කසළ කියලා දෙයක් නෑ, තියෙන්නෙ සම්පත්
අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් රසායන විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා විසින් දක්වන ලද අදහස් පාඨක ඔබගේ අවධානය පිණිස 'අද' සටහන් තබමු.
කසළ සම්පත් පිටරටවලට යැවිය හැකි ක්‍රමයක් තියෙනවා
පළමුවැනි කාරණය තමයි කසළ කියලා දෙයක් නෑ. අපි මේ කසළ කඳු කියලා කතා කළාට කසළ කියලා දෙයක් නෑ, තියෙන්නෙ 'සම්පත්'. මේ සියලුම සම්පත් නැවත යම්කිසි අමුද්‍රව්‍ය බවට පත් කරගන්න පුළුවන් දේවල්. මෙය වෙන රටවල ඉතාමත් පැහැදිලිවම භාවිත කරන්න පුළුවන්. 'Zero Waste' කියන ප්‍රතිපත්ති යටතේ, එහෙමත් නැත්නම් 'ශුන්‍ය කසළ' කියන ප්‍රතිපත්තිය යටතේ.
ඔබට ඉතාම පැහැදිලියි ලංකාවෙ තියෙන කසළවලින් 50%ක විතර ප්‍රමාණයක් අපි භාවිත කරනවා දිරාපත් වන ද්‍රව්‍ය, ඒ වගේම නොදිරන ද්‍රව්‍ය තියෙනවා. නොදිරන ද්‍රව්‍ය නැවත භාණ්ඩ බවට පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේකට අයිති වෙනවා ක්‍රම කිහිපයක්. එකක් තමයි ප්‍රතිචක්‍රිකරණය. යකඩ හෝ වීදුරු වගේ ද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රිකරණය කරගන්න පුළුවන්.
එහෙමත් නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය නම් ඒ සඳහා නැවත දේවල් එකතු කරලා, ඒවා ප්‍රතිචක්‍රිකරණය කරන්න පුළුවන් රටවල් තියෙනවා. චීනයේ ගොඩක් ස්ථාන තියෙනවා. ලංකාවෙ මේ හැකියාව නෑ. මොකද ඒක ඉතාම දූෂිත කර්මාන්තයක්. නමුත් ඒ රටවලට යැවිය හැකි ක්‍රමවේදයක් අපේ රටේ තියෙනවා.
අපේ රටේ විද්‍යුත් සමාගම් 15 ක් පමණ එකඟතාවක් අත්සන් කරලා තියෙනවා, මධ්‍යම පරිසර අධිකාරියත් සමග එම භාණ්ඩ නැවත ලබාගන්නවා කියලා. නමුත් මේ නීතිය තවදුරටත් පාර්ලිමේන්‘තුවේ අනුමත වෙච්ච නීතියක් බවට පත් වෙන්න ඕන. 'නිෂ්පාදකයාගේ දීර්ඝකාල වගකීම' කියලා තමයි එතනදි සැලකෙන්නේ.
මේ කාරණය දුරකථනයක්, රූපවාහිනියක් වගේ විද්‍යුත් අපද්‍රව්‍ය සියල්ලටම වගේ බලපාන දවසට මේ සියලුම දේවල් නැවත නිෂ්පාදකයා ආපසු ලබාගත යුතුයි. ප්‍රතිචක්‍රිකරණය සඳහා යැවිය යුතුයි.
මේ මිහි මතැ වසන සත සිතෙහි මෙත වැඩේවා!
ගහ කොළට පවා එම මෙත් සිසිල දැනේවා!
බව භෝග සම්පතින් සතට සෙත සැදේවා!
අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා!
උපුටා ගැනීම - පරිසර ගීතය
දේශපාලනික විසඳුමක් නොව විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යයි
කසළවලට යම් යම් අය දේශපාලනික වශයෙන් විසඳුම් සොයන්න උත්සහ කළාට මෙයට අවශ්‍යයි විද්‍යාත්මක විසඳුමක්. ඒ විද්‍යාත්මක විසඳුම දෙන්න නම් අපි මේ ගැන මූලිකවම විද්‍යාත්මකව සිතන්න ඕන. පළමුවෙනියට අපි කසළ හැදෙන එක වළක්වාගන්න ඕන.
අපි දැන් මේ කොළඹ කුණු කන්ද ගැන කතා කරනකොට මෙට්‍රික් ටොන් 800 ක් ගැන විතරයි කතා කරන්නේ.
හැබැයි ලංකාවේ නිෂ්පාදනය වන මේ සම්පූර්ණ අපද්‍රව්‍ය ප්‍රමාණය බැලුවොත් මෙට්‍රික් ටොන් 16,000 ක් පමණ හැදෙනවා. මේ මෙට්‍රික් ටොන් 16,000කින් මෙට්‍රික් ටොන් 7000 ක් විතර හැදෙන්නෙ බස්නාහිර පළාත ආශ්‍රිතවයි. නගර සභාවලින්, ප්‍රා‘දේශීය සභාවලින් එකතු වන අපද්‍රව්‍ය පමණයි අපි මෙට්‍රික් ටොන් 3000 ක් කියලා කතා කරන්නෙ. එයින් කොළඹ ප්‍රදේශයේ පමණයි අපි මෙට්‍රික් ටොන් 800 ක් ගැන කතා කරන්නෙ. මේ 800 ඇතුළෙ දිරාපත් වන හා නොවන අපද්‍රව්‍ය සියල්ලම තියෙනවා.
එතකොට 16,000කින් අපි හිතමු 3000 ට විතර අඩු වෙනවා නම්, ඉතිරි නාගරික අපද්‍රව්‍ය ටික කොතෙන්ටද යන්නෙ? ඒවා යන්නෙත් වගුරු බිම් පුරවන්න, එහෙමත් නැත්නම් සමහර තැන්වල ගඟවල්වලට දානවා. තවත් සමහර තැන්වල මුහුදට අතහරිනවා. තවත් සමහරු ඉඩම් ගොඩ කරගන්න භාවිත කරනවා.
අපි දන්නවා හොඳාකාරවම සමහර ඔයිල් ෆාර්ම් කර්මාන්තශාලාවල තියෙන ඒවා, සමහර තැන්වල කුඹුරුවලට ගෙනිහින් දානවා. මිනිසුන්ව රවට්ටගෙන තියෙනවා ඒවා පොහොර කියලා. පොහොර තමයි කාලෙකට පස්සෙ. හැබැයි ඒක එක පාරටම දැම්මොත් පැත්ත පළාතක ඉන්න බෑ. මේවා විසඳන්න වෙනම ගැසට් පත්‍රයක් 1996 දී සකස් කරලා තියෙනවා.
විශේෂයෙන්ම රසායනික වශයෙන් ඉවතලන අපද්‍රව්‍යවලට කොහොමද කටයුතු කළ යුත්තේ කියලා. එසේ නොමැතිව ලංකාවේ තියෙන වගුරු බිම්වලට, ජනතාව අඩුවෙන් කෑ ගහන තැන්වල හිස් ඉඩමකට පිරවීම මගින් මේක විද්‍යාත්මක විසඳුමක් කරන්න බැහැ. ප්‍රතිචක්‍රිකරණය කරන්න පුළුවන්, කොම්පෝස්ට් හදන්න පුළුවන්, නැවත වෙනත් රටවලට යවලා භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් කියන ක්‍රමවේදය හරහායි ගේන්න ඕනෙ.
ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි
හැමෝම අහලා තියෙනවා 3R සංකල්පය ගැන, නැත්නම් Reduce, Reuse, Recycle කියන එක. එහි පළමු එක තමයි අඩු කරන්න කියන එක. එතකොට අඩු කරන්නෙ නැතිව අපට මුකුත්ම කරන්න බෑ. උදාහරණයක් හැටියට අපි ගෙදරට කේක් එකක් ගෙනාවොත් කේක් ගෙඩිය මැද්දෙ තියෙනවා. ඊට පස්සෙ තද ඝනකම් ප්ලාස්ටික් ආවරණයක් ඇතුළෙ තියෙනවා.
ඒක තව කවරයකින් වහලා තියෙනවා. ඊට පස්සෙ තව ලස්සන 'Printed' කවරයක් තියෙනවා. ආයෙත් දානවා 'Brown Paper' එකක. ගෙදරට ගේන්නෙ තව 'Shopping Bag' එකක දාගෙන. එතකොට මැද්දෙ තියෙන කේක් එක වටේ තව ලේයර් 05 ක් එක්ක තමයි අපි කේක් එක ගෙදරට අරගෙන එන්නෙ. අපි අර එකක්වත් කන්නෙ නෑ. අපි කන්නෙ කේක් එක විතරයි.
අර පහම යන්නෙ කුණු ගොඩට. අපි හිතමු කේක් එක අපි රුපියල් 200කට ගත්තා කියලා. රුපියල් 100 ක විතර අසුරන තියෙනවා. කාටද මේවා? මේ අසුරණ තමයි අන්තිමට මීතොටමුල්ලට හෝ ගොහාගොඩට අපි ගෙනිහින් දාන්නෙ. මෙතනදි අපි ආකල්පමය වශයෙන් වෙනස් වීමක් වෙන්න ඕන. ඒක වෙන්නෙ නැතුව අපට කවදාවත් අපද්‍රව්‍ය අඩු කරගන්න බෑ.
සුපර් මාර්කට්වලදි භාණ්ඩවල බර බලනවා, එක්කෝ 02 ක් මදි නම් Shopping Bags තුනක දානවා. සමහර වෙලාවට පොලිතින් කවර 20 ක් විතර එක වතාවක ගෙදරට අපි අරගෙන එනවා. ඇයි අපට රෙදි මල්ලක් අරගෙන ගිහින් මේ සේරම පටවගෙන එන්න බැරි? මොකද පන් මල්ලක් වගේ ගෙනියන්න ලැජ්ජයි, පන්වලින් හදපු පර්ස් එක කිහිල්ලෙ ගහගෙන යන්න පුළුවන්. ඒක නිසා තල්කොළ, පන්, ඉඳිකොළ වගේ ඒවාගෙන් හදපු මලු බොහොම අපූරුවට ලස්සනට තියෙනවා. අපි මේ අදහස අපේ ඔළුව ඇතුළෙ ඇති කරගත යුතුයි.
අපි ලැජ්ජා වෙන්න ඕන පොලිතින් කවරයක එල්ලගෙන යන්නයි ඇත්ත වශයෙන්ම බැලුවොත්.
ප්ලාස්ටික් හැම භාණ්ඩයකටම අපි විරුද්ධ වෙන්න ඕන නෑ. ප්ලාස්ටික්වලින් පුටුවක් නොහැදුවා නම් ඒ පුටුව හදන්න ගස් කපන්න ඕනා. ඒක නිසා ප්ලාස්ටික්වලින් පුටුවක් හදලා අවුරුදු ගාණක් තිස්සෙ පුටුව පාවිච්චි කරන එකට නෙවෙයි අපි විරුද්ධ වෙන්නෙ. එක සැරයක් පාවිච්චි කරලා ඉවත දමන ප්ලාස්ටික්වලට තමයි අපි මේ විරුද්ධ වෙන්නෙ.
හිතන්න අනිත් පැත්තට එක සැරයක් පාවිච්චි කරන Shopping bag එකක්, ප්ලාස්ටික් භාණ්ඩයක් අපි දෙවතාවක් භාවිත කළොත් 50%කින් ඒවා භාවිතය අඩු වෙනවා. බොහොම සරල 'හැඟීමක්' මෙතන තියෙන්නෙ. ඒ නිසා මේ විදිහට 'හැඟීමක්' ඇති කරගැනීම තුළින් අපට මේ අපද්‍රව්‍ය වැඩිවීමේ කාරණය වෙනස් කරගන්න පුළුවන්.
අපට අල්ලන්න බැරි දේවල් සනීපාරක්ෂක කම්කරුවන්ටත් අල්ලන්න බැහැ
අපි සමීක්ෂණයක් කළා ලංකාවේ කැළි කසළ එකතු කරන අයට තියෙන ප්‍රශ්න මොනවාද කියලා. කැළි කසළ එකතු කරන අය ලංකාවෙ 12000 – 13000 ක් විතර ඉන්නවා. 2000කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සම්බන්ධ වෙලා ඉන්නෙ. බොහෝ අයගේ අතට වැස්මක් නැහැ. බොහෝ අය කාන්තාවො ඉන්නෙ. ඒ අය කියනවා ''අපට වැසිකිළියක් නැහැ. හැම ජරාවක්ම අපේ අත් දෙකෙන් එකතු කරලයි දාන්නෙ'' කියලා කම්කරු සේවය තමයි ඒ අය කරන්නෙ.
