ප්‍රවීණ නිර්මාණවේදියෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වන කිංස්ලි ලෝස් කලකට පසුව යළිත් වේදිකා නාට්‍යයක් හරහා ඔබ මුණගැසීමට සූදානම් වෙයි. ඒ 'බෙනීටාගේ තාත්තා' නම් වේදිකා නාට්‍ය තුළිනුයි. එහි මංගල දර්ශනය අප්‍රේල් 01 වැනිදා සවස 6.30 ට ලුම්බිණි රඟහලේදී වේදිකාගත කිරීමට නියමිත අතර, එය ඩ්‍රීම් තියටර් නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයකි. මේ දිනවල පෙර පුහුණුවීම් කෙරෙන මෙම නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට එහි අධ්‍යෂක කිංස්ලි ලෝස් 'අද' සමගින් සම්බන්ධ කරගතිමු.
Q මුලින්ම අපි මේ නාට්‍ය නිර්මාණය ගැන කතා කළොත් ?
අපි කරළියට ආවෙ 70 දශකයේ. එය ස්වර්ණමය යුගයක්. එනිසා නාට්‍ය ගැන අපට ලොකු ආදරේකුත් තියෙනවා. වේදිකා නාට්‍ය හැමතිස්සෙම මිනිස්සුන්ගෙ ජීවිතවලට අත්වැලක් වුණා. එය මිනිස්සුන්ගෙ ජීවිතවලට බලපෑවා. වේදිකා නාට්‍යය ප්‍රබල මාධ්‍යයක්. මේ ප්‍රභල මාධය ඔස්සේ අද දවසේ පණිවුඩයක් ගෙන යා යුතුයි කියා කල්පනා කරලා කණ්ඩායමක් එකතු වුණා Dream theatre නමින්. ඒ හැම කෙනෙක්ම වගේ දශක හතරක් විතර මෙහි රැඳී සිටින උදවියයි. අත්දැකීම් බහුලයි සහ හොඳ වැඩි මිනිස්සු. අපි එකතුවෙලා යමක් කරන්න හිතුවා.
මම මේ රටේ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙත් යෙදිල ඉන්නවා. 'බෙනීටාගේ තාත්තා' නාට්‍යයට පාදක වෙන්නෙ මහ දවල් මරාදමනු ලැබූ මාධ්‍යවේදියෙකුගේ පියෙකුගේ කතාව. ඔහුගේ පියා ලෝකය පිළිගත් විද්‍යාඥයෙක්. ලාංකික පරිසරයෙ නෙවෙයි මෙහි චරිත ගොඩනැගෙන්නෙ. ලෝකයේ ඕනෑම තැනක අතීතයේ සිදුවුණ, වර්තමානයේ සිදුවෙන, අනාගතයේ සිදුවිය හැකි මාතෘකාවක්. ලෝකය පාලනය කරන පිරිසක් සිටිනවා. පාලනය වෙන පිරිසක් ඉන්නවා. පාලනය වෙන පිරිස තමන් දන්නවා කියල හිතාගත්තට බොහෝ විට දන්නෙ නෑ. පාලනය කරන මිනිස්සු හිතාගෙන ඉන්නවා (ඉංග්‍රීසි කියමනක් තිබෙනවා we are born to rule කියල) පාලනය කිරීමට ඉපදිලා ඉන්නවා සහ අපෙන් පස්සෙ අපේ අය තමයි පාලනය ගෙන යා යුත්තෙ කියලා.
පාලනය වෙන අය හිතනවා අපට පාලනයට යන්න බෑ අපි පාලනය වෙන්න ඕන මිනිස්සු. අපට පුළුවන් දේ විතරක් ලබාගන්න ඕන කියල.
'දැනුවත් වෙන්න ජනතාවකට උවමනා නැති තාක්කල් ඔවුන් පාලනය කරනු ලබන්නේ කපටියන් විසිනි' යන ප්රකාශනය මෙහි අන්තර්ගතයි.
බුද්ධිමත්, රට පිළිගත්, ලෝකය පිළිබඳ දැනීමක් තිබෙන විද්‍යාඥයාගෙ පුතා මහදවල් මරා දමනවා. ඔහු පුවත්පත් කලාවේදියෙක්. හැබැයි අනිත් අය ප්‍රතික්‍රියා දක්වන විදියට නෙවෙයි ඔහු ප්‍රතික්‍රියා දක්වන්නෙ.
ඔහු දරුණු පළිගැනීමක නිරත වෙනවා. හැබැයි විද්‍යාඥයා නමිනුයි. රඟහලට එන කිසිකෙනෙක් මගේ මංගල දර්ශනය දකිනකං ඒ ගැන දන්නෙ නෑ. ඒ වයෝවෘද්ධ පියාගේ පළිගැනීම රට වෙනුවෙනුයි. සෙනෙහස රට වෙනුවෙනුයි යනුවෙන් හඳුන්වනවා. අන්තර්ගතය මගින් ඉල්ලන ආකෘතියක් මම ඉදිරිපත් කරනවා. ඇඳුම් පැලඳුම්වල වගේම සංගීතයෙත් වෙනසක් තිබෙනවා. එවැනි වෙනසක් කරන්න තමයි Dream theatre එකතුවෙලා ඉන්නෙ.
Q නාට්‍ය පෙළෙන් කියන්න හදන දේ ප්‍රේක්ෂකයා කොහොම ග්‍රහණය කර ගනීවිද?
මම කියන්න හදන දේ හුඟ දෙනෙක් ශ්‍රී ලාංකේය දේශපාලනයට ඈඳා ගනීවි. ඕන තොප්පියක් දාගත්තට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඕන කෙනෙක් නාට්‍යය බලල ඉවරවෙලා ඇහුවොත් මේ සඳහා ඔබේ පිළිතුර මොකද්ද කියල පිළිතුරු දෙන්න මම සූදානම්. මං කතා කරන දේ ඔප්පු කරන්න මං සූදානම්.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ ප්‍රියා රණසිංහ, සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, අජිත් ලොකුගේ, ප්‍රසාද් සූරියාරච්චි, සංජීවනි ඇඹුල්දෙණිය, සහ මම. දිනේෂ් සුබසිංහ තමයි මෙහි සංගීතය සපයන්නේ.
Q මෙහි ඇත්තටම පහුගිය කාලෙ අපි අත්දැකපු යථාර්ථයද අඩු වැඩි විදියට තියෙන්නෙ?
පහුගිය කාලෙ විතරක් නෙවෙයි අපි පුංචි කාලෙ සිදුවෙච්ච සිදුවීම් යළි යළි සිදුවෙනවා. හෙට අනිද්දාට අපේ දරු පරපුරත් එයම අත්විඳීවි. එකම විදියටම රැවටෙනවා. ඉදිරි අයත් ආයෙ රැවටෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රටක ජනතාව යථාර්ථය තේරුම්ගන්න තාක්කල් මේ විදියටම යයි. මිනිස්සු මැරෙයි, හිරේ යයි, දඬුවම් විඳියි. මම හිතන්නෙ ඇමෙරිකාවට එකක්, ඉන්දියාවට එකක්, ලංකාවට එකක් කියල නෑ. සමස්ත ධරණී තලයේම තියෙන රැවටීමක්.
Q මේ රැවටීම ගැන ජනතාව දැනුවත් කරන්න පහුගිය කාලෙ ලාංකේය කලාකරුවන්ට හැකිවුණාද?
ඇත්තම කියනවා නම් මම ලංකාවෙ කලාකරුවො දකින්නෙ නෑ. කලාකරුවො කියන්නෙ කලාව අතපත ගාන අයට නෙවෙයි. නිදසුනක් විදියට පුවත්පත් කලාව කියන්නෙ ලියන කෙනාට නෙවෙයිනෙ. ඊට එහාට ගිහින් උත්තරීතර මෙහෙවරක් කරන කෙනාටයි. කලාකරුවා කියන්නෙ ජනතාවට ඉස්සරහින් ඉන්න ඕන මිනිහෙක්. අද ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම කලාකරුවො ඉන්නවද කියල මගෙන් ඇහුවම, මං නෑ කිව්වම හුඟදෙනෙක් විරුද්ධ වෙලා ගහගන්න එනවා. මම කියන්නෙ චිත්‍රපටයක්, නවකතාවක්, කෙටිකතාවක් කළ පමණින් ඔහු කලාකරුවෙක් වෙන්නෙ නෑ. එය කලා මාධ්‍ය භාවිත කිරීමක් පමණයි. හැබැයි කලාකරුවො නෙවෙයි. කලාකරුවෙක් නං ඊට වඩා උත්තරීතර තැනක ඉන්න ඕන. ජනතාවට මගපෙන්වන මුනිවරයෙක් වගේ මිනිහෙකුටයි කලාකරුවෙක් කියන්නෙ. අනාගතය දකින මනුස්සයෙකුට. එහෙම අය නෑ.
Q එහෙනම් ලංකාවෙ රසිකයො ඉන්නවද?
මොකක්දෝ වාසනාවකට වේදිකා නාට්‍ය කලාවට යම්කිසි ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා.
Q ශාලා පිරෙන්න සෙනඟ හිටියට වැඩක් තියෙනවද දැනුම්වත්භාවයෙන් යුක්ත නැත්නම් ?
ඒකෙ දෙපැත්තක් තියෙනවා. ඒ ගොල්ලන්ට ගන්න දෙයක් තියෙනවා සහ අනික තමයි තිබුණත් ගන්න ශක්තියක් තියෙනවද කියන එක. දෙකම පිරිහිලා කියන එකයි මගේ අදහස. ප්‍රේක්ෂකයාගේ රසඥතාවත් මොටවෙලා යන්නයි මම අදහස් කරන්ෙන්. මේක සරච්චන්ද්‍ර කියන්නෙ කවුද ඇහුවොත් දන්නැති කාලයක්. සුගතපාල ද සිල්වා කවුද කියල ඇහුවොත් දන්නෙ නෑ. නමුත් අන්තර්ජාලයේ තියෙන දේවල් දන්නවා. මුද්‍රිත සාහිත්‍ය කියවන්නෙ නෑ. පෙළ කියවන්නෙ නෑ. අපි මනමේ, සිංහබාහු බලන්න ගියේ පෙළ දැනගෙන.
මෙය කොහොමද සරච්චන්ද්‍ර මහත්තයා කරල තියෙන්නෙ කියන එක බලන්නයි ගියේ. නමුත් අද එහෙම යන්නෙ නෑනෙ. විෂය නිර්දේශයට අඩංගු නිසයි සමහරු නාට්‍ය බලන්නෙ. හැබැයි ඔවුන්ට නාට්‍ය තේරෙන්නෙ නෑ. නාට්‍ය කලාවේ තියෙන ගැඹුරු අංග පිළිබඳව සමස්ත ජනතාවටම අදහසක් නෑ. පැරණි මිනිස්සුන්ට ටිකක් තියෙනවා. අලුත් පරම්පරාවට නෑ. අද රියලිටි කලාව කියල දෙයක් වේදිකාවේ තියෙනවා. එහිදී කුණුහරුප කියන එක විලාසිතාවක් වෙලා. කුණුහරුප කීම යථාර්ථය නෙවෙයි. බලන්න යන ජනතාව විඳින්නෙත් ඒ කුණුහරුප. උදේ ඉඳල හැන්දෑව වෙනකං ජීවන අරගලයක නිරතවෙන ජනතාවක්නෙ ලංකාවෙ ඉන්නෙ. අතළොස්සක් දෙනා අතේ සල්ලි තියෙනවා. අනිත් මිනිස්සු අතේ සල්ලි නෑ. විනෝදයක් ලබන්න මොනවද නොකරන්නෙ. හැමෝම මේ සැඬ පහරට ගසාගෙන යද්දි අපි පුංචි උත්සාහයක නිරත වෙනවා මොනවහරි දෙන්න.
Q ගහගෙන යන මිනිස්සුන්ට ඔය පිදුරු ගහේ එල්ලෙන්න පුළුවන් වේවිද?
ලේසිවෙන්නෙ නෑ. අපේ ජීවිත යන්නෙ අවරටනෙ. මොනවහරි මිනිස්සුන්ට ජීවිතේ දෙන්න උත්සාහ කරල මැරිල ගියාම අනිත් මිනිස්සු කියාවි අර මිනිහ දැඟලුව කියලවත්. ඒක මගේ දරුවන්ට හොඳයි. ඒ අයගෙ දරුවන්ට හොඳයි. අඩු ගාණෙ අපේ තාත්තා, අපේ සීයා මොනවාහරි කරන්න හැදුව මිනිහෙක් කියල කියනවා නම් ඒක වටිනවා.
සමහරු ටෙලිනාට්‍ය හදනවා පෙන්නන්න බෙල්ට් එකක් නෑ. හොඳ මිලක් නෑ. ඒ අතරින් හොඳම නිර්මාණයක් කළොත් එය විකුණන්න පුළුවන්. හොඳ මිලකුත් ගන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳ වේදිකා නාට්‍යයක් කළොත්, මිනිස්සුන්ගේ ආත්මයට යමක් දුන්නොත්, ඔහු ඒක අරගෙන ගෙදර යයි. හොඳ නාට්‍යයක් සමාජය ඉල්ලනවා. අන්න ඒ ඉල්ලුමට යමක් සැපයුවොත් ගමනක් තියේවි. සමාජයේ පොඩි පරිවර්තනයක් කරන්න පුළුවන්. සෝවියට් දේශය හොඳ උදාහරණයක්. සෝවියට් නාට්‍ය, නවකතා ,කෙටිකතා තමයි අපට තොටිල්ල වුණේ. අපි හැදුණෙ ඒකෙ. ඒ හින්දා අදත් ඒ ගතිගුණ තිබෙනවා. ඒ හින්දම ගෝර්කිට ගරු කරනවා. තෝල්ස්තෝයිට වගේම ඇන්ටන් චෙකෝෆ්ටත් ගරු කරනවා. මකාර් චෞද්‍රිගෙ අභිමානය අපි තියාගන්න බලනවා. එහෙම තමයි වයෝවෘද්ධ කලාකරුවන් හැටියට අපි බලන්නෙ. හොඳ නිර්මාණ සඳහා හිඩැසක් තිබෙනවා. ඒ හිඩැස පුරවාලන්න තමයි උත්සාහ කරන්නෙ.
Q ලංකාවෙ අවුරුද්දකට අතිවිශාල වේදිකා නාට්‍ය ප්‍රමාණයක් වේදිකාගත කෙරෙනවා. පරිවර්තන විදියටත් එනවා. නමුත් ඔය කියන සමාජ පරිවර්තනය අපි දැක්කෙ නෑනෙ ?
ජීවත්වෙන්න අමාරු රටකයි අපි ඉන්නෙ. ලෝකයත් එක්ක ගනිද්දි අපි අවුරුදු 50 ක් පිටුපසිනුයි ඉන්නෙ. රුසියාවෙ හෝ ඇමෙරිකාවේ අවුරුදු 20 ක තරුණයෙකුට තියෙන දැනුම මෙහේ අවුරුදු 40 ක කෙනෙකුටවත් නෑ. ඒ සමාජයේ මූලික අයිතිවාසිකම් සැපිරිලා. මූලික අයිතිවාසිකම්වත් නැති සමාජයක බුද්ධි වර්ධනය හරි අඩුයි.
සමහරු තමන්ගෙ නොහැකියාව වහගන්න ලොකු කෙනෙකුගෙ නාට්‍යයක් අරන් නිර්මාණය කරනවා. තෝල්ස්තෝයිගෙ, දොස්තොව්ස්කිගෙ කෘති ගන්නවා. ගෝර්කිගෙ අම්මා කෘතිය ගන්නවා. කොච්චර පරිවර්තන ගත්තත් තමන්ට දර්ශනයක් තියෙන්න ඕන. ඒකෙන් මං මොනවද කරන්නෙ. ගෝර්කිගෙ අම්මා කෘතිය අරගෙන මං කොහොමද ලංකාවෙ අම්මලාට කතා කරන්නෙ. අපේ ආකෘතිය ගොඩනගන්න ඕන කොහොමද කියන දැක්ම එම නිර්මාණකරුවාට තිබිය යුතුයි. මම තෝල්ස්තෝයිගෙ 'ද එක්සයිඩර්'කෘතිය නිර්මාණය කළා 'හංසයාගේ නවාතැන' නමින්. එය මනුෂ්‍යයන්ගේ මානව ප්‍රේමය ගැන කතාවෙන නාට්‍යයක්. තෝල්ස්තෝයිගේ අර්ථකථනය කුමක්ද, මගේ අර්ථකථනය කුමක්ද?
මම කෘතියක් කළාට වැඩක් නෑ ඒ සඳහා මගේම අර්ථකථනයක් තියෙන්න ඕන. අනික තමයි මෙහේ හැමදේම බිස්නස් වෙලානෙ. නාට්‍යත් බිස්නස්. චිත්‍රපටත් බිස්නස්. ඉස්සර අධ්යක්ෂ තරමටම නිෂ්පාදකවරයාටත් දැනුමක් තිබෙනවා. අද මුදලාලිලායි ඒව කරන්නෙ. අද ටෙලිනාට්‍යයක් කරනවා නම් නාට්‍යයට හිමිවෙන්නෙ හත්වැනි තැන. පළවෙනි තැන එක දේකට. දෙවැනි තැන තවත් දේකට. ඒව ඔක්කොම සපුරගෙන තමයි පුළුවන් වුණොත් නාට්‍යය කරන්නෙ. අද එතැනට පත්වෙලා. මොන කෘතිය කළත් වැඩක් නෑ. අරමුණ, දර්ශනය සාක්ෂාත් කරගන්න ක්‍රියාන්විතයක් නැති සමාජයක කලාව අර්බුදයට යනවා. සමස්ත රට ගැන නාට්‍ය දෙබසකින් කියනවානම් 'සියල්ල බල්ලට ගිය යුගයක නාට්‍ය කලාව විතරක් ඉතුරුවෙන්නෙ නෑ' එහෙව් සමාජයකයි අපි ජීවත්වෙන්නෙ.
Q ඔබ කියන විදිහට කලාකරුවො නැති රටක් කොහොමත් පිරිහෙනවා නේද?
මම නැවත වතාවක් කියනවා කලාකරුවන් නැහැයි කියල. කලාව භාවිත කිරීම කලාකරුවා වෙන්න සුදුසුකමක් නෙවෙයි. කලාකරුවා කියන්නෙ කවුද යන්න වටහාගන්න ඕන. අනික තමයි ඔහුගේ ජීවිතය හා ඔහු සමාජයට ප්‍රකාශ කරන දේ දෙකක් වෙන්න බෑ. මම නගරශෝභිනියක් ගැන අනුකම්පාවෙන් කතාකරලා හැන්දෑවට නගරශෝභිනියක් ගෙදර එක්ක යනවා නම් ඒක දෙකක්නේ. හුඟක් කවියෝ එහෙමයි. අපේ ජීවිතයෙන් ආදර්ශයක් දෙනවා. මං මෙහෙමයි. මංකතාකරන්නෙත් මේකයි. මගේ කලාවත් මේකයි. එහෙම වෙන්න ඕනෑ.
0776 822 556
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු