අද වන විට බැංකු ගිණුමකට වඩා ෆේස්බුක් ගිණුමක් නොමැති අයෙකු සොයා ගැනීම අපහසුව තිබේ. ඒ තරමටම ෆේස්බුක් අප සමාජය තුළ ව්‍යාප්තව ගොස් තිබේ. බැංකු ගිණුමක් අවභාවිතාවකට ලක්වුවහොත් බොහෝ විට ඔබට ඔබේ මුදල් අහිමි වී යා හැකිය. නමුත් ඔබට හිමි ෆේස්බුක් ගිණුම අවභාවිත වුවහොත් ඔබට ඔබේ පෞද්ගලික අනන්‍යතාව හා ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම අහිමි වී යනු ඇත. එය මුදල් මෙන් නැවත උපයාගත නොහැකිය. ඒ අනුව ඔබට අහිමි වනුයේ සුළුපටු දෙයක් නොවේ.
පසුගිය කාලයේ මේ ආකාරයෙන් ෆේස්බුක් හරහා සිය ප්‍රතිරූපය විනාශ කරගත් බොහෝ අය වාර්තා විය. එමෙන්ම වංචාවන්ට ලක්වීම, පවුල් සංස්ථා බිඳවැටීම, ළමා අපයෝජන, මේ ආදී ආන්දෝලනාත්මක සිදුවීම් රැසක්ද ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඇසුරු කරගෙන සමාජයේ දැඩි කතාබහට ලක්විය.
මේ කිසිදු අයුතු ක්‍රියාවකට සමාජ වෙබ් අඩවියට චෝදනා කිරීමට හෝ දොස් නැගීමට නොහැක්කේ මේවා සිදුවන්නේ ෆේස්බුක් සමාගමේ හෝ මාර්ක් සකර්බර්ග්ගේ මැදිහත් වීමෙන් නොවන බැවිනි. එබැවින් මෙවැනි ක්‍රියාවන්ට ඍජුවම වගකිව යුත්තේ ෆේස්බුක් භාවිත කරන අපමය.
මේ අයුරින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන පීඩාකාරී සිදුවීම් වලින් ජනතාවට සිදුවන හානිය, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට සිදුවන හානිය මැඬලීමට නිරතුරුවම කටයුතු කරන ආයතනයක් වන්නේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයයි. (Sri lanka CERT) එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහත්මා 'අද' වෙත සිය අදහස් මෙසේ දැක්වූවා.
'ශ්‍රී ලංකා සර්ව් ආයතනය 2006 වසරේදී පිහිටුවන්නේ රාජ්‍ය ආයතනයන්ගේ වෙබ් අඩවිවල තොරතුරු ආරක්ෂණය අරමුණු කොට ගනිමින්. පසුව මෙරට වාර්තා වීමට ගත් අන්තර්ජාලය ඇසුරු කොටගත් සිද්ධීන්ට ප්‍රතිචාර දැක්වීමට CERT ආයතනය මැදිහත් වුණා. අප ආයතනයට වාර්තාවන සිදුවීම් වලින් බොහොමයක්ම ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඇසුරු කොටගත් සිදුවීම් ලෙසයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ගිණුම හැක්වීම, එසේත් නැතිනම් තමා සම්බන්ධ ඡායාරූප හෝ විඩියෝපට, හඬපට අන්තර්ජාලය වෙත මුදාහැරීමක් වැනි සිදුවීම් ඊට ඇතුළත් වෙනවා.
ආරක්ෂණ ක්‍රමවේදයක් ගැන කතා කරද්දී ෆේස්බුක් ගිණුමක් හදනකොට ශක්තිමත් මුරපදයක් යෙදීම, නැවත ලබාගැනීමේ විකල්ප යෙදීම (recovery Option) වැනි ක්‍රම‘වේද භාවිත කළොත් ගිණුම හැක්වීම වළක්වා ගන්නත්, හැක් කිරීමට ලක්වූ තම ෆේස්බුක් ගිණුම නැවත ලබාගැනීමේ හැකියාවත් පවතිනවා.
බොහෝදෙනෙක් මේ Recovery Option එක ගැන දන්නේ නැහැ. එමගින් ඔබේ මුරපදය අමතක වුණොත් එය ඔබේ විද්‍යුත් ලිපිනයට හෝ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් ලෙස ලබාගත හැකියි. විද්‍යුත් ලිපිනයේ ආරක්ෂාව සඳහාත් මේ ක්රමවේදයන්ම භාවිත කළ හැකියි. මේ වෙද්දී පෙරට වඩා තම ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වැඩිකර ගැනීමේ ක්‍රමවේද ඒ තුළ පවතිනවා.
එමෙන්ම යමෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින් වීඩියෝවක් හෝ ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහැරුණොත් එය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු අප ආයතනය මගින් සිදුකරනවා.
එමෙන්ම තමා භාවිත කරන දුරකථනයට නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්‍රම‘වේදයක් යොදා තිබීම ඉතාමත් වැදගත්. මෙමරි චිපය දුරකථනයෙන් ගලවා තබා එය වෙනත් අයෙක් අතට පත්වුවහොත් එයින් පවා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට හැකියි. ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට දෙනාවා නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යෙන්ම දුරකථනය ප්‍රතිස්ථාපනය කිරීම (Factory Data Reset) සිදුකරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශවයන් අතට පත්වීම වළකාගත හැකියි.
වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදුකරන පුද්ගලයා සිතා බැලිය යුතුයි මෙයින් එහි පෙනී සිටින්නන්ට හෝ තමාට යම් අවැඩක්, අපකීර්තියක් ඇතිවෙයිද කියලා. ද්වේෂ සහගත ලෙස එය කරනවා නම් සිතන්නට අවශ්‍යයයි එය සිදුකිරීමෙන් යමෙකු අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියා. ඒ නිසා මිනිසාගේ යහපත වෙනුවෙන් මේ නිර්මාණය වුණ දේවල් නියමාකාරයෙන් භාවිත කරන්න අපි යහපත් ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.
නදුන් ශ්‍යාමාල්