වනාන්තර වූ කලී ස්වකීය පැවැත්ම සඳහා කිසිවක් ඉල්ලීම් නොකරන්නා වූත්, ජීවීන්ගේ පැවැත්ම සඳහා සිය නිෂ්පාදන පරිත්‍යාග කරන්නාවූත් අපූරු ජීවියෙකි.එහෙත් මෙතරම් පරිත්‍යාගශීලී වන ශාකවලින් සමන්විත වනාන්තර ඉවක්බවක් නොමැතිව විනාශකර දැමීම ලොව බුද්ධිමත් සතා ලෙස සැලකෙන මිනිසා විසින් සිදුකරන ක්‍රියාවලියකි. මේ නිසා එක් පැත්තකින් මිනිසාටත්, අනෙක් පැත්තෙන් වන සත්ත්වයින්ටත් නොසිතූ කරදරවලට මුහුණදීමට සිදුව තිබේ.
වර්තමාන මිනිසා විසින් පරිසරය තමන්ට හිතූ හිතූ ආකාරයට විනාශකර දැමූවත්, පරිසරයේ වැදගත්කම නිසා බුදුරජාණන් වහන්සේ විසින් පරිසරය රැකගැනීම සඳහා විනය නීතියක්ද පනවා තිබේ. ලෝකයේ බිහි වූ විශිෂ්ටතම පරිසරවේදියා ලෙස සැලකෙන්නේ බුදුරජාණන් වහන්සේය. එකල අලව් නුවර විසූ භික්ෂූන් වහන්සේලා විසින් ආරම ඉදිකිරීම සඳහා වනය කපා දැමීමට කටයුතු කර තිබෙන අතර, මෙම විනාශය දැකපු බුදුරජාණන් වහන්සේ බීජ භූත වශයෙන් ගැනෙනා සප්රාණික වෘක්ෂලතාදිය සහ ඒවායේ ස්වාභාවිකව පැතිර යන ඵල බීජාදිය විනාශ කිරීම හේතුවෙන් පරිසරයම දූෂණයට ලක්ව විනාශය කරා ගමන්කරන බවට භික්ෂූන් වහන්සේලාට දේශනාකර තිබේ.
මේ නිසා ප්‍රාණ වෘක්ෂලතාදිය සිඳීම හෝ සිඳවීම අවැඩක් (විනය විරෝධී ක්‍රියාවක් ලෙස) ලෙස පෙන්වා දී ඇත. බුදුරදුන් සේම සියලුම ආගමික ශාස්තෘවරුන් වහන්සේලා පරිසරයට අප්‍රමාණ ලෙස ආදරය කරුණාව දක්වා තිබේ. එහෙත් මෙවන් ශාස්තෘවරුන් වහන්සේලාගේ අනුගාමිකයන් වන අප පරිසරය විනාශකර දමන්නේ තමන්ගේ දේපළක් ආකාරයටය.
සොබාදහමෙන් උරුමකර දුන් පරිසර රැකගැනීම අප වෙත පැවරී තිබෙනා බැරෑරුම් වගකීමකි. පරිසරයේ භාරකරුවා වශයෙන් පරිසරයට විනාශයක් සිදුනොකර යම් යම් ඵල ප්‍ර‘යෝජන ලබාගැනීමට මිනිස් සත්ත්වයා ඇතුළු සමස්ත සත්ත්වයාටම හිමිව තිබෙන වරප්රසාදයකි. එහෙත් මිනිසා පරිසරයේ, සොබාදහමේ අයිතිකරුවා සේ කටයුතු කරමින් සිටින බැවින් රට තුළ අතිවිශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතී. මෙම විනාශ‘යේ වැඩිම බලපෑම වන සතුන්ට එල්ල වී තිබෙන අතර, මීට අමතරව මිනිසාටත් විවිධ ඵලවිපාකවලට මුහුණදීමට සිදුව ඇත.
මිනිසාගේ පරිසර විනාශය නිසා වැඩිම බලපෑම එල්ල වී තිබෙන සත්ත්වයා වන්නේ අලිඇතුන්ය. වනාන්තරයේ සිටින ලොකුම සතා ලෙසටත් සැලකෙන අලිඇතුන් තම ජීවිත පැවැත්ම සඳහා දිනකට කිලෝමීටර් 25 - 30 ත් අතර වපසරියක සැරිසරමින් ආහාර සොයා ගැනීමේ කටයුතුවල නිරත වෙයි. එහෙත් මිනිසා විසින් වනාන්තර විනාශකර දැමීමත් සමග අලියෙකුට ඇතෙකුට ජීවත් වීමට අවශ්‍ය භූමි ප්‍රමාණය දිනෙන් දිනම සීමාවෙමින් පවතී. මේ නිසා අලිඇතුන්ට අවශ්‍ය ආහාර නිසි ලෙස වනාන්තර තුළින් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. බඩකට පිරෙන්නට ආහාර නොලබන අලිඇතුන් තම කුසගින්න නිවා ගැනීම සඳහා වනාන්තර අවට ගම්මානවලට පැමිණීම මේ වනවිට සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇත.
මේ නිසා අලිඇතුන් හා මිනිසා අතර පැවති සහජීවනය සම්පූර්ණයෙන්ම පළුඳු වී ගොස් ඇත. මේ හේතුව නිසාවෙන් මේ වසරේ පළමු මාස 07ක කාලය තුළදී අලින් 145 දෙනෙකුට හා මිනිසුන් 42කට ජීවිතයෙන් සමුගන්නටත් සිදුවිය. මීට අමතරව පසුගිය වසරේ මුල් මාස 07 තුළදී අලින් 112කට හා මිනිසුන් 33 දෙනෙකුට ජීවිතය අහිමි වී තිබේ.
පසුගිය වසරේ හා මේ වසරේ ගෙවී ගිය පළමු මස 07 ගණනය කිරීමේදී අලි මරණ 33ක් හා මිනිස් මරණ 11කින් ඉහළ ගොස් ඇත. පසුගිය වසර තුළදී අලිඇතුන් 205 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, මිය ගිය මිනිසුන්ගේ ප්‍රමාණය 63කි. 2014 වසර ගතහොත් අලි ඇතුන් 231 දෙනෙකු මියගොස් තිබෙන අතර, මිය ගිය මිනිසුන්ගේ ප්‍රමාණය 67කි. මේ වසරේ පළමු මාස 07ක කාලය තුළ අලි මිනිස් ගැටුම නිසා මිය ගිය වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ නැගෙනහිර වනජීවී කලාපයෙනි.
එනම්, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක වලිනි. එම කලාපය තුළ අලි ඇතුන් 32 ක් මිය ගොස් තිබෙන අතර, මියගිය මිනිසුන්ගේ ප්‍රමාණය 09 කි. පොළොන්නරුව කලාපයෙන් අලිඇතුන් 30 දෙනෙකු මියගොස් තිබෙන අතර, එම කලාපය තුළදී මියගිය මිනිසුන්ගේ ප්‍රමාණය 11 කි. අනුරාධපුර කලාපය තුළදී අලිඇතුන් 24 දෙනෙකු මියගොස් තිබෙන අතර, මිනිසුන් 09 දෙනෙකු මියගොස් ඇත. සමස්තයක් වශයෙන් මියගිය අලිඇතුන් 145 දෙනාගෙන් 28 දෙනෙකු මියගොස් තිබෙන්නේ වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
24 දෙනෙකු හඳුනානොගත් ආකාරයට මියගොස් තිබෙන අතර, හක්කපටස්වලට හසුවීමෙන් 19 දෙනෙකු මිය ගොස් ඇත. විදුලිසැර වැදීම නිසා 13 දෙනෙකු මිය ගොස් තිබේ. මෙලෙස මිය යන අලි ඇතුන්ගේ වටිනාකම මිල කළ නොහැකි අතර, මිය යන මිනිස් ජීවිතයක වටිනාකමත් මිල කළ නොහැක. එහෙත් අලියෙකු හෝ ඇතෙකු පහරදීම නිසා මිය යන පුද්ගලයෙකු සඳහා රජය විසින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙනු ලැබේ.
මේ අනුව අලියෙකු හෝ ඇතෙකු පහර දී මිය යන පුද්ගලයෙකුගේ රජයේ වටිනාකම රුපියල් ලක්ෂයකි. අලිඇතුන්ගේ පහරකෑමට ලක්ව සදාකාලිකවම අබ්බගාතයන් බවට පත්වන පිරිසක්ද සිටී. මීට අමතරව මිනිසුන්ගේ ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා මුළු ජීවිත කාලය පුරාම පීඩා විඳිනා අලිඇතුන්ද නැතිවාම නොවේ.
මේ අනුව බලන කල ඇති වී තිබෙන අලි මිනිස් ගැටලුව නිසා වන සත්ත්වයාත්, මනුෂ්‍ය සත්ත්වයාත් යන කණ්ඩායම් දෙකම පීඩාවට ලක්ව තිබෙන බව මනාව පැහැදිලි වන කාරණයකි. මේ නිසා අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වහාම රට තුළ විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. මීට වසර 10 - 15කට පෙර පැවැති තත්ත්වය සැලකිල්ලට ගෙන අලි මිනිස් ගැටුම අවම කිරීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කර තිබුණා නම් අද දවසේ අප මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයට මුහුණදීමට සිදුවන්නේ නැත.