නමුත් හිතන්න, ඒ අයටත් අභිමානයක් තියෙනවා. ඒ අයගේ අභිමානය නැති කරලා තමයි අපි මේ කැළි කසළ කලවම් කරලා ඔක්කෝම දාලා, පොඩි ළමයින්ගෙ අසූචි මිශ්‍ර පෑඩ්ස් දානවා, සමහර වෙන රසායනික ද්‍රව්‍ය දානවා. 'අපි අල්ලන්නෙ නැති දේවල් අර සේවකයන්ටත් අල්ලන්න බැහැ, කියන සංකල්පය අනුව කටයුතු කරන්න පුළුවන් නම් එතන තමයි වෙනස තියෙන්නෙ. තමන් විසින් කැළි කසළ එකතු කරන්ෙන කියන ආකල්පය ඇතිව ගෙදරදීම කැළි කසළ වෙන් කර ගන්නවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නෙ.
නිවසේදී අරඹන්න, නිවසේදීම වෙන් කරන්න
ගෙදරදීම මෙය අරඹන්න ඕනා, කැළි කසළ ටික කලවම් කරලා නගර සභාවට දීලා මගේ අත පිහිදාගන්න බැහැ. එහෙම කළොත් මේ කැළි කසළ ප්‍රතිචක්‍රිකරණය කරන්න බැහැ. මේක ගෙදරදීම ඉතාම පහසුවෙන් වෙන්කර ගන්න පුළුවන්. පර්චස් 04 – 05 ක් තියෙන ඕනෑම කෙනෙකුට 'කොම්පෝස්ට් බින්' එකක් කඩෙන් ගෙනල්ලා අපද්‍රව්‍ය දාන්න පුළුවන්.
විහිළුවක් ඇත්තටම, පර්චස් 04 – 05 ක ඉඩමක් තියාගෙන පාරට කැළි කසළ එකතු කරන එක ගැන අපි ලැජ්ජා වෙන්න ඕන. පාරට එකතු වුණාට පස්සෙ නගර සභාව හෝ වෙනත් රජයේ ආයතනයක් ඒකට වගකියන්න ඕන. හැබැයි එහෙම වගකියන්න බැහැ. මගේ වගකීමෙන් මිදිලා මේ කාරණය කරන්න බැහැ. කියන එක හැමදෙනාගේම මතකයේ තිබිය යුතුයි.
අපි විද්‍යාව පාවිච්චි කරන්න ඕන මානුෂීය වෙනසක් ඇති කරන්න. ඒ වගේම මේ රටේ කුණුවලට ජීවිත ගණනාවක් බිලිදීම ගැන අපි අපේ ආකල්ප වෙනස් කර ගන්න ඕන. ආගම පැත්තෙන් හිතලත් අපේ ආකල්ප වෙනස් කරගන්න අපි උත්සාහ කරන්න ඕන.
''වෙසක් කියලා කියන්නෙ බොහොම ආගමික දෙයක්. අපි අනෙක් අයට හානිකර නොවන විදිහට වෙසක් උත්සවය සැමරීම සිදුකළ යුතුයි. අවාසනාවකට පසුගිය කාලය තුළම අපි දැකපු බොහෝ වෙසක් කූඩු සම්පූර්ණ පොලිතින් කවරවල රිංගවලා තමයි බෞද්ධාලෝක මාවත දිගේම තියෙන්නෙ. මේක ගෙවල්වලත් බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා. ඒක නිසා මෙය නුසුදුසුයි කියන එක මං හිතන්නෙ සෑම දෙනෙක්ම දැනගන්න ඕන. මොකද වෙසක් කූඩුවක් සාදනකොට මතක් වෙන්න ඕන කුණු කන්ද. එතකොට තමයි අපට මේ වෙනස අති කරගන්න පුළුවන් වෙන්නෙ.''
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

