"මයෙ රං පුතා කවදා හරි රටේ ගමේ නමගිය රටේ මහත්තයෙක් වෙනවා"
ඒ වන විට රත්නසිරි බණ්ඩාර දරුවා පාසලේ දෙවන පංතියේ ඉගෙනුම ලබමින් සිටියේය. එක් දිනක් පාසල් යන්නට පිටත් වී සිය පියාණන් වූ රංහාමිගේ දෙපා වඳිද්දී අප්පච්චී මට මේ විදියට ආශිර්වාද කළා. මෙය 'ඉටුදෙවි' ආශිර්වාදයක් වගේ මගේ ජීවිතේ වැලඳ ගත්තා. රත්නසිරි බණ්ඩාර තරුණයා සිය පියාණන් සිහිපත් කරමින් ජීවිත කතාවට මුල පිරීය.
"අපේ පවුල පරම්පරානුගත ගොවි පවුලක්. හේනේ... වෙලේ ... පැලේ.... පිටියේ තමයි අපේ ජීවිතය. අප්පච්චි හොඳ ගොවියෙක්. අප්පච්චිගේ අඩිපාරේ ගිය මමත් හොඳ ගොවියෙක් වුණා. හිත ඇත්නම් පත කුඩා නෙමෙයිනේ. දෙපය හිල් වී යනතුරු හේනේ කටු ඇනගෙන... අතේ කරගැට එනතුරු වෙලේ උදළු හරඹේ කරගෙන ජීවිතය පියමං කරලා තමයි මම අද මෙතනට ආවේ“
මෙහෙම කතාව පටන් ගත්තේ අනුරපුර දිසාවේ වසරකට එක්වරක් පමණක්, එක් පුද්ගලයෙකු පමණක් ලබන මහා පරිමාණ කර්මාන්තකරු ලෙස 2016 වසරේ රන් සම්මානය දිනාගත් කලංකුට්ටිගේ මහවැවට යාබද මහගෙදර රත්නසිරි බණ්ඩාර විජයකෝන් ව්‍යාපාරිකයාය.
"අප්පච්චිගේත්, අම්මාගේත් දෝරෙ ගලන ආදරයට මැදිවෙලා මම කලංකුට්ටිය ඉස්කෝලෙට ගියා. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වුණා. මයෙ අප්පච්චිට ඕන කළේ මම ගමගෙදර ඉඩකඩම් ටික රැක බලාගෙන පවුලට, පරිසරයට හිතකර නම්බුකාර ගොවියෙකු වෙනවා දකින්නයි. කන්තෝරුවල ලැගලා අනුන් යටතේ කුලී කුරක්කමට යන්න නෙමෙයි. ස්වෝත්සාහයෙන් නම්බුකාර ගොවියෙකු වෙනවා දකින්නයි අප්පච්චි ආස කළේ"
"පුතේ අපට සරුසාර මහ පොළොවක්, ඇති තරමට වෑ දිය දෙයියො දීලා තියෙනවා. මව්පියන් අතපය නොකඩා පෞරුෂයක් දීලා තියෙනවා. කළ හුරෙන් පෙරහුරෙන් වැඩ කළාම මේ මහපොළොවේ සල්ලි ඕනතරම්. හේනට, වෙලට,පැලට පලයන් පුතේ' අප්පච්චි මට මෙහෙම උපදෙස් දුන්නා. අප්පච්චිගේ ප්‍රාර්ථනාව ඔස්සේ යමින් පාසල් ජීවිතයෙන් පස්සෙ මම ගොවිපළක් පටන් ගත්තා. අතේ කරගැට ඉවරයක් නෑ. දහඩිය දමාගෙන ගිනි අව්වේ වැඩ කළා. මහන්සියේ ප්‍රතිඵල සල්ලිවලින් ටික ටික එන්න පටන් ගත්තා.
සල්ලි දෙවියන්ගේ මල්ලි කීවනේ. අප්පච්චිගේ හයියත් එක්ක ගොවිපළ හරහා ඉදිරියට යමින් සල්ලි ටිකක් එකතු වුණාම කොන්ත්‍රාත් ක්ෂේත්රයට බැහැලා ප්‍රදේශයේ පුංචි පුංචි කොන්ත්‍රාත් ගත්තා. මේ වැඩවලදී කොන්ත්‍රාත් ක්ෂේත්රයේ මුල, අග ඉගෙන ගත්තා විතරක් නෙමෙයි පරිස්සමින් මුදල් පරිහරණය කරන්නත් ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. විශේෂයෙන් මගේ මාමණ්ඩි (බිරිඳගේ පියා) එප්පාවල කිරි මහත්තයා කොන්ත්‍රාත් ක්ෂේත්‍ර ශිල්පයේ කෙළවරට ගිය කප්පිත්තෙක්. කොන්ත්‍රාත් ශිල්පයේ හතර මායිම ගුරු මුෂ්ටියක් ඉතිරි නොකරගෙන මාමණ්ඩි මට කියලා දුන්නා. ඒ ඉසව්ව ඔස්සේ මම කොන්ත්‍රාත් ක්ෂේත්රයේ ඉදිරියට ගියා.
මට වයස අවුරුදු විසිපහ පිරෙද්දී මයෙ රත්තරං අප්පච්චි අභාවප්‍රාප්ත වුණා. ඒ වසර 2000දී. ඒ වන විට මගේ තරුණ වයස. වයස 25යි. ඒ දවස් වන විටත් මම විවාහ වෙලා. මගේ බිරිඳ දිලානි ස්වර්ණාකාන්ති. විවාහයෙන් මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දිලානි ස්වර්ණාකාන්ති කියන්නේ එප්පාවල කාන්ති කන්ස්ට්‍රක්ෂන් හිමි කිරි මහත්තයාගේ දුව. මයෙ අප්පච්චි නැති වුණායින් පස්සෙ මගෙ හෙවනට හිටියේ මාමණ්ඩි. කොන්ත්‍රාත් ලෝකය තුළ මාමණ්ඩිගේ අඩිපාර දිගේ මම ඉදිරියට ගියා. මයෙ අප්පච්චි රංහාමි විජේකෝන් නැති වුණායින් පස්සෙ ඒ පාළුව මැකී ගියේ මාමණ්ඩිගෙන්.
මයෙ අම්මා ඩිංගිරි මැණිකා 2015 දී අප හැර ගියා. අම්මයි, අප්පච්චියි දෙන්නම නැතිව තරුණ වයසේ ඉඳගෙන මම ව්‍යාපාර තුළ ගමන් කළා. මේ වන විට මගේ වයස අවුරුදු 41යි. අම්මයි, අප්පච්චියි නැතිව පාළුයි. මගේ මාමණ්ඩිගේ අඩිපාර දිගේ ගමන් කිරීම නිසා මේ වන විට අනුරපුර දිසාවේ මහා කොන්ත්රාත්කාරයෙක් බවට පත්ව සිටිනවා. කොන්ත්‍රාත් ක්ෂේත්රයේ මට විශේෂයක් නෑ. මහාමාර්ග, වාරිමාර්ග, වැව්අමුණු, ගොඩනැගිලි මේ හැමදෙයක්ම මම කරනවා. කොන්ත්‍රාත් සීමා මායිම් වැටකඩොළු බිඳගෙන ඉදිරියට යන්න මට හැකි වීම නිසා 2016 වසරේ අනුරපුර දිසාවේ හොඳම ව්‍යාපාරිකයා හැටියට, අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය මගින් මහා කර්මාන්තකරුට පිරිනැමෙන රන් සම්මානය මට ලබාදුන්නා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලංකුට්ටිය වැනි ගම්බද පෙදෙසක සිට කොන්ත්‍රාත් ලෝකයේ අනුරපුර දිසාව ජයගන්නට හැකිවීම ගැන මගේ පවුලේ අයටත් වඩා ගමේ මංගලාරාම පන්සලේ හාමුදුරුවන්ට, ගමේ අයට හරිම සතුටුයි. උදව්වක් උපකාරයක් අවශ්‍ය වූ තැන ඒ ගැන හොයලා බලලා ගමේ අහළ පහළ කොයි කාටත් උදව් උපකාර කිරීම මගේ ජීවිතයේ පුරුද්දක්. අනුරපුර දිසාවේ රන් සම්මානය මට ලැබුණාය කියන ආරංචිය ගමට ලැබීමත් සමග ගමේ අය මාව වටකර ගත්තා. කලංකුට්ටිය මහවැව් අසබඩ මහපාරේ දැවැන්ත තොරණක් බැඳලා මාව පිළිඅරගෙන පෙරහරින් කැඳවාගෙන ගොස් පසුගියදා උත්සවයක් පවත්වලා ගමේ අය මට ගරුබුහුමන් කළා. ඒක තමයි ගමේ ගතිය. අපේකම"
රස්සාවල් හොය හොයා අතන මෙතන දුව ඇවිදින්නේ නැතිව ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය හරහා ස්වයං අධිෂ්ඨානයෙන් ජීවිතය ගොඩනගා ගැනීමට පෙරුම් පුරන යොවුන් පරපුරට කලංකුට්ටියේ රත්නසිරි බණ්ඩාර විජේකෝන් පූර්වාදර්ශයකි. 41 වෙනි වියේ පසුවන ඔහුගේ ගමනාන්තය කොතැනදැයි කියන්නට බැරි තරම්ය. නමුත් ඔහුගේ ගමේකමත් මිනිසත්කමත් මාපිය ආශිර්වාදය හරහා ඔහුගේ ජීවිතය කෙරෙන් නිතරම උතුරා යයි. රත්නසිරි බණ්ඩාර විජේකෝන් නම් වූ රන්සම්මානය දිනූ මේ තරුණ ව්‍යාපාරිකයාට 'අද' අපෙන් සුබපැතුම්.
එප්පාවල රත්න බී ඒකනායක