මේ සමාජයේ බහුතරයකගේ රසවින්දනය කියන ජාන මැරිලා තියෙන්නෙ
දඟමල්ල, ඈන්, මම වෙනම මලක් හා පිනිපොද වැස්සක් වැනි වේදිකා හා ටෙලි නිර්මාණ සිදුකළ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ පොත් ගුල්ලි වේදිකා නාට්‍යය නිර්මාණයයි. එහි මංගල දැක්ම මේ මස 16 වැනිදා බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මේ කතාබහ නාලක ස්වර්ණතිලක සමගිනි.
Q ඔබේ අලුත්ම ළමා නාට්‍යය නිර්මාණය තමයි පොත් ගුල්ලි කියන්නේ?
රෝල්ඩ් ඩාල කියන විශ්ව කතා රචකයෙකුගේ මැටිල්ඩා කෘතිය ආශ්‍රය කරගෙන පොත් ගුල්ලී කියන නාට්‍යය නිර්මාණය වෙන්නේ. මැටිල්ඩා කිසි පෙලඹීමක් නැතිව කියවන්න යොමු වෙනවා. අද කියවීම කියනදේ ඇලජික් වෙලා. ජීවිතය ගැන කියවන්න විශ්ව සාහිත්‍ය පොත් කොපමණ තිබෙනවද? අපි අප්ඩේට් වෙන්න හදන්නේ සිලබස් අලුත් කරලා. තියෙන ක්‍රමය යටතේ හරි රසවින්දනයක් තිබිය යුතුයි. මේ නාට්‍යයට රංගනයෙන් කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර සහ සංකාරා විජේරත්න යන ශිල්පීන් සමග මගේ වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමියේ ළමා ශිල්පීන් තිස්දෙනෙකු පමණ සහභාගි වෙනවා. වෛද්‍ය නුවන් තොටවත්තගේ මෙහි ගීත රචනා කළේ. සංගීත නිර්මාණය චින්තක ජයකොඩි සිදුකළා. නර්තන වින්‍යාසය හර්ෂිකා රත්නායක හා පියුමි සිල්වාගෙන්. හාස්‍යය මුසුව ජීවන යාථාර්ථය සරලව විඳගන්න ලැබෙන නාට්‍යය නිර්මාණයක් වෙයි මෙය.
Q ළමයින් මූලික කරගෙන නිර්මාණ කාර්ය සිදුකරන්න මූලික හේතුව මොකක්ද?
ලෝකෙ හැම රටකම රසිකත්වය පටන් ගන්නේ ළමයා තුළින්. වැඩිහිටි මිනිසුන්ගේ අඩුපාඩු ගැන අපි කතා කරනවා. මේ සෑම දෙයක් පිටුපසම තිබෙන්නෙ අධ්‍යාපනය හා රසවින්දනය. අධ්‍යාපනය අංක එක. එහිම පාත් එකක් තමයි රසවින්දනය කියන්නේ. නමුත් අද වනවිට අධ්‍යාපනය කියන එකේ නිර්ණායකයන්, නිර්වචනයන් ගැනවත් ප්‍රමාණාත්මක අවබෝධයකින් අපේ රටේ වැඩ කරනවා කියලා මම හිතන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපනය කියන්නෙ පාසලේ රාමුගත, විභාග කේන්ද්‍රගත විෂය මාලාවක් ඉගෙන ගන්න එක. සමස්ත ගුරු පරපුර සහ දෙමවුපියන් අධ්‍යාපනය කියන්නේ ඒක කියලා හිතන්න යොමුවෙලා.
පුළුල් අර්ථයෙන් අධ්‍යාපනය ගැන කතා කළොත් එය සමස්ත ජීවිතයත් එක්ක බද්ධ වුණ දෙයක්. අපේ අධ්‍යාපනයෙන් ඒ දේවල් අහිමිව ගිහින්, ගුරුවරුන්ගේ ෆොටෝකොපි බවට ළමයින් පත්වෙලා. ගුරුවරිය ලබාදෙන කොටස කොපි කරනවා, විභාගයට ගිහින් පේස්ට් කරනවා. කොපි ඇන්ඩ් පේස්ට් ශිෂ්‍යයන් ඉන්නෙ දැන්. ගුරුවරයා නවත්වන්නෙ කොතැනින්ද, එතැනින් තමයි ඉගෙනීම ආරම්භ වෙන්නෙ. නමුත් එහෙම ක්‍රමයක් මේ තුළ නැහැ. දෙමවුපියනුත් මේ ක්‍රමයෙන්ම ඉගෙන ගෙන මේ ක්‍රමයටම ආවඩමින් යනවා. ගැලවීමක් නැහැ. ඒක තමයි සිදුව තිබෙන්නෙ.
Q ඔබ ළමා නිර්මාණ කරන්න යොමුවෙන්නෙ, පසුබිමක් නිර්මාණය වෙන්නෙ මාධ්‍ය ක්ෂේත්රය තුළ කටයුතු කරන කාලෙදී?
ඔව්. මම මුලින්ම මාධ්‍ය ගමන ආරම්භ කරන්නෙ 1998 අවුරුද්දේ ලක්හඬ ගුවන්විදුලියෙන්. පසුව ළමයින් කේන්ද්‍ර කරගත් ජනමාධ්‍ය වැඩසටහන් මොනවද තියෙන්නේ කියලා බැලුවම ඉතාම සාමන්‍ය තැනක අපි සිටින්නේ කියන කාරණය වැටහුණා. ඒ කාලේ ගුවන්විදුලියෙත් චිත්‍ර වැඩසටහන් කළා. ළමයින්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කියන දේ තරගවලට ලඝු කරලා තිබුණෙ. ඒ තුළ මම ජපන් කතාවක් ආශ්‍රය කරගෙන හරි පුදුම ඉස්කෝලේ නමින් සඟරාමය නාට්‍යය වැඩසටහනක් කළා. ඒ කටයුත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් සමග ඒකාබද්ධව තමයි කළේ.
ඉන් ලැබුණු උත්තේජනයත් එක්ක දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ නමින් 2002 වසරේ ගුවන්විදුලි වැඩසටහන් කළා. 2003 අවුරුද්දේදී දඟමල්ල සහ අමුතු ඉස්කොලේ වේදිකා නාට්‍යයක් කළා. එච්.ඩී. ප්‍රේමරත්න එය දැක ස්වර්ණවාහිනී නාළිකාවට ටෙලි නාට්‍යයක් කරන්න ආරාධනා ලැබුණා. මම එය සිදුකළා. දඟමල්ල නාට්‍යය වසර දෙකක් තුළ හය වතාවක් විකාශය වුණා. ලංකාවේ අඹ යාළුවෝ ටෙලි නාට්‍යයට පස්සේ ළමයින් මූලික වුණු ටෙලි නාට්‍යයක් ලෙස බොහෝ ජනප්‍රිය වුණේ දඟමල්ල කියන නාට්‍යය.
2007 ඈන් කියන ටෙලිනාට්‍යය කළා. අන්තර්ගතය තමයි වැදගත්. අපි විශ්වීය ළමයෙක් ගැන කතා කරනවා. ