රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් පිළිබඳ පසුගිය වර්ෂයේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ගැනුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55, 60 සහ 62 ක් ලෙස ඒ ඒ කාලයට මත පළවන්නේ මෙරට වෙසෙන්නන්ගේ ආයු අපේක්ෂාව පිළිබඳවද සැලැකිල්ලට ගනිමිනි. සැබැවින්ම සේවකයෙකුට නැත්නම් මනුෂ්‍යයෙකුට විශ්‍රාම දිවියක් අවශ්‍ය වන්නේ වයස්ගත වීමත් සමග කායිකව මෙන්ම මානසිකවද විවේකයක් ලැබිය යුතු බැවිනි.
ඇතැමුන් විශ්‍රාම යන වයස් සීමාව ඉක්මවා ගිය පසුද හොඳ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයකින් පසුවෙති. එවන් පරිපූර්ණ අත්දැකීම් ඇත්තවුන් සේවයෙන් සමුගෙන විශ්‍රාම ගැනීම මගින්, රටට ලබාගත හැකි පරිණත සේවකයෙකුගේ සේවය අහිමි වී යයි. මෙය අනෙක් අතට බැලීමේදී ඇතැමුන් අවුරුදු පනහ පසුකරන විටම කායිකව මෙන්ම මානසිකවද දුර්වල වී සේවයක් සැලසීමට නොහැකි නමුත් එම රැකියාවේ රැඳී සිටිනු දැකගත හැකියි.
මෙවන් අවස්ථාවක තමාට අන් අයට සේවය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවේ නම් එම සේවාවට, නැත්නම් රැකියාවට සමුදී අලුත් කෙනෙකුට අවස්ථාවය ලබාදීම යෝග්‍ය වෙයි.
මේ තත්ත්වය රාජ්‍ය සේවයට පමණක් නොව අන් සෑම දෙයකටමද පොදු ධර්මතාව යැයි සියලු දෙනා කල්පනා කරයි නම් රටක් වශයෙන් ඉදිරියට යෑමට අපට වැඩි කාලයක් ගත නොවනු ඇත.
නමුත් අවාසනාවකට මෙන් මේ ධර්මතාව රටේ සේවකයන්ට පොදු වුවද රටේ පාලකයන්ට බලපැවැත්වෙන්නේ නැත. ඒ නිසාම ඇවිදගන්නටවත් බැරි, හරිහැටි කතා කරගන්නටවත් නොහැකි පාලකයෝ තවදුරටත් බලයේ රැඳී සිටිති.
මනුෂ්‍යයා උපතින්ම දේශපාලන සත්ත්වයෙකු යැයි දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් පැවසූ බව සැබෑය. නමුත් එම දේශපාලන සත්ත්වයා මැරෙනතුරු බලයේ රැඳී සිටිය යුතු බව ඔහු පැවසුවේ නැත. දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට උගත්බව, අධ්‍යාපනය මෙන්ම වයස් සීමාවද අදාළ නොවීම හේතුවෙන් මුදල් හදල් තිබේ නම් ඕනෑ මෝඩයෙකුට මෙරට තුළ දේශපාලකයෙකු වීමට හැකියාව උදාවී තිබේ.
එක අතකින් මෙවන් පාලකයන් රටට දායාද කිරීමේ පාපයට අත ගසන්නේ රටේ ඡන්දය හිමි ජනතාව වීම කනගාටුවට කරුණකි. නමුත් රටේ ජනතාවගේ ඡන්දයෙන් පැරදෙන අයද තමාට වැඩ බැරි නිසා ඡන්දයෙන් පැරදුණු බව වටහා නොගෙන වෙන වෙන හේතු කාරණා කියමින් දේශපාලනයේ රැඳී සිටීමට උත්සාහ ගනිති. ඇතැමුන් ඡන්දයෙන් පැරදුණු විට ගෙදර ගියේ “මට දැන් දේශපාලනය තිත්ත වෙලා'', “මගේ පවුලේ අයට තියා බල්ලාටවත් දේශපාලනයට එන්න ඉඩ තියන්නේ නැහැ'' යැයි පවසමිනි. නමුත් වසරක් දෙකක් ගතවන විට ඉඩ ඇති තැනකින් මුට්ටිය දමා නැවත දේශපාලනයට පිවිසෙන්නට තරම් ඔවුහු බලලෝභී වෙති.
ඇතැමුන් හැසිරෙන්නේ හැමදාටම මන්ත්‍රී මමයි, හැමදාටම ඇමති මමයි, හැමදාටම අගමැති මමයි හෝ හැමදා ජනාධිපති මමයි යන ස්ථාවරයේ රැඳී සිටිමිනි.ඔවුන් ඡන්දයෙන් පරාජය වුවද පවසන්නේ 'මගේ පරාජය කුමන්ත්‍රණයක්, කොම්පියුටර් ජිල්මාට් එකක්' යනුවෙනි. ඒ තරමටම ඔවුහු යථාර්ථයට මුහුණ දීමට මැලිකමක් දක්වති.
නමුත් ලෝක දේශපාලනය දෙස බැලීමේදී නූතනයේ අපරටේ පවතින මෙම කුහක දේශපාලනයට ප්‍රතිවිරුද්ධ චරිත කිහිපයක් මෑතකාලීනව හමුවිය. ඉන් ආසන්නතම උදාහරණය සැපයුවේ ආමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාය.ඔහු ලෝක බලවතා ලෙස බලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්විඳි අයෙකි. ඒ යැයි කියා හැමදාටම ඇමෙරිකාවේ ජනාධිපති මම යැයි කියා ඔහු ඇමෙරිකානු ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ ගත්තේ නැත.
ඒ වෙනුවට තම ධුරකාලය සම්පූර්ණ වූ පසු මහත්මා අයුරින් දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය. ඇමෙරිකාවේ මෙන්ම රටවල් රැසක නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධතා දැක්වුවද, ට්‍රම්ප්ට ජනතාවිරෝධය මෙතරම් පැවැතියද ඔහු ජනාධිපති වූයේ කුමන්ත්රණයකින් යැයි පවසා ඔබාමා තවදුරටත් ජනාධිපති පුටුවේ රැඳී සිටීමට උත්සාහ කළේ ද නැත. එසේම විශ්‍රාම ගැනීමට ධවල මන්දිරයෙන් පිටතට විත් අතවනා, යළි නිවසට ගොස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු ලෙස හෝ දේශපාලනයට පැමිණ ඇමෙරිකානු ජනතාවට සේවය කරන බව ඔහු පැවසුවේද නැත.
ඔබාමා මෙන්ම පසුගිය වසරේ විශ්‍රම ගත් එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන්ද මෙරට දේශපාලඥයන්ට ආදර්ශයට ගත හැකි තවත් එක් හොඳ දේශපාලන චරිතයකි. තෙරේසා මේ එංගලන්ත අගමැති වූ පසු විශ්‍රාම ගත් කැමරන් විවේක සුවයෙන් සාමාන්‍ය පුරවැසියෙකු මෙන් බස් නැවතුමේ, කඩපිලේ මෙන්ම මුහුදු වෙරළේ සංචාරය කරනු වරින් වර එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
එසේ විනා ඔහු තෙරේසා මේ පාලනය පෙරළන්නට අලුතින් පක්ෂ බිහිකරන ආකාරය හෝ තැන තැන උද්ඝෝෂණ රැලිසංවිධානය කරන ආකාරයක් වාර්තා වූයේ නැත.
කෙසේ නමුත් 'ඇමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ' කියා රටේ ජනතාවට සුනිල් පෙරේරාගේ ගීතය ආවර්ජනය කරමින් සිටීමටසිදුවනු නොඅනුමානය.මන්දයත් අපේ රටේ බලලෝභීන් ගැන ඕනෑ තරම් නිදසුන් අතීතයේ මෙන්ම වර්තමානයේද ඕනෑතරම් හමුවන බැවිනි. ඇතැමුන් රෝද පුටුවෙන්ද, හැරමිටියෙන්ද පාර්ලිමේන්තුවට පැමිණෙනු අපි දැක ඇත්තෙමු. ඇතැමුන් මැතිවරණ පිට පිට පරාජය වී වාර්තා තබමින් අනුන්ගේ පිහිටෙන් යළි බලයට පැමිණෙන අයුරු අපි දැක ඇත්තෙමු
ඇතැමුන් ඡන්දයෙන් පරාජය වී, නමුත් ඩීල් හරහා ලැයිස්තුවෙන් හෝ බලයට එන අයුරු අපි දැක ඇත්තෙමු. විශ්‍රාම ගිය අය පක්ෂ නායකත්වය තම ග්‍රහණයේ රඳවාගන්නා අයුරුද, තමා විශ්‍රාම ගිය තනතුරටත් වඩා පහළ දේශපාලනික ආයතනවලට තරග කරනුද අපි දැක ඇත්තෙමු.
එසේනම් අප රටට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවයට මෙන්, අනෙක් ආයතනවලට මෙන් විශ්‍රාම යායුතු වයසක්, පත්වීම සඳහා නියමිත අධ්‍යාපන මට්ටමක්, පත්විය හැකි වාරගණනක් ලෙස දේශපාලනයටද නීති හෝ රීති රාමුවක් ගෙනඒමය. නමුත් එම නීතිරීති සකසන්නේද බල ලෝභයෙන් මත්වූ දේශපාලඥයන් වීමෙන් එවැනි තත්ත්වයක් උදාවේ යැයි අපේක්ෂා කිරීමද ඇතැම්විට හාස්‍යයට කරුණක්ම වේ.