මත්රකුසා පරදා දිවිටැඹ ජයගත් පිලිප් නේරි
බොහෝ පුද්ගලයන්ගේ ජීවිත ජයග්‍රහණ පසුපස දියුණු වන්නෙකුට කියවිය යුතු අතීතාවර්ජනයක් පැවතීම සාමාන්‍ය දෙයකි. නමුත් මේ එම කතාවලින් සුවීශේෂී වූවකි. 41 හැවිරිදි පිලිප් නේරි මුල්ලේගම අද වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහතික ලබාගත් උපදේශකවරයෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. පෞරුෂ සංවර්ධන පුහුණුකරුවෙකි. ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාර ගණනාවක උපදේශකවරයෙකි. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ රටට සේවය කරන පුද්ගලයෙකි. අද මෙවන් තත්ත්වයක සිටියද වයස අවුරුදු 16 සිට අවුරුදු 24 වන තෙක් ඔහු හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී පාරේ සිඟමන් යදිමින් සිටියෙකි. 9mm පිස්තෝලයක් අතැතිව සිටි ඔහු එකල අංක එකේ පාතාල කණ්ඩාමක ඇසුරට ලක්ව සිටියේය.
"ජීවත් වෙන්න පුළුවන්ද කියන දෙය තමයි මගේ ජීවිතේට ආව ලොකුම අභියෝගය. මම ජීවිතේ පටන් ගන්නකොට ඩෙනිමට බෙල්ට් එකක් තිබුණෙත් නෑ"
එදා ලණු කැරැල්ලකින් ඩෙනිම රඳවාගත් පිලිප් අද වනවිට මිලියන සියයක පමණ වටිනාකමක් සහිත නිවසක ජීවත්වන ව්‍යාපාර ගණනාවකට හිමිකම් කියන සහ තවත් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන දෙදරු පියෙකි.එක් සුවිශේෂී වෘත්තියක විශේෂඥයෙකු ලෙස හැඳින්වීමක් කළ නොහැකි පිලිප් නේරි මුල්ලේගම, ඔහු ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අප සමග මෙසේ පැවසීය.
"මේ රටේ විනාශවෙලා ඉන්න තරුණ තරුණියන් ඒ ජීවිතයෙන් මුදවාගත හැකි ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස නායකත්වයක් දිය හැකි සුදුස්සෙකු ලෙස සමාජය මාව පිළිගෙන තිබෙනවා. එතනින් එහා මට ජයග්‍රහණයක් නෑ. ඒ ජයග්රහණයෙන් ලැබෙන ප්‍රීතිය අද මේ හම්බ කරන මුදල්වලින් ලබාගන්න බෑ. මගේ රටේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් යමක් කළ හැකි චරිතයක් බවට පත්විය හැකි වීම මගේ දෙවැනි ජයග්‍රහණයි"
අධ්‍යාපන ක්ෂේත්රය තුළ මෙන්ම තම වෘත්තීය ජීවිතයේ ලබාගත් ජයග්‍රහණ පිළිබඳවද ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"අඩුම වයසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලබාගත් ප්‍රථමයා බවට පත්වුණා. සී.අයි.එම් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු විභාගයක්. ලංකාවේ දෙවතාවක් පළමුවැනියා වීම තුළින් ලොකු පිළිගැනීමක් ලැබුණා. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහතික ලබාගත් උපදේශකවරයෙක්, ව්‍යාපාර කිහිපයක් අද වනවිට ඉතා දියුණු මට්ටමකට ගෙනත් තිබෙනවා. එසේම ජාතික සම්මාන කිහිපයකින් පිදුම් ලබලා තිබෙනවා. මේ වගේ බොහෝමයක් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා."
"විශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙක් වශයෙන්, විශ්වාසවන්ත වගකීම් ඉටුකරන පියෙක් වශයෙන් ජීවත්වෙන්න ලැබීමත් මම ලබාගත්ත ජයග්‍රහණයක්"
පාප මිත්‍ර සේවනය තරුණ වයසේ පුද්ගලයෙකුගේ ජීවිතයට දැඩි ලෙස බලාපාන බව පැවසු පිලිප්, වර්තමාන දෙමවුපියන්ට මෙවැනි උපදේශයක් ලබාදුන්නේය.
"කෙනෙකු ආශ්‍රය කරන මිතුරන් නිසා වැරදි මගකට යොමු වෙනවා. විශාල වශයෙන් දෙමවුපියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන් ඇසුරු කරන ලබන පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න. ලොකුවට සල්ලි තිබුණත්, එවැනි පුද්ගලයන් සමග තම දරුවා යවන්න උත්සහ කරන එක නෙමේ යුතුකම. සමහරු හිතනවා එයාලා ලොකු පවුල්වල අය, එයාලා ආශ්‍රය කළොත් හොඳයි කියලා. නමුත් මම ආශ්‍රය කලේ ගොඩක් ලොකු පවුල්වල අය"
නරක මිතුරන් ආශ්‍රය නිසා සිය ජීවිතට අත්වූ අඳුරු ඉරණම ඔහු මෙසේ පැවසීය.
"මම ආශ්‍රය කළේ ගොඩක් ලොකු පවුල්වල අය. වයස අවුරුදු 17 දී 9MM පිස්තෝලයක් මගේ අතේ තිබුණා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ආසන්නම කාලයේ තමයි මත්ද්‍රව්‍යවලට යොමුවුණේ. එතන ඉඳලා උසස් පෙළ දක්වා මත්ද්‍රව්‍ය නිසා මගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මොකද මම අධ්‍යාපනයට වඩා වැඩි කාලයක් යොමුකළේ මත්ද්‍රව්‍යවලට. මේ දේවල් කරගෙන යනකොට මට අධ්‍යාපනයේ වටිනාකම දැනුණේ නෑ. මම උසස්පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ලියන්න ගියෙත් මත්ද්‍රව්‍යවලින් හොඳටම මත්වෙලා.
මත්ද්‍රව්‍ය භාවිතය නිසා ලාදුරු රෝගියෙක් වගේ සමාජය මාව ප්‍රතික්ෂේප කළා. සමහර මිනිස්සු මම එනකොට තුඃ ගාලා කෙළ ගැහැව්වා. මගේම නෑයෝ පවා මාව ඈත්කරලා තිබුණේ. ඒ වගේ සමාජ වටපිටාවක් එක්ක මගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පපල් වෙලා තිබුණේ."
තුන් වතාවක්ම ජීවිතය විනාශ කර ගැනීමට උත්සාහ කළ පිලිප් නැවත ජීවිතය අලුතෙන් ආරම්භ කරන්නට තීරණය කළේ තම ආගමට අනූව ආශීර්වාද ලබා ගනිමිනි.
"මගේ අතට පොඩි වුණු රුපියල් 20.00 කොළයක් දුන්නේ මගේ තාත්තා. තාත්තා මට ආයෙත් ඉගෙන ගන්න අත දුන්නා. ඒ වගේම ඇත්තටම මගේ බිරිඳ ඒ කාලේ මගේ පෙම්වතිය මුළු ජීවිත කතාවම දැනගෙන හිටියා. එයා ඒ කාලේ ඉගෙන ගන්නවා. එයත් මට ඉතා සුළු මුදලක් දුන්නා ජීවත් වෙන්න.
ඒවගේම මගේ නැන්දා මම වෙනුවෙන් දැඩි කැපවීමක් කළා. ඒ වගේම tourism board එකේ කළමනාකරු රොහාන්ත අතුකෝරාළ මහතාත් මගේ දක්ෂතා දැකලා මට පෞද්ගලික පාසලක උගන්වන්න අවස්ථාවක් ලබාදුන්නා. මම ගුරු වෘත්තියෙන් ඉතාමත් ඉහළ තැනකට ආවා. මගේ ශිෂ්‍යයන් බොහොමයක් විභාග හොඳින් පාස්වෙන්න ගත්තා. ඊට අමතරව රටේ සුප්‍රසිද්ධ සමාගමක හිමිකරුවෙක් වන සමන් කුමාරසිංහ මහතාත් ජීවිතය ජයගන්න මට අතදුන්න කෙනෙක්"
"අම්මා තාත්තට කීකරු වෙන්න. සරල දේවල් අතපසු කරගන්න එපා. අවුරුදු 14 ඉද්දි අවුරුදු 20 එක්කෙනා කරන්න හදපු දේ කරන්න හදන්න එපා. අද සමාජයේ තරුණයන් එදා අපි හිතුවට වඩා බුද්ධිමත්ව හිතනවා. ජීවිතයේ වටිනාකම් මොනවාද කියලා තෝරාගන්න සිදුවෙනවා. අවුරුදු 15 ඉඳලා සමහර දේවල් ඔස්සේ වටිනාකම් වෙනස් වෙනවා. තරුණයො වටිනවා යැයි හිතන සමහර දේවල් වටින්නේ නෑ. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලාගේ ලොකු යුතුකමක් තියෙනවා වටිනාකම් කියන දෙය දරුවාට කියලා දෙන එක. දොස්තර කෙනෙක් වුවත් වැඩක් නෑ වටිනාකම් නොදැන සිටීම. දරුවන්ට වටිනාකම ඉගැන්වීම දෙමවුපියන්ගේ යුතුකමයි"
කිසිදු දෙයකට ඔබගේ ජයග්‍රහණය වළක්වාලිය නොහැකිය. අවශ්‍ය වන්නේ නොපසුබට වීර්යය පමණි. පිලිප් නේරි මුල්ලේගම අපට පැවසුවේ එයයි. මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසිදු දෙයකට ඇබ්බැහි වීමකින් ජීවිතය විනාශ කරගත් සිය සමීපතමයෙකු ඉන් මුදවා ජයග්‍රහණය දෙසට යොමුකරවන්නට පිලිප් නේරි මුල්ලේගමගේ මේ කතාව එක් අයෙකු හෝ ආදර්ශයට ගන්නේ නම් අපේ වෑයම එතැන්හිම සාර්ථක වනු නොඅනුමානය.
නිරාශා රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






