පොල් ශ්‍රී ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික ආහාර සකස් කිරීම සඳහා අත්‍යවශ්‍යම ද්‍රව්‍යයකි. පොල් වශයෙන් සමස්ත ආහාර සකස් කිරීමට භාවිත නොකළත් බොහෝ ආහාර සකස් කිරීම සඳහා පොල් තෙල්ද භාවිත කරනු ලබයි.
දේශීය අවශ්‍යතා සඳහා අනාදිමත් කාලයක සිට රට තුළ පොල් වගාකර තිබෙන අතර, යටත් විජිත සමයේදී වාණිජ භෝගයක් ලෙසට පොල් වගාව ආරම්භ කර තිබේ.
යටත් විජිත සමයේදී වැඩි වශයෙන් සිදුවූ තොග අපනයනයේදී පොල් අපනයනය කිරීමටද කටයුතු කර ඇත. මේ නිසා පසුකාලීනව ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන අතරට පොල්ද ඇතුළත් විය. අපනයන භෝගයක් වීමත් සමග පොල් වගා කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන අතර, මේ නිසා කොළඹ, කුරුණෑගල, හලාවත, නගර සම්බන්ධ කරමින් පොල් ත්‍රි‘කෝණ නමින් කලාපයක්ද නිර්මාණය විය. මීට අමතරව තංගල්ල, රන්න, මිද්දෙනිය නගර ආශ්‍රිතව සිදුවූ පොල් වගාව නිසා සුළු පොල් ත්‍රි‘කෝණය ලෙසට එම ප්‍රදේශ හඳුන්වා ඇත.
එමෙන්ම තංගල්ලේ සිට කොළඹ දක්වා වූ මුහුදු තීරය තුළත්, මඩකලපුව හා යාපනය අර්ධද්වීපයෙන් වියළි කලාපයේ භූගත ජලය තිබූ ප්‍ර‘දේශවලත් පොල් වගා කිරීම සිදුකර තිබේ.
අතීතයේදී පොල් වශයෙන් භාවිත කිරීමට නොහැකි වූ පොල් දුම් ගසා අව්වේ වේලා ගැනීමෙන් පසු කොප්පර බවට පත්කර විවිධ උත්සව වලදී ආලෝකය ලබාගැනීමට භාවිත කර ඇත.
තවද පොල් භාවිත කරමින් තෙල් සිඳ ගැනීම සිදුකර තිබෙන අතර, එම තෙල් භාවිත කරමින් ආහාර සකස් කිරීම පහන් පූජා පැවැත්වීම, පන්දම්වල පොඟවා ආලෝකය ලබාගැනීමද සිදුකර තිබේ.
වාණිජ භෝග වගාවක් ලෙස පොල් ප්‍රචලිත වීමත් සමග ආහාරයට ගැනීමට අමතරව කොප්පරා සකස් කිරීම සඳහාත් විශාල ලෙස පොල් භාවිත කිරීම ආරම්භ වී ඇත.
සියලුම අවශ්‍යතා සඳහා ඇති තරම් පොල් ඵලදාවක් ලැබීම නිසා මීට දශකයකට දෙකකට ආසන්න කාලයක් වන තෙක් පොල් ගෙඩියක මිල ඉතාමත් සාමාන්‍ය අගයක් ගනු ලැබිණි.
එහෙත් පොල් වගාවට කෘමි උවදුර වැඩි වශයෙන් ඇතිවීම, වියළි කාලගුණ තත්ත්වයන් ඇතුළු වෙනත් ස්වාභාවික සාධක මත පොල් ඵලදාව අඩුවී තිබෙන අතර, මේ නිසා වෙළෙඳ පොළේ පොල් මිල යම් තරමකට ඉහළ ගොස් තිබේ.
