හෝ ගානා පොකුණ ලොකු පරාසයක් ඇතුළේ රස විඳිය හැකි සිනමා කෘතියක්
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන හෝ ගානා පොකුණ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වෙමින් පවතී. මෙම සිනමා පටය නිෂ්පාදනය සඳහා කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර ප්රමුඛ නෙක්ස්ට් ෆ්‍රේම් ස්ටුඩියෝ නිෂ්පාදක කණ්ඩායම හා සුනිල් ටී. ප්‍රනාන්දු සම නිෂ්පාදනයෙන් දායක වී තිබේ. මේ එහි නිෂ්පාදකයන් වන කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර සමග කළ සංවාදයකි.
Q පළමු සිනමා නිෂ්පාදනය ලෙස මෙවැනි සිනමා නිර්මාණයකට දායත වෙන්න අදහස් කළේ ඇයි?
කුසුම්සිරි - මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉන්දික ෆර්ඩිනැන්ඩු. ඉන්දිකත් එක්ක විශ්වවිද්‍යාල කාලෙ ඉඳලම නාට්‍ය කලාව ඇසුරෙන් කලාවත් එක්ක සම්බන්ධයක් තිබෙනවා.ඒ ඇසුර සහ අපේ අභ්‍යාසය හරහා එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයක් සහ දක්ෂතා ගැන විශේෂිත අවබෝධයක් තිබුණා. 2012 අගභාගයේදී ඉන්දික උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවට ඇවිත් මුල් කාලයේ නැවතිලා හිටියේ අපේ ගෙදර. ඒ එන දවස වෙනකොට ඉන්දිකගෙ අතේ හෝ ගානා පොකුණ කියන මුල් පිටපත තිබුණ. ඔහුට වෙන නිෂ්පාදකවරයෙකුත් ඒ වෙනකොට හිටියා.
නමුත් අවාසනාවකට වගේ එයා නිෂ්පාදනය අතහැරියා. ඒ වෙනකොට අපි දෙන්නා ලොකු සාකච්ඡාවක් කරගෙන හිටියා මේ චිත්‍රපටයට යා හැකි දුර කුමක්ද යන්න පිළිබඳව. මොකද අපට එය පෙනුණා. අපි මුදල් අතිරික්තයක් තියාගෙන චිත්‍රපට නිෂ්පාදකවරුන් වීමට අදහස් කරගෙන ඉන්න අය නෙවෙයි. අපේ මුදල් අතිරික්තයක් තිබුණා නම් එය තියාගෙන හිටියේ ලංකාවට ඇවිත් නාට්‍යයක් කරන්න. හෝ ගානා පොකුණ ගිලිහී යාම අපට දරන්න බැරිවුණා. මොකද අපි ගොඩක් විශ්වාස කළා ළමයින්ට වගේම ලංකාවෙ සිනමාවට එය හොඳ කෘතියක් වෙනවාය යන්න. ඒ මොහොතේ මමත් යශෝධරාත් මුල්වෙලා අපේ මිත්‍ර සමාගමකට කතාකරලා මෙහි නිෂ්පාදන කටයුතුවලට අපි දෙදෙනාගේ මූලිකත්වයෙන් පිරිසක් එකතු කරගත්තා. මෙය ඉන්දිකගෙත් පළමු කටයුත්ත. අපෙත් පළමු කටයුත්ත. නොයෙකුත් වැරදීම් ඔස්සේ අපි ලොකු දුරක් ආවා. මෙය අපේ පළමු කටයුත්ත නිසා බොහෝ බාධක රැසකට මුහුණ පෑවා. මුදල්වලින් බොහෝ පාඩු ලැබුවා. ඒ සියල්ල අතරේ පියවර තැබූ අපේ පරමාර්ථ දෙකක් තිබුණා.
ඉන් එකක් තමයි ලංකාවෙ සිනමාවට වගේම අපි දෙන්නාගෙ කලා අභ්‍යාසය ඇතුළෙ තිබුණේ පවුල ඇතුළේ නිර්මාණ රසවිඳීම කියන කාරණය. මෙය හොඳ අවස්ථාවක්.එය අත නොහැරිය යුතුය යන අපේක්ෂාවත් සමග කොහොමහරි ඉෂ්ට කළා. දෙවැනි කාරණාව තමයි ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන නිර්මාණකරුවා ලංකාවෙ සිනමාවට දායාදයක් කියා මම විශ්වාස කරනවා. ඉන්දිකගේ සිනමා ආගමනයට දොරගුළු විවරකිරීමක් උදාකරගත යුතු වුණා.
ඉහත කරුණු කාරණා ඔස්සේ දිගටම අපි මේ ගමන අද දක්වා ආවා. මේ ආ ගමනෙදි අමතක නොකළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. අපි සිනමාවට ආධුනිකයො. අපි එක තැනකදි සෑහෙන හෙම්බත් වුණා. ඊළඟ තැනකට අඩිය තියන්න අපහසු තැනක් උදාවුණා. ඒ මොහොතේ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සම නිෂ්පාදකවරයෙකු විදියට අපි අතරට ඇවිත් අපිව ධෛර්යවත් කරමින් ඉදිරි ගමනක් යන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.
Q ලොකු හෙම්බත් වීමක් යනුවෙන් අදහස් කළේ මෙය ප්‍රදර්ශනය කරගන්න අපහසුවීම කියන සාධ්යකයද?
කුසුම්සිරි - ප්‍රදර්ශනය කරගන්න බැරුව හිරවෙනවට ඉස්සෙල්ල අපි හිරවුණා. මෙය අපේ පළමුවෙනි වැඩේ වගේම ඉන්දිකගෙත් පළමුවෙනි වැඩේ. සිනමා කෘතිය මණ්ඩලයකට පෙන්වාගන්න දරපු උත්සාහය දැවැන්ත එකක්. ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විධායක නිෂ්පාදකවරියක ලෙස සම්බන්ධ වෙන්නෙ මේ අවස්ථාවේදීයි. ඒ පුද්ගලයන්ගේ දහිරිය ඔස්සේ තමයි මේ තාක් දුර ආවෙ. පළමුවෙන්ම ප්‍රදර්ශනය කළාට පසුව හැමෝගෙම අවධානය මේ දිහාවට යොමුවුණා. පළමුවෙන්ම මණ්ඩලයට ඉදිරිපත් කරන්නත් පුදුමාකාර කාලයක් ගතවුණා. එහිදී පැමිණි ආතතිය දරාගන්න අමාරුයි.
යසෝධරා - නෙක්ස්ට් ෆ්‍රේම් ස්ට්ඩියෝ නමින් තමයි මේ නිෂ්පාදන කණ්ඩායම එන්නෙ. නමුත් මේ කටයුත්තට සම්බන්ධ වුණු අපේ මිත්‍ර සමාගම ජීවිතේට ඉන්දික ෆර්ඩිනැන්ඩු හමුවෙලා නැති ඔහුගේ නිර්මාණ නොදැකපු අය. හුදෙක් අපේ විශ්වාසය තුළින් බැඳුණු පිරිස අපිත් සමග විශාල මුදලක් ආයෝජනය කළා. යම්කිසි ප්‍රතිලාභයක් සමග ඒ මුදල් ආපසු පියවීම කියන වගකීම ඔළුවෙ තියෙනකොට රෑට නින්ද ගියේ නෑ. අපි හැමෝම ඕස්ට්‍රේලියාවෙයි ඉන්නෙ.මෙවැනි අවස්ථාවක ස්වර්ණා මල්ලවආරච්චි, ආනන්ද ලියනාරච්චි ලොකු හයියක් දුන්නා. සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ අත්දැකීම් රාශිය මගින් තාක්ෂණික දත්ත පවා පහදා දීම පුදුම සහනයක් වුණා අපට.
Q පිටපත කියවපු ගමන් මේ චිත්‍රපටය ලංකාවේ යම් සලකුණක් තබන්නක් බව තේරුණා යැයි ඔබ කලින් පැවසුවා?
කුසුම්සිරි - මෙහි නිවැරදි කිරීමක් කළ යුතුයි. ඒ පළමුවෙනි පිටපත. අපි මෙය කරමු යැයි තීරණය කළ පසු මේ පිටපත නැවත ලියවුණා. ෆර්ඩි ආපහු ලිව්වා. මම ගීත රචනයට දායක වෙනවා. මුලින් තිබුණු පිටපතට වඩා දෙවැන්නේදී අපි ගොඩක් දුර ආවා.
Q ඔබ කොහොමද අල්ලගත්තෙ මෙය ලංකාවේ දුර ගමනක් යන පිටපතක් බව ?
කුසුම්සිරි - +නිර්මාණකරුවො විදියට අප තුළ යම් ඉවක් තිබෙනවා. ඒ ඉව ඔස්සේ අපට ගමන් කරන්න බැරි නම් කවදාවත් මේ ගමන යන්න අමාරුයි. සිනමාවට ආධුනික වුණත් අපේ හැදෑරීමක් තිබෙනවා. නිර්මාණ පරිශීලනය කරනවා. ඒ ඔස්සේ හුඟ දුරක් යන්න පුළුවන්ය කියන විශ්වාසය තිබෙන්නේ ඒ ඉව හරහායි.
යසෝධරා - මේ දෙන්නටම ඒ පසුබිම තිබෙනවා. වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න යනකොට ඔවුන් තුළ අවසාන රූපයක් තියෙනවා. එය ඔළුව තුළ තියාගෙනයි ගමන් කරන්නෙ. මේ දෙන්නම නළුවො.මේ දෙන්නම අධ්යක්ෂවරු. මේ සියලු කාරණා පාදක කොටගෙනයි මේ දුර යන්නෙ.
Q ඔය ඔබ කියන ඉව ඇයි ලංකාවෙ චිත්‍රපට බලධාරීන්ට නොතිබුණේ. ඇයි මේ චිත්‍රපටය අවුරුදු තුනක් පරක්කු වෙන්නෙ.?
කුසුම්සිරි - බලධාරීන්ට ඒ ඉව නැතිවුණේ කොහොමද කියන එකට මට දෙන්න පුළුවන් උත්තරයක් නෑ. අපේ සමස්ත ආකෘතිය තුළ තිබෙන වැරැද්දක් වෙන්න පුළුවන් ඒක. ඒ තීන්දු තීරණ ගන්න පුද්ගලයො තෝරාගැනීමේදී යම්කිසි ඉවක් දැක්මක් තියෙන අය තෝරාගැනීම තනතුරු දරන අයගේ වගකීමයි.
අනික තමයි ප්‍රායෝගික හේතු කාරණා දක්නට තිබීම. ලංකාවෙ තිබෙන සිනමා ශාලාවල තිබෙන විවිධාකාර ගැටලු නිසා හැමවෙලේම නිර්මාණකරුවා සහ නිෂ්පාදකවරයා බලනවා තමන්ට වඩාත් යෝග්‍ය පරිදි නිර්මාණය එළිදක්වන්න පුළුවන් ස්ථානය මොකද්ද? වැඩි පිරිසකට මෙය පෙන්වන්න පුළුවන් කොහෙද යන්න. මේ ප්‍රමාදයට ඉහත කී සාධකත් බලපාන බව කිව යුතුමයි.
යසෝදරා -අගෝස්තුවලයි මෙය ප්‍රදර්ශනය කරන්න හිටියේ. නමුත් අවසානයේ තීරණය කළා අගෝස්තු නෙවෙයි දෙසැම්බර් තමයි හොඳම කාලය කියල. ඒවායෙත් යම් සත්‍යතාවක් තිබෙනවා. ඒ යෝජනාව එන්නෙ මණ්ඩලයෙන්. ඔවුන්ගේ තිබෙන පලපුරුද්දත් එක්ක මේ වගේ චිත්‍රපටයකට උචිත නියම කාලය මේ යැයි විශ්වාස කරන්න ඇති. ඒ යෝජනාව ගෙනාවාම මාස තුනක් පරක්කු වුණාට කමක් නෑ, තව මාස තුනක් ඉමු කියල අපි එයටත් ඇහුම්කන් දුන්නා.
Q ළමයිත් එක්ක වැඩ කරන එක වේදිකාවෙදි ඔබට අලුත් නෑ. නමුත් සිනමාවෙදි කොයි විදියටද ඔවුන් එක්ක කළ ගනුදෙනුව දැනුණේ?
කුසුම්සිරි - දැන් මේ චිත්‍රපටයට ලේබලයක් වැදිල ඉවරයි ළමා චිත්‍රපටයක් කියල. හැබැයි මෙය ළමා චිත්‍රපටයක් ලෙසින් ලේබල් ගැසීම ගැන සන්තාපයක් තිබෙනවා. එය එතනට ලඝු කරන්න බෑ. එය ළමයි වගේම එතනින් එහාට ගිය ලොකු පරාසයක් ඇතුළේ ප්‍රේක්ෂකයන්ට රස විඳිය හැකි සිනමා කෘතියක්ය යන්නයි මගේ අදහස. එහි විනිශ්චය අපි රසිකයන්ට ඉතිරි කරමු. ළමයි එක්ක වැඩ කිරීම ඉන්දිකට අලුත් අත්දැකීමක්. ඉන්දිකට මෙහෙම ළමයි පිරිසක් එක්ක වැඩකරලා අත්දැකීම් අඩුයි.
කොහොම වුණත් පිටපත තුළින්ම ළමයාගේ චින්තනය කොයිවගේද යන චින්තනය ඉන්දිකගෙ තියෙනවනෙ. මෙහිදී ළමයි චිත්‍රපටයේ රඟපෑමට එන්න කලින් අනුසුයා සුබසිංහත් මමත් වැඩකරනවා, රංගනය පිළිබඳව වැඩමුළු කිහිපයක් පවත්වනවා. ඒවායෙනුත් යම් සහයෝගයක් වෙන්න ඇති. එමෙන්ම ලංකාවෙන්ම තෝරලා මේ දහ අට දෙනා තෝරගන්නේ විවිධාකාරයේ තෝරාගැනීම් රාශියක් ඇතුළෙයි. මේ තෝරාගත් ළමයි තුළ උපතින් ගේන යම් දක්ෂතාවකුත් තියෙනවා. එය යම්කිසි ආකාරයකින් අනිත් පුද්ගලයන් අතින් ඔපමට්ටම් වීමක් වෙන්න ඇති. ඒ ළමයි පිරිසත් අපට එකතුවුණු දක්ෂ ළමයි පිරිසක්.
යසෝදරා - වේදිකාව සම්බන්ධ කරගත්තාම ඒ අත්දැකීම ගොඩක් වෙනස් වෙනවා. අහසයි පොළොවයි වගේ. මාසයක් වගේ කාලයක් ළමයි 18 දෙනා කිහිප දෙනෙක් යටතේ සිටියා. නමුත් නාට්‍යයක් කරද්දි තියෙන බැඳීම එතරම්ම තදබල නැති වෙන්න පුළුවන්. මේ ළඟදි ඒ දහඅට දෙනා යළි හමුවුණා දෙමාපියන් එක්ක. දැන් ලොකුයි එයාලා. ඔවුන් එකිනෙකා අතර ඒ සුහදතාව තිබෙනවා සහ සමහරු මේ ක්ෂේත්රය තුළ වැඩ කරනවත් එක්ක. නමුත් වේදිකාවෙදි ඇතිවන බැඳීමයි, කැමරාව ඉස්සරහ කෙටිකාලීන ව්‍යාපෘතියක් ළඟ බැඳෙන බැඳීමයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ දෙකත් ඒ ආකාරයෙන්ම තිබෙනවා.
Q ලංකාවෙ වර්තමානයේ තිබෙන සිනමා ප්‍රේක්ෂකාගාරය පිළිබඳ ඔබේ අදහසත් පැහැදිලි කළොත්?
කුසුම්සිරි - එය හොඳ මාතෘකාවක්. නමුත් පුද්ගලබද්ධ අදහස් ගොනුවෙන තැනක්. මගේ අදහස මෙහෙමයි. අපි දුරස්ථව ජීවත්වුණත් අපට දැනෙනවා. මේ නිර්මාණ හැකි අයුරින් නරඹන්න උත්සාහ කරනවා. වර්තමානයේ නිර්මාණකරණය ප්‍රශ්න සහගත තැනක ඉන්නවාය යන්න බය නැතුව කියන්න පුළුවන්. එයට විවිධ හේතු කාරණා තියෙන්න පුළුවන්. ඒ සියලු කාරණා ඇතුළෙ සිනමා ශාලාවලින් රසිකයො දුරස්ථ වෙලා කියන එකත් පේන කාරණාවක්. හෝ ගානා පොකුණ සිනමා කෘතිය එක්තරා මිනුම් දණ්ඩක් කරගන්නත් පුළුවන් හැකියාව ලැබේවි. මිනිස්සු චිත්‍රපට ශාලාවලින් ඈත් වෙන්නෙ වෙනත් බාහිර කරුණු කාරණා නිසාද, එහෙමත් නැතිනම් නිර්මාණවල තිබෙන අඩුපාඩු නිසාද යන්න ගැන මෙය එක්තරා විනිශ්චයක් වේවි. එහි ප්‍රතිඵල අපි මාස දෙක තුනකට පස්සෙ ගනිමු.
යසෝදරා -එන්ටර්ටේන්මන්ට් යන්න ගේ ඇතුළෙන් ලබාගන්න හරි ලේසියි. නාට්‍ය කලාව ගත්තත් තියෙන ප්රශ්නය තමයි කොහොමද අපි ප්‍රේක්ෂකාගාරය පුරවන්නෙ යන්න. මේ දෙකේ යම් සමානතාවක් පේනවා.මගේ පියා මනමේවලින් කරන්න හදපු රසිකයන් පිරිසක් බිහිකිරීම යන්න නිරන්තරයෙන්ම කළයුතුම කාරණාවක්. වේදිකාව හරහා හෝ චිත්‍රපට කලාව හරහා හෝ රසිකයන් ගෙන්වාගන්න පුළුවන් නම් ලොකු දෙයක්.
Q මින් ඉදිරියට ඔබ චිත්‍රපට ක්ෂේත්රයේම රැඳෙනවද, නැතිනම් සුපුරුද පරිදි වේදිකා නාට්‍ය ක්ෂේත්රයම තරණය කරනවද?
යසෝදරා -අපි කවදාවත් වේදිකාවෙන් ඈත්වෙන්නෙත් නෑ, ඈත් කරන්නත් බෑ. වේදිකාවත් එක්ක තිබුණු ඒ සජීවී බව චිත්‍රපටය හරහා දැනෙන එකක් නෑ කියල හිතෙන්නැති. එනිසා වේදිකාව නැතුව හුස්ම ගන්න බෑ. කවදාවත් ඒකෙන් ඈත්වෙන්නෙ නම් නෑ.
කුසුම්සිරි -නිරන්තරයෙන්ම වේදිකාවේ තිබෙන අභ්‍යාසය නම් නිරන්තරයෙන්ම පවත්වාගෙන යනවා. ඊළඟ අවුරුද්ද පුරා අපි දෙන්නා නිර්මාණය කරන නාට්‍ය තුනක් මෙල්බර්න් නගරයේ රඟ දැක්වෙනවා. පිටපත,අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය ආදී හැමදේම අපි විසිනුයි සිදුකරන්නෙ. එයට කණ්ඩායම් තුනක් එක්ක 150 ක පිරිසක් දායක වෙනවා.
එය කදිම සාක්ෂියක් නාට්‍යයත් එක්ක තිබෙන බැඳීම ගැන කියන්න. ඒ මාධ්‍ය දෙකේ අපි අත්පත් කරගන්න පරමාර්ථ දෙක වෙනස්.එය ඒ ආකාරයෙන්ම තිබේවි. සිනමාවෙත් ආරම්භයක් ගන්නවා සිනමාවෙදි තවත් පොඩි උත්සාහයක් ගන්නවා, නෙක්ස්ට ෆ්රේම්ස් ස්ටුඩියෝ ආයතනය හරහා මේ වගේ හැකියාව තිබෙන බොහෝ අය ඉන්න පුළුවන් දක්ෂතාව තිබෙන, නමුත් අවස්ථාව නැති. එවැනි පිරිසකට අවස්ථාව උදාකරන්න පුළුවන් නම්, එහෙම ඉවක් දැනෙන නිර්මාණයකටත් අවස්ථාව දෙන්න අපි බොහොම මනාපෙන් ඉන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