ප්‍රධාන වශයෙන් අලි ඇතුන් පහරදීම නිසා මියගොස් සිටින අති බහුතරය වැඩිහිටි පිරිමින්ය. ඔවුහු බොහෝ විට පවුල නඩත්තු කරන, පවුලටම ආරක්ෂාව සලසන පවුලේම අනාගතය අත දරන්නෝ වූහ. මේ නිසා මෙවැනි වගකීම් දරන්නෙකු මියගියහොත් සමස්ත පවුලම දැඩි අසරණ තත්ත්වයකට පත්වීමද වළක්වාගත නොහැකි කාරණයකි.ඇති වී තිබෙන අවාසනාවන්ත තත්ත්වයක් නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ සහජීවනය බිඳ වැටී තිබුණත් බොහෝ මිනිස්සු අලි ඇතුන් දැකීමට ප්‍රිය කරති.
මේ නිසා හීලෑ අලි ඇතුන් අතපත ගෑමට, ඔවුන්ගේ ඡායාරූප ගැනීමට, ඡායාරූප නොමැති නම් මුද්‍රිත ඡායාරූපයක් හෝ චිත්‍රයක් ආකාරයෙන් හෝ අලි ඇතුන් ළඟ තබාගැනීමට බොහෝ මිනිස්සු ප්‍රිය කරති.මීට අමතරව පෙරහරක් හෝ වෙනත් ආගමික උත්සවයකට සහභාගි වූ විට අලි ඇතුන් සිටිනවාද යන්න සහ ඔවුන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න සොයා බැලීමටද බොහෝ පිරිස් කටයුතු කරති.
මේ නිසා අලි ඇතුන් පිළිබඳ මිනිසුන්ගේ හදවත් තුළ පවතින ගෞරවාදරය තව තවත් ශක්තිමත් කිරීම සඳහා රට තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එම වැඩපි‘ළිවෙළ තුළ මුලින්ම සිදු කළ යුතු වන්නේ අලි ඇතුන් ගැවසෙන වනාන්තර ඝට්ඨනය නොවීමට වගබලාගැනීමය. පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙහිදී වනජීවීන්ගේ ආරක්ෂාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමකි. එම දෙපාර්තමේන්තුව විසින් මේ රටේ ජාතික වනෝද්‍යාන 22 ඇතුළු අතිශය වැදගත් ස්ථාන ගණනාවක් (වන අඩවි කාර්යාල ඇතුළු ස්ථාන) ආරක්ෂා කරනු ලබයි. එහෙත් එම දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යමණ්ඩල ප්‍රමාණය 2000කටත් අඩුය. ජාතික වනෝද්‍යානයක ආරක්ෂාව සඳහා නිලධාරීන් 100 ක් යෙදවුවහොත් වනෝද්‍යාන 22 පාලනය කිරීම සඳහා ආසන්න වශයෙන් නිලධාරීන් 2200ක්වත් අවශ්‍යය.
මේ නිසා වනජීවීන් ආරක්ෂා කිරීමට සිටින ආයතනයට අවශ්‍ය මිනිස් සම්පත ලබාදිය යුතුය. එසේ නොමැති නම් මේ රට තුළ ක්‍රියාත්මක සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදාගෙන පරිසරය ආරක්ෂා කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිබහුතර ග්‍රාමීය වශයෙන් නියෝජනය කරන පිරිස්ය. මේ නිසා ඔවුන්ට වනාන්තරය හා ගම පිළිබඳ සේම අලිඇතුන් පිළිබඳවද මනා දැනුමක් තිබේ. මීට අමතරව දැව ජාවාරම්කරුවන් සේම වනාන්තර විනාශ කර දමන්නන් පිළිබඳවද මේ නිලධාරීන්ට යම් අවබෝධයක් තිබේ. මේ නිසා සිවිල් ආරක්ෂක බළකාය වනය ආරක්ෂා කරගැනීමට ක්ෂණිකව යෙදිය හැකි හොඳම කණ්ඩායමයි.
මීට අමතරව ඒ සඳහා මේ රටේ දේශපාලඥයන්ද මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුය. රට තුළ සිදුවන පරිසරය විනාශ වී යාමේ තත්ත්වයට මේ රටේ බහුතර දේශපාලනඥයන් වගකිව යුතුය. මන්දයත් සංවර්ධනයට මුවා වී රටේ දේශපාලඥයන් පරිසරය විනාශ වී යන අවධිමත් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සුලබ දසුනකි. මීට අමතරව මේ රටේ පරිසරය විනාශ කරන අතිශය බහුතර පිරිස් කුමන හෝ ආකාරයකින් දේශපාලන සම්බන්ධතා ඇති පිරිස්ය. මේ නිසා අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා සිදු කළ යුතු පළමු විසඳුම වන්නේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ට අයත් භූමි ආරක්ෂා කර ගැනීමය. එසේ නොවුවහොත් මේ රට තුළ ජීවත් වන බවට සැලකෙන අලි ඇතුන් සුළු ප්‍රමාණයද අප රටින් ඉදිරි දශක දෙක තුනක් යන විට වඳ වී යනු ඇත.