සතුන් මගින් භාණ්ඩ එහා මෙහා ගෙන යාමට ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරය තරම්ම දිගු ඉතිහාසයකි. මංමාවත් සේම ප්‍රවාහන සේවාවන් අද මෙන් බහුල නොවූ අතීතයේදී ලොව බොහෝ රටවල භාණ්ඩ ප්‍රවාහනය සිදුවූවේ අශ්වයන්, ගවයන්, බැටළුවන්, ඔටුවන් ආදී සතුන්ගේ උපකාරයෙනි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොව සෙසු රටවල් අශ්වයන්, ගවයන්, බැටළුවන්, ඔටුවන් ආදී සතුන් උපයෝගී කරගනු ලැබුවද මෙරට භාණ්ඩ ප්‍රවාහනය සඳහා බහුලවම යොදා ගැනුණේ ගවයන් බැඳි කරත්ත හා තවලම්ය.
එසේ වුවද ප්‍රවාහන ක්ෂේත්රයේ සිදුවෙමින් පවත්නා ශීඝ්‍ර දියුණුවත්, සත්ත්ව සංවිධානවල මැදිහත්වීමත් නිසාම භාණ්ඩ ප්‍රවාහනය සඳහා සතුන් වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග උපයෝගී කරගැනීමට මිනිසා පෙළඹෙමින් සිටී.
අදින් දශක තුන හතරකට එපිට අතීතයේදී මෙරට ගම්බිම්වල ජනතාව සිය ප්‍රවාහන සේවාවන් ඉටුකර ගනු ලැබුවේ ගවයන් පිට බැඳි තවලම්වල අාධාරයෙනි. එකල පමණක් නොව යන්නට එන්නට හරි හැටි පාරක් තොටක් නැති මෙරට කඳුකර ප්‍රදේශයන්හි පිහිටි බොහෝ අතිදුෂ්කර ගම්මානවල ජනතාව අදටත් සිය කෘෂි නිෂ්පාදන ටික නගරයට ගෙන එන්නේත්, නගරයේ සිට ගමට අවැසි බොහෝ දේ ගම්මාන වෙත රැගෙන යන්නේත් ගවයන් පිට බැඳි තවලම්වල ආධාරයෙනි.
මිණි ගෙඩි හඬවමින්, කවි සීපද ගායනා කරමින්, එකිනෙකාට හූ කියමින් වෙල් නියරවල්, ඕවිටි, කැලෑ රොදවල්, දියකඳුරු, කඳුවැටි හරහා වැටී ඇති දුෂ්කර අඩිපාරවල් ඔස්සේ ගමන් ගන්නා තවලම්කරුවෝ අදටත් ගමේ සිරියාවට එක්කරන්නේ අපූරු අනන්‍යතාවකි.
මංමාවත් ඉදි වීම, නවීන ප්‍රවාහන සේවාවන් එකතු වීම, වත්මන් පරපුර තවලම් රැකියාවෙන් ඈත් වීම, පුහුණු ගවයන් නොමැති වීම ආදී බොහෝ කරුණු කාරණා නිසාවෙන් අද වන විටත් ක්‍රමයෙන් ගම්බිම්වල ජනතාවගෙන් ඈත්වී යමින් පවතින තවලම් රැකියාව, අද වන විට ඉතා සුළු ජන කොට්ඨාසයකට පමණක් සීමා වෙමින් පවතින බව කලකට පෙර තවලම් රැකියාව බහුලව පැවති ප්‍රදේශවල මිනිසුන් හා කළ කතාබස්වලදී අපට අසන්නට ලැබිණි.
කලකට පෙර මෙරට මාර්ග පද්ධතිය අරක්ගෙන තිබූ ගොන් කරත්තකරුවන් හරහා අපේ රටට අපූරු උපසංස්කෘතියක් නිර්මාණය වූවා සේම තවලම හරහාද අප සංස්කෘතියට, සාහිත්‍යයට, ඇදහිලි විශ්වාසවලට, භාෂාවට උරුම වූ දායාදයන් රැසක් මෙම තවලම් රැකියාවේ පිරිහීමත් සමගම අප සමාජයට අහිමිවෙමින් පවතින බව ඔවුන් පවසා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
ගෝනිවල බර අඩුක්කර පිළිවෙළකට ගැට ගසන ලද තවලම් ගොනුන් හත් අට දෙනා කිසිදු හැලහොල්මනක් නොමැතිව සිය හාම්පුතාගේ අණට කීකරු වී ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කිරීම බලා සිටින්නෙකුට සරල කාරණයකි.
එහෙත් තවලම් රැකියාවේ අග මුල හෝ ඒ පිළිබඳ හුරුවක් නොමැති කිසිවෙකුටත් තවලම් ගොනෙකු අඩි විස්සක් තිහක් හෝ එහාමෙහා දක්කාගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව තවලම් රැකියාවේ යෙදෙන්නෝ පවසති.
අද බොහෝ තරුණයෝ තවලම් රැකියාව මදිපුංචිකමක්සේ සැලකුවද එදා තවලම් ගොනුන් තුන් හතර දෙනෙකු සිටින තරුණයෙකුට ගැමි සමාජය තුළ තිබුණේ ඉහළ පිළිගැනීමකි. එය ඇතැම් විට හොඳ පවුලකින් අවාහ විවාහ කරගන්නට තරම් ඉහළ සුදුසුකමක් වූ බව කළුගහකදුර ගම්මානයේදී අපට මුණගැසුණු උපුල් කුමාර ඒකනායක මහතා පවසා සිටියේ ඉමහත් ආඩම්බරයකිනි.
&මම උපන්නේ වියලුව, කළුගහකඳුර කියන ගමේ. අද නම් මේ ගමට වාහන එනවා. බස් එකකුත් එනවා. හැබැයි අදින් වසර 30-40කට ඉස්සර අපි පුංචි කාලේ ගමට වාහන ආවෙ නැහැ. ගමට එන්න තිබුණේ අඩි පාරක්. කාලෙකදි අඩි පාර ගුරු පාරක් වුනත් වාහන ආවෙ නැහැ. ඒ කාලේ මේ ගමේ හැදෙන වී ටික, පැණි හකුරු ටික මේ හැමදෙයක්ම නගරයට අරන් ගියේ තවලම්වලින්. ඒ විතරක් නෙමෙයි කුඹුරේ වී ටික ගෙදරට ගෙනාවෙත්, නගරයෙන් ගන්න තුනපහ බඩු ටික ගමට ගෙනාවෙත් තවලම්වලින්.
ඒ කාලේ යමක්කමක් තියෙන අයට තිබුණු ලොකුම වත්කම තමයි හරක් පට්ටියක් ඉන්න එක. හරක් පට්ටියක තවලම් යන්න පුළුවන් හරක් හත් අට දෙනෙක් ඉන්නවා කියන්නේ ඒ පවුලට විශාල හයියක්. ඒ වගේම ඒ පවුලට ගරු නම්බු ලැබෙන්න තරම් විශාල කාරණයක්. මම පුංචි කාලේ අපිටත් විශාල හරක් පට්ටියක් හිටියා. ඒ හරක් රංචුව අතරේ තවලම් ගෙනියන ගොන්නුත් දහපහළොස් දෙනෙක් හිටියා. ඒ අතර හිටිය ශක්තිමත් තවලම් ගොනුන් කිහිපදෙනෙක් තමයි රත්තා, සුදුකුඩේ, රතුකුඩේ, පොහොරා, කළුවා, රෙංගා කියන්නේ.
අද වගේ කිසිම කෙනෙක් ඒ කාලේ වැඩ කරල සල්ලි ගත්තේ නැහැ. තවලම් කරන අයත් එහෙමමයි. ගමේ අයට තවලමින් බඩුමුට්ටු ගෙනාවා කියල කිසිම කෙනෙක් මුදල් අය කළේ නැහැ. ගොඩක් වෙලාවට ඒවට හිලව් වෙන්න මිනිස්සු කළේ තවලම් අයිතිකාරයගේ වත්තේ කුඹුරේ වැඩක් තිබුණොත් ඒකට උදව් කරන එක. සමහර වෙලාවට පවුල්වල විවාහ තීන්දු වෙන්න පවා තවලම් ගොනෙක් සිටීම සුදුසුකමක් වුණා.
තවලම් සඳහා යොදාගනු ලබන්නේ නිරෝගී පිරිමි ගොනුන් පමණකි. ගව පට්ටියක එළදෙනෙකුට ලැබෙන පැටවා වසු පැටවෙක් වුණොත් ගව පට්ටි හිමියාට එය සැබෑවටම සතුටට කරුණකි.
තම ගවපට්ටියේ තවලම් ගොනුන් නැති විටදී ඇතැමුන් වෙනත් ගව පට්ටිවලින් ගොනුන් මිලදී ගන්නටද පසුබට නොවෙති. තවලමකට ගොනෙකු මිලදී ගැනීම යනු ඉතා භාරදූර කටයුත්තක් සේ තවලම්කරුවෝ සලකති. මිලදී ගන්නා ගොන් නාම්බා තවලම් බැඳීමට සුදුසුදැයි තවලම්කරුවෝ බොහෝ විට පරීක්ෂා කරන්නේ ගවයාගේ බඩට යටින් වූ පිටුපස පාදයට කෝටුවකින් ඇනීමේදී ගවයාගෙන් ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමිනි. කෝටුවෙන් අනිද්දී ගවය දඟලමින් උඩ පැන පයින් ගසන්නේ නම් ඌ තවලමේ අතිදක්ෂයෙකු කළ හැකි යැයි තවලම්කරුවෝ අත්දැකීමෙන්ම දනිති.
පැරණි ගැමියා බොහෝ සුභ කටයුතු ආරම්භ කරනු ලැබුවේ සුභ වේලාවන්හිදීය. එපරිද්දෙන්ම තම පට්ටියේ සිටින තරුණ ගවයාට තවලම් හුරු කිරීමේ කාර්යය ඇරඹෙන්නේද සුබ නැකතකිනි. බොහෝ විට මෙම කාර්යය සඳහා සිකුරාදා දිනයක් තෝරාගන්නා අතර, රාහු කාලය මෙන්ම මරු සිටින දිශාව මගහැර එම කටයුත්ත සිදුකිරීමටද ගව පට්ටි හිමියෝ සැලකිලිමත් වෙති.
තවලම් පුහුණු කරන්නට යොදාගන්නා ගොන් නාම්බාට මුලින්ම තවලම් ගෝනි පැටවීමක් සිදු නොකරන අතර, ගෝනි තුන හතරක් එකට තබා මසා ගත් ‘‘හැඳ ‘‘ නමැති ගෝනි පඩංගුවක් සුභ නැකතින් පිටෙහි එලීමෙන් කෝඩුකාර ගවයා තවලම් ගොනෙකු බවට පත්කිරීමේ මුල්ම කටයුත්ත සිදුවෙයි. හැඳ දමද්දී ඒ අවට සිටින කිසිවෙකුටත් කතා කිරීම තහනම්ය. එය ගව පට්ටි හිමියා අනුගමනය කරන කෙමකි. හැඳ දමද්දී කතා කළහොත් ගවයා කුලප්පු වන බවත්, ගවයාට බර වැඩි වී ගවයා මග වැතිර බර ගෙනයාම ප්‍රතික්ෂේප කරන බවටත් ගව පට්ටි හිමියෝ විශ්වාස කරති. එපමණක් නොව පිටතට ඇසෙන්නට නොකීවත් හැඳ දමන ගව පට්ටි හිමියෝ තම තවලම් ගොනුන්ට බර ගෙනයද්දී කිසිදු විපතක් අතුරු ආන්තරාවක් සිදු නොවේවායි හිතින් ප්‍රාර්ථනා කරති.
බොහෝ විට බර තැබීම සිදුවන්නේ සවස් කාලයේදී වන අතර බර කර තබාගෙන රැය පහන් කිරීමට එහිදී ගවයාට සිදුවෙයි. ඇතැම් ගවයන් බර පිටෙහි තබාගෙන නිසොල්මන්ව බිම වැතිරී රැය පහන් කරයි.
තවලම් ගොනෙකු සූදානම් කිරීම මෙන්ම තවලම් සඳහා ගෝනියක් පිළියෙළ කිරීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. තවලම් ගෝනියක් සකස් කිරීම කළ හැක්කේද ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්තවුන්ට පමණි.
රටා දමා ඉතා සමබර අයුරින් තවලම් ගෝනිය මසා ගැනීමෙන් අනතුරුව එහි ඉදිරිපසට මෙන්ම පිටුපසටද තවත් ලණු කිහිපයක් තබා මසාගන්නට තවලම්කරුවෝ අමතක නොකරති. තවලම් ගෝනියේ ඉදිරිපසට තබා මසන ලණුව කර අත ලෙස නම් කරන අතර, තවම්ලම් යද්දී එය ගවයාගේ කර යටින් තබා ගැට ගැසීම සිදුකරනු ලබයි. ගවයාගේ පිටේ බැඳි බර පසුපසට ඇදීඒම බොහෝ දුරට වැළකෙන්නේ මෙම කර අතේ උපකාරයෙනි.
තවලම් ගෝනිය පසුපසින්ද අඟල් තුනක් පළලට කිතුල් තත්, හණ ආදිය උපයෝගී කරගනිමින් වියන ලද ලණුවක් සම්බන්ධ කෙරෙන අතර, තවලම්කරුවෝ එය හඳුන්වන්නේ පස්සා පටිය නමිනි. පස්සා පටිය මෙන්ම කර අත තවලම් ගෝනියට සම්බන්ධ කෙරෙන්නේ කුලචිචිය නම් වූ මැස්මකින් වන අතර, ඒ අනුව තවලම් ගෝනියක කුලච්චි හතරකි.
පස්සා පටිය යම් හෙයකින් කැඩුණහොත් තවලම් ගෝනිය බිම ඇදවැටීම වැළැක්වීම සඳහා ඇතැම් තවලම්කරුවෝ තවලම් ගෝනියට තබා මසන කාවලිය නමැති ලණුපටක්ද පස්සා පටියට සමාන්තරවම යෙදීමට සැලකිලිමත් වෙති.
මීට අමතරව දමුණු ගසේ පට්ටා උපයෝගී කර ගනිමින් අඹරන ලද විශේෂ ලණුවක් බර බැඳි ගෝනිය ගවයාගේ උදර ප්‍රදේශයට තදින් අල්ලා ගැට ගැසීම සඳහා යොදා ගනු ලබන අතර, එය හඳුන්වන්නේ බඩ ලණුව යනුවෙනි. තෝං ලණු දමන්නේ නම් සෑම තවලම් ගොනෙකුටම තවලම්කරුවෙකුද සිටිය යුතුය.
තවලම් ගොනුන්ගේ ගත සරසන තවත් ආභරණ කිහිපයකි. තවලමේ අනන්‍යතාව කියාපාන ගවයන්ගේ ගෙල බඳින ගෙජ්ජි වැලට හා මිණිගෙඩිවලට එහිදී හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. එහිදී තවලම්කරුවා සතු හොඳම ගෙජ්ජි වැල හිමිවන්නේ පට්ටියේ ජ්‍යෙෂ්ඨතම තවලම් ගොනාටය.
තවලම අතරතුරදී තවලම් ගොනුන් කුලප්පු වීම තවලම්කරුවන්ට තවලම එපා කරවන්නකි. වාහන හඬක් ඇසීමත්, මගතොටේදී මුණගැසෙන වෙනත් ගව පට්ටියක නාඹර වැස්සියක් නෙත ගැටීමත් බොහෝ විට මෙම කුලප්පු වීමට මූලික හේතුවක් වෙයි.
ඇතැම් විට එම කුලප්පුව අහවර වන්නේ තවලම් ගෝනියත් බිම දමා එම තවලම් ගොනා කැලෑ වැදීමෙනි. මේ අයුරින් ගොන් වස්සන් වැස්සියන් පසුපස හඹා යාම තවලම්කරුවෝ හඳුන්වන්නේ ‘‘නැවතිල්ලේ යනවා යනුවෙනි.
සිංහල සංස්කෘතියේ උපසංස්කෘතියක් තරමට ජන ජීවිතයට සමීපවූත් අපේ ජන වහරට, භාෂාවට, සාහිත්‍යයට, ගති සිරිත්වලට, වෙදකමට බොහෝ කරුණු කාරණා එක් කළා වූත් තවලම් රැකියාව කෙමෙන් කෙමෙන් ජනතාවගෙන් ඈත්වෙමින් පවතී. නවීන තාක්ෂණයත් ආලෝකයේ වේගයත් තම කටයුතුවලට සමීපකර ගන්නට වෙර දරන වත්මන් සමාජය තුළ තවලම් වැනි සාම්ප්‍රදායික රැකියාවන්ට කිසියම් ස්ථානයක් හිමිවේ යැයි කාට නම් කිව හැකිද?
කතාව සහ පින්තූර - මීගහකිවුල එන්.කේ නිශ්ශංක