උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අහිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපන අවස්ථාව දිය හැකියි
අ.පො.ස. උසස් පෙළ විභාග සමත් වී විශ්වවිද්‍යාලවලට පිවිසීමට සුදුසුකම් ලබන බොහෝ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයන්හි ඇති සීමිත ඉඩකඩ හේතු කොටගෙන ඇතුළු වීමට අවස්ථාව නොලැබීම නිසා, වර්තමානයේ තරුණයන් අතර දැඩි කලකිරීමක් පවතී. සුදුසුකම් ලත් උසස් පෙළ 150,000ක් පමණ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 25,000ක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති. තවත් 125,000ක් ඉතිරි වෙති. මින් පෙනී යනුයේ සමත් වන්නන් අතරින් 17%ක් පමණක් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේදී 83%ක් මගහැරී යන බවය.
ඕනෑම රජයක මූලික අරමුණ විය යුතු, ශ්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා උපරිමකරණය කිරීම අප විසින් කළ යුතුය. ආර්ථිකයේ සංවර්ධනය සඳහා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය සහ සේවා අංශවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නව හැකියාවන් සහ අමතර සංඛ්‍යා උත්පාදනය කරමින්, ඉල්ලුම් පවත්නා උපාධි වැඩසටහන් සලසාදීමේ ඒකාන්ත අවශ්‍යතාවක් ඇත.
අද ඉන්දියාව, ප්‍රධාන වශයෙන් එහි ව්‍යක්තව ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළහැකි තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා, ඔවුනට සේවා නියුක්තිය සහ හොඳ වැටුප්ද ලබාදෙමින්, රටට අගනා විදේශ විනිමය උපයාගන්නා ලෝකයේ බහිර් සේවාර්ථන කර්මාන්තයේ ගමනාන්තයක් වී ඇත. එසේ වී ඇත්තේ, අවශ්‍ය නිපුණතා, සුදුසුකම් සහ සංඛ්‍යාවන්ගෙන් උපාධිධාරීන් බිහි කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව නිසාය.
අප, අපගේ ඉතිහාසයේ ඉතා වැදගත් අදියරක සිටින අතර, තමන්ට සිය මවුබිමෙහිදී ලබාගැනීම අහිමි කරන උපාධියක් ලබාගැනීම සඳහා, අපගේ තරුණයන්, වටිනා විදේශ විනිමයද යොදාගනිමින්, දහස් ගණනින් පිටරටට යැවෙන මෙම බලගතු ගැටලුවට ජනතාවට විසඳුම් අවශ්‍යව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනඥයන්, වෘත්තිකයන් සහ රටේ ව්‍යාපාරික ප්රජාවගේද සහාය ඇතිව මෙයට විසඳුමක් සපයාගෙන තරුණයන්ට විශ්වවිද්‍යාල අවස්ථා සපයාදීම රජයේ ප්‍රමුඛතාවක් විය යුතුය. ඔවුන් අප රටෙහි අනාගතය වන අතර, ශ්‍රී ලංකාවෙහි ආර්ථික වර්ධනයට ඔවුනට දායක වීමට හැකිවනු ඇත.
පවතින විකල්පයන් කවරේද?
ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට නම්,අප වඩා විශාල සංඛ්‍යාවකට, විශේෂයෙන් සුදුසුකම්ලත් තරුණයන්ට, උසස් අධ්‍යාපනය සැපයීමේ විකල්ප ක්‍රම දෙසට යොමුවිය යුතු අතර, විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍යයන්ගේ දැනට පවතින 16෴ සිට 20෴ දක්වා වූ ප්‍රතිශතය, 50% ඉක්මවන ප්‍රමාණයකට වැඩි කළ යුතුය. හැකියාවන්, දැනුම, භාෂා ව්‍යක්තතාව, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව, පර්යේෂණ කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ තරුණයන්ට, විදේශයන්හි ඉඩ ප්‍රස්තා සොයායෑම වෙනුවට, සිය මවුබිමෙහිම අනාගතයක් සැපයෙන ශික්ෂණයන්හි පුහුණුව ලැබීමට අප අවස්ථාව සපයා දිය යුතුය.
වර්තමානයේ බොහෝ විදේශ විශ්වවිද්‍යාලයන්, කිසියම් හෝ රාජ්‍ය අධ්‍යාපන අධිකාරියක පාලනයකින් තොරව, පෞද්ගලික ආයතන ඔස්සේ උපාධි පිරිනැමීමේ වැඩසටහන් පවත්වාගෙන යති. මෙම උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනුයේ ඉතා ඉහළ පිරිවැයකට වන අතර, ඒවා දේශීය වශයෙන් පාලනයකටද යටත් නොවේ. තවද, බොහෝ සිසුහු බැංකු ණය ලබාගැනීම සඳහා සිය දෙමාපියන්ගේ නිවාස සහ දේපොළ උගසට තබා විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති.
එහෙයින්, සිය මවුබිමෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වන විශාල සංඛ්‍යාවකට, දරා සිටිය හැකි පිරිවැයක් යටතේ ගුණාත්මකභාවයෙන් යුතු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සැපයීම සඳහා අප විසඳුමක් සැපයිය යුතු අතර, අනෙකුත් රටවල් මගින් ඒ සම්බන්ධයෙන් සපයා ඇති විසඳුම් සැලකිල්ලට ගත යුතුය.
ශ්‍රී ලංකාවට විකල්ප ආකෘතියක්
ශ්‍රී ලංකාවට ඇති ඉතාමත් විශිෂ්ට අවස්ථාවන්ගෙන් එකක් වනුයේ, ඉතාමත් සාර්ථක වී ඇති විවිධ විශේෂායනයන් යටතේ විශාල විශ්වවිද්‍යාල උපාධිධාරීන් සංඛ්‍යාවක් බිහිකර ඇති විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විද්‍යාල පවතින ඉන්දියානු ආකෘතිය පිළිබඳ සැලකිල්ල යොමු කිරීමයි. මෙම ක්‍රමය යටතේ විද්‍යාල පද්ධතිය ඔස්සේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ නංවනු ඇත. එහිදී, ඇතුළු වීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හසුරුවනු ඇති අතර, සියලුම විෂය මාලා සැපයීම හා විභාග පැවැත්වීමද විශ්වවිද්‍යාල මගින් සිදුකරන අතර, සියලුම සිසුන්ට දරාගත හැකි පිරිවැයක් යටතේ අධ්‍යාපනය ලබාදීම මෙම විද්‍යාල මගින් සිදු කරනු ඇත. අරමුදල් අවශ්‍ය වන ශිෂ්‍යයන් සඳහා රජය මගින් හෝ මහපොළ භාරකාර අරමුදලින් ශිෂ්‍යත්ව ලබාදීම හෝ පසුගිය අයවැය මගින් කරන ලද පරිදි බැංකුවලින් සැපයෙන ණය පහසුකම් ලබාදීම මගින් සිදු කළ හැකිය.
අනුබද්ධ විද්‍යාල ක්‍රමය අපගේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව විසින් මනාව අත්හදා බලා පරීක්ෂා කරන ලද ක්‍රමයක් වන අතර, එමගින් උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා උනන්දු වන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ප්රතිලාභ ලබාදීමත්, ජාතික ආර්ථිකය සංවර්ධනය සඳහා විශාල ලෙස දායක වීමත් සිදුකර ඇත.
ඉන්දියානු අනුබද්ධ විද්‍යාල ක්‍රමය
ඉන්දියාවෙහි, එක් විශේෂ ප්‍රදේශයක් තුළ ප්‍රාදේශික පාලනය ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පනත යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාල ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි අලුත්ම දත්තයන්ට අනුව විශාලතම විද්‍යාල සංඛ්‍යාවක් සහිත ප්‍රථම විශ්වවිද්‍යාල පහ පහත සඳහන් වේ.
1. අනුබද්ධ විද්‍යාල 901ක් සහිත හයිද්‍රාබාද් ඔස්මානියා විශ්වවිද්‍යාලය (Hyderabad Osmania University)
2. අනුබද්ධ විද්‍යාල 735ක් සහිත පූනේ විශ්වවිද්‍යාලය (Pune University)
3. විද්‍යාල 800ක් සහිත නාග්පූර් විශ්වවිද්‍යාලය (Nagpur University)
4. විද්‍යාල 735ක් සහිත රාජස්ථාන් විශ්වවිද්‍යාලය (Rajasthan University)
5. විද්‍යාල 711ක් සහිත මුම්බායි විශ්වවිද්‍යාලය (Mumbai University)
උදාහරණයක් ලෙස, පූනේ හි, පූනේ, අහමඩ්නගර් සහ නාසික් යන දිස්ත්‍රික්ක තුන කෙරෙහි පාලනය ඇති පූනේ විශ්වවිද්‍යාලය ඇත. ඒ හා සමානව, මහාරාෂ්ට්‍ර ජනපදයෙහි අවුරන්ග්බාඩ්, කොල්හාපූර්, අමරාවතී, නන්ඩේඩ් සහ සොලාපුර් යන දිස්ත්‍රික්ක සහිත මුම්බායි විශ්වවිද්‍යාලය ඇත. මේ සියල්ල පළාත් රාජ්‍ය විසින් පිහිටුවන ලද පළාත් රාජ්‍ය විශ්වවිද්‍යාල වන නමුත්, ඒවා සමස්ත ඉන්දියාවෙහිම සහ ලෝකය පුරාද පිළිගනු ලැබේ. මේ සියලු විශ්වවිද්‍යාලයන්ට ඔවුන්ගේ පාලනය යටතේ වූ අනුබද්ධ විද්‍යාලයන් ඇත. වසර පහකට පෙර පූනේ විශ්වවිද්‍යාලයට 550,000ක ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත අනුබද්ධ විද්‍යාල 474ක් පැවැති අතර, මුම්බායි විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් 650,000ක් සහිත අනුබද්ධ විද්‍යාල 531ක් විය. විෂය මාලාව සහ විභාග පරිපාටිය විශ්වවිද්‍යාලය මගින් තීරණය කරනු ලබන අතර, විභාග පැවැත්වීම සිදු කරනු ලබන්නේද විශ්වවිද්‍යාලය මගිනි. අවසාන උපාධිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලැබේ. අනුබද්ධ විද්‍යාලයන් රටෙහි උසස් අධ්‍යාපන පද්ධතියෙහි මුඛ්‍ය ප්‍රතිෂ්ඨාව වන අතර, ඒවා උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් 89.3෴ක්ද, පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් 72.2෴ක්ද බඳවා ගනිති.
දිල්ලි විශ්වවිද්‍යාලය ඉන්දියාවේ විශාලතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස ගොඩනැගී ඇත. දැනට, උපාධි අපේක්ෂකයන් 114,494ක් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 17,941කගෙන් සමන්විත නිත්‍ය සිසුන් 132,435ක් සහිතව නගරය පුර විහිදුණු පීඨ 16ක්, අධ්‍යයන දෙපාර්තමේන්තු 86ක්, විද්‍යාල 77ක් සහ අනෙකුත් පිළිගත් ආයතන 05ක්ද පවතී. අවිධිමත් අධ්‍යාපන වැඩසටහනෙහිද සිසුන් 261,169 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 258,831 දෙනෙකු උපාධි අපේක්ෂක සිසුන්ද, 2,238 දෙනෙක් පශ්චාත් උපාධි අපේක්ෂක සිසුහුද වෙති.
