෙන්නේ හවස් යාමේ අඳුරු ගොම්මන් වේලාවේ සිටින බවකි. අවට පැතිර ඇත්තේ මන්දාලෝකයකි. පක්ෂියකු කෑගසන හඬ සහ රැහැයි නාදය හැරෙන්නට වනය අපූරු නිශ්ශබ්දතාවයක ගිලී පවතී. කොළයක් බිම පතිත වන හඬ පවා එහි නිශ්ශබ්දතාවයට බාධා නොකරයි. මංපෙත ඔස්සේ වැටී දිරාපත්වන දූන, හොර, බෙරු පත්‍ර අතරින් අපි ඉදිරියට පියමං කළෙමු. පක්ෂීන් නැරඹීමට පැමිණි විදේශීය නඩ ඉඳහිට අපට හමුවෙයි. ඔවුන් දුර බලන උපකරණ යොදාගෙන මෙහි දිවිගෙවන දුලබ අවේණික පක්ෂීන් දැකගැනීමට පෙරුම් පුරති.
මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම ආරම්භයේ පිහිටි මේ වනපෙත මුහුදු මට්ටමේ සිට මීටර් 250 සිට 760 දක්වා උස් මට්ටමක පැතිර පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මී.මී. 2000-3000 අතර වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-32 අතර වේ. ජල වාෂ්ප බහුල වාතයේ ආර්ද්‍රතාව වැසි සමයට ඉහළ නගී.
ශ්‍රී ලංකාවට අාවේණික පක්ෂි විශේෂ 33 අතරින් (මේ සංඛ්‍යාව ගැන මතවාද පවතී) විශේෂ 28 ක් පමණ කිතුල්ගල ජීවත්වෙයි. මේ නිසා මාකන්දා වනය පක්ෂි පාරාදීසයක් වශයෙන් දෙස් විදෙස් සොබාදම් ලෝලයන් අතර ජනප්‍රියව පවතී.
තුරුපත් මුණුමුණුවෙන් සැලෙයි. ක්රිං ක්රිං හඬින් ගස් එකට ඇතිල්ලෙයි. කුරුලු කිචිබිචිය ඒ හඬ පරදවයි. අපි මේ සොබාදහමේ නාදයන්ට සවන්දෙමින් ඉදිරියට ගමන් කළෙමු. "ෂ්.... ෂ් .... සද්ද කරන්න එපා" ... නඩයේ මගපෙන්වන්නා වූ සෑම් අයියා පවසයි. ඔහු සිය කෝටුවෙන් දිරාගිය දුන් ගසක බෙනයක් අපට දක්වයි. එහි කළු සහ සුදු පැහැයෙන් යුත් විෂ සහිත දිවි මකුළුවකු ඒ මේ අතර සරයි. "ළඟට යන්න එපා. දිවි මකුළුවාට අඩි දෙක තුනක් දුර පනින්න පුළුවන්." ඔහු හෙමින් කියයි.
ඈතින් දුටු නිල් පැහැති කැහිබෙල්ලන් රංචුවේ පක්ෂීන් සිවුදෙනෙක් පමණ වූහ. රංචු වශයෙන් කෘමීන් සොයායාමට කැහිබෙල්ලා දක්වන්නේ කැමැත්තකි. ඉතා අලංකාර මේ පක්ෂියා කිතුල්ගල ඇතුළු සබරගමුවේ වනාන්තර අලංකාර කරන ප්‍රධාන ආකර්ෂණයකි. මෑතකදී සොයාගත් නිශාචර ආවේණික පක්ෂියකු වූ පඬුවන් බස්සාද මෙහි වෙසේ. එහෙත් ඌ දැකගැනීම නම් ලෙහෙසි නොවේ. මෙම වනය හැරෙන්නට ඌ වාර්තා වන්නේ සිංහරාජය, ගිලීමලේ සහ මොරපිටිය රූනකන්දේ පමණි. දුඹුරු පැහැති මේ පක්ෂියා කන් දිග බස්සාට සමානය. පෙඳය කොටය. පාද සහ නිය සුදු පැහැතිය.
හිස සුදු ශාරිකාවා නම් දුලබ අාවේණික පක්ෂියාද මෙහි වෙසේ. ගිරා මලිත්තා, අළු ගිරවා, හබන් කුකුළා, මයිලගොයා, අළු කෑදැත්තා, පුල්ලි වල් අවිච්චියා, සිළු කවුඩා, වත රතු මල් කොහා, රතු දෙමලිච්චා, අළු දෙමලිච්චා, ලංකා මූකලන් සැලිළිහිණියා, මුදුන්බොර දෙමලිච්චා, දෑ දෙමලිච්චා, ලේ රතු කෑරලා, බඩ රතු වැහිලිහිණියා වැනි අාවේණික පක්ෂීහුද මෙම තුරු නිවහන් කොටගෙන සිටිති. මෙරට නේවාසික පක්ෂි විශේෂ 432 අතරින් විශේෂ 123 ක්ද මින් වාර්තා වේ. සර්ප උකුස්සා, කළු උකුස්සා, සහ කුරුලුගොයා ඒ අතර විශාල මාංශ භක්ෂක පක්ෂීහු වෙති.දොළ පහරක් හරහා දමා ඇති කළුගලින් කළ පාලමකි. ඒ අතර පැරණි මාර්ගයක නටබුන්ද හමුවේ. මේ 1970 දශකයේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන පෙත දැව සඳහා කැපූ සමයේ ඉදිකළ මාර්ගයක නටබුන්ය.
දොළ පාරේ කළුගල්වලින් නිර්මාණය වී ඇති ජල තටාකවල ඒ මේ අත පිහිනන මසුන් සුලබය. කැලණි ගං ද්‍රෝණියේ මේ වනබිම ආවේණික මසුන්ට කෙම්බිමකි. අප රටට අාවේණික මත්ස්‍ය විශේෂ 33 අතරින් විශේෂ 13ක් මින් හඳුනාගෙන තිබේ. කළු පැහැති මගුරෙකු පර්වත විවරයක් තුළින් පිටතට විත් කරකැවෙයි. අලංකාර බුලත්හපයන් සහ ලේතිත්තයෝ නිදහසේ පිහිනති. ඒ අතර පර්වත පෘෂ්ඨවල ඇලී සිටියේ ගල් පාඬින්ය. අශෝක පෙතියාද මේ අවට දියමාර්ගවල ජීවත් වුණත් මෑතක සිට උන් දුලබ වී ඇති බව අපට දැනගැනීමට ලැබුණි. පඳුරු ගොම්මනක සිට පැන දිව්වේ හාවෙකි. ඒ හැරුණු විට වල් ඌරා මෙහි සුලබය. කොළ දිවියා, උණහපුලුවා, ඉත්තෑවා, දඬු ලේනා, මූකලන් ලේනා, මුගටියා යන ක්ෂීරපායිහුද මෙහි සරති. ක්ෂීරපායී ලෝකයේ සුන්දර කොටියාද මෙහි ජීවත් වුවද උන් දැකගැනීම නම් අසීරුය.
වනයේ ඉදිරියට ගමන් කරන අපට ලේන්තැරි ඇල්ලට සහ ඇතා නාපු වළට මග පෙන්වන නාම පුවරුව දක්නට ලැබුණි. අප ගමන් කළේ ඇතා නාපු වළ වෙතය. මීටර් 30-40ක් උසැති වියන් ස්තරය යටින් පියමං කරන අපට නාඉඹුල්, හොර, කැකුණ, වල්දෙල්, දුන්, බදුල්ල, මැන්දෝර, වල්දූරියන්, කොස්, දොඹ, හැඩවක, මිල්ල, කීන, රදලිය, ගොකටු, කිතුල් වැනි ශාක දක්නට ලැබෙයි. දිය මාර්ග අසල වැවී ඇත්තේ දියනා, මීදෙල්ල, ගොඩපර, හොඩපර වැනි ශාකය. වෙනිවැල්, වේවැල්, පුස්වැල් වැනි ලතා වර්ග අපූරු ලතාමඩුලු නිර්මාණය කර ඇත. උස් තරු අතර සරසා කළු වඳුරන් දෙදෙනෙක් අපට බියෙන් ඈතට පළා ගියහ. රිලවු රං‘චුවට නම් අපගේ පැමිණීම වගේ වගක් නැති ගාණය.
කඳු බෑවුමක් තරණය කර ඇතා නාපු වළ වෙත පැමිණිය හැකිය. ඒ අසල සංචරකයන්ට ස්නානය කිරීමට, විවේක ගැනීමට සහ ඇඳුම් මාරු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. වනය මැදින් ගලනා පාපනා ඔය මෙහිදී ස්වභාවික ජල තටාකයකට වැටී ඉදිරියට ගලා බසී. මෙම විශාල ජල තටාකය පළිඟුවන් පිරිසිදු ජලයෙන් පිරී පවතී. එය ඇතෙකුට පවා ස්නානය කළ හැකි නිසා ඇතා නාපු වළ නමින් හැඳින්වේ. වන ප්‍ර‘වේශයේ සිට මේ වෙත කි.මි. 02ක් පමණ දුරය.
"මෙතනින් පහළ තමයි, ලේන්තැරි ඇල්ල තියෙන්නේ සෑම් අයියා කීවේ පාපනා ඔයේ පහළට අත දිගුකරමිනි.
"වතුරත් අඩු නිසා එහෙනම් අපි ඔය පාර දිගේම පහළට බහිමු". මම කීවෙමි. ඒ අනුව අපි ජල ඛාදනයෙන් සිනිඳුවට මැදුනු පර්වත පිට ඔස්සේ ගමන් කරන්නට වීමු. සමහර තැන්වල බෑවුම ඍජු විය. ජලය අඩු නිසා දිය ඇල්ල සිඳී ගොසිනි. ඉන් ගලායන්නේ සොච්චම් ජල දහරාවක් පමණි. අපි පර්වත අතර වැවී තිබූ ගස්මුල්වල එල්ලෙමින් පහළට බැස්සෙමු. එහි සිට වනයට වැදුණු අපි යළිත් ආපසු පිටතට ගමන් ඇරඹුවෙමු.
සටහන - කුසුම්සිරි විජයරත්න