කතරගම ඇසළ පෙරහරට පෙර කතරගමට පැමිණ සිටින සුවිශේෂී පිරිසක් මේ දිනවල දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර, පූජා භූමිවල බහුලව දැකිය හැකි මොවුන්ට අව්වට වැස්සට, දිවා රාත්‍රියට වාසය කිරීමට හරිහමන් නිශ්චිත ස්ථානයක් නොමැත. පොදු ස්ථාන, කඩපිල්, විශාල ගස් පාමුල මොවුන්ගේ නවාතැන් පොළවල් වේ. මොවුහු අන් කවරෙකුවත් නොව සමාජයට සෘජුව වැඩක් කළ නොහැකි, සමාජයෙන් තම පැවැත්ම සරි කරගන්නා යාචකයෝය.
යාචකයෝ තමන්ගේ දුක අන්අයට කියමින්, අතපා යමක් ඉල්ලාගෙන ජීවිකාව ගෙනයති. අපිරිසුදු, කිලිටි ඇඳුමෙන් සැරසී සැරසී ජනතාවට දුක කියමින් ජීවිකාව ගෙනයන මෙම යාචකයන්ගේ පිරිස එන්න එන්නම වැඩිවනු මිසක අඩුවීමක් නොමැත.
මොවුහු තම වයෝවෘද්ධ භාවය, අතපය වාරු නොමැතිවීම, අත්පා අහිමිවීම, ඇස් නොපෙනීම ගොළුවීම, වැනි කුමන හෝ ආබාධයක්, දුර්වලතාවක් ගෙනහැර පාමින් තම යාචක ජීවිතය ගෙනයති.
නමුත් සැබෑ අසරණකමින් යාචක දිවිය ගෙවන්නන් මෙන්ම, ලාභ ඉපැයීමේ අරමුණින් කටයුත් කරන හොර යාචකයෝද සිටිති. මොවුහු යාචකයන් අතර සිටිමින් නැති ආබාධ, දුර්වලතා මවා පෙන්වමින් ආධාර උපකාර ලබති.
බොහෝ යාචකයෝ ආදාර ලබාගැනීමට විවිධ හේතුසාධක ඉදිරිපත් කරති. දරුවන් පාසල් යැවීමට අවශ්‍ය දෑ මිලදී ගැනීමට උපකාර කරන ලෙස පැවසීම, සැත්කමක් කිරීමට අවශ්‍ය මුදල් සරිකර ගැනීමට උපකාර කරන ලෙස පැවසීම, යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට උපකාර කරන ලෙස පැවසීම, තම බිළිඳු දරුවාට කිරි පැකට් එකක් ගැනීමට උපකාර කරන ලෙස පැවසීම ආදී නොයෙකුත් හේතු සාධක ඔවුහු ඉදිරිපත් කරති.
ඇතැම් යාචකයෝ තම යාචක කටයුත්තට තමන්ගේ දරුවන්ද යාචකයන් ලෙස යොදාගනිති. පාසල් පොත්, සපත්තු, ඇඳුම් මිලදී ගැනීමට උදව් උපකාර කරන ලෙස ඉල්ලා එම දරුවෝ සිඟමනේ යෙදෙති. එම යාචකයන් තම දරුවන්ට කිසියම් හෝ අධ්‍යපනයක් ලබානොදෙති. එබැවින් එම දරුවෝද කුඩා කල සිටම සිඟාකෑමෙන් මුදල් උපයන්නට පුරුදුවෙති.
මේ අතර ඇතැම් දරුවන් කතරගම දේවාලය වැනි ස්ථානවල පූජා වට්ටි දේවාලයට ගෙනයෑම, නූල් විකිණීම, වන්දනාකරුවන්ගේ නලලෙහි තිලක තැබීම, මල් විකිණීම, රථවාහන සේදීම වැනි දේවලට හුරුවෙති. මෙසේ කුඩා දරුව්නගේ අධ්‍යාපනය අතරමග නතරවීම අප රටට, සමාජයට හිතකර තත්ත්වයක් නම් නොවන බව කිව යුතුය.