වර්තමානය වන විට පොල් වගා භූමි කට්ටිකර විකුණා දැමීම නිසා සහ බහුජාතික සමාගම් පොල් උපයෝගී කරගෙන පිටිකිරි සකස් කර අපනයනය කිරීම හා විවිධ ආහාර ද්‍රව්‍ය සඳහා භාවිත කරන කොප්පරා සකස් කර විදේශ රටවලට විකුණා දැමීම යන කාරණා නිසා මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 90-100ත් දක්වා ඉහළ ගොස් තිබේ.
පොල් වගාව බහුලව තිබෙන ප්‍රදේශවල පවා පොල් ගෙඩියක මිල රුපියල් 50-60ත් දක්වා ඉහළ ගොස් ඇත.
කුමන කරුණක් නිසා ලෝකයේ වැඩියෙන්ම පොල් පරිභෝජනය කරන රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ. එහි සාමාන්‍ය අගය වාර්ෂිකව එක් පුද්ගලයෙකු පොල් ගෙඩි 120ත් 125ත් අතර ප්රමාණයකි. සහල් ගතහොත් වාර්ෂික ඒකපුද්ගල පරිභෝජනය කිලෝ 114-135ත් අතර අගයකි. මේ අනුව ප්‍රධාන වශයෙන් සහල් කිලෝ ගණනට සාපේක්ෂව පොල් ගෙඩි භාවිතයත් එක සමාන මට්ටමකට පැමිණ තිබේ.
පොල් භාවිත කිරීමට අමතරව මේ රටේ ජනතාව ආහාර සකස් කිරීම සඳහා පොල් තෙල් භාවිත කිරීමද සිදුකරනු ලබයි.
වර්තමානයේදී පොල්තෙල් වෙනුවට ෆාම් තෙල් හඳුන්වාදී තිබෙන නිසා රසකැවිලි හැර අනෙකුත් ආහාර සකස් කිරීම සඳහා වැඩි වශයෙන් ෆාම් තෙල් භාවිත කරයි.
එසේ නමුත් පොල් වෙනුවට විකල්පයක් හඳුනාගෙන නොමැති අතර, බහුජාතික සමාගම් විසින් පොල් භාවිත කර සකස් කරන පිටිකිරි හා පොල්කිරි වශයෙන් භාණ්ඩ වෙළෙද පොළට නිකුත් වී තිබේ.
ගෙදර හිරමනෙන් පොල් හා ජලය ස්වල්පයක් උපයෝගී කරගෙන ලබාගන්නා කිරිවලින් ව්‍යංජන හා කිරිබත් සකස් කරන ග්‍රාමීය ජනතාව පොල් ආශ්රිත නිෂ්පාදන භාවිත කිරීම සිදුකරන්නේ නැත. මේ නිසා පොදුවේ පොල්වලට තවමත් ලංකාවාසීන්ට විකල්ප නොමැත.
රට තුළ පොල් හිඟයක් ඇතිවුවත් පොල් අපනයන භෝගයක් ලෙස සැලකීම නිසා සහ ශාක නිරෝධායන පනත නිසා පොල් ඇතුළු තාල වර්ගයේ කිසිදු ඵලදාවක් පරිභෝජනය සඳහා ලංකාවට ගෙන ඒමට නොහැකිය.
මීට වසර කිහිපයකට පෙර ඇති වූ පොල් හිඟයක් වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍ර‘දේශයෙන් පොල් තොගයක් ගෙන්වනු ලැබුවත්, පවතින නීතිමය තත්ත්වය හමුවේ අදාළ පොල් තොගය රට තුළට ඇතුළු කිරීමට නොහැකි විය. මේ නිසා එම පොල් තොගය මුහුදට අතහැර දැමූ බවද එකල වාර්තා විය.
අද දවස වන විටත් රට තුළ විශාල පොල් හිඟයක් ඇතිවී තිබෙන අතර, මේ නිසා පොල් මිල දිනෙන් දිනම ඉහළ යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පොල් ඵලදාව අඩු වීම මත මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට බලධාරීන් ප්‍රකාශ කරමින් තිබෙන අතර, ඵලදාව අඩුවීමට හේතුව පවතින හා පැවති අධික වියළි කාලගුණ තත්ත්වය බවද එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් සැබෑ තත්ත්වය සොයා බැලුවහොත් ලංකාවේ නිෂ්පාදනය කරන පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා ලෝකයේ ඉල්ලුම ඉහළගොස් තිබෙන අතර, චොකලට් නිෂ්පාදනය කරන සමාගම් භාවිත කරන කොප්පරා වැඩි වශයෙන් ලබාගන්නේ ශ්‍රී ලංකාවෙන් බවද වාර්තා වේ.
මීට අමතරව ඉඩම් ඉල්ලුම ඉහළ යාමත් සමග පොල් ආශ්රිත ඉඩම් කට්ටි කිරීම ඉහළ ගොස් තිබෙන අතර, මෙලෙස කට්ටි කරන ඉඩම්වල තිබෙනා පොල් ගස් කපා දමා විවිධ ව්‍යාපෘති සිදුකරනු ලබයි.
පොල් ගස් කැපීමේදී ඒ සඳහා අවසර ලබාගැනීම සිදුකළ යුතු වුවත් දේශපාලඥයන් හා සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන ජවාරම් ක්‍රියා නිසා ඉඩම් කට්ටි කර විකුණා දමන පිරිස්වලට රටේ නීති අදාළ වන ආකාරයක් දක්නට නැත.
මන්දයත් පොල් ඉඩම් මැදින් කුඩා පාරවල් සකස් කර ඉඩම් විකිණීමට තිබෙන බවට පුවරු මගින් හා මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙයි. එහෙත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත.
තේ, පොල්, රබර් ඉඩම් කට්ටි කිරීමේ පාලක මණ්ඩලයක්ද රට තුළ තිබෙන අතර, එම මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයාද නියෝජනය කරනු ලබයි.
මීට අමතරව ලංකාවේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම පොල් වගා ක්ෂේත්‍ර නිලධාරියෙකු පත්කර තිබෙන අතර, පොල් වගා කිරීමේ කාර්යාලය 20කුත් රට තුළ පිහිටා තිබේ.
බීජ පොල් පැළ තවාන් 38ක් තිබෙන අතර, අාදර්ශ පොල් උයන් 13ක් පිහිටා ඇත. එහෙත් පොල් වගාව සුරක්ෂිත කිරීමක් හෝ නැවත වගා කිරීමේ කටයුතු නිසි ලෙස සිදුවන ආකාරයක් දක්නට නැත.
පොල් භාවිත කරන ජනතාව පොල්කිරි ලබාගැනීමේදී එය නිසි ලෙස සිදුනොකරන බවටත් පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ. මේ නිසා පොල් ගෙඩියකින් 40෴ක් අපතේ යන බවටත් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
පොල් මිරිකීම හා වෙනත් කටයුතුවලදී භාවිත කිරීමේදී නවීන තාක්ෂණ ක්‍රම සුළු වශයෙන් හෝ භාවිත කිරීමට හැකියාව තිබේ නම් ඒකපුද්ගල වාර්ෂික පොල් පරිභෝජනය ගෙඩි 70- 75ත් අතර ප්‍රමාණයක් දක්වා පහත දමා ගැනීමට හැකියාව ලැබේ.
මන්දයත් පොල් ගෙඩියකින් ප්‍ර‘යෝජනය ලබාගන්නේ 60%ක් නම් පොල් ගෙඩි 40ක් 45ක් පමණ වාර්ෂිකව අපතේ දැමීම සිදුකරන බැවිනි. පොල් මිල කොතරම් ඉහළ ගියත් ජනතාව අතිබහුතරයක් මෙවැනි ක්‍රම‘වේදයන් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැක.
