අවුරුදු දහස් ගණනක් පුරා විශ්වය පිළිබඳ ගොඩනැගුණු විවිධ අදහස්වලට මිනිස්සු ස්වකීය සංකල්පද එකතු කළහ. එහෙත් බොහෝ ඒවායේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොවූ අතර, ඒ සංසිද්ධීන්ට විද්‍යාව තුළින් අර්ථකථන සපයන්නටද පසුකාලීනව විද්‍යාඥයන්ට සිදුවිය. ලංකාව තුළද පසුගිය සමයේ මෙවන් සිදුවීම් කිහිපයක්ම සිදුවිය. රතුපාට, කොළපාට, කළු පාට වැනි විවිධ වර්ණ වැසි මෙන්ම අරලගංවිලට වැටුණු පාෂාණ කොටස්ද ඒ අතර වෙයි. මේ සියල්ල පිටුපසින් වන විද්‍යාත්මක පදනම කුමක්ද?
මිනිස්සු දකින්නේ මොනවාද?
විශ්වයේ නොයෙකුත් අයුරින් පවතින ප්‍රධාන ග්‍රහවස්තු අතරින් (සූර්යයා ප්‍රධාන අනෙකුත් ග්‍රහලෝක) හැරුණුකොට තවත් විවිධ වූ දේ දැකිය හැකිය. ආකාශයේ පාවෙන තාරකා දූවිලි මීට නිදසුනකි. දූවිලි යැයි හැඳින්වුණද ඒවා මීටර් ගණනක් විශාල අතර මිලියන ගණනාවක් වෙයි. වල්ගා තරුවල වලිගය ලෙසද මේවා දැකිය හැකිය. තවද, සෙනසුරු වටා වන වළලු සකස් වී ඇත්තේද මෙම දූවිලි අංශුවලිනි. ග්‍රහයාගේ විශාලත්වයට සාපේක්ෂව ඒවාට මෙසේ දූවිලි අංශු යැයි කියයි.
පෘථිවිය සූර්යයා වටා ගමන් කරද්දී වසරේ එක් කාලයක (නොවැම්බර්) Jeminid නැමැති ධූමකේතුවේ වලිගය හරහා ගමන් කරයි. එහිදී එම දූවිලි අංශු පෘථිවි වායුගෝලයට ඇතුළුවීමෙන් පසුව ඇතිවන වායුගෝලීය ප්‍රතිරෝධය නිසා ගිනිගෙන දැවෙන අතර, නොදැවුණු අංශුවක කොටසක් පමණක් පෘථිවිය වෙත පතිත විය හැකිය. ග්රාහක ලෙස මේවා හඳුන්වනු ලබයි.
මෙම දැවෙන දූවිලි කොටස් රාත්‍රී කාලයට විවිධ එළි ලෙසින්ද දැකිය හැකිය. අහඹු ලෙස එක්දිනක නොව දිනපතා අහස දෙස බලා හිඳින අයෙකු මෙම එළිවල විශේෂයක් නොදකිනු ඇත.
මෙවැනි ආලෝක ධාරා මෙන්ම පියාඹන පීරිසි ආදියටද කිසිදු සැකයකින් තොර සාක්ෂි හමුවී නැති අතර, මිනිසුන් දුටුදේ විග්රහ කරන ආකාරය අනුව පමණක් විවිධ මත ගොඩනැගී තිබේ. උත්තර ධ්‍රැවය ආසන්නයේ විවිධ වර්ණවල (කොළපාට වැනි) එළි දැකිය හැකි අතර, එවැනි දේ ඇතිවන්නේ ආලෝකයේ පරාවර්තන වෙනස මතය.
අනෙක් අතට චුම්බක ක්ෂේත්රයේ වන අඩු වැඩිවීම්ද සූර්යාලෝකයේ වර්ණාවලිය වෙනස්වීම කෙරෙහි බලපානු ලබයි.එමෙන්ම පෘථිවියෙන් අභ්‍යවකාශගත කළ විවිධ චන්ද්‍රිකාද මෙසේ ගමන් කරන තාරකා ලෙස දැකිය හැක.
මිනිස්සුන්ට පේන්නේ දේවතා එළි නෙවෙයිද?
පෙර සඳහන් කළ විවිධ ආලෝක ධාරා දැකීම ඉතා සරල වන අතර, එයට කිසිදු අද්භූත ආකාරයක ආදේශ කිරීමක් සිදුකළ නොහැක. සාහිත්‍යයේ විවිධ තැන්වල කියැවුණු දේවතා එළි පියවි ඇසින් දුටු බවට එක් එක් අය මත ගෙනෙන්නේ, ඔවුන්ගේ ආකල්පමය විග්රහ කිරීම් අනුවය.
අනෙක පන්සලක් හෝ වෙනත් ආගමික ස්ථානයක ජනාකීර්ණ බව හෝ ආවරණය වූ ස්වාභාවය අඩුවීම නිසා පහළ සිට බලන අයෙකුට විවෘතව, පැහැදිලිව අහස දැකිය හැකිය. එබැවින් එම පූජනීය ස්ථානයට ඉහළින් ගමන්කරන ආලෝක ධාරා ඔවුන් දේවතා එළි ලෙස විග්රහ කරති.
අරලගංවිලට වැටුණේ මොකක්ද?
අරලගංවිල වයස්ගත ගොවි මහතෙකු දුටු වෙනස්ම ආකාරයක ආලෝකයත්, ඔහුගේ කුඹුරෙන් හමු වූ පාෂාණ කොටසුත් සාමාන්‍යයෙන් පොළොවෙන් හමුවන ඒවාට වඩා වෙනස් හෙයින් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ අතර, එය නොදැවී ඉතිරි වූ ග්රාහක කොටසක් ලෙස අර්ථ දැක්වෙයි. පසුගිය පෙබරවාරියේ රුසියාව වෙත පතිත වූයේද මෙවැනිම ග්‍රාහකයක් වන අතර, එය ප්‍රමාණයෙන් විශාල වූවකි.
රතු වැසි කියන්නේ මොනවාද?
ශ්‍රී ලංකාවට මෙය ඉතාම ආගන්තුක වුවත්, ලෝකයට ආගන්තුක නොවන මෙවැනි වර්ෂා ඉන්දියාවේ කේරළයට සති දෙකක් පුරා ඇදවැටී තිබිණි. කොළොම්බියාවට, දකුණු අප්‍රිකා ප්‍රදේශයටද මෙවැනි වැසි ඇද වැටී තිබිණි. ලංකාවට ආගන්තුක මෙම සිද්ධිය 2012 වසරේ ලෝක විනාශයක් වෙතැයි තිබූ සැකයත් මතයත් අනුව තව තවත් මිනිසුන් තුළ බිය තීව්ර කළේය.
අනෙක බයිබලය ආදියේද ලෝක විනාශයට පෙර මෙවැනි වැස්සක් ඇතිවෙතැයි යන්න එම ආකල්ප වෙනස් කිරීමට වඩාත් හේතුවිය. (තමන් දිවැස් වැකි පවසන කාලයේදී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමති විටක පහරදීමටත් ඔවුන්ට බලය ඇත.
(ශුද්ධ බයිබලය - එළිදරව්ව - 11:6 වගන්තිය)
වර්ණ ඇතිවීමට මූලද්‍රව්‍යවල එක් එක් ප්‍රමාණ අඩු වැඩිවීමෙන් සිදුවන අතර, රතු, කොළ, කළු ආදී වැසි ඇතිවීම සිදුවිය හැකිය. මේවායේ වන ඇල්ගී ගුණනය වනවිට රතු වර්ණය ගන්නට ඇතැයි විද්‍යාඥයෝ මත පළ කරති.
අරලගංවිල ග්රාහක හා රතු වැස්සේ පර්යේෂණවලට මොකද වුණේ?
ජාත්‍යන්තර විද්‍යාඥයන් හා එක්ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ, ආචාර්ය අනිල් සමරනායක මහතාගේ මූලිකත්වයෙන් පර්යේෂණ මෙහෙයවූ අතර, එහිදී මෙම රතු වැස්සේ වූ ජීවකොටස් පෘථිවියේ ජීවීන්ට සමාන නොවන බව හඳුනාගැනුණි. මොවුන් ඇල්ගී විශේෂයක් වූ අතර, ඒවා සුපුරුදු ඇල්ගී නොවීය. පෘථිවියේ වන ඇල්ගීවල ප්‍රාථමික ව්‍යුහය තුළ RNA හෝ DNA පැවතිය යුතු වුවද , මෙහි RNA හෝ DNA කිසිවක් දැකිය නොහැකි විය.
තවද, සාමාන්‍ය ජීවියෙක් උෂ්ණත්වය ඉහළ නැංවූ විට මිය යා යුතු වුවද, 200oC දක්වා උෂ්ණත්වය ඉහළ නංවන විටද මෙම ජිවීහු කිසිදු හානියකින් තොරව සිටියහ.
ශාක හා සත්ත්ව අතරමැදි ජීවීන් විශේෂයක් වන ඇල්ගී අතුරින්, මෙම ඇල්ගී විශේෂය පෘථිවියට අයත් නොවන බවට විද්‍යාඥයන් මත පළකරන්නේ මෙවැනි තත්ත්වයක් අනුවය. මේවායේ රසායනික සංයුතිය වෙනස් වූ අතර යුරේනියම්, ආසනික් වැනි මූලද්‍රව්‍යයන් රසායනික සංයුතියේ බහුල විය. සාමාන්‍ය පෘථිවියේ ජීවියෙකු තුළ වැඩි වශයෙන් අඩංගු වන පොස්පරස් මෙහිදී එක් නොවන අතර සිල්ව(ර්) වැනි සංයුතීන් වැඩි විය.
රසායනික සංයුතියෙන්, අණුක විද්‍යාත්මකව ව්‍යුහය වෙනස්වීමත්, ප්‍රජනන වෙනසත් යන සියල්ල අනුව මේවා පෘථිවියට අයත් නොවන බව පිළිගැනුණි.
අනෙක් අතට අරලගංවිලට පතිත වූ ග්‍රාහකය විදේශ සම්මන්ත්‍රණවලදී සාකච්ඡාවට බඳුන් වූ පරිදි, පෘථිවියෙන් පිටත ජීවයක් ඇති බවට හඳුනාගත් ප්‍රථම විද්‍යාත්මක සාක්ෂියයි. ඊට හේතුව වූයේ මෙම ග්‍රාහකයේ ඩයටම තිබූ අතර, එහි අන්තර්ගත ජීවීන් හා රතුවැස්සේ අන්තර්ගත ජීවීන්ගේ ව්‍යුහය එක හා සමානවීමයි.
සංයුතියත්, සියලු සිදුවීම් එකම කාලයක සිදුවීමත්, සියලු සාධක එකම දිශාවකට යොමුවීමත් මත පදනම්ව මෙම රතු වැස්සත්, ග්‍රාහකය පතිතවීමත්, එකම තැනකින් සිදුවන්නට ඇතැයි මත පළකෙරිණි. විද්‍යාවේ සියයට සීයයක් නිවැරදි තොරතුරු පළ කළ නොහැකි වුවත් පෙර කී සාක්ෂි අනුව විද්‍යාඥයන් මත පළ කර තිබේ.
මේ වර්ණ වැසි අහිතකරද?
ජනතාවට මේවා අහිතකර ලෙස බලපානු ඇතිද යන්න සොයාබැලීම වෙනුවෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම සොයාබැලීම් වෙත එක්වූ අතර, මිනිසුන් ඒවාට නිරාවරණය නොවීම වඩා යහපත් බව ඔවුන්ගේ මතයයි. සාමාන්‍ය ප්‍රදේශවල හිරු එළියට පවා ජනතාව නිරාවරණය නොවන්නේ අහිතකර සංයුතීන් පිළිබඳ නිශ්චිතව කිව නොහැකි හෙයිනි. වඩාත් වැදගත් වන්නේ අවදානමට පෙර සූදානම් වී සිටීමයි.
තොරතුරු දැක්වීම - වෛද්‍ය අනිල් සමරනායක
අධ්යක්ෂ වෛද්‍ය පර්යේෂණ ආයතනය
මෙම විශේශාංගයට අදාළව ඩිස්කවරි නාලිකාව විසින් සැකසූ වීඩියෝවෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වෙයි.