එමෙන්ම යාචකයන් ලෙස සිටින බොහෝදෙනෙක් මත්ද්‍රවය භාවිතයටද හුරුවී සිටිති. එබැවින් මත්ද්‍රව්‍ය සහ දුරාචාරය වැනි දේ ප්‍රචලිතවීමට එවැනි යාචකයන් සැලකිය යුතු දායකත්වයක් දක්වන බව කිව යුතුය.
යාචකයන්, හිඟන්නන් මේ කුමන නමින් හැඳින්වුවද මොවුහුද සමාජයේ කොටස්කරුවෝය. ඔවුන්ටද මූලික අවශ්‍යතා පවතී. මිනිස් අයිතිවාසිකම් පවතී.
ඒ අනුව මෙම යාචකයන් සඳහා කතරගම නගරයේ වෙනම ස්ථානයක් වෙන්කර තිබුණි. එම ස්ථානය හැඳින්වුයේ %අසරණ සරණ මඩම^ යනුවෙනි. ජලය, විදුලිය, වැසිකිළි කැසිකිළි පහසුකම්ද එහි පැවතිණි. නමුත් වර්තමානයේ එම ස්ථානය කඩා බිඳ දමා රථගාලක් බවට පත්කර ඇත.
සෑම ඇසල පෙරහරක් වෙනුවෙන්ම කතරගම යාචක මඬුවක් සැදීම සිදුකරයි. පෙරහර නිමවීමෙන් පසු එයද කඩාබිඳ දමයි. මෙය වසරින් වසර ඉදිකිරීම මුදල් නාස්තියක් බව සැබෑ යාචකයෝ පෙන්වා දෙති. යාචකයන් සඳහා වෙනම ස්ථානයක් තිබීමෙන් වන වාසිය අතිවිශාලය. නගරයේ සැමතැනම නොසිට වෙන්වූ ස්ථානයේ සිටීම, ඒතුළින් සැබෑම යාචකයන්ට පරිත්‍යාග ලැබීම, නගරයේ අලංකාරත්වයට හා පිරිසුදුභාවය රැකගැනීමට හැකිවීම, පිටස්තර සිටින යාචක වෙස් ගත් පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීමට පහසුවීම, තැනින්තැන යාචකයන් රැඳී සිටීමෙන් සාමාන්‍ය ජනතාවට ඇති වන අපහසුතා මග හැරීම වැනි වාසි සහගත තත්ත්වයන් ඇති වන බව ඔවුහු පෙන්වා දෙති.
කතරගම මැණික් ගඟ අසල යාචකයන් පවුල් ඒකක වශයෙන් ඉටිකොළ සෙවිලි කරගත් පැල්පත් සකසා ගෙන සිටින අතර, මොවුන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති වීමෙන් මැණික් ගඟ දෙපස භාවිත කිරීමෙන් පාරිසරික ගැටලුද පැනනගින බවද අවධාරණය කළ යුතුය.
යාචකයන් හිටියහැටියේ රණ්ඩු සරුවල් වීම, තැන නොතන බලා අසභ්‍ය වචන භාවිත කිරීම, සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්කිරීම, ඇතැම් යාචකයන් සමාජ විරෝධී කටයුතුවල නිරත වීම ආදිය සිදුවෙන අවස්ථාද ඇත.
කාත් කවුරුන් නොමැනි අසරණ මිනිසුන් සැබැම යාචකයින් වෙනුවෙන් කතරගම නගරයේ තිබුන අසරණ සරණ මඩම ඔවුන්ට වැටි සිටිමට හදා දිම තුලින් ජනතාවටන් නගරයටන් පරිසරයටන් සැමගේම සෞඛ්‍යයටත් හිතකර වනබව පෙන්වමි. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරිමය සැබැම අසරණ යාචකයින්ට පිහිට වෙමු.
ආරියපාල රත්නායක - කතරගම