වත්මන් රජය මගින් වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට සූදානමක් පවතී. සැබෑවටම එය නිසිපරිදි සිදුවේ නම් අගය කළ යුත්තකි. අධ්‍යාපනය යමෙකුගේ ජීවිතයට එතරම්ම වැදගත් සාධකයක් වුවද උග්‍ර ගුරු හිඟයත් පහසුකම් ප්‍රමාණවත් නොවීමත් නිසා එම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කාලාන්තරයක සිට අහිමිව සිටින දරුවන් පිරිසක් සොයා 'අද' අපි, කල්පිටිය, කන්දකුලිය ශාන්ත සෙබස්තියන් රජයේ සිංහල විදුහලට ගියෙමු.
කල්පිටිය, කොළඹ පාරේ කුරිඤ්ඤපිටිය හංදියෙන් දකුණට හැරී කිලෝමීටර කිහිපයක් ගියවිට හමුවන කන්දකුලිය රජයේ සිංහල විදුහලේ වර්තමානයේ විදුහල්පති ධුරය දරන්නේ ඒ.එම්.ආර්. වර්ණකුලසූරිය කන්‍යා සොයුරියයි. දෙවැනි ශ්‍රේණියේ පාසලක් වන මෙය ආරම්භ කර ඇත්තේ 1976 වසරේ 'හිලරි' නම් සහෝදරතුමා විසිනි.
පාසල මේ පසුකරමින් සිටින්නේ 41 වැනි වසර වන අතර, මෙහි මේ වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 400කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබති. පාසලේ ඇත්තේද සීමිත ගොඩනැගිලි කිහිපයකි. එම ගොඩනැගිලි අබලන්ව ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමක පවතී. පළමු වැනි ශ්‍රේණිය සිට 11 වැනි ශ්‍රේණිය දක්වා එක බැගින් පන්ති 11ක් පාසලේ තිබේ. ඉගෙනුම ලබන සිසුන් ප්‍රමාණයට සාපේක්ෂව සහ චක්‍රලේඛ අනුව ගුරුවරුන් 17 දෙනෙකුවත් සිටිය යුතු වුවද දැනට සිටින්නේ විදුහල්පතිතුමිය අතුළු ගුරුවරුන් 12 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් ගුරුවරුන් පස්දෙනෙකු ලබන වසරේදී සිය දුෂ්කර සේවා කාලසීමාව නිමකරමින් ඉවත්ව යෑමට නියමිත වුවද ඒ වෙනුවට තවමත් නව ගුරුවරුන් පත්කිරීමක් සිදුකර නොමැත.
ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියන් දසදෙනෙකු සිටියද ඔවුන් සියලු දෙනාටම භාවිත කිරීමට සිදුව ඇත්තේ අබලන් වූ වැසිකිළියකි. සිසුන් භාවිත කරන වැසිකිළි පද්ධතියද ඉතාමත් අබලන් තත්ත්වයක පවතී. පාසලේ ආපන ශාලාව පවා පවත්වාගෙන යන්නේ තහඩු සහ පොල් අතුවලින් සැකසූ මඩුවකය. දරුවන්ගේ භාවිතයට මේස, පුටුවලද හිඟයක් පවතී. මෙම විදුහලට මුරකරුවෙකු සහ පාසල් අනධ්‍යයන සේවකයෙකු සිටිය යුතු වුවද මේ වනතෙක් එම තනතුරු සඳහාද කිසිවෙකුත් නොමැති වීම නිසා කාර්යාලයීය ලිපිලේඛන කටයුතුද සිදුකරන්නේ සීමිත ලෙස සිටින ගුරුමණ්ඩලයයි.
මේ සියල්ලටම වඩා ඛේදජනක තත්ත්වය වන්නේ පාසලේ අනිවාර්ය විෂයන්වත් ඉගැනීමට ගුරුවරුන් නොමැති වීමය. වසර 06කටත් වඩා වැඩි කාලයක සිට කන්දකුලිය රජයේ සිංහල විදුහලේ විද්‍යා විෂය සඳහා කිසිදු ගුරුවරයෙකු නොමැත. මේ නිසා අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් පත්ව ඇත්තේ විශාල අසීරුතාවකටය. ගණිත විෂය සඳහාද ගුරුවරියක පැමිණ ඇත්තේ ගිය වසරේදීය. ඒ වසර 06කට පසුවය.
ඉතිහාසය, භූගෝලය, ජීවන නිපුණතා සහ වාණිජ යන විෂයන් සඳහාද සෞන්දර්ය විෂයන් සඳහාද කාලයක සිට මේ දක්වාම ගුරුවරුන් නොමැත. එමෙන්ම තුන්වැනි විෂය කාණ්ඩයට අයත් කෘෂිකර්මය, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන්ටද ගුරුභවතුන් නොමැත. චිත්‍ර විෂය සඳහා තාවකාලිකව ස්වේච්ඡා ගුරුවරයෙකු සිටින අතර, සිසුන්ගේ තේරීම කුමක්වුවත් ඔවුන් සියලුදෙනාටම චිත්‍ර විෂය හැදෑරීමට සිදුව ඇත්තේ සංගීත හා නැටුම් විෂයන් සඳහා ගුරුවරුන් හෝ පහසුකම් නොමැති වීම හේතුවෙනි.
පාසලේ ආරම්භක අවදියේදී ප්‍රදේශය තුළ ඉහළ ස්ථානයක මෙම පාසල තිබී ඇති අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800ක් පමණ එකල මෙහි ඉගෙනුම ලබා ඇතැයි පැවසේ. එම අවදියේ සිටම පාසලේ අංගසම්පූර්ණ විද්‍යාගාරයක් පවතින නමුත් වසර ගණනාවක සිට ගුරුවරයෙකු නොමැතිවීම හේතුවෙන් එය වසා දමා තිබේ. මේ වනවිට එම විද්‍යාගාර ගොඩනැගිල්ල මෙන්ම එහි ඇති උපකරණ සහ රසායනික ද්‍රව්‍ය විනාශයට පත්වෙමින් පවතී.
මෙම ගුරුහිඟය හේතුවෙන් පාසලේ සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන්ගේ සාධන මට්ටම් ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබේ. 2015 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇත්තේ එක් දරුවෙකු පමණක් වන අතර, එම දරුවාද විද්‍යාව විෂය අසමත්ය. 2016 වසරේදී 05 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සමත්ව තිබේ. පළමුවැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබුණද පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම අයදුම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබේ.
මීට වසර 08කට පමණ පෙර මෙම පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකු සිට ඇත. එම කාලයේ ජූඩෝ ක්‍රීඩාවෙන් හා වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්රහණයන් පවා දිනාගැනීමට මෙම පාසලට හැකිව තිබේ. නමුත් එම ගුරුවරයා මාරුවීම් ලබා නික්ම යෑමත් සමග පාසලේ ක්‍රීඩා කටයුතු ක්‍රීඩා ගුරුවරයෙකු නොමැතිකමින් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මේ වනවිට නැවතත් පාසලේ අවුරුදු 15න් පහළ වොලිබෝල් කණ්ඩායමක් නිර්මාණය කර ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදී නැවතත් ක්‍රීඩා ක්ෂේත්රයෙන් පාසල ඉදිරියට ගෙනයෑමට 05 ශ්‍රේණිය භාර මහේෂ් අනුරාධ ගුරුමහතා සහ ගම්වාසීහු කිහිපදෙනෙක් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. වොලිබොල් පුහුණුව සඳහා පාසලට ඇත්තේද පන්දුදෙකක් පමණි. කණ්ඩායමේ සිසුන්ට ඒ සඳහා නිසි ඇඳුමක් හෝ ක්‍රීඩා පාවහන් නොමැති අතර මෑතකදී යම් පිරිසක් විසින් වොලිබෝල් පුහුණුව සඳහා තිබූ දැළද කපාගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ කන්දකුලිය ශාන්ත සෙබස්තියන් රජයේ සිංහල විදුහලේ විදුහල්පතිනි ඒ.එම්.ආර්. වර්ණකුලසූරිය කන්‍යා සොයුරිය,
''මේ පාසල ආරම්භ කරලා දැනට වසර 41ක් පමණ වෙනවා. ඒ වසර 41 තුළ එක්තරා කාලසීමාවක මේ විද්‍යාලය ක්‍රීඩාවෙන් සහ අධ්‍යාපනයෙන් ඉහළ ස්ථානයක සිටියා. නමුත් අද වෙද්දි ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. පහසුකම් අඩුවීමත්, උග්‍ර ගුරුහිඟයත් නිසා දරුවන් පාසල් පැමිණීම බොහෝ අඩුවී තිබෙනවා.
දරුවන් ආසකරන සෞන්දර්ය විෂයන්, ක්‍රීඩා විතරක් නොවෙයි අනිවාර්ය විෂයන් පවා ඉගෙන ගන්න ඔවුන්ට තිබෙන ඉඩකඩ ඇහිරී ගිහින් තිබෙනවා. ඉගෙනීමට දරුවන් සතු දක්ෂතාව සහ උනන්දුව බොහෝ සෙයින් අඩුවෙලා. මේ නිසා ගොඩක් දරුවෝ අධ්‍යාපනය අතරමග නතර කරලා සුපුරුදු ධීවර කර්මාන්තයට යොමුවෙලා තිබෙනවා. සමහර දරුවෝ ඇතැම් දිනවලට පාසල් නෑවිත් දැල් අදින්න යනවා.
ඇත්තටම මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මේ ප්‍රදේශයේ තිබෙන දුෂ්කරතාව නිසාම ගුරුවරුන් මෙහි පැමිණෙන්න මැළිවෙනවා. එක්වරක් කලාප කාර්යාලයේ මැදිහත් වීමෙන් ගුරුවරුන් දෙදෙනෙක් මේ පාසලට පත්කර එව්වා. නමුත් ඔවුන් පාසලට පැමිණීමටත් පෙර මාරුව සකස් කරගත්තා. කලාප අධ්‍යක්ෂකතුමාත් නිරතුරුවම උත්සාහ කරනවා මීට පිළියම් ලබාදෙන්න. නමුත් මේ උග්‍ර ගුරුහිඟය සමස්ත පුත්තලම කලාපයටම බලපා තිබෙන නිසා මීට පිළියම් යෙදීම අසීරුවෙලා තිබෙනවා.
පාසලේ බොහෝ ගොඩනැගිලි, වැසිකිළි වගේම ගුරු මහත්වරුන් දෙදෙනා නැවතී සිටින ගුරුනිවාසය පවා අබලන් තත්ත්වයකයි තිබෙන්නෙ. සතියකට දින 03ක් පමණ දිනය පුරාම විදුලිය විසන්ධි වෙනවා. මේ ප්‍රදේශයේ ගුරු මණ්ඩලයට 17 දෙනෙකුගේවත් අවශ්‍යතාව තිබුණත් අපට දැනට සිටින්නේ මමත් ඇතුළුව 12 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක්. ලබන වසරේදී මේ අතරින් ගුරුවරුන් 05 දෙනෙක් දුෂ්කර සේවා කාලසීමාව අවසන් කරලා ඉවත්ව යන්න නියමිතව සිටිනවා.
ඒ වෙනුවට තවමත් නව ගුරුවරුන් පත්කර එවා නැහැ. මේ අවට සමාජ පසුබිම ගැන කතා කරද්දී අපි දකිනවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්න මේ ප්‍රදේශයේ බහුතරයක් දෙමව්පියන්ට උනන්දුවක් හෝ අවධානයක් නැහැ. ඔවුන්ට මෙහි වටිනාකම වැටහී නැහැ. සමහර දරුවන්ව උදේට නිවෙස්වලට ගිහින් පාසලට කැඳවාගෙන එන්න මට සිදුවෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මේ ප්‍රදේශයේ ඉතාමත් සුලබව සහ තදින් තිබෙන නිසා දරුවන්ට එය අහිතකර බලපෑමක් සිදුකරනවා.
එවැනි දුරාචාරවලට මේ දරුවන් යොමුවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අඩු වයස් විවාහයන් මේ ප්‍රදේශයේ බහුලව සිදුවනවා. පාසලෙන් ඉවත් වූ වහාම ළමයි කරන්නෙ ධීවර කටයුතුවලට යොමුවීම. එතැනින් එහාට ලෝකයක් ඔවුන් දකින්නෙ නැහැ. දරුවන්ගේ මේ ආකල්ප වෙනස් කරන්න ගුරු මණ්ඩලයත් සමග එක්වෙලා මම විශාල වැඩකොටසක් සිදුකරමින් යනවා. සවස් කාලයේ පන්ති පවා පවත්වා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ගේ සාධන මට්ටම් ඉහළ දමන්න මගේ ගුරු මණ්ඩලය විශාල උත්සාහයක් ගන්නවා'' යැයි පවසා සිටියාය.
කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ එන්.එම්.ආර්.ඩී. ප්‍රනාන්දු මහත්මිය,
ඇත්තටම මේ උග්‍ර ගුරු හිඟය කල්පිටිය කොට්ඨාසයේ සියලුම මාධ්‍ය පාසල්වලට තිබෙන ගැටලුවක්. දෙමළ මාධ්‍ය පාසල්වලටත් යම්තාක් දුරකට මේ ගැටලුව තිබෙනවා. සිංහල මාධ්‍ය පාසල්වලට මෙය ප්රබලව බලපාලා තිබෙනවා. මේ ප්‍රදේශයේ ගුරුවරුන් බිහිනොවීමයි මෙහි තිබෙන ගැටලුව. දැනට මේ කොට්ඨාසයේ සිටින ගුරුවරුන්ගෙන් 5%ක් වත් මේ ප්‍රදේශයේ ගුරුවරු නැහැ. පිටින් පැමිණෙන සියලුම ගුරුවරුන් ඔවුන්ගේ දුෂ්කර සේවා කාලය නිමකර යනවා. පුරප්පාඩු පිරවීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. මේ කොට්ඨාසයේ ද්විභාෂා පාසල් සමග සියලුම පාසල් 30 ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ පාසල් 30 තුළ ගුරුභවතුන් 152 කගේ හිඟයක් පවතිනවා.
මේ ප්‍ර‘දේශවල දුෂ්කරතාව නිසා සමහර අය මාරුව වෙනස් කරගෙන යනවා. දැනට අපි විසඳුමක් ලෙස දකින්නේ දුෂ්කර සේවා කාලසීමාව දීර්ඝ කිරීම හෝ මේ ප්‍රදේශවල මේ කොට්ඨාසවල උසස් පෙළ සමතුන් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම මීටත් වඩා වැඩි කිරීම. ඒ පිළිබඳව මේ වනවිට පළාත් අධ්‍යාපන අමාත්‍යතුමාවත් දැනුවත් කර තිබෙනවා'' යැයි පැවසුවාය.
රටේ අනාගතය වන්නේ දරුවන්ය. ඒ දරුවන් රටට වැඩදායී පිරිසක් බවට පත්කරන්නේ අධ්‍යාපනය මගිනි. ප්‍රධාන විෂයන්ට පවා ගුරුවරුන් නොමැතිව සමස්ත පුත්තලම අධ්‍යාපන කලාපයම පීඩාවිඳින විට බලධාරීන් ස්මාර්ට් පන්ති කාමර ඇති කිරීමට යෑම සැබවින්ම විහිළුවකි. එම නිසා මේ අසරණ දරුවන් වෙනුවෙන් ගුරුහිඟය පියවීමට නිසි වැඩපිළිවෙළක් සකසනු ඇතැයි 'අද' අපි අපේක්ෂා කරමු.
ඡායාරූප - සරසි නෙත්මිණ