මෙම තත්ත්වය මත සමහර ආර්ථික මධ්‍යස්ථානවල පොල් බෑයවල් වශයෙන් හා ගාගත් පොල් කුඩා පැකට්වලට දමා යම් යම් අවස්ථාවල විකිණූ බවටත් පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙයි. මේ නිසා පොල් භාවිත කිරීමේදී එහි නියමිත ප්‍රතිඵල ලබාගන්නා ආකාරය පිළිබඳව හා හැකි පමණින් පොල් පැළයක් දෙකක් තම ගෙවත්තේ සිටුවා ගන්නා ලෙසට ජනතාව වැඩි වශයෙන් දැනුවත් කිරීමේ කාලය එළඹ තිබේ.
මීට අමතරව කුමන හෝ හේතුවක් නිසා පොල් ගෙඩියක මිල ඉහළ යාම සිදුවන බැවින් එම තත්ත්වය පාලනය වන තෙක් පොල් හෝ පොල් ආශ්රිත නිෂ්පාදන විදේශගත කිරීම සීමා කිරීමද ආණ්ඩුවේ වගකීමකි. වාර්ෂිකව රුපියල් බිලියනයක විදේශ ආයෝජන බලාපොරොත්තුවෙන් බහුජාතික සමාගම් හරහා මෙම කටයුත්ත සිදුකිරීමට යාම හරහා මේ රටේ ජනතාවට පොල් සම්බෝලයක් සමග බත් කටක් කෑමට තිබෙනා අවස්ථාව අහිමි වී යාමද වැඩි ඈතක නොවේ.
පවතින තත්ත්වයට අනුව අද වන විට ආහාරයට ගතහැකි හාල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ. ලූනු කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ගොස් ඇත. ලොකුලූනු, පරිප්පු, කරවල, උම්බලකඩ, එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇත. පොල් ගෙඩියක මිල ඉහළ යාමට සාපේක්ෂව පොල් තෙල් බෝතලයක මිල රුපියල් 250 ඉක්මවා යමින් තිබේ.
මෙහිදී එළවළු මිල ඉහළයාම පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි විය හැකිය.
එහෙත් හාල් මිල, ලූනු මිල, ලොකුලූනු ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවල බදු අඩු කර ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් තිබේ.
පොල් මිල පාලනය කිරීමට වැඩපිළිවෙළවල් සකස් කිරීමටත් ආණ්ඩුවට හැකියාව ඇත. එහෙත් ජනතා මුදලින් බඩකට පුරවාගෙන සුරසැප විඳින දේශපාලඥයන්ට ජනතාවගේ බඩගින්න ගැන දැනෙන ආකාරයක් පෙනෙන්නට නැත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (12.5kg) මිල රුපියල් 110කින් ඉහළ දැමීමෙන් පවා ආණ්ඩුව පෙන්නුම් කළේ ඔවුන් ජනතාවගේ බඩ ගැන නොසිතන බවයි.
ඉහළ යන පොල් මිල පාලනය කිරීමට පොල් ගෙඩියක පාලන මිල රුපියල් 70ක් බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් තිබේ.
එහෙත් පොල් ගෙඩියක ප්‍රමාණය එකිනෙකට වෙනස් නිසා පොල්වලට පාලන මිලක් දැමීමෙන් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත.
මේ රටේ ජනතාවගේ යහපත සඳහා විවිධ භාණ්ඩ අලෙවි කළ හැකි උපරිම මිලක් නියමකර තිබුණත් සෑම භාණ්ඩයක්ම අනුමත මිලට විකුණන්නේ නැත. එසේ සිදුවනවා නම් ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත් සකස් කිරීමට ගන්නා සහල් වෙනුවෙන් අවස්ථා දෙකකදීම පාලන මිලක් ප්‍රකාශයට පත්කළද ඒ එකදු අවස්ථාවකදී හෝ පාලන මිල ක්‍රියාත්මක වූයේ නැත.