මාර්තු මස 23 දින ලෝක කාලගුණික දිනය ලෙස නම්කර ඇත. මෙතරම් රස්නෙ ඇයි? යනුවෙන් කාලගුණයට දොස් නගන ජනතාව එයට බලපා ඇති සාධක ගැන නොහිතන තරම්ය. මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාව පිළිබඳ ආචාර්ය රේඛා නිශාන්ති මහත්මිය දැක්වූ අදහස් පෙළගැස්වීමකි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මෙවර තේමාව ලෙස යොදාගෙන ඇත්තේ (WMO) 'ගෝලීය උණුසුම, ආර්ද්‍රතාව, වියළි බව සහ අනාගත තත්ත්වය' යන්නය.මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයේ එක්රැස්වෙයි. එයින් වැඩි තාප ප්‍රමාණයක් උරාගෙන වායුගෝලයේ උණුසුම වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. එය මෑත කාලයේ සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බව තහවුරු වී තිබේ. 2011-2015 දක්වා වසර කිහිපය එසේ උණුසුම් වූ වසරවල් ලෙසද හඳුනාගෙන තිබේ. එල්නිනෝ සංසිද්ධියේ බලපෑමත් සමග ඇතිවූ තත්ත්වයන් නිසා 2015 වසර උණුසුම් වසර ලෙසද හඳුනාගෙන ඇත.
ලෝක දේශගුණික වෙනස්වීම් මගින් ස්වාභාවික දේශගුණික රටාව හා සෘතුමය දේශගුණික රටාවට බාධා ඇතිවෙමින් පවතී. මේ හේතුවෙන් ආනතික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ බහුලතාව හා තීව්‍රතාවයද වැඩිවෙමින් පවතී .එම (Heat Waves) වල බලපෑම නියං තත්ත්වයන් ඇතිවීම හා තද වැසි තත්ත්වයන් ඇතිවීම ආදී ආන්තික තත්ත්වයන්ගේ වැඩිවීම සිදුවන බවටද ප්රවණතාවකි.
ගෝලීය දේශගුණය වෙනස්වීම සඳහා ස්වාභාවික හේතුසාධකද බලපාන අතර, එම තත්ත්වය තීව්ර කිරීම සඳහා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන බලපෑම් විශාල අනුබලයක් වී ඇත.එවැනි ක්‍රියාකාරකම් සීමාකිරීමේ වැඩපිළිවෙළක් සඳහා මුළු ලෝකයේම රටවල්වල අවධානය යොමුකරන්නේ නම් ඉදිරියට පැවතිය හැකි ආන්තික තත්ත්වයන් අවම කරගත හැකිවනු ඇත. 2015 ප්‍රංශයේ පැරිස් නුවර පැවති රැස්වීමේදී ඇති කරගත් සම්මුතියක් මගින් ගිවිස ගත් තේමාවක් වූයේ ලෝකයේ මුදාහරින හරිතාගාර වායු වර්ග හැකි පමණ සීමාකිරීමය.
2015 උණුසුම්ම වසර වන අතර, එය 2016 වසර දක්වාම පැතිරෙන ආකාරයක් දැකගත හැකිය. WMO ආයතනයේ වාර්තාවලට අනුව 2001-2010 දශකය උණුසුම්ම දශකය ලෙසද වාර්තා වී තිබේ. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.73 කින් වැඩිවී ඇතැයි පැවසේ. මෙය දැනටමත් සෙල්සියස් අංශක 1 ට ළඟා වී ඇත.
විද්‍යාත්මක මතය අනුව උෂ්ණත්වය සෙ.අංශක 2 සීමාව ඉක්මවා ගියහොත් එය ජීවීන්ගේ පැවැත්මට හානිකර තත්ත්වයකි. සමස්තයක් ලෙස ලෝකයේ පවතින ශීත දින ගණන් හා ශීත රාත්‍රී දින ගණන් අඩුවෙමින් පවතින අතර, උණුසුම් දින ගණන් හා උණුසුම් රාත්‍රී දින ගණන් වැඩිවෙමින් පවතී. මෙම තත්ත්වයන් මිනිසාගේ සෞඛ්‍යයට, කෘෂි නිෂ්පාදන අඩු කිරීමට හා විවිධ පාරිසරික පද්ධතිවල ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමටද හේතුවනු ඇත.
දේශගුණික වෙනස්වීම් සඳහා වූ අන්තර් රාජ්‍ය සභාවට (IPCC) අනුව තෙත් දේශගුණික ඇති කලාප තවදුරටත් ආර්ද්‍රතාව ඇති කරන අතර, උණුසුම් දේශගුණයක් ඇති කලාප තවත් උණුසුම් වන බවට මත පළවී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් උෂ්ණත්වය වැඩිවීම සෙ.අංශක 2ක සීමාව ඉක්මවා නොයන තැනට වගබලා ගත යුතු බව ලෝක දේශගුණික සංවිධාන ප්‍රකාශ කරයි. පෘථිවිය උණසුම් කිරීම සඳහා දුප්පත් රටවලින් ලැබෙන දායකත්වය ඉතාම අඩුවුවත් දේශගුණික වෙනස්වීම්වල ඇතිවන අනිටු ප්‍රතිපල නිසා වැඩිපුර පීඩාවට පත්වන්නේද දුප්පත් රටවල් බව අමතක නොකළ යුතුය.