දිල්ලි විශ්වවිද්‍යාලය යටතෙහි වර්ග තුනක විද්‍යාලයන් පවතී. ඉන් සමහරක් මුළුමනින්ම රජයෙන් අරමුදල් සැපයෙන ඒවාය. පෞද්ගලික විද්‍යාලද ඇත. අරමුදල් සැපයුම සහ කළමනාකරණය මත පදනම්ව ඒවා පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කර ඇත.
විශ්වවිද්‍යාලය මගින් පවත්වාගනු ලබන විද්‍යාල
භාරකාර මණ්ඩල විද්‍යාල
දිල්ලි රාජ්‍ය විද්‍යාල
මදුරාසි විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යාල 115ක් වේ. ඒවායෙහි, රැකියාවෙහි නියුතු වැඩිහිටියන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා සන්ධ්‍යා පන්ති පැවැත්වීමද සිදු කෙරේ. අනුබද්ධ විද්‍යාලයන්හි ලියාපදිංචි වූ සිසුන් සංඛ්‍යාව 150,000ක් පමණ වේ.
ක්‍රමවත්ව පන්ති පැවැත්වීමේ වගකීම ඇත්තේ විද්‍යාල වෙතය. විද්‍යාල, උපාධි සහ පශ්චාත් උපාධි පන්ති පවත්වන අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සම්මතයන්ට අනුව ආචාර්ය සහ අනෙකුත් කාර්යමණ්ඩල පවත්වා ගනිති. පරිපාලනමය සහ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වගකිවයුතු වේ.
විද්‍යාලයකට, අනුබද්ධතාව ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලය මගින් නියම කරන ලද සම්මතයන් පවතින අතර, ඒවා සම්පූර්ණ කිරීමෙන් පසු අනුබද්ධතාව ප්රදානය කෙරේ.
ප්‍රදානයන් දිය හැකි සහ ප්‍රදානයන් දිය නොහැකි යනුවෙන් විද්‍යාල කාණ්ඩ දෙකක් ඇත. ප්‍රදානයන් දිය හැකි යන්නෙන් අදහස් වනුයේ ඒවාට රජයෙන් ප්‍රදානයන් දෙනු ලබන බව වන අතර, එහෙයින් ඒවායේ ගාස්තුද සැලකිය යුතු ලෙස අඩුය. මෙම විද්‍යාල සඳහා ගාස්තු නියාමනය කිරීමට රජය මගින් ස්ථාපිත කරන ලද ගාස්තු කමිටුවක්ද වේ.
විභාග, විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන අතර විද්‍යාල විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති හෙයින් විද්‍යාලයන්හි සිසුහු මෙම විභාගවලට පෙනී සිටිති.
විශ්වවිද්‍යාල විදුහල්වල ඉඩම්, ගොඩනැගිලි, ආචාර්ය සහ ආචාර්ය නොවන කාර්යමණ්ඩල, පුස්තකාල, රසායනාගාර යනාදිය සඳහා අනුබද්ධ කිරීමේ නියාමනයන් පවතී.
ඉන්දියාවෙහි බොහෝ විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් පිහිටුවනු ලැබ ඇත්තේ භාරකාර මණ්ඩල ආඥා පනත යටතේ වන අතර ඒවා ලාභ නොලබන සංවිධාන වන අතර, ස්වයං අරමුදලින් සම්පාදනය වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයන් සහ ස්වයං අරමුදල් සම්පාදනය කරගනු ලබන වෙළෙඳ සහ වාණිජ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද සහ දැනට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය සහ සහතිකලත් කළමනාකරණ ගණකාධිකරුවන්ගේ ආයතනයවලට සමානව, ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපන අංශය සඳහා යොදාගත හැකි ඉතාමත් හොඳ සංකල්පයක් වනු ඇත.
ශ්‍රී ලංකාව සඳහා ඉදිරි ගමන් මග:
විශ්වවිද්‍යාල විද්‍යායතනයන් පිහිටුවීමට සහ අදාළ රෙගුලාසි සම්පාදනය සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කළ යුතුය.
මෙම වැඩපිළිවෙළ සාර්ථකභාවයට පත් කිරීම් වස්, පැරණි සහ ප්‍රකට විශ්වවිද්‍යාලයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින්, විශ්වවිද්‍යාල විද්‍යායතන අනුමත කිරීම සඳහා සියලුම විශ්වවිද්‍යාලවලට අධිකාරී බලය ලබාදිය යුතුය.
දැනට ක්‍රියාත්මකව පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන අනුබද්ධ විද්‍යාල පිහිටුවීම සඳහා ධෛර්යමත් කළ යුතු අතර බැංකු විසින්, මේවා අරමුදල් සැපයීම සඳහා ප්රමුඛත්වයෙන් යුතු ව්‍යාපෘති ලෙස සැලකිය යුතුය. යම් යම් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ සම්බන්ධතා සහිත විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැනට කරනු ලබන අන්දමට, සුදුසුකම් ලැබූ නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොහැකි වන ළමයින්ට සපයන ණය ක්‍රමය මීට සම්බන්ධ කිරීමට රජයට හැකිය.
සියලු අනුබද්ධ විද්‍යාලයන් ලාභය සඳහා වූ සංවිධාන නොවිය යුතු අතර, භාරකාර මණ්ඩල ආඥා පනත හෝ සීමාසහිත වගකීම්වලින් යුක්ත සීමිත සමාගම් ලෙස පිහිටුවීම වඩා සුදුසුය. මෙම සංවිධාන ස්වයං අරමුදල් සලසාගන්නා ආයතන වනු ඇති අතර, කිසියම් හෝ අතිරික්තයක් වේ නම් ඒවා ආයතනයේ සංවර්ධනය සඳහා යොදාගනු ඇත.
ආරම්භක අදියරයන්හිදී ග්‍රාමීය සහ අනෙකුත් දිස්ත්‍රික්කවල විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා රජයේ ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර පස්වරු සැසි සඳහා ලබාදෙනු ඇත.
අවශ්‍යතා සහිත සිසුන් සඳහා රජය මගින් ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපනය කිරීම
විද්‍යාලයන්ට ඇතුළත් කරගැනීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින්, අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම් හා සමානව, උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව සිදු කරනු ඇත.
උපාධි සහතිකය, විශ්වවිද්‍යාල මගින් අනුබද්ධ විද්‍යාලයේ නම සහිතව නිකුත් කරනු ඇත. විෂය මාලාව, විශ්වවිද්‍යාල මගින් සපයනු ඇති අතර විභාගයන්ද විශ්වවිද්‍යාල මගින් පවත්වනු ඇත.
රටට සහ ආර්ථිකයට ලැබෙන ප්රතිලාභයන්:
උසස් අධ්‍යාපනය සඳහා යොමුවන සංඛ්‍යාව ඉහළ නැංවීම මගින් සහ උසස් පෙළ සුදුසුකම් ලබන ශිෂ්‍යයන්ට ඔවුන්ගේ ඉහළ අධ්‍යාපනය සඳහා අවස්ථා සපයාදීම මගින් ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීම.
වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට උපාධි සුදුසුකම් ලබාගත හැකි වනු ඇති අතර, රට තුළ වඩා වැඩි උගත් තරුණයන් සංඛ්‍යාවක් සහ වඩා ඉහළ පුහුණුවක් සහිත පුද්ගලයන් සංඛ්‍යාවක් බිහිවනු ඇත. උසස් අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය අප්‍රමාදව 50෴ක් දක්වා වැඩිවීමත් ඉන්පසුව වාර්ෂිකව ඉහළ යාමත් සිදුවනු ඇත.
දේශීය ශිෂ්‍යයන්ට පාඨමාලා දැරිය හැකි වියදමකට සැපයෙනු ඇති අතර, රටින් බැහැරට යැවෙන වටිනා විදේශ විනිමය ඉතිරි වනු ඇත.
දේශන පැවැත්වීම සිදුකරන විශ්වවිද්‍යාලවල දේශීය මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්ට ඔවුන් කරන දුෂ්කර කර්තව්‍යයන් සඳහා ප්‍රමාණවත් ලෙස ප්‍රදානයන් ලබාදෙනු ඇති අතර, එමගින් රටට බරපතළ ගැටලුවක් වී ඇති බුද්ධි ගලනයේ නැවතුමක් සිදුවනු ඇත.
විදේශ විශ්වවිද්‍යාලයන්හි සිටින්නන්ට ආපසු
ශ්‍රී ලංකාවට පැමිණීමට සහ ඔවුන්ගේම විද්‍යාල ආරම්භ කිරීමට අනුබල දීමක් කරනු ඇති අතර, එමගින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු සිය රටට ආකර්ෂණය කරගනු ඇත.
දැනට අඩු සැපයුමක් ඇති, පුහුණු තරුණයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටීම නිසා විදේශ වෙළෙඳ පොළ සඳහා දැනුම පාදක කරගත් ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස, වඩා වැඩි ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය වනු ඇත.
රජය, පහසුකම් සපයන්නෙකු විය හැකි අතර, විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් මෙම විද්‍යාලයන්හි ගුණාත්මකභාවය සහ ගාස්තු පාලනය කළ හැකිය.
ඉල්ලුමක් ඇති කුසලතා සහ ශිල්ප ක්‍රම සඳහා වැඩි විද්‍යාල සංඛ්‍යාවක් ස්ථාපනය කළ හැකි අතර, එමගින්, ආර්ථික සංවර්ධනයද, කර්මාන්ත, වාණිජ සහ සේවා අංශ, වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මය යන අංශයන්හි සංවර්ධනයක්ද ඇති කෙරෙනු ඇත.
මෙම රටෙහි තරුණයන්, ඔවුන්ගේ මවුබිම තුළදීම උපාධියක් ලබාගැනීම සඳහා ඇති හැකියාව දකිනු ඇති අතර, එමගින්, සිය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශයන්ට යැවීමට තමන් සතුව ඇති කිසියම් හෝ වත්කමක් උගස් කිරීමට සිදුවන මවුපියන්ගේ ගැටලුද එමගින් සහනය කෙරෙනු ඇත.
සිය ව්‍යාපාරයන්හි සේවා නියුක්ත කරවීම සඳහා ප්‍රමාණවත් පුහුණු පුද්ගලයන් සංඛ්‍යාවක් සොයාගත හැකි වීම නිසා සේව්‍ය පක්ෂයද සතුටට පත්වනු ඇත.
සිසුනට උසස් අධ්‍යාපනය සඳහා, විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විද්‍යාලයන්ට යාමට අවකාශ සලසමින් සහ විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් වන සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ යාමෙන්, මූලික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන ලද මුදල්වලට ප්‍රමාණවත් ලෙස ප්‍රතිඵල ලැබෙනු ඇත.
අනෙකුත් විෂයයන්ට අතිරේකව විද්‍යාව සහ ශිල්ප ක්‍රම වඩා ප්රමුඛ ස්ථානයක් ගනිමින් ඉල්ලුමක් ඇති විෂය මාලාවන් උගැන්වීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශය අතර ආසන්න සම්බන්ධතාවක් ගොඩනැගෙනු ඇත.
ඉන්දියානු තාක්ෂණය පිළිබඳ ආයතන සහ ඉන්දියානු කළමනාකරණ ආයතනවලට සමාන ශ්‍රී ලංකික තාක්ෂණ ආයතන සහ කළමනාකරණ ආයතන පිහිටුවීම පිළිබඳ සලකා බැලිය හැකි අතර, දැනුවත්භාවය පිළිබඳ ආර්ථිකයේ සංවර්ධනය සඳහා මෙම ආයතනයන් ඍජු බලපෑමක් ඇති හෙයින් එයද දැඩිව සලකා බැලිය යුතුය.
නිගමනය:
අප අවුරුදු 40ක විවෘත ආර්ථිකයක් සම්බන්ධයෙන් උත්සව පැවැත්වුවද, ජාතික උසස් අධ්‍යාපන පද්ධතිය අපගේ තරුණයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා විවෘත කෙරී නැත. රට ලෝක ව්‍යාප්ත ආර්ථිකයේ නව අභියෝගවලට මුහුණදෙමින් දැනුම් ආර්ථිකයක් කරා ඉදිරියට යෑමට නම් සංවෘත ජාතික උසස් අධ්‍යාපන පද්ධතිය හේතුකොටගෙන උසස් අධ්‍යාපනයට පිවිසීම සඳහා තිබූ අවස්ථාව අහිමි කරගනිමින්, පසුගිය අවුරුදු 40 තුළ, අප අවම වශයෙන් තරුණයන් ලක්ෂ 20 සිට ලක්ෂ 40 දක්වා සංඛ්‍යාවක් කැප කළෙමු. අප, අවාසනාවන්ත ලෙස, විශේෂයෙන් අපට ප්‍රමාණවත් සංඛ්‍යා නොමැති, විද්‍යාව, තාක්ෂණය සහ කුසලතා සංවර්ධනය අතින් ඉතා ශීඝ්‍ර වේගයකින් දියුණුව කරා යන අනෙකුත් රටවලට පසුපසින් වැටී සිටිමු.
විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට සුදුසුකම් ලබන 150,000ක් පමණ වන උසස් පෙළ සිසුන් අතරින් 25,000ක් තරම් සංඛ්‍යාවක් පමණක් ඇතුළුවීමට වරම් ලබන තත්ත්වයක් යටතේ සෙසු පිරිසට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව අහිමි කෙරේ. එයින්, තමන් සුදුසුකම් ලැබුවද තම වරදක් නොවන හේතුවක් නිසා සිය අනාගතය අඳුරු වීමෙන් සිසුහු සහ දෙමවුපියෝ කලකිරීමට පත්ව සිටිති. මුදල් ඇති අය අපගේ වටිනා විදේශ විනිමය යොදාගනිමින් විදේශගත වන අතර, සුදුසුකම් ලැබීමෙන් පසු ඔවුන්ගෙන් බොහොමයක් ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණෙන හෙයින්, එයද රටට මෙන්ම දෙමවුපියන්ටද තවත් විශාල අවාසියක් වෙයි.
විශ්වවිද්‍යාල අනුබද්ධ විද්‍යාල ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බාධකය ඉවත් කරගැනීමට හැකිවනු ඇති අතර, එමගින් දේශීය විශ්වවිද්යාලවලටට ඇතුළත් කර නොගන්නා ශිෂ්‍යයන්ට අතිරේක ස්ථාන සපයා දෙනු ඇත.
අසල්වැසි ඉන්දියාවේ සහ අනෙකුත් රටවල භාවිත කර අත්හදා බලා ඇති මෙම නව යෝජනා ක්‍රියාත්මක කිරීමෙන්, උගත් සහ සුදුසුකම්ලත් තරුණයන් විශාල සංඛ්‍යාවකට උසස් පෙළ සමත් වීමෙන් පසු ඉහළ අධ්‍යාපනය ඔස්සේ ශ්‍රී ලංකාව තුළම පමණක් නොව විදේශ රටවලද අනාගතයක් දැකිය හැකිවීමේ වාසිය අත්වනු ඇත. පිරිවැයද වැදගත් කාරණයක් බවද, දේශීය උපාධි සහ වෘත්තීය සුදුසුකම් පමණක් මෙම ගැටලුවට පිළිතුරු සපයනු ඇති බවද, අප සිහියේ තබාගත යුතුය. මෙරටින් බැහැරට යන අගනා විදේශ විනිමයද ඉතුතිරි කරගනිමින් අප ජාතියේ සෞභාග්‍යය සඳහා දැනුම් ආර්ථිකයක් ගොඩනගමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



