ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත්ම කලාපය ලෙස සැලකෙන්නේ නිවර්තන කලාපයයි. නිවර්තන තෙත් සදාහරිත වර්ෂා වනාන්තර (Tropical Rain Forest) ජෛව විවිධත්වය වැඩිම පරිසර පද්ධති (නිකේතන) ලෙස සැලකේ. එලෙසින්ම සාගර පරිසරයන් තුළදී ජෛව විවිධත්වයෙන් අතිපොහොසත් පරිසර පද්ධති ලෙස සැලකෙන්නේ කොරල්පරය.ලොව වැඩිම ජෛව විවිධත්ව ඝනත්වය පවතින්නේ කොරල් පර තුළ යැයිද කියනු ලැබේ.
ලෝකයේ මතුපිට ප්‍රදේශයෙන් තුනෙන් දෙකකටත් වඩා (71%) වැඩි ප්‍රදේශයක් වසා පවතින්නේ සාගරය බැවින් 'සාගර ජෛව විවිධත්වය' (Marine biodiversity) පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත්ය. සාගරයේ ඇතැම් ප්‍රදේශ තවමත් නිසි ලෙස ගවේෂණය කර නොමැති තරම්ය. සාගරය මිනිසාගෙන් බොහෝ දේ තවමත් සඟවාගෙන සිටින අතර, මිනිසාටද ප්‍රයෝජනවත් සම්පත් රැසක් ලබාගත හැකි සම්පත් ආකරයක්ද ලෙසද සාගරය හැඳින්විය හැකිය.
සාගරයේ ජෛව විවිධත්වය පිළිබඳව බොහෝවිට අපට ගොඩබිමට සාපේක්ෂව ප්‍රාමාණික අවබෝධයක් නොමැත. සාගරයේ දැකිය හැකි සම්පත් ලෙස සැලකිය හැකි ද්‍රව්‍ය පිළිබඳව පවා අප සතු දැනුමද ප්‍රමාණවත් නොමැත. මේ අතරතුර සාගරය මිනිසාගේ විවිධ කටයුතු නිසා දැඩි තර්ජනයකටද ලක් වී තිබේ. සාගරය පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වන්නේද මේ නිසාමය.
සාගරයේ ජීවය
සාගරය ප්‍රමාණයෙන් විශාල වන අතරම එහි දැකිය හැකි පරිසර පද්ධති ප්‍රමාණයද විවිධ ය. මේ නිසා විශාල ජීවී විශේෂ ප්‍රමාණයකට ජීවත් වීම සඳහාම ස්වාභාවිකව අවස්ථාව ලබාදී තිබේ. මේ පිළිබඳව වඩා නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා 2000-2010 වර්ෂ අතර කාලයේදී ලෝකය පුරා විද්‍යාඥයන් පිරිසක් එක්ව උත්සාහයක් ගෙන ඇත. එය සාගර ජීවී සංගණනය ලෙස හඳුන්වන ලද අතර, රටවල් 80 ක විද්‍යාඥයෝ දෙදහස් හත් සියයක් පමණ පිරීසක් මීට සම්බන්ධ වූහ. ලෝකයේ පිහිටි සාගර අතරින් විශාල ප්‍රදේශයක් ආවරණය කළ මේ පිරිස කළ ගවේෂණවලදී වැදගත් කරුණු රැසක්ම අනාවරණය කරගෙන තිබේ. එහිදී අතීතයේ වඳ වී යන්නට ඇතැයි සිතන ලද ජීවී විශේෂ පවා හමු වී ඇති අතර, එය අවසන් වනවිට නව ජීවී විශේෂ 1,200 ක් පමණ විස්තර කර තිබේ. මෙතෙක් වාර්තා වී නොමැති තවත් ජීවී විශේෂ 5,000 ක් පමණ ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යයනය කරමින් තිබේ.
මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව එළැඹී ඇති ඇස්තමේන්තුවලට අනුව සාගරයේ ජීවත් වන ජීවී විශේෂ ප්‍රමාණය 250,000 ක් පමණ තරම් විය හැකිය. එසේම මේ ප්‍රමාණය මිලියනයක් පමණ තරම් අධික විය හැකි බව පෙන්වාදී තිබේ. එය ඊටත් වඩා ඉහළ අගයක් ගැනීමටද ඉඩක් පවතී. තවත් අධ්‍යයනයකින් පෙන්වාදී ඇති ආකාරයට ලෝකයේ මුළු ජීවයෙන් 25% පමණ එනම් ජීවී විශේෂ මිලියන 2.2ක් පමණ ප්‍රමාණයක් සාගරයේ ජීවත් වේ. කෙසේ වෙතත් සාගර ජීවයෙන් 91%ක් පමණ ප්‍රමාණයක් තවමත් සොයාගෙන නොමැත.
මිනිසුන්ගේ බලපෑම
සාගරය හා සම්බන්ධ අනෙක් වැදගත් කරුණ වන්නේ සාගරය මේ වනවිට මුහුණපා ඇති අවාසනාවන්ත තත්ත්වයයි. ඒ හුදෙක්ම මිනිසුන්ගේ බලපෑම හේතුවෙනි. මිනිසුන් විසින් සාගරයට සිදුකරනු ලබන බලපෑම් අතර වැදගත් කරුණු කිහිපයක් හඳුනාගත හැකිය.
ධීවර කර්මාන්තය
ධීවර කර්මාන්තයේදී අධික ලෙස මත්ස්‍ය හා වෙනත් විශේෂ පරිසරයෙන් ඉවත් කෙරේ. නිදසුනක් ලෙස ගතහොත් සාගරයේ මත්ස්‍ය සංචිත අතරින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකින් ඉන් ලබාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි අස්වැන්නක් ලබාගනිමින් තිබේ. මෙය සාගර පරිසර පද්ධතිවලට බලපෑමක් ඇති කරන අතර, මිනිසුන්ගේ ආහාරයට ගන්නා මත්ස්‍ය අස්වැන්න අඩු වීමටද හේතු විය හැකිය. මේ තත්ත්වය පාලනය කිරීම අවශ්‍ය බවට මේ වනවිට පිළිගෙන ඇතත් ඒ පිළිබඳව ඉදිරි පියවරක් ගෙන නොමැති තරම්ය.
මිනිස් ක්‍රියාකාරකම්
කොරල්පර විනාශ කිරීම, සාගරයට කසළ බැහැර කිරීම, වායුගෝලය උණුසුම් කෙරෙන මිනිස් ක්‍රියාකාරකම් ආදිය හේතුවෙන් සාගරයට කෙරෙන බලපෑමද අතිමහත්ය. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලය උණුසුම් වීම හේතුවෙන් සාගරය උණුසුම් වීමටද හේතු වී ඇති අතර, ඒ නිසා සාගර ජීවීන්ට මෙන්ම ඇතැම් පරිසර පද්ධතිවලටද දැඩි බලපෑමක් ඇති වේ. විශේෂයෙන්ම කොරල්පර හා එහි වෙසෙන ජීවීන් මුහුණදී ඇති තත්ත්ව මෙහිදී ප්‍රබල ලෙස දැක්විය හැක.
සාගර දූෂණය
මෙය වැඩි වශයෙන් වෙරළබඩ ප්‍රදේශවලට බලපාන බව වඩාත් ප්‍රචලිත මතය වේ. මිනිසුන් විසින් බැහැර කරනු ලබන විවිධ ද්‍රව්‍ය නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. ශ්‍රී ලංකාව වසරකට කසළ මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් පමණ සාගරයට මුදාහරින බවත්, එය ලොව පුරා මුහුදට ප්ලාස්ටික් මුදාහරින රටවල් අතරින් පස්වැනි ස්ථානය ගෙන ඇති බවත් අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කර තිබුණි.
චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය යන රටවල් ශ්‍රී ලංකාවට ඉහළින් සිටින අනිකුත් රටවල් වන අතර, අන් රටවලට සාපේක්ෂව ජනගහනය අඩු රටක් ලෙස මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අහිතකර වන්නකි. මෙමගින් සාගර ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුවන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදී තිබිණ.
සාගරයට මුදාහරින මෙම කසළ ප්‍රමාණයෙන් 90% ක් ගොඩබිම ඇතිවන කසළ වන අතර, වෙරළ කලාපය තුළම ජනනය වන කසළ ප්‍රමාය 10෴ ක් ලෙසද හඳුනාගෙන තිබේ. මේ අතර බොහෝමයක් ප්ලාස්ටික්, පොලිතීන්, රබර් සහ ඍජිෆෝම්ද වන අතර මේ අනුව වෙරළ කලාපය තුළ පමණක් නොව රට තුළද මහා පරිමාණ පරිසර දූෂණයක් සිදුවන බව මෙයින් පැහැදිලි වේ.
මෙම තත්ත්වය හේතුවෙන් සාගරයට උග්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය නිකුත් වන අතර, බොහෝ ඒවා පිළිකාකාරකද වේ. මේ හේතුවෙන් සෞඛ්‍ය හානි ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි. ආහාර දාම ඔස්සේ මෙම පිළිකාකාරක නැවත අපගේ ශරීරයට පැමිණීමද මේ අනුව නොවැළැක්විය හැකිය. මත්ස්‍ය අභිජනනය මෙන්ම සාගර ජෛව විවිධත්වයට මේ හරහා සිදුවිය හැකි හානිය විශාල වන අතර, මේ හේතුවෙන් සාගරය මල මුහුදක් බවට පත්වීම වැඩි ඈතකද නොවනු ඇත.
ක්ෂීරපායීන් අනතුරේ
ලෝකයේ බටහිර අර්ධගෝලයේ ජීවත් වන ක්ෂිරපායී සතුන් අතරින් 9.2%ක් පමණ ප්‍රමාණයකට දේශගුණ වෙනස් වීම හමුවේ යෝග්‍ය ප්‍රදේශයකට සංක්‍රමණය වීම අසීරු විය හැකි බව අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබේ. ඇතැම් කලාපවලදී මේ ප්‍රමාණය 39෴ක් තරම් ඉහළ යාමේ අවදානමක් තිබේ. මෙහිදී යොදාගෙන ඇති තවත් උපකල්පනයක් වන්නේ එක් විශේෂයක් නව ප්‍රදේශයකට ව්‍යාප්ත වන්නේ එක් පරම්පරාවකට වරක් පමණක් බවය.
ඒ නිසා ඇතැම් කුඩා විශේෂයක් එක් පරම්පරාවක් සංක්‍රමණය වන්නේ අඩු දුරක් තෙක් වුවත්, එක් වර්ෂයක් තුළ පරම්පරා කිහිපයක් ජනිත වන බැවින් ඔවුන්ට වැඩි ව්‍යාප්ත වීමක් පෙන්විය හැකිය. ප්‍රජනනය සඳහා වැඩි කාලයක් ගන්නා ප්රයිමේටා විශේෂයකට වඩා වැඩි වේගයක් මේ අනුව කුඩා විශේෂවලට ලැබේ.
ජෛව විවිධත්ව දශකය
පසුගිය 2010 වසරේදී ජපානයේ අයිච් නුවරදී පැවති COP 10 හිදී වසර 2011 – 2020 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජෛව විවිධත්ව දශකය ලෙස නම්කළ අතර, ඒ යටතේ 2020 ට ප්‍රථම සපුරා ගතයුතු ඉලක්ක 20 ක් කාණ්ඩ 05 ක් යටතේ හඳුනාගන්නා ලදී. ජෛව විවිධත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ජෛව විවිධත්වයට හානිකරන දේ පරිසරයෙන් ඉවත් කිරීම, සියලුම මත්ස්‍ය සහ ජලජ ශාක නිසි ලෙස කළමනාකරණය කිරීම, සියලුම ආකාරයේ දූෂණයන් පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය හානි නොකිරීම, ජෛව විවිධත්වය වෙනුවෙන් කරදිය හා මිරිදිය ජලාශ ප්‍රදේශ හානි නොකිරීම, සෑම රටක්ම තමන්ගේ ජාතික ජෛව විවිධත්ව ක්රමෝපායක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම ආදී කරුණු මේ අතර වේ. නමුදු අප රට මේ වනවිට මෙම ඉලක්ක සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඉතාම අල්පය.
ගෙවී යන්නේ ජෛව විවිධත්ව දශකය බැවින් ජෛව විවිධත්වය රැකගැනීමට මෙන්ම එය අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් පාලකයන් මෙන්ම රට වැසියන්ද දැඩි සැලකිල්ලෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුව තිබේ. මෙහිදී සියලු පරිසර පද්ධතීන්ම අවධානයට ලක්කිරීම වැදගත් වන අතර, ලෝකයේ විශාල ප්‍රමාණයක් වැසී පවතින සාගරය රැකගැනීමට කැපවීමද ජාතික වගකීමක් බවට පත්ව ඇත.