මේ වකවානුවේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් ප්‍රදර්ශනය කෙරෙන සිනමා නිර්මාණයක් ලෙස රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ 'සරිගම' චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාව හෙවත් මරියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක වන පූජා උමාශංකර් විසිනි. මේ එම සිනමා නිර්මාණය පිළිබඳව සහ මෙරට සිනමා කර්මාන්තය සම්බන්ධව ඇය සමග කළ සංවාද සටහනකි.
Q මරියා ඔබට දැනෙන්නේ මොන විදිහටද?
සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය මම සියවරකට වඩා බලලා තියෙනවා. මම 'අංජලිකා'කරන කාලේ (2006) මගෙන් සම්මුඛ සාකච්ඡාවලදී ඇහැව්වා ඔබ ගොඩක් කැමති මොනවගේ චිත්‍රපටයක් කරන්නද කියලා. එවිට මම කිව්වා 'සවුන්ඩ් ඔෆ් මියුසික්' වගේ ළමයින් එක්ක චිත්‍රපටයක් කරන්න කැමතියි කියලා. දඟ කරන, සෙල්ලම් කරන, කනබොන, හිනාවෙලා නිදහසේ ඉන්න ළමයින් එක්ක නිර්මාණය කෙරෙන චිත්‍රපටවලට මම වැඩි කැමැත්තක් දක්වනවා. අංජලිකා ගත්තත් ඒ වගේ සිදුවීම් තිබුණා.
පවුලක් ගත්තාම 'අපි ළමයි වෙනුවෙන් මේක කරමු' 'ළමයි වෙනුවෙන් ට්‍රිප් එකක් යමු' වැනි කාරණා සේම අම්මියි තාත්තියි ළමයින් වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නේ. ඒ කියන්නේ ළමයි පවුලක ඉතාමත් වැදගත් කොටසක්. මේ නිසා ඉතා හොඳ ළමා චිත්‍රපටයක් කළොත් ඒක පවුලේ චිත්‍රපටයක් වෙනවා. සෝමෙ අයියා මේ කාරණය හොඳින්ම දන්නවා.
සරිගම ගත්තොත් මේකෙ හැම වයස් කාණ්ඩයකම අයට ගැළපෙන කොටස් තිබෙනවා. ළමයින්ගේ සුන්දර ක්‍රියාකාරකම් වගේම ටීනේජර් ලව් තියෙනවා. ඕලු සහ තැපැල්කරු අතර, කැප්ටන් සහ සැන්ඩ්‍රා අතර ආදර කතා තියෙනවා. තරුණ ආදරය කියන දේදි හරි කෙනා තෝරාගත්තෙ නැත්නම් එහි ඇතිවෙන්නේ දුකක්. සමහර අය මගේ ආදරය කැඩිලා ගියානේ කියලා දුක්වෙනවා. නමුත් මම කියන්නේ යම් සම්බන්ධයක් කැඩිලා යනවා නම් ඒක කැඩෙන්නේ කැඩෙන්න ඕන නිසයි. Some be want to go, let them go. you will something better කියලා කියන්නේ ඒ නිසයි.
මරියා, කන්‍යාරාමයේ සිට කැප්ටන්ගේ ගෙදරට එනවා කිව්වම ඇය දුක්වෙනවා. නමුත් ඇයට එහෙම යන්න දුන්න නිසා තමයි එයාට මේ ළමයි සහ කැප්ටන් හමුවෙන්නේ. Always something bad will go out to your life.. something good to coming. ඒ වගේම ළමයින්ටත් පාලිකාවන් 11 දෙනෙක් විතර අත්හැර ගිය පසුව තමයි 12 වැනියා ලෙස හොඳම පාලිකාව ලැබෙන්නේ. සරිගම චිත්‍රපටය ජීවිතේට පාඩම් රැසක් කියාදෙන හොඳ චිත්‍රපටයක් වගේම ආදරය පිරිලා තිබෙන චිත්‍රපටයක්. මෙච්චරකල් මම කරපු චිත්‍රපටවලින් ආදරය රැඳිලා තියෙන චිත්‍රපට අතර ඉහළින්ම තිබෙන්නේ මේකයි.
Q ළමයින් එක්ක ඔය චරිත රඟපාන්න යන කියන තරම්ම සුන්දරද?
