හිරු නාළිකාවේ විකාශය වන ස්නේහා, ස්වර්ණවාහිනියේ විකාශය වන දස්කොන්, ස්වාධීන රූපවාහිනියේ ආදර දෑසක් හා වාසුලි කන්ද ආදී ටෙලි නාට්‍ය තුළින් ඔබේ ආලින්දයට ගොඩ වදින චන්දික නානායක්කාර සමගින් අද අපි කතාබහ කළෙමු. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙකු වන චන්දික මෑත කාලයේ විකාශය වූ බොහෝ ටෙලි නාට්‍ය තුළින් එකිනෙකට වෙනස් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීම විශේෂත්වයකි.
චන්දික කියන්නේ මේ දවස්වල පුංචි තිරේ නිතර දකින මුහුණක්?
මේ දිනවල මම රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. ඒ වගේම තමයි දැනට විකාශය නිමා වුණ නමුත්, පසුගිය කාලයේදී අතිශය ජනප්‍රිය වුණ ටෙලි නාට්‍ය කිහිපයකත් මම රඟපෑවා. දැනට වැඩ නිම කරලා තියෙන ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා විකාශය වෙන්න. ඉතිං බොහෝ දෙනෙකුට මාව නිතර දකින මුහුණක් වෙන්න හේතුව ඒකයි.
නිතර දකිනකොට ඒක චන්දිකට වාසියක්ද අවාසියක්ද?
මම එකම විදිහේ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට යනවා නම් ඒක මට ලොකු අවාසියක් කියල හිතනවා. නමුත්, මම මේ දවස්වල පෙනී ඉන්න ටෙලි නාට්‍ය චරිත ගත්තොත් එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට සෙනසුරාදා රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන වාසුලි කන්ද ටෙලි නාට්‍යයේත්, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන දස්කොන් කියන නාට්‍යයේත් මම රඟපානවා.
ඒත්, මම වාසුලි කන්දටෙලි නාට්‍යයේ රතු මහත්තයා විදිහටත්, දස්කොන් නාට්‍යයේ ගොන්සාල් වේල්ස් විදිහටත් එකිනෙකට වෙනස් විවිධ චරිත දෙකකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ස්නේහාටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයත් වෙනස්ම එකක්. ඉතින් එහෙම එනකොට මම හිතන්නෙ නැහැ නිතර දකින එක මට අවාසියක් කියලා.
පෙම්වතාගේ චරිතය දැන් ලැබෙනවා අඩුයිනේ?
ඇත්තටම, මමත් කැමතියි එකම රාමුවකට කොටු වෙන්නෙ නැතිව විවිධ චරිතවල රඟපාන්න. මම ක්ෂේත්රයට ආවේ 2001 අවුරුද්දේ. අද වෙනකොට මම බොහෝ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ක්ෂේත්රයට ආව මුල් කාලයේදී නම් නිතරම ලැබුණේ නම් පෙම්වතාගේ චරිත. නමුත්, මට අවශ්‍ය වෙලා තිබුණා පෙම්වතාගේ චරිතය නිරූපණය කරන කාලෙදිම විවිධ චරිතවලටත් දායක වෙන්න.
ඔය අතරේ තමා අමා ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ. අමා ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ රළු අදහස් තියෙන විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනෙක් විදිහට. මගේ පුතා විදිහට රඟපෑවේ විශ්ව කොඩිකාර. මේ චරිතය මට දෙනකොට අමා අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසා වගේම ලිව්ව මහේෂ් රත්සර දෙදෙනා කිව්වා මේකෙන් හානියක් වෙන නිසා අපි තරුණ පියෙක් විදිහට මේකප් දාලා කරමු කියලා.
ඒත්, මම අභියෝගයක් විදිහට භාර අරගෙන ඒ චරිතයට ගැළපෙන මට සාධාරණයක් කරන්න පුළුවන් විදිහට වැඩ කරමු කියලා කිව්වා. මට කොහොමත්ම පුළුවන්කමක් තිබුණේ නැහැ විශ්වට වඩා තරුණ තාත්තා කෙනෙක් විදිහට පෙනී ඉන්න. අමා ටෙලි නාට්‍යයෙන් පස්සෙ විවිධ චරිත මට ලැබුණා. දැනට මම රංගනයෙන් දායක වෙන වාසුලි කන්ද ටෙලි නාට්‍යයේ රතු මහත්තයා කියන්නෙත් එවැනි වෙනස්ම විදිහේ චරිතයක්. පෙම්වතාගේ චරිතවලට වඩා මිනිස්සු කතා කරන චරිතයක් වෙන එක තමයි මට නම් වැදගත්.
ක්ෂේත්රයට අද තරුණ පිරිස් වැඩිපුර එකතුවෙන ප්‍රවණතාවක් තියෙනවා. නමුත්, ඔවුන්ට පැවැත්මක් තියෙනවද නැද්ද යන්න පැනයක් නැගෙනවා?
අපි ක්ෂේත්රයට ආපු මුල් කාලයේදී මෙගා නාට්‍ය කලාවක් තිබුණෙ නැහැ. නමුත්, අද ක්ෂේත්රය රැඳිලා තියෙන්නේ මේ %මෙගා^ නාට්‍ය කලාව හින්දා. එදා කොටස් 25කට 30කට සීමා වුණ ටෙලි නාට්‍ය නිසා බොහෝ සීමිත පිරිසක් සඳහා තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒත්, අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද තියෙන්නේ කොටස් 100 හා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් ටෙලි නාට්‍ය.
ඉතිං ඒ වගේ නාට්‍යවල චරිත බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ තරුණ පිරිස් අද ක්ෂේත්රයට වැඩිපුර එකතු වෙන්න හේතුව එකයි. නමුත්, මේ තරුණ පිරිස්වලට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන පැනයක් මටත් තියෙනවා. සමහරක් අය හොඳට රඟපාලා නමක් හදාගන්නවා. තවත් සමහරක් අය එකක දෙකක රඟපාලා අයෙත් හොයාගන්නවත් නැති වෙනවා. මේ එන හැම කෙනෙක්ම රංගනය පිළිබඳව හදාරලා තියෙනවද නැද්ද කියන එක ගැටලුවක්. බලන්න කවදාවත් මෙගා නාට්‍ය කරන අධ්‍යක්ෂකවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් තමන්ගේ නිර්මාණයට අවශ්‍ය මේ මේ පුද්ගලයන් කියලා දැන්වීමක් දාල තියෙනවද කියලා.
ඔවුන් කරන්නේ කවුරු හරි හඳුනන මාර්ගයෙන් කෙනෙක්ව යොදාගෙන තමන්ගේ නිර්මාණය ගොඩදාගන්නවා. හැම නිර්මාණකරුවෙකුම ඔය දේ කරන්නේ නැහැ. තමන්ට අවශ්‍ය මේ පුද්ගලයා නම් ඔහුව කොපමණ මුදලක් හෝ දීලා තමන්ගේ නිර්මාණයට දායක කරගන්නවා.
ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමුවෙච්ච කෙනෙක්?
ඔව්. නිර්මාණ කිහිපයක්ම මම නිෂ්පාදන කළා. නමුත්, මීට අවුරුදු 4කට කලින් කරපු රන් කෙණ්ඩිය කියලා ළමා ටෙලි නාට්‍යයක් තවමත් මගේ ගෙදර තියෙනවා විකුණගන්න බැරිව. මේක අධ්‍යක්ෂණය කළේ ජාත්‍යන්තර සම්මාන පවා දිනාගත්ත බඔර වළල්ල චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළ තිසුලදීප තඹවිට. ප්‍රධාන චරිතය රඟපෑවේ බඔර වළල්ල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතුල ලියනගේ. ඒ කාලේ බොහෝදෙනෙක් කිව්වා ළමා ටෙලි නාට්‍යයක අඩුව තියෙනවා කියලා. ඒකයි මමත් මේ නිර්මාණයට අත ගැහුවේ. නමුත්, මොන නාලිකාවක්වත් ඒක ගත්තෙ නැහැ. අදටත් ඒක සිහිවටනයක් විදිහට මගේ ගෙදර තියෙනවා. රන් කෙණ්ඩිය ළමා නාට්‍යය පෙන්වන තෙක් ආයෙත් මම නිෂ්පාදනයකට අතගහයි කියලා හිතන්න අමාරුයි.
ඔබ ක්ෂේත්රයට ඇවිල්ලා දශකයටත් වඩා වැඩි කාලයක් ගත වෙලා. චන්දික සතුටුද මේ ආපු ගමන් මග ගැන?
ගොඩක් සතුටුයි. මගේ මුල්ම හීනය වෙලා තිබුණේ රූපවාහිනියේ පොඩි කෑල්ලකට පෙනී ඉන්න. පළමුවෙන්ම රූපවාහිනියෙන් මාව දකිනකොට මම ඒක බලලා ගොඩක් සතුටු වුණා. ඊට පස්සෙ නළුවෙකු වෙන උණක් තිබුණා. පළමු වතාවට රඟපානකොට ඒ උණත් හොඳ වුණා. ටෙලි නාට්‍ය කිහිපයක රඟපානකොට මිනිස්සු මාව අඳුනගෙන කතා කරනකොට හිතුණා මම ජනප්‍රියයි කියලා. ඔය අතරේ මාත් එක්ක ක්ෂේත්රයට ආපු අනිත් කට්ටිය සම්මාන ගන්නකොට හිතුණා සම්මානයක් ගන්න තිබුණ නම් හොඳයි කියලා. පස්සෙ මට ලැබුණා ජනප්‍රියම නළුවා සම්මානය. ඒ හිනයත් හැබෑ වුණා. ඉතින් ආපු ගමන්මග ගැන අද මම තෘප්තිමත්. නමුත්, තව මගේ ලොකුම හීනයක් තියෙනවා. ඒ තමයි ජනප්‍රිය නළුවාට වඩා හොඳම නළුවා වෙන්න.