අලුත් අවුරුදු සමය උදාවීමත් සමග පුවත්පතේ පිටු, රූපවාහිනියේ ගුවන් කාලය පිරී ඇත්තේ අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍ර, කැවිලි-පෙවිලි හා කෑම වට්ටෝරු වලිනි. නමුත් 'අද' අප මේ සටහන් කරන්නේ අලුත් අවුරුදු කෑම මේසයේ ප්‍රධාන තැනක් ගන්නා කැවුම්, කොකිස්වලින් තම ජීවිතය ජයගත් දිරිය ව්‍යවසායකයන් දෙපළක් පිළිබඳවය. ඔවුන් දේශාන්ති තක්ෂිලා සහ අමිල කුමාර නම් වේ. මේ ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාවයි.
දේශාන්ති හා අමිල ඔවුන්ගේ කතාව අප වෙත පැවසුවේ සතුටු කඳුළු අතරිනි. ඒ ඔවුන් පැමිණි ගමනේදී බාධක රැසක් පසුකරගෙන ආ හෙයිනි.
ඒ කතාව ඇසූ විට අපට හැඟුණේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස නොපසුබස්නා උත්සාහය බවයි. මේ කතාවට මුලින්ම මුලපිරුවේ දේශාන්ති තක්ෂිලායි.
''මෙම රසකැවිලි ව්‍යාපාරය මගේ තාත්තගෙන් ලැබුණු දායාදයක්. තාත්තා පටන් ගත්ත මේ ව්‍යාපාරයට දැන් අවුරුදු 17ක් පමණ වෙනවා. තාත්තා මේ ව්‍යාපාරය සුළුවෙන් පටන් ගත්තේ රත්නපුර ඇහැලියගොඩ අපේ ගෙදරින්.
අපි එය පටන් ගත්තේ ආර්ථිකමය වශයෙන් කරදර රැසකට මුහුණ දී සිටිය කාලයක. තාත්තා හදිසියේ අසනීප වූවායින් පසුව රස්සාව අහිමි වුණා. ඊට පස්සේ අම්මා රැකියාවකට ගියා. ඒ ලැබෙන මුදලෙන් අපි පස්දෙනාව නඩත්තු කරන්න බැහැ. ඉතිං ඒ නිසා අම්මා කල්පනා කළා තවත් මොනාහරි දෙයක් සුළුවෙන් හරි පටන් ගන්න ඕන කියලා.
ඊට පස්සෙ අම්මා ඇහැලියගොඩ කඩේකට මුං කැවුම් 25 ක් හදලා දැම්මා. දෙවැනි දවසේ යනකොට ඒ ඔක්කෝම ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ වැඩේ දිගටම කරගෙන යමු කියලා. අන්න එහෙම තමා අපේ මේ ව්‍යාපාරයට පදනම වැටුණේ.
මුලින් එක කඩේකට මේ රසකැවිලි දැම්මත් පස්සේ තාත්තා රසකැවිලි කොළඹ කඩවලට දාන්න පටන් ගත්තා. ඒකෙන් අපිට තිබුණ ආර්ථික අපහසුතා යම්තාක් දුරකට අඩු කරගන්න පුළුවන් වුණා. ඒත් මගේ සහෝදරියන් හතරදෙනා සහ මම විවාහ වුණාට පස්සේ තාත්තට මේ ව්‍යාපාරය තනිව කරගෙන යන්න ශක්තියක් තිබුණේ නැහැ. ඊට පස්සේ තාත්තාගේ ව්‍යාපාරය කඩන් වැටුණා.
මම විවාහ වුණාට පස්සේ නැවත මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන කියලා මම මගේ මහත්තයට කිව්වා. මොකද මම පුංචි කාලේ ඉඳන්ම මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනවාමයි කියන අදහස මට තිබුණා.
ඒ මේ වැඩකටයුතු කරද්දී ලොකු ආත්ම තෘප්තියක් තිබුණ නිසා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන් හිතාගත්තා කොපමණ ඉගෙන ගත්තත් මම මේ ව්‍යාපාරය කරගෙන යනවා කියලා. මට ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.
මහත්තයයි, මමයි ඇහැලියගොඩ ඉඳන් මුලින් බස් එකේ කොළඹ ඇවිත් කඩවල් බැලුවා. ඊට පස්සෙ අපි දෙන්නා බස් එකේ රසකැවිලි ගෙනත් කඩවල්වලට දැම්මා. නමුත් එහෙම කඩවල්වලට කෑම දාන එක සාර්ථක වුණේ නැහැ.
ඊට පස්සේ අපි ත්‍රීවිල් එකක් හයර් කරගෙන ආවා. ඒත් අපිට ලාභයක් ගන්න බැරි වුණා. මොකද කඩවල් වහනවා. එතකොට කෑම ඉතිරි වෙනවා. ඒ වගේම සල්ලි ගද්දි ප්‍රශ්න ආවා. අනිත් ලොකුම ප්‍රශ්නෙ තමා කොණ්ඩ කැවුම් කඩවල්වලට දැම්මට පස්සේ හයි වෙනවා. හයි වුණට පස්සෙ ඉතිරි වෙනවා. ඒ ගැන අපි හිතන්න ගත්තා. වැඩි හරියක් මිනිස්සු ඉල්ලන්නෙත් කොණ්ඩ කැවුම්. ඉතිරි වෙන්නෙත් කොණ්ඩ කැවුම්. මොකද ඉක්මනට හයිවෙන නිසා.
මම මේ ගැන මහත්තයට කිව්වම මහත්තයා තමා අදහස දුන්නේ අපි මේ කැවුම් රස්නෙන්ම පාරිභෝගිකයන්ට දීලා බලමු කියලා. මහත්තයාගේ යෝජනාවට අනුව අපි ඉස්සෙල්ලාම දෙහිවල සත්තුවත්ත ඇතුළෙ කැවුම් හදලා විකුණුවා. එදා උදේ වරුව අපි තැනක් හෙව්වා. අපිට බිස්නස් එක කරන්න තැනක් හම්බ වුණේ හවස.
මොකද එහි පාලකයෝ එක එක්කෙනා ඇවිත් මෙතනින් ගෙනියන්න කිය කියා තැන්තැන්වලට ගිහිල්ලා උදේවරුව අපි තැනක් හෙව්වා. එදා අපිට හවස් වරුවෙන් විතරක් රු. 4000ක මුදලක් හොයාගන්න පුළුවන් වුණා. එදා අපිට හිතුණා සාමාන්‍යයෙන් බිස්නස් එක හොඳයි කියලා.
දෙවැනි දවසේ අපි තැන මාරු කරලා බැලුවා. ඊට පස්සෙ අපි තලවතුගොඩ පිටකෝට්ටේ පාරට ආවා. ඒ පාරේ පළවෙනි දවසේ අපිට 11,000කට කිට්ටු මුදලක් හොයාගන්න ලැබුණා. ඊට පස්සේ අපිට අතඅරින්න ලෝබ හිතුණා. දිගටම බිස්නස් එක කළා''
මේ කතාබහේදී තක්ෂිලාට සෙවණැල්ලක් වගේ සිටිමින් ඇයව දිරිමත් කරමින් සහයෝගය ලබාදුන් ආදරණීය සැමියාව මේ කතාබහට එක්කර ගැනීමට අප අමතක නොකළෙමු.
අමිල මහතා කතාවට පිවිසුණේ මෙසේය.
''ලැජ්ජාව කියන දේ මුලින්ම පැත්තකට දැමූ එකයි කළේ. මොකද අපි ගොඩක් දුක්වින්දා. මුලින්ම මේ ව්‍යාපාරයට අතගහද්දී අපි දෙන්නා අතේ තිබුණේ රුපියල් 70ක් විතරයි. ඒත් අපි හිතුවා අපි කොහොම හරි කරගෙන යනවා කියලා. ඒ අධිෂ්ඨානය තිබුණ නිසා ඉතා කෙටි කාලයකින් අපේම කියා රසකැවිලි අලෙවිසැලක් පටන් ගන්න පුළුවන් වුණා. අපි අපේ වෙළෙඳ සැලට නමක් දැම්මා. ඒ 'Sweet Hut' කියලා.
ඒ නමට ලොකු කතාවක් තියෙනවා වගේම ලොකු අර්ථයක් තියෙනවා. ගොඩක් අය කිව්වා මේ නම වෙනස් කරන්න. සිංහල නමක් දාන්න කියලා. ගොඩක් අය හිතන්නේ රසකැවිලි කඩයක් කිව්වම පොල් අතු බැඳලා දේශීය තාලෙට තියෙන්න ඕන කියලා. නමුත් අපි අපේ දේශීය දේ අලෙවි කරනවා නම් පිටින් එහෙම දේවල් කිරීම අවශ්‍ය නෑ කියලා මම හිතුවා.
මේ 'Sweet Hut' කියන නමේ 'S' අකුරෙන් මගේ බිරිඳගේ වාසගම සඳහන් වෙනවා. ඒ 'සීමන් හේවගේ' යන්නෙහි මුල් අකුරයි. 'W' අකුර මගේ වාසගමේ මුල් අකුරයි. ඒ 'විතාන මුදියන්සේලාගේ' යන්නයි. ඉතිං මේ SW යන හදවතේ නිවහන තමා 'Sweet Hut' කියන්නේ. අන්න ඒ වගේ ලස්සන අර්ථයක් තියෙන නමක් තමා අපේ ව්‍යාපාරයට තිබෙන්නේ.
අපි මුලින් මේ බිස්නස් එක පටන් ගනිද්දී කැවිලි පෙවිලි හැදුවේ අපේ පවුලේ කට්ටිය. ඒත් අද වෙද්දි අපි ගාව 12 ක් වගේ වැඩකරනවා. දැන් අපිට වෙළෙඳසැල් 2ක් සහ ජංගම අලෙවි රථ 2ක් තිබෙනවා. ඒක ලොකු සතුටක්.
අද අපිට ගොඩක ඇණවුම් ලැබෙනවා වගේම දිනපතා අපෙන් කැවුම් කොකිස් ලබාගන්න පාරිභෝගිකයෝ ඉන්නවා. නැකත් දවස්වලට ගොඩක් බිස්නස් තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ගෙවල්වල කැවුම් හැදෙන්නේ නැති තරම්. අනිත් දේ තමා අපි උණුවෙන්ම ලබාදෙන නිසාත්, අපේ මිල ගණන් අඩු නිසාත් බිස්නස් එක පටන් ගනිද්දී ආපු පාරිභෝගිකයෝ පවා තවමත් අපව හොයාගෙන එනවා.
ඒ වගේම අද වන විට අපි ගාව කැවුම් හදන්න ආපු ගොඩක් අය එයාලගේම ව්‍යාපාර පටන් අරන් තියෙනවා. ඒ ගැන හිතනකොට අපිට සතුටක් දැනෙනවා''
මේ වගේ කටට රසට රසකැවිලි හදන්න පුරුදු වූ අයුරු දැන ගැනීමට අපට සිතුණි. ඒ කතාව අපට තක්ෂිලා මහත්මිය පැවසුවේ සිනාමුසු මුහුණින්.
''කෑම හදන්න ඉගෙන ගන්නවා කියන එක ගොඩක් සංකීර්ණ දෙයක්. මුංකැවුම්, කොකිස් හදන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. කොණ්ඩ කැවුම් අපේ ගෙදර කවදාවත් හදලා නැහැ. තාත්තා දවසක් ආච්චි කෙනෙක් ගෙන්නලා කොණ්ඩ කැවුම් හදන්න කියල දෙන්න කිව්වා. ඒත් හරියට කවුරුත් කියල දෙන්නේ නැහැ.
තාත්තා ඊට පස්සෙ මේ කොණ්ඩ කැවුම් සහ ආස්මි හදන ගෙවල්වලට ගිහින් හදන හැටි බලන් ඉඳලා අම්මට ඉගැන්නුවා. අම්මා තාත්තගෙන් ඉගෙන ගත් දේ අපට ඉගැන්නුවා. මේ විදිහට ඉගෙන ගෙන තමා අපි අද ඉස්තරම්ම විදිහට පාරිභෝගිකයාට මේ රසවත් කැවිලි ලබා දෙන්නේ''
මේ ඔවුන්ගේ සාර්ථකත්වයේ කතාවයි. ඔබත් මේ දිනවල අලුත් අවුරුද්දට කැවුම් කොකිස් හදාගන්න එක ගැන සිතමින් ඉන්නවා විය හැකිය. කාර්යබහුල ඔබට මේ 'Sweet Hut' වෙත ගියොත් අවුරුදු කෑම මේසය වඩාත් රසවත් කර ගැනීමට හැකියාව තිබේ.
ඔබට පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ බැද්දගාන හන්දියේ 'Sweet Hut' වෙත ගියොත් අවුරුදු කෑම මේසයට අවශ්‍ය සියලු රසකැවිලි ලබාගත හැකිය. එමෙන්ම විජයරාම හන්දියේ මහජන බැංකුව අසල අලෙවි සැලෙන්ද ලබාගත හැකිය. මීට අමතරව මොවුන්ගේ ජංගම අලෙවි රථ තලවතුගොඩ පාරේ විජිතපුර අසලද, විජයරාම පාරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේද ඇත.
ඒ මගින් ඔබට රසවත් රසකැවිලි ලබාගැනීමේ හැකියාව ඇත. ඇණවුම් භාරදීමට අවශ්‍ය නම් 076 9 910 748 / 071 5 500 680 දුරකථන අංකයන්ට ඇමතිය හැක.