අම්මෝ ලේසි නෑ. අතේ ඇඟිලි 10 සමාන නැහැ වගේ එක් එක්කෙනාට තිබෙන්නේ වෙනස් පෞරුෂ. ඒ අතර ඉවසීමේ හැකියාව, දරාගැනීමේ හැකියා මට්ටම්, කනබොන දේවල්, නිදාගන්න වෙලාව , ක්‍රියාශීලීභාවය ආදිය එකිනෙකාට වෙනස්. හැබැයි අපි රඟපෑම කරනවිට එකම වෙලාවේ ඒ හැමදෙනාගේම ක්‍රියාශීලී බව අපි ඒ රංගනයට යොදාගන්න ඕන. ඒක ලෙහෙසි නැහැ.
මම අංජලිකා කරපු කාලේ පොඩි ගැහැනු ළමයින් දෙදෙනෙක් ඒ චිත්‍රපටයේ රඟපෑවා. ඒ කාලේ මට සිංහල බැහැ. ඒ නිසා ඒ අයට සමීපවෙලා අදහස් ප්‍රකාශ කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. නමුත් චන්න ඒ අයට ආදරයෙන් කතා කිරීම තුළ ළමයි චන්න අංකල් කියන දේ අහනවා. සෝමෙ අයියත් ළමයින් එක්ක කටයුතු කරන්නේ ඒ විදිහට තමයි. ළමයින් එක්ක මුලින්ම යාළු වෙනවා. ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ ළමයින්ට මිස අපිට නෙවෙයි.
අපේ පවුල්වල වුණත් ප්‍රධාන තැන ළමයින්ටනේ. සෝමෙ අයියත් ඒ විදිහට කටයුතු කරන නිසා ඔක්කොම එකම පවුලක් වගේ මේකට රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයේ රඟපෑම් ඉවර වුණාට දැන් නම් එක පවුලක අය වගේ හරි සතුටින් කාලය ගත කරනවා. චිත්‍රපටය රූගත කරන කාලය පුරාත් අපි මේ සොඳුරු බැඳීම අත්වින්දා.
Q ඔබේ සිනමා ආගමනය ඉන්දියාවෙන් සිදුවුණේ. දැන් එරටට වඩා මෙරට තුළ ජනප්‍රිය චරිතයක් වී අවසන්. එසේ වන්න බලපාන්නේ කවර සාධකයන්ද?
මම දැන් ලංකාවට හිත දීලා ඉවරයි. ඒක තමයි මූලික වශයෙන්ම බලපාන්නේ. උදාහරණයක් විදියට ඔබ පුවත්පත් කලාවට හිත දීලා තියෙන නිසා ඒ තුළ විශිෂ්ට ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඔබට රැකියා දෙකක් තිබුණා නම් කරන්න ඕන හින්දා කරනවා. ඇත්තටම මට ඉන්දියාවේ රංගනයක නිරත වෙන්නට හිත දෙන්න වෙලාවක් තිබුණෙ නැහැ. මොකද මට අංජලිකා කරන්න ලැබෙන්නේ මගේ සීයා නිසා. සීයා අසනීප වුණ නිසා මට අම්මත් එක්ක ලංකාවට එන්න සිදුවුණා. එවිට ඉන්දියාව තුළ මම යමින් සිටි ගමන මට නවත්වන්න වුණා. මොකද මට හැමදේටම වඩා වටින්නේ මගේ පවුල නිසා. සීයා මට කවදාහරි නැතිවෙනවා. එවිට ඔහුට මාව ආයිත් ගේන්නෙ නැහැ. නමුත් චිත්‍රපට නම් ආයිත් ගේන්න පුළුවන්නේ. පෙම්වතියගේ චරිතෙ නැතිවුණොත් අක්කා හරි, අම්මා හරි, බිරිඳ හරි මොකක් හරි චරිතයක් කරන්න පුළුවන්.
මේ නිසා මම සීයා තෝරාගත්තා. ඒ හරහා මෙරටට ආ පසු අංජලිකා රඟපෑවා. අංජලිකාගෙන් පසු 'ආසයි මං පියාඹන්න', 'සුවඳ දැනුණා ජීවිතේ', 'යහළුවෝ', 'කුසපබා', 'පත්තිනි' චිත්‍රපටයත් 'දස්කොන්' ටෙලිනාට්‍යයත් ලැබුණා. මම ඉපදුණේ ලංකාවේ. මම ගාව තිබෙන්නේ සිංහලෙන් ලියපු උප්පැන්න සහතිකයක්. දෙවියෝ අපට දීපු ජීවිතේ මොකක්ද කියලා අපි හොයාගන්න ඕන. එවිට ඔබට තේරෙයි ඔබ ඉන්න ඕන නිසි තැන මොකක්ද කියලා. දෙවියන් මට දීපු තැන තමයි ශ්‍රී ලංකාව. මම ආයෙ ලංකාව හැරදා ඉන්දියාවට යන්නෙ නැහැ. මගේ පියා ඉන්දියාවේ සිටින නිසා මම ඉන්දියාවට යනවා එනවා. නමුත් මගේ ස්ථිර පදිංචිය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ.
Q ලංකාවේ නිළියන් ඔබත් එක්ක ගනුදෙනු කරන ආකාරය හෘදයංගමයි කියලා ඔබට හැඟෙනවාද?
ඉන්දියාවේ මට යහළුවන් රැසක් ඉන්නවා. අපි රඟපාන්න ගිය පළමු දවසින් යහළු වෙනවා. ඒ තුළ මට එකවර චිත්‍රපට දෙකක් හෝ මම කරන්නෙ නැති චරිතයක් ලැබුණොත් මම ඒ කාට හරි කතා කරලා කියනවා මෙහෙම චරිතයක් තියෙනවා මට කරන්න වෙන්නෙ නැහැ. ඔයා කතා කරලා බලන්න කියලා.
නමුත් මෙහෙට එනකොට යාළුවො කවුරුත් නැහැ.
'ආසයි මං පියාඹන්න' කරන කාලේ උමාලි සහ උපේක්ෂා යහළු වුණා. පස්සෙ නිරෝෂා පෙරේරා යහළු වුණා. මට ඇත්තටම ලංකාවේ යහළුවෝ කියලා ඉන්නෙ ඒ තුන්දෙනා තමයි. නමුත් අපි නිතර සම්බන්ධ වෙන්නෙ නැහැ. මොකද මම නිතර විවිධ රටවල යන එන නිසා. හැබැයි ඉන්දියාවේදී බර්ත්ඩේ පාටි, ගෙට්ටුගෙදර් වැනි අවස්ථාවල හෝ යූනියන්වලදී හෝ දුරකථනය හරහා හෝ සම්බන්ධ වෙනවා. මෙහෙත් එහෙම ෆ්ලැට් ෆෝට් ඇති. නමුත් මට ටච් නැහැ.
අපේ ලංකාවේ නිළියො ගත්තාම සුවිශේෂී රංගන හැකියාවන් තිබෙනවා. උදාහරණයක් ලෙස ජැකලින් ගත්තොත් ඇය ඇගේ හැකියාවන් එක්ක ලොකු ගමනක් ගිහින් තියෙනවා. ඒ වගෙම මෙරට සිටින සෙසු රංගන ශිල්පීන්ටත් හරි පිටපතක්, නිසි අධ්යක්ෂවරයෙක්, හොඳ නිෂ්පාදකයෙක් ලැබුණොත් ඔවුන් තම නිර්මාණය හරහා සිය හැකියාවන් හොඳින් එළිදක්වනවා.
Q ඔබට හැඟෙන අපේ සිනමාවේ මූලික ගැටලුව මොකද්ද?
මම දකින විදිහට ඩිජිටල්කරණය වී නොමැති ගැටලුව තමයි මේ වෙනකොට මූලික වෙලා තියෙන්නෙ. ඩිජිටල්කරණය කරපු චිත්‍රපටයක් හැදුණොත් තමයි නිෂ්පාදකවරුන්ට තමන්ගේ ආයෝජනය කරපු මුදල නැවත උපයාගන්න ලැබෙන්නේ. ඒ හරහා ඔහු තව තවත් චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹෙනවා. සල්ලි තිබුණොත්නේ නිෂ්පාදකයා තව තවත් හොඳ චිත්‍රපටයක් කරන්න උත්සාහ කරන්නේ. ඔහුට සල්ලි නැත්නම් කොහොමද ලස්සන චිත්‍රපට ගහන්නේ. ලස්සන ලෝකේෂන් එකකට යන්නේ. ලොකු කෘෘ එකක් ගන්නේ. අපේ කාර්මික ශිල්පීන් ඉතා දක්ෂයි. මෙරට රූපගත කරන හොලිවුඩ් චිත්‍රපටවලටත් යොදාගන්නේ අපේ කාර්මික ශිල්පීනුයි. ඒ ඔවුන් අති දක්ෂයන් නිසයි.
නමුත් කොතරම් දක්ෂ අය හිටියත් සිංහල චිත්‍රපට සම්බන්ධව ඇතැමුන් තුළ තිබෙන්නේ 'ආපෝ මට සිංහල චිත්‍රපටයක් බලන්න බෑ' වගේ අදහසක්. ඒ මතය ඇතිවෙලා තිබෙන්නේ ඔවුන් බලාපොරොත්තු වන ගුණත්වය ඇතැම් චිත්‍රපට තුළ දකින්න නොලැබෙන නිසයි. ඒ නිසා මේක එකිනෙකා උදව් කරගනිමින් යන්න ඕන ක්ෂේත්රයක්. 'සරිගම' චිත්‍රපටය ගත්තොත් ඉතා විශාල මුදලක් වැයකරලා හොඳටම කරපු චිත්‍රපටයක්. මම ආසයි මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා 100ක ප්‍රදර්ශනය වෙනව නම්. නමුත් අපට දැනට දීලා තියෙන්නෙ චිත්‍රපට ශාලා 45 ක් පමණයි. විශේෂයෙන් හුරුපුරුදු ඇතැම් සිනමා ශාලා තුළ මේ චිත්‍රපටය දකින්නට නැහැ. එහෙම වෙලා තියෙන්නේ ඒ සිනමා ශාලා ඩිජිටල්කරණය කර නැති නිසයි. ඒ සිනමා ශාලාවන් ඩිජිටල්කරණය වෙනවා නම් ඒක අපේ සිනමා කර්මාන්තයටත්, ව්‍යාපාරික වශයෙන් ඔවුන්ටත් වඩා හිතකර තත්ත්වයක් උදාකරන්නක් වෙයි.
ඒ වගේම අපට කොච්චර දක්ෂ රංගන ශිල්පීන් හිටියත් ඒ අය වෙනුවෙන් චරිත ගොඩනගලා චිත්‍රපට හැදෙන්නෙ නැති ගැටලුවක් තිබෙනවා. අශාන් ගත්තොත් ඔහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ 'පතිරාජ' කියන චරිතය මැනවින් නිරූපණය කළා. නමුත් ඉන්පස්සෙ ඔහුට චිත්‍රපට ලැබෙනවාද? අධ්‍යක්ෂකට පුළුවන් නම් මම මේ චරිතය අශාන් වෙනුවෙන් කරනවා කියල හදන්න ඕන. චිත්‍රපටයකට බය නැතිව ආයෝජනය කරන්න ඕන. සෝමෙ අයියට විතරක් මේ කටයුත්ත කරන්න බෑනේ.
Q ඔබ විශ්වාස කරන විදිහට ඔබව වඩා හොඳින් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරයා කවුද?
හැමදෙනාම ඉතා හොඳින් ඒ කටයුත්ත කළා. ඒ හැමදෙනාටම තිබුණේ ඒ ඒ අයට අනන්‍ය වූ පෞරුෂයක්. ඒ පෞරුෂත්වය නිසා තමයි ඔවුන් මාව හැසිරවූවේ. 'අංජිලිකා' හරහා මා තුළින් මතුවන්නේ චන්නගේ පෞරුෂත්වයයි. 'සරිගම' හි මරියා තුළින් එළියට එන්නේ සෝමෙ අයියගේ පෞරුෂයයි. 'පබාවතී' තුළින් ජැක්සන් අයියා, සුනිල් සර්, සෝමෙ අයියා කියන තිදෙනාගෙම පෞරුෂත්වයන් ඔබට පෙනේවි. 'දස්කොන්' ගත්තොත් කෙලින්ම ජැක්සන් අයියා තමයි ඉන්නේ.
'පත්තිනි' හි කන්නගී ගත්තොත් සුනිල් සර්ගේ පෞරුෂය තමයි මතුවන්නේ. කරපු හැම චරිතයක් ගැනම ආපසු හැරිලා බලනකොට තව මීට වඩා හොඳින් කරන්න තිබුණා කියන හැඟීම මට ඇතිවෙනවා. මට හිතෙන විදිහට මම ලබාදීලා තියෙන්නේ 20%ක් පමණයි. තව 80%ක් මට ලබාදෙන්න තිබුණා කියල හිතෙනවා. මේ තත්ත්වය ඉදිරියට වෙනස් කරගන්න හැකිවේවි කියලා මට හිතෙනවා. ඉතිං බලමුකෝ...
ඡායාරූප ඉසුරු පෙරේරා