සම්මානනීය ළමා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය අමිතා රබ්බිඩිගලය. වර්තමානයේ ළමයින් උදෙසා නිර්මාණය වන ළමා නාට්‍ය සම්බන්ධයෙන් ඇය තුළ ඇත්තේ සාධනීය අදහසක් නොවේ. ඒ පිළිබඳ කතා කිරීමට ඇය අප සමග එක්වූයේ මෙලෙසිනි.
කාලයක් ළමා නාට්‍ය එක්ක කටයුතු කළ ඔබ මේ මොහොත වන විට පවතින ළමා නාට්‍ය කලාව ගැන දකින්නේ කොහොමද
මට හිතෙන්නේ මේක ළමා නාට්‍ය කලාවේ සංක්‍රාන්ති සමයක් කියලා. ළමා නාට්‍ය කලාවේ ප්‍රමාණාත්මක වර්ධනයක් දකින්න තිබෙනවා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලත් නොකඩවා පැවැත්වෙනවා. එයට සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් වියදම් දිරිගැන්වීම් වැඩිකර තිබෙනවා. එහෙම සිදුවුණත් නිර්මාණ දෙස බලද්දී නොසීහෙන ගතියක් දකින්න තිබෙනවා. සම්‍යය නොවන බවක් දකින්න ලැබෙනවා. ඉන් අපේක්ෂිත අරමුණු ගිලිහෙනවා. ඒ ගැන විවෘත කතිකාවතක් නැතිකම ළමා නාට්‍යකරුවන්ට තිබෙනවා. ළමා නාට්‍ය කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් නාට්‍යයකරුවන් තුළ අධ්‍යයනයක් නැහැ කියලා දැනෙනවා.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ නාට්‍යයවලටත් මේ කාරණාව අදාළද
ඔව්. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය ගැන තමයි කතා කරන්නේ. අවසන් වටයට ළමා නාට්‍ය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍යවලින් ගන්නවා. මම මේ කතා කරන්නේ සිංහල ළමා නාට්‍යය සම්බන්ධයෙන්. අවසන් වටයට පැමිණෙන්නේ නැති නාට්‍ය ළමයින්ට බලන්න ලැබෙන අවස්ථාවන් අඩුයි. එවැනි නාට්‍යය සමාජගත වෙන්නේ අඩුවෙන්. ඒ නිසා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය සැමටම විවෘතයි. එහිදී තෝරා පත් කර ගන්නා නාට්‍යවලට මේ කාරණය අදාළයි.
නිර්මාණකරුවෙක් ලෙස ඔවුන්ගේ අභිමතය පරිදි නිර්මාණයක් කිරීමේ අයිතියක් තිබෙනවා නේද
එහෙම කියන්න පුළුවන්. නමුත් මම හිතන්නේ දිගු නාට්‍යකරුවන්ට තරම් පුළුල් නිදහසක් ළමා නාට්‍යකරුවන්ට නැහැ කියලා. මේක විවාදාත්මක වෙන්න පුළුවන්.ළමා නාට්‍යකරුවා සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව ළමයා උදෙසා නිර්මාණ කරන නිසා මේ නාට්‍ය ළමයා උදෙසාම විය යුතුයි. නමුත් අනෙකුත් නාට්‍ය වල එහෙම විෂය සීමාවක් නෑ. ඒ නිසා ඒ තුළ ලෝකේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම විදිහකට නිර්මාණ කරන්න පුළුවන්. ළමා නාට්‍ය කියන කැටගරි එක ළමයා උදෙසාම නිර්මාණ කරන නිසා සීමාවකට කොටුවෙනවා. ඒ අනුව නාට්‍යයේ අන්තර්ගතයත් සීමා වෙනවා. කුමන දේශයකට කුමන සංස්කෘතියකට අයත් වුණත් ළමයා කියන්නේ ළමයෙක්ම තමයි. විශ්වීය වශයෙන් සාම්‍යය ලක්ෂණ දක්වන්නා සේම, භෞමික වශයෙන් ඔහු වෙනස්කම් දක්වනවා. එහිදී රුචි, අරුචිකම් දැක්ම වෙනස් වෙනවා. ළමා නාට්‍ය නිර්මාණකරුවන් භෞමික උරුමකම නිසා ළමයා වෙනස් කර ගන්නා සංස්කෘතික ලක්ෂණ ගැන සිතිය යුතුයි. අද ළමා නාට්‍යකරුවන් සමග සාකච්ඡා කරන කොට හිතෙන දෙයක් තමයි නාට්‍ය වේදිකාගත කරද්දී ළමයින් එය රස විඳිනවා නම් එය ළමා නාට්‍යයක් කියලා හිතන මට්ටමක් ඇවිත් තිබෙනවා කියන එක. එහෙත් ඕනෑම නාට්‍යක් ළමා නාට්‍යක් කියලා හිතන්න බෑ. ළමා නාට්‍ය හරහා ළමා ලෝකය තුළ විස්මිත පෙරළි ඇති කරගත හැකියි. එහෙත් දැන් එය වෙනවද කියලා හිතන්න වෙනවා.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලින් තේරී පත්වන නාට්‍ය සමාජගත කිරීම සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයටත් වගකීමක් තිබෙනවා නේද
ඔව්. විනිශ්චය මණ්ඩලවල සාම්‍යය බවක් නැතුව, විනිශ්චය මණ්ඩලවල කතිකාවක් නැතුව නාට්‍ය නැරඹීමෙන් පමණක් මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. ඔවුන්ට ළමා නාට්‍යය පිළිබඳ දැක්මක් තිබිය යුතුයි. ඔවුන් තුළ ළමා නාට්‍යකරුවාට වඩා ඉදිරියෙන් යන දැක්මක් තියෙන්න ඕන. අපේ රටේ ළමා නාට්‍ය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි විනිශ්චයකරුවන් සම්බන්ධයෙනුත් මේ අර්බුදය තිබෙනවා. මේ අවුරුදු විසි එකක කාලය පුරාවටම ළමා නාට්‍ය උළෙල පැවැත් වුණා. ඒ කාලය තුළ ළමා නාට්‍ය ගණනාවක් සමාජගත වුණා. ලංකාවේ ළමා නාට්‍ය උළෙලේ සාමාජිකයෝ ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන නාට්‍ය නරඹන පුරුද්දක් තිබිය යුතුයි. අපි තුළ කොතරම් ප්රමිතීන් තිබුණත්, අපි ළමා නාට්‍ය කලාව හදාරා තිබුණත් ලංකාවේ ළමා නාට්‍යකරුවා ඉන්න තැන ගැන පූර්ව දැනුම විනිශ්චයකරුවාට තිබිය යුතුයි කියලා මම හිතනවා. ළමා නාට්‍ය විනිශ්චයකරුවෙක් වෙන්න ඕනම නාට්යයකරුවෙකුට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ළමා නාට්‍ය තුළින් ළමයා ගැන දැක්මක් ඇති කරන්න පුළුවන්. නමුත් වසර තුන හතරක සිට ළමා නාට්‍ය කලාවේ වෙනසක් සිදුවීගෙන යනවා.
කාලයට සාපේක්ෂව ළමයාගේ සමාජමය පරිසරයත් වෙනස් වෙනවා නේද ? ඒ වෙනස්වීම් එක්ක නිර්මාණකරණය වෙනවා නම්
ඒක හරි. සමාජය ස්ථතික නෑ. ගතිකයි. ඒ ගතික සමාජයට ඔරොත්තු දෙන ලෙස තමයි නාට්‍ය කලාව හසුරවන්න ඕන. ඒ ගැන විවාදයක් නෑ. එහෙම කියලා ලෝකේ තිබෙන ඇඟ රිදවන, ළමයා අමු අමුවේ හිනස්සවන නාට්‍යය තුළින් ඇති ඵලක් වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකාගාරයෙන් එළියට යන ළමයා හිස් ළමයෙක් නම් ළමා නාට්‍ය කලාවේ අරමුණු ඉටුවුණා කියලා මම හිතන්නේ නැහැ. මෙහෙම කියද්දී කෙනෙක් කියයි ඒක සම්ප්රදායවාදී කියලා. මම සම්ප්රදායවාදී නෑ. මම හැමවිටම නිර්මාණකරණය කරන්නේ, එහිදී ජීවත්වෙන්නේ ගතික ළමයෙක් එක්ක. නාට්‍යයක තිබෙන විශ්වීය, මානවීය ගුණය හැමදාටම වලංගුයි. අලුත් විලාසිතාවක් ලෙස තාක්ෂණය පැමිණෙන බව මම දකිනවා. තාක්ෂණික ලක්ෂණ මානවීය බව ඉස්මතුකර පැමිණෙන බවක් පෙනෙනවා. රංගන ශක්තිය හා ළමා නාට්‍ය අරමුණු පසෙකළා කටයුතු වෙනවා කියලා මට හිතෙනවා. මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදීත් ඒ බව අපි දැක්කා.
මේ කාරණය ගැන කතා කරන්න ඔබට තිබෙන අයිතිය ගැන කෙනෙක් ඇහුවොත්
මම ඉතාම හොඳ ප්‍රේක්ෂකයෙක්. ළමා නාට්‍යය උළෙල විධිමත් ලෙස ආරම්භ කළේ 1995දී. 1996දී තමයි රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ආරම්භ කළේ. එතැන් සිට නිර්මාණ ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථාන, දෙවන ස්ථාන, තෙවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ළමා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ අත්දැකීම් තිබෙනවා. නාට්‍ය අනුමණ්ඩලය තුළත් තුන්වරක් කටයුතු කළා. අවුරුදු හතළිහක් ගුරුවරයෙක් ලෙස ළමයින් සමග කටයුතු කළා. මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා උපදේශිකාවක් ලෙස සංස්කෘතික කේන්ද්‍රය තුළ වැඩ කරනවා. ළමයින් සමග වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනවා. ළමයින් සඳහාම පුවත්පත් ලිපි වගේම , ළමා ග්රන්ථ රැසක් රචනා කර තිබෙනවා. මේ රටේ ගාමක බලය තිබෙන්නේ දරුවන්ට. ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නවලින් අපි විනාශ වෙනවා. ඒ නිසා කලාව තුළින් අනෙකාගේ අයිතිය පිළිගත හැකි මානසිකත්වයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතුයි.