මුළු රටම මේ වනවිට කසළ ගැටලුවට මුහුණපා සිටින අතර, බස්නාහිර පළාතට එය ඉතා දැඩිව දැනී ඇත. කසළ සඳහා ප්‍රයෝගික විසඳුම් ලෙස විවිධ විසඳුම් යෝජනා කරන අවස්ථාවක ඒ සඳහා ප්‍රයෝගික විසඳුම් වසර ගණනාවක සිට පෙන්වූ පිරිසක් අපිට මුණගැසිණි. නමුත් ඔවුන්ට අවස්ථාව ලබානොදෙන බැවින් ඔවුන් පිළිබඳ එතරම් කතාබහක් නොමැත.
ප්රතිචක්රීකරන්නන්ගේ සංගමය නම් මෙම පිරිස ලංකාවේ කසළ ප්‍රශ්නයට සාර්ථක හා ප්‍රයෝගික විසඳුම් ඉදිරිපත් කර තිබූ අතර, ඒ තුළින් බොහෝ පිරිසකට රැකියා උත්පාදනය කරදීමටද සැලසුම් කර තිබිණි.
මේ හේතුවෙන් ප්රතිචක්රීකරන්නන්ගේ සංගමය සම්බන්ධයෙන් විස්තර ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළෙමු.
අපි කසළ ප්‍රතිචක්‍රීකරණය කරල සියයට සීයක් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරනවා
ලේකම් - ලසන්ත වික්‍රමසේකර
''ලංකාව පුරාම 4500කට අධිකව සාමාජික සංඛ්‍යාවක් අප සමග සිටිනවා. කසළ නිෂ්පාදකවරුන්, කසළ එකතු කරන පුද්ගලයන්, ප්‍රවාහනය කරන්නන් එකතු වෙලා තමයි මේ ජාලය නිර්මාණය වී තිබෙන්නෙ.
අපි ප්‍රධාන වශයෙන් යකඩ, ඇලුමිනියම්, පොලිතීන්, ප්ලාස්ටික්, බෝතල්, වීදුරු වගේම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය, පොල්කටු, කඩදාසි, කාඩ්බෝඩ් භාවිත කරන ලද ටයර් ආදිය ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබාගන්නවා.
මෙලෙස ලබාගන්නා දේවල් සියයට සියයක්ම නිමි භාණ්ඩයක් බවට පත්කරනවා. එහෙම නැතිනම් භාවිත කිරීමට හෝ අපනයනය කිරීමට යොදාගන්නවා. ඒ නිසාම නැවත වරක් එය කසළ ගොඩක් විදිහට කොහෙටවත් දාන්නෙ නැහැ.
ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් යම් ආයතනයට දැනුම හෝ උපදෙස් අවශ්‍ය නම් ඒ දැනුම අප විසින් ලබාදෙනවා. ඒ සඳහා අප සතුව විශේඥයන් සිටිනවා. ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙන්කරන ලද අපද්‍රව්‍ය ලබාගැනීමේදී ඒ සඳහා අවශ්‍ය මිල ගණන් ගෙවීමට පවා අප කටයුතු කරනවා.''
මෙමගින් භාණ්ඩ නිෂ්පාදනයට ආනයනික අමුද්‍රව්‍ය අවම කළ හැකියි
සභාපති - සුරේශ් නන්දසිරි
''කසළ සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ලංකාව තුළ වසර ගණනාවක් ක්රියාත්මන වුණු ආයතන මෙයට විසඳුම් ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ කුණුවලින් 40% වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. අවශ්‍ය වන්නෙ ඒ සඳහා කසළ වෙන්කර ලබාදීම පමණයි. නමුත් තවමත් කසළ වෙන්කිරීම සාධනීය මට්ටමින් සිදුවෙන්නෙ නැහැ.
කසළ වෙන්කර ලබාදෙනවා නම්, ඒවා සම්පූර්ණයෙන්ම මිලදී ගන්නත් මිලදී ගැනීමෙන් පසුව කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්නත් අපේ සංගමය සූදානම්.
ඒවගේම මෙලෙස කසළ ප්‍රතිචක්‍රීකරණය කරලා අමුද්‍රව්‍ය නිපදවීම තුළින් භාණ්ඩ නිෂ්පාදනයට ආනයනය කරන අමුද්‍රව්‍ය ප්රමාණ්ය අවම කිරීමේ හැකියාව තිබෙනවා.
2016 නොවැම්බර් මස 01 වැනිදා සිට වෙන්නොකරන කසළ එකතු නොකරන බව රජය ප්‍රකාශයට පත්කළා. මේ තීරණයට මහජනතාව දැඩි උනන්දුවකින් ක්‍රියාත්මක වුණා. නමුත් පළමු දවස් කිහිපය තුළ ඒ කියූ ආකාරයටම කසළ වෙන්වෙන් වශයෙන් එකතු කළා. නමුත් ඉන් පසුව නිවෙස්වලින් කසළ වෙන්කර ලබා දුන්නද ඒ සියල්ල කුණු ලොරිය තුළ එකට දාගෙන ගියා.
මේ නිසා මෙහි ප්‍රායෝගික බවක් නැති බව මිනිස්සු දැකපු නිසා එයට තිබෙන උනන්දුව එන්න එන්නම අඩුවුණා. මේනිසාම මේ නරක පුරුද්ද පදනම් කරගනිමින් දිරන කසළ, නොදිරන කසළ වෙන්වෙන්ව එකතු කිරීමට කටයුතු කරන්න අප ආණ්ඩුවට යොජනා කරනවා. උදාහරණයකට කොළඹ නගර සභාව ගතහොත් ඒ තුළ දිරන, නොදිරන කසළ එකතු කරන්නෙ එකම ටෙන්ඩරයකට. මේ නිසා තමයි කසළ හැමදේම එකට එකතු කරන්නෙ.
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, නොහැකි දෑ එකතු කිරීමට වෙන වෙනම ටෙන්ඩර් කර එය වෙනවෙනම ආයතනවලට ලබාදෙන්න කියලා අපි යෝජනා කරනවා. එහෙම කළොත් කොළඹ එකතු වෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය 100%ක්ම අප මිලදී ගන්න ලෑස්තියි.
කොළඹ විතරක් නොවෙයි ලංකාව පුරාම ඒ ආකාරයට කසළ එකතු කරන්න, එම කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකියාව අප සංගමය සතුව තිබෙනවා.
වෙන්කළ කසළ නිවස තුළින් ලබාගැනීමෙන් පසුව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ තවදුරටත් වෙන්කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ඇතිකරන්න කියලත් අපි යෝජනා කරනවා. එවිට ඉතාම හොඳ අමුද්‍රව්‍ය ලෙස කසළ වර්ගීකරණය කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගය පවා අපට රජයට ලබාදෙන්න පුළුවන්.
මොකද කසළ වෙන්කිරීම සම්බන්ධයෙන් රජය ලබාදුන් තීරණය ක්‍රියාත්මක කරන්න පළාත් පාලන අයතනවලට බැරිවුණා.
කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් රජයේ දායකත්වය වගේම මහජනතාවගේ දැනුවත්භාවයත් වැදගත් වෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ කසළ වෙන්කර ලබාදීමට කටයුතු කරන ලෙසයි.
කොළඹ තිබෙන කිසිම ජල මූලාශ්‍රයකින් වතුර බොන්න එපා කියලා ජනතාව දැනුවත් කරනවා. මේ අනවශ්‍ය කසළ බැහැර කිරීම නිසා කොළඹ ජල මූලාශ සියල්ලම විනාශ වෙලා ඉවරයි කියන කාරණය තමයි එයින් කියන්නෙ.''
දිරන 'ලන්ච්ෂීට්' භාවිතා කරන්න ජනතාව හුරුකරන්න
අනුර විජේතුංග - පොලිතීන් නිෂ්පාදකයන්ගේ සංගමය
''ශ්‍රී ලංකාව තුළ පොලිතීන් පිළිබඳ නැති භීතිකාවක් ඇතිකර තිබෙනවා. පොලිතීන් මාරයෙන් නෙවෙයි. හරියට කළමනාකරණය නොකිරීම නිසා තමයි පොලිතීන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නෙ. පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් මෙතෙක් එය සිදුනොකළ නිසා තමයි මෙවැනි තත්ත්වය ඇතිවෙලා තිබෙන්නෙ.
ලංකාව තුළ දවසකට 'ලන්ච්ෂීට්' මිලියන 15ක් පමණ භාවිත වන බව සංඛ්‍යා ලේඛන තොරතුරු දක්වනවා. අද වනවිට 'ලන්ච්ෂීට්' නැතිව බැරි දෙයක් වෙලා. එය තහනම් කරනවාට අපි විරුද්ධ නැහැ. නමුත් තහනම් කරනවානම් එයට විකල්පයක් ඉදිරිපත් කළ යුතුයි.
පොලිතීන් නිෂ්පාදකයො හැටියට අප යෝජනා කරන්නෙ දිරන 'ලන්ච්ෂීට්' භාවිත කරන්න ජනතාව හුරුකරන්න කියලා. එහෙම වුණොත් වසරක් අතුළත මේ ප්රශ්නය විසඳෙනවා.
දැනට ප්‍රතිචක්‍රීකරණය කරන්න 'ලන්ච්ෂීට්' බාරගන්නෙ නැහැ. මොකද ඒවායේ ඉඳුල් තැවරී තිබෙන නිසා. ඉඳුල් ඉවත්කර එම කොළ පිරිසුදු කරන්න තවත් අමතර වියදමක් යනවා. පිරිසුදු කරන ලද ලන්ච්ෂීට් ලබාදෙනවානම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්.
දිරන අමුද්‍රව්‍ය භාවිත කරලා ලන්ච්ෂීට් නිෂ්පාදනය කරනවානම් මේ සියලු ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.
පොලිතීන්වල දැනට තිබෙන මයිකෝන 20 ඝණකම මයිකෝන 40 දක්වා වැඩිකිරීම ගැටලු සහගතයි. එහෙම කළ විට පරිසරයට එකතුවෙන කුණු දෙගුණයක් වෙනවා. ඒවගේම අනවශ්‍ය ආනයනය වියදමක් දරන්න වෙනවා. මේ සියල්ලටම විසඳුම ලෙස පාවිච්චි කරන පොලිතීන් දිරන පොලිතීන් ලෙස නිෂ්පාදනය කරනවානම් මේ සියල්ල විසඳාගත හැකි වෙනවා.
කසළ පිළිබඳ මූලික දැනුම පාසල් මට්ටමේ සිට ලබාදිය යුතුයි. කසළ වෙන්කර බැහැර කිරීම පිළිබඳව වගේම කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳවත් සියලු දේ පාසලෙන් කියාදිය යුතුයි. ඒවගේම මේ දිනවල නිවෙස් තුළ ප්‍රායෝගිකව සිදුකළ යුතුවෙනවා.''
ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කරන්නට අවස්ථාව ලබාදෙන්න
බුද්ධික මුතුකුමාරණ - උප සභාපති
''කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ විදෙස් විශේෂඥයන් කැඳවිය යුතු බවට වන යෝජනා ඉදිරිපත් වන ආකාරයක් මේ දිනවල අපි දකිනවා. එය පිළිගන්න බැහැ අපට. මොකද මේ වනවිට ලංකාව පුරා ප්රතිචක්රීකරන්නන් ඇති පමණ ඉන්නවා. මේ අයට වසර ගණනාවක පටන් තිබුණු ගැටගලුව තමයි ප්‍රතිචක්‍රීකරණය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය නොතිබීම.
කසළ ප්‍රශ්නයක් තිබෙනවා කියමින් එය ප්‍රතිචක්‍රීකරණය කරන්නට ලංකාවේ කිසිම කෙනෙක් නැහැ කියා ජපානයෙන් විශේෂඥයන් ගෙන ආයුතුයි කියලා කියන වෙලාවක මම කියන්නෙ ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කරන්නට අවස්ථාව ලබාදෙන්න කියලා. එහෙම වුණොත් ලංකාවේ රැකියා අවස්ථා පවා වැඩිවෙනවා.
බස්නාහිර පළාතේ හෝ කිසිම තැනක ප්‍රතිචක්‍රීකරණය කරන්න අවශ්‍ය කසළ වෙන්කරලා ගොඩගහලා නැහැ කිසිම විටක. කොළඹ නගරයේ පවා තිබෙන්නෙ කුණු ගොඩවල්. ඒ කියන්නෙ වෙන්නොකළ නිසා ප්‍රතිචක්‍රීකරණය නොකළ කුණු. මේ ප්රශ්නය අපි හරියට හඳුනා ගන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් පසුගිය වසර ගණනක් සිය ඉල්ලීම් කළා. නමුත් තවමත් නිසි අයුරින් විසඳුම් ලැබිලා නැහැ.''
මෙය අපි රටට කරන ලොකුම සේවාවක්
විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා,
''නිවස තුළ කසළ වෙන්කිරීම නිවැරදිව කරනවානම් මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. අතීතයේ අපට තිබුණු ක්‍රමවේදයට අපි යායුතුයි. අපේ නිවසේ එකතු වෙන දිරන කසළ කොම්පොස්ට් කළ යුතුයි. එයට අවශ්‍ය වෙන්නෙ ඉතාම කුඩා ඉඩකඩක්. මේ හදන කොම්පෝස්ට් නිවසේම අවශ්‍යතාවලට යොදාගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැතිනම් එය වෙනත් අවශ්‍ය කෙනෙකුට ලබාදෙන්න පුළුවන්. ඒක අපි රටට කරන ලොකුම සේවාවක්.
ඒවගේම නිවසේ බැහැර කරන අපද්‍රව්‍ය පිරිසුදුව වෙන් කරන්න පුළුවන්. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදරට පැණි ගෙන ආ බෝතලයක් ඉවත් කරනවානම්, ඒ බෝතලයේ ඉතිරිවෙලා තිබෙන පැණි ටික වතුර ටිකක් දාලා හෝදලා පිරිසුදු කරන්න පුළුවන් නම් එය වටිනවා. මොකද ඒ සඳහා බොහොම පොඩිවෙලාවයි යන්නෙ.''
මෙලෙස අදහස් දැක්වූ මෙම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ, ලංකාව තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා අවස්ථාව ලබාදීමට බලධාරීන් අකමැත්තක් දක්වන බවයි. ඔවුන්ට දිරිදෙන පිරිස වඩා කකුළෙන් අදින පිරිස වැඩි බවයි. ඒවගේම පළාත් පාලන ආයතන තුළ සිදුවන ක්‍රියාදාමය පිළිබඳ සලකා බැලීමේදී පැහැදිලි වන්නේ කසළ ප්‍රතිචක්‍රීකරණය වඩා ඔවුන් කසළ කඳු දැකීමට කැමැත්තක් දක්වන බවයි.
කුණු කඳු ගොඩගැසීම තුළින් යම් පාඩමක් ඉගෙන ගෙන ඇති මොහොතක හෝ ප්රතිචක්රීකරන්නන් සඳහා ඉඩ විවර වේදැයි අපි බලාසිටිමු.