සුවිශේෂී රංගන හැකියාවකින් යුත් රංගන ශිල්පියෙකු වන, මිහිර සිරිතිලක මේ වනවිට රංගන ශිල්පියාගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් නිවේදකයෙකු මෙන්ම ලේඛකයෙකුද වී හමාරය. මෙවර 'තරු කතාබහට' ඔහු මෙලෙස සම්බන්ධ විය.
Q මේ දවස්වල හරි කාර්යබහුලයි නේද?
පසුගිය දවස්වල මගේ පොත් දෙකක් එළිදැක්වුණා. 'ඔබ නිසා මම' කියලා කවි පොතක් සහ 'දෙහි දොඩම් ප්‍රේමය' කියලා කතා එකතුවක්. ඉතිං ඒ දේවල් එක්ක කාලය ගත කරද්දි ටිකක් කාර්යබහුල වෙනවා.
Q නිර්මාණ පැත්තෙන්?
ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු ටිකක් කරගෙන යනවා.
Q ඒ මොනවාද?
'මෝදර වැල්ල' කියලා ටෙලිනාට්‍යයක් විකාශය වුණා. 'ආටක නාටක' සහ දැන් අලුතින් 'තුරුම්පු ආසියා' කියලා නාට්‍යයක් පටන් ගන්නවා. ඒ වගේ වැඩ ටිකක් වෙනවා.
Q ඇයි මේ එකපාර පොත් දෙකක් එළිදැක්වුවේ?
එක පාර නෙමෙයි. කාලයක් තිස්සේ එකතු කරපු ටිකක්. මට මුද්‍රණය කර ගන්න වෙලාවක් නැතුව තමයි තිබුණේ. මේ අවුරුද්දේ වැඩ ටිකක් එහාමෙහා වෙනකන් ඉඳලා මුද්‍රණය කළා. මේවා කාලයක් තිස්සේ ලියපු දේවල් තමයි තියෙන්නෙ. ඒවා එකතු කරලා තමයි පොත් දෙකක් කළේ.
Q මෙහි ඇතුළත ගැන කිව්වොත්?
කවි පොත සහ කතා පොතේ මූලික තේමාව හැටියට කියන්න පුළුවන්, මගේ ජීවිතයට හමුවන මිනිසුන්ගේ කතා ගැන කියලා. ඒ නිසා කෙනෙක්ට අත්දකින්න වෙන දේවල් තමයි මෙහි ඇතුළත් වෙන්නෙ.
Q නිර්මාණ කටයුතු එක්ක බාහිර දේවල් සඳහා කාලය තියෙනවාද?
මෙහෙමයි, මගේ මූලික දේ තමයි රංගන කටයුතු කියන්නෙ. මගේ ඉවත යන කාලය ගොඩක් ඉතුරු කරගෙන තියෙනවා. ඒ නිසා මට ලොකු ගැටලුවක් නැහැ.
Q දැන් නිවේදන කටයුතුත් කරනවා නේද?
මට නිවේදන කටයුතු සඳහා ගොඩක් ආරාධනා ලැබුණා. ප්‍රධාන දේවල් හැටියට ලොකුවට කළේ නැහැ. නමුත් ඒ ඇතුළේ මටත් සම්බන්ධ විය හැකි යැයි දැනෙන සීමාවේ ඒවාට ඉදිරිපත් වුණා.
ඒ අනුව තමයි සිරස නාළිකාවේ 'වයන්නයි ගයන්නයි' කියන වැඩසටහන, සියතෙත් වැඩසටහනක් යනවා. ඊට ඉස්සෙල්ලා 'දෙරණ' නාළිකාවෙත් කුකරි පැත්තේ වැඩක් කරගෙන ගියා. ඔය විදිහට නිවේදන කටයුතු කිහිපයක් සඳහාත් දායක වුණා.
Q 'මිහිර සිරිතිලක' ක්ෂේත්රය තුළ ස්ථාවරයිද?
ස්ථාවරත්වය කියන දේ අපට විශ්වාස කරන්න බැරි කොටසක්නෙ. ඒක හෙට දවසේ පත්වන තත්ත්වයත් එක්ක ඒක තීරණය කරන්න අමාරුයි. දැනට මම මට විශ්වාස මට්ටමක ඉන්නවා. එකම ක්ෂේත්රයක කටයුතු කරගෙන හිටියානම් මටත් බැරිවෙන්න තිබුණා.
මම ඉතිං පැති කිහිපයකින්ම කටයුතු කරන නිසා මට ලොකු ගැටලුවක් වුණේ නැහැ. ඒක සීමා වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන දේවල් අනුව තමයි. මම මාලිගා හදන්න ලොකු බලාපොරොත්තුවක හිටියානම් මේක මදි. සරලව ජීවත් වෙන්න අතවශ්‍ය ප්‍රමාණයට තීන්දුවක් අරන් තියෙනවා නම් මේ ඇති.
කාලයක් යද්දි ක්ෂේත්රය තුළ හිටපු ප්‍රවීණයන් අසරණ තත්ත්වයකට පත්වෙනවා. මේ සඳහා බලපාන සාධකයන් විදිහට ඔබ දකින්නේ?
ඒකට නම් පැති ගොඩක් තියෙනවා.
සරලව කිව්වොත්, ටෙලිනාට්‍යයක රඟපාන නළුවෙක් ගත්තොත්, යම්කිසි ටෙලිනාට්‍ය සඳහා චැනල් එකකින් ලැබෙන මුදලක් තියෙනවා. ඒ මුදල විසින් අනිත් කෙනාට ගෙවන මුදල තීන්දු කරනවා. එහෙම ඇවිල්ලා, අවසානයේ දවසකට වැඩ කරන ප්‍රමාණය පැය 08නම්, එය පැය 16, 20 වෙනකන් ඇදෙන්න පටන් ගන්නවා.
එතකොට සෞඛ්‍යය අතින් පිරිහෙනවා. මානසික අතින් පිරිහෙනවා. නමුත් ලැබෙන මුදල ලොකු මුදලක් නෙමෙයි. එයට සාපේක්ෂ නැහැ. ඉතිං එතකොට ඒ අය ඉක්මනට රෝගී වෙනවා. ඒ පැත්තෙන් අසරණ වෙන්න පුළුවන්. අපේ කලාකරුවන්ගෙ වැරදි පැතිත් තියෙනවා.
ඒ අය මත්පැන් වැනි දේවල්වලට ඇබ්බැහි වෙලා ඒ පැත්තෙන් ආර්ථිකය කඩා වැටුණොත් ඒක එයාගේ වැරැද්දක්. අපට ඒකට, ජනතාවකට හෝ ආණ්ඩුවකට දොසක් කියන්න බැහැ.
තව පැත්තක් තමයි, අපි සාධාරණව ලස්සනට ජීවත වෙලා ඉන්න කොට ලොකු රෝගයක් ඇවිල්ලා වගේ අසරණ වෙන්න පුළුවන්. එතකොට කාගේ හරි පිළිසරණක් ඕන වෙනවා. ඒක නිසා අපට මේකට කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ.
Q දැන් කලාව අනතුරේද?
කලාව කියනදේ මීට වඩාත් අසීරු අවස්ථාවල පැවතිලා තියෙනවා. ඒක ජනතාව තුළම තියෙන කාරණාවක් නිසා ලෝකයේ විනාශ වන මොහොතත් කලාත්මක කටයුත්තක් වෙයි. සාපේක්ෂව බලන කොට අපට දැනෙනවා යම්යම් විනාශයක් සිදුවෙනවා කියලා. නමුත් ඉතිං කලාව නැතිවෙන්නේ නැහැ.
Q කලාකරුවෝ දේශපාලනයට ගියත් කලාවට කිසිදු හොඳක් වෙලා නැහැ නේද?
ඇත්තටම අපි එළියෙ ඉඳන්නේ දකින්නේ ඔය ප්රශ්නය දිහා. අපි දන්නේ නැහැනේ, ඒගොල්ලො ඇතුළට ගියාම ඒගොල්ලො ක්‍රියාත්මක කරන්න හදපු දේවල් ක්‍රියාත්මක කරගන්න සිස්ටම් එකේ අවුලක් තියෙනවාද කියලා. නමුත් අපට දැනෙන එකම දේ මුකුත් වුණේ නැහැ කියන එක තමයි. ඒකට තියෙන බාධකය අපි දන්නේ නැහැ.
අපිත් බලාපොරොත්තු වුණා, අපිත් හිතුවා ඒ දේවල් ගැන. අපෙත් කලාකරුවෝ රැසක් එතැන සිටින නිසා සහ දේශපාලන පක්ෂ සමග සුහද කටයුතු කරන්න උදව් කරනවා, ආණ්ඩුව මාරු කරන්න උදව් කරනවා, ආණ්ඩු පිහිටුවන්න උදව් කරනවා. ඉතිං මේ කාරණා එක්ක කලාකරුවො විශාල පිරිසක් දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඒ නිසා ඒ අයට කරන සැලකීමක් කියලාවත් යම්කිසි ප්‍රගමණයක් ලැබිය යුතුයි. සරලව කිව්වොත්, 'දඬුබස්නාමානය' විකාශය වනවිට ටෙලිනාට්‍යයකට ගෙවපු ගාණ, ඒ කාලයට සාපේක්ෂව අරන් අද ගත්තොත් එහෙම ලොකු වැඩිවීමක් වෙන්න ඕන, සියලු දේවල්වල මිල වැඩි වෙලා තියෙන නිසා. ඒකට සාපේක්ෂව පහළට යනවා නම් පේනවා. ඒකෙ ඇතුළෙ තියෙන්නෙ, අවසානයේ විග්රහයේ විනාශය තමයි.
Q නළුවෙක් නොවී රැකියාවක් හෝ ව්‍යාපාරයක් කළා නම්, මීට වඩා හොඳයි කියලා හිතිලා නැද්ද?
අනේ නැහැ. මම බොහොම සතුටින් මේ වෘත්තියේ ඉන්නෙ. ඒක ඇතුළෙ මට විඳින්න පුළුවන් දේවල් තියෙනවා. ඒ නිසා මම ඒකේ ගැලී ඉන්නවා. මට තාම ජීවත් වෙන්න වටපිටාවක් මේ කලාව තුළ තියෙනවා.
Q ක්ෂේත්රය ගැන කලකිරිලම නැද්ද?
ක්ෂේත්රය ගැන කලකිරීම් තියෙනවා. ඒවා කලකිරීම් නොවෙයි, අපි විය යුතුයි යැයි සිතන කොටස්නෙ. මෙහෙම වුණා නම් හොඳයි කියනවානෙ. සරලව කිව්වොත්, ඉන්දියානු නාට්‍ය විශාල ප්‍රමාණයක් ලංකාවේ පෙන්වනවා. ඒ සඳහා විශාල කාල ප්‍රමාණයක් දීලා තියෙනවා.
ඒ කාල ප්‍රමාණයට සීමාවෙලා ලංකාවේ කලාකරුවන්ට ඒ අවස්ථාව ලැබෙනවානම් හොඳයි කියලා සිතුවිල්ලක් තියෙනවා. ඉතිං ඒකට කලකිරිලා මම කලාව අත හැරලා හරියන්නෙ නැහැ. මට හිතෙන දේ තමයි, චැනල් එකක් කිව්වොත් අපි මේ ගාණට නාට්‍යයක් ගන්නවා, ඒක හොඳ ප්රශස්ත මට්ටමට තියෙනවා නම් අපි මේ ගාණට ගන්නවා කිව්වොත් අපේ මේ කලාව පැත්තකට දාලා ඔළුව නිදහස් කරගෙන ඉන්න කලාකරුවො රැසක් නැවත වැඩ පටන් ගනීවි. එතකොට හොඳ නිර්මාණ රැසක් බිහිවෙයි.
හොඳ නිර්මාණ බිහිවෙද්දි විදෙස් රටවලින් කලාව හිඟාකන්න ඕන නැතිවෙයි, කියන විශ්වාසයක් තියෙනවා. අපට ලැබෙන මුදලත් එක්කනේ කරන දෙයක් කරන්න පුළුවන්. ලාභ, පාඩු කියලා දෙකක් බෙදෙනවානේ කවුරු කළත්. එතැනදී ආයතනවලටත් සිදුවෙනවා ලාභ දිහාම නොබලා කලාව දිහාත් බලන්න. කලාකරුවන්නට සිදුවෙනවා ඒ පැත්තෙනුත් සහයෝගය දෙන්න.
Q ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
මේ දවස්වල තවත් නාට්‍යයක වැඩකටයුතු ආරම්භ කරනවා. 'කෝ කුක්කෝ' වේදිකා නාට්‍යයේ දර්ශන වාර 150 පැනලා තියෙනවා. මේක මම රචනා කරලා අධ්‍යක්ෂණය කරපු එකක්. මීට කලින් මම කළා 'නරි බුරති' කියලා වේදිකා නාට්‍යයක්.
ඒක සරත් කොතලාවගේ නාට්‍යයක්. ඒක දර්ශන වාර 500 ළංවෙලා තියෙනවා. ඒ නිසා අපි අලුත් නිර්මාණයකට යායුතුයි කියලා අදහසක් ඇති වෙලා ඒ සඳහා මේ වනව්ට කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඒකත් දකින්න ලැබෙයි.
Q අවසාන වශයෙන් කලාවට ආදරය කරන රසිකයන්ට කියන්නෙ තියෙන්නෙ මොනවද?
මම දකින්නෙ ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයා පහළ මට්ටමේ ප්‍රේක්ෂකයෙක් නෙමෙයි. බොහෝම කලාව පිළිබඳව උගත් පිරිසක් ඉන්නවා. ඒක අපට හරි සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. අපි සමහර නාට්‍ය නිෂ්පාදනය කරන කොට හිතනවා මේක ප්‍රේක්ෂකයාට වැටහෙන්නේ නැති වෙයිද? කියලා. ඒ තැන බොහොම ලස්සනට ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නවා.
නාට්‍ය ටික අරන් රට පුරා අපි යනවනේ. ඒ යනකොට අපට දැනුණු අත්දැකීම් තමයි, අපේ රටේ ඉන්නෙ බොහෝම උගත් ප්රේක්ෂකයො. එහෙම පිරිසක් ඉන්න එක රටක කලාවට හිතකරයි. සරල මාධ්‍යවලින් උලුප්පා පෙන්වන ප්‍රේක්ෂකයන් ගැන නෙමෙයි මම කියන්නෙ.
ගුවන්විදුලියක් ඇහුවාම ඇහෙන ප්‍රේක්ෂකයන් පිරිස අපට දැනෙන්නේ එතරම් රසවින්දනයක් දැනිලා නැතුවදෝ මේවා අහනවා වගේ එකක්. ඊට වඩා ගිය රසවින්දනයක් තියෙන පිරිසක් ඉන්නවා. එක්කො ඔවුන් එෆ්.එම්වලට කෝල් ගන්නේ නැහැ.
ඒ වගේ මොකක් හරි එකක් තියෙනවා. බොහෝ වටිනා පිරිසක් ඉන්නවා. ඉතිං මම ආරාධනා කරන්නේ සියලු මාධ්‍යයන්වලට පුළුවන් නම් ඒගොල්ලො තමන්ගේ මාධ්‍ය ආයතනය වටා රොක් වෙන පරිසරයක් බිහිකර ගත්තොත් අපට, මේ රට මීට වඩා ලස්සන තැනකට ගේන්න පුළුවන්.
ඡායාරූප - කවීත් මිලින්ද