"මෙවර දෙරණ සම්මාන උලෙළේ සම්මාන දීම සඳහා චිත්‍රපට තේරූ විනිශ්චය මණ්ඩලයේ පස්දෙනාගේ (හඳගම, යශෝධා, චාන්දනී සෙනෙවිරත්න, පියල් කාරියවසම්, සුදත් මහදිවුල්වැව) මුහුණු ශාලාවේ තිරය මත ප්‍රදර්ශනය වෙද්දී මම හිත හදා ගත්තා මට නම් කිසිම සම්මානයක් ලැබෙන එකක් නැහැ කියලා.
ඒත් ඊට පස්සේ ලක්සිරි වික්‍රමගේ මහතාගේ කතාවේදී කර්මාන්තයක් ලෙස සිනමාව පවත්වාගෙන යා යුතුයි. එවැනි චිත්‍රපට නිර්මාණකරුවන් රැක ගත යුතුයි කියනකොට පොඩි බලාපොරොත්තුවේ ආලෝකයක් හිතට ආවා. ඊට පස්සේ නිවේදක, විශ්ව 2014 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සිරි දළදාගමනය අධ්‍යක්ෂකවරයා ලෙස මගේ නම සඳහන් කරලා සම්මාන ගන්න වේදිකාවට කැඳවනකොට මට දරාගන්න බැරි සතුටක් ආවා. ලක්සිරි වික්‍රමගේ මහතා මට සම්මානය දෙනකොට මම සිහි කළේ මා අදහන බුදු දහමෙන් මා ලද විශ්ව ශක්තිය නැවතත් මා කෙරේ බලපෑමක් ඇති කළ බවයි"
සනත් අබේසේකර මහතා මෙසේ තම අදහස් ප්‍රකාශ කළේ තමා අධ්‍යක්ෂණය කළ සිරි දළදාගමනය චිත්‍රපටය 2014 වසරේ වැඩිම ආදායම් ලද චිත්‍රපටයට හිමි සම්මානය 2015 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රි‘යේ ලබාගැනීමේ සතුටද භුක්ති විඳිමිනි.
"මේ සම්මානය මට ලබා දුන්නේ දෙරණ පරිපාලනයයි. දිලිත් ජයවීර, ලක්සිරි වික්‍රමගේ, මාධව මඩවල මහත්වරුන් ඇතුළු දෙරණ පරිපාලනයට මම මේ අවස්ථාවේදී මගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරනවා. මේ සම්මානය ලැබීම මා දකින්නේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා දළදා හාමුදුරුවන්ට කරන ලද ගෞරවයක් හැටියටයි.
මෙම චිත්‍රපටයේ එක නිෂ්පාදකවරියක් අප අතරින් වෙන්වී ගිය සෝමා එදිරිසිංහ මහත්මියයි. ප්‍රථමයෙන්ම මේ චිත්‍රපටය හදලා පළමු දර්ශනය එදිරිසිංහ පවුලේ අයට පෙන්වූදා සෝමා එදිරිසිංහ මහත්මිය මා ළඟට ඇවිල්ලා කිව්වා මේ සිරි දළදාගමනය චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වීමට ලැබීම එතුමිය ජීවිත කාලයේ කරගත්ත ලොකු පුණ්‍යකර්මයක් හැටියට හිතට දැනෙනවා කියලා. මේ සම්මානය ලබද්දී ඇය අප අතර නොසිටීම හිතට ලොකු වේදනාවක්. අද ඇය ජීවතුන් අතර හිටියා නම් මේ සම්මානයෙන් වැඩිම සතුටට පත්වන තැනැත්තියත් ඇය තමයි.
මෙයට අමතරව චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වූ ඔස්ට්‍රේලියාවේ පූජ්‍ය අකරවිට සංඝානන්ද ස්වාමීන්වහන්සේවත්, මෙහි සාර්ථකත්වයට මගේ පසුබිමේ සිටි පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්වත්, රුවන්වැලි සෑයේ නායක හිමියන් වන පල්ලේගම හේමරතන ස්ථිවිරයන්වත්, මගේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූ සියලුම නළු නිළියන්වත්, සමස්ත කාර්මික ශිල්පීන්වත් මේ අවස්ථාවේදී මම ආදරයෙන් සිහිපත් කරනවා.
අපේ ප්‍රේක්ෂක රසවින්දනය පවතින්නේ ගෙවන ජීවන රටාවට සාපේක්ෂවයි. මහින්දාගමනය ප්‍රදර්ශනය වෙද්දී අපේ රටේ යුද්ධය අවසාන වෙලා, 2600 සම්බුද්ධත්ව ජයන්තියට ජනතාව සූදානම් වෙමින් සිටි කාලයක්. මෙවැනි වාතාවරණයක් තුළ චිත්‍රපට ආදායම් ලබනවා. ලංකාවේ මිනිස්සු සතුටින් සිටින තාක් කල් සිනමාව වැජඹෙනවා. සිරි දළදාගමනයන් සාර්ථක වූයේ එම පසුබිම මතයි" යනුවෙන් සිය සතුට අදහස් වලට ගළපමින් සනත් අබේසේකරයන් පැවසීය.
පද්ම කුමා මෙත්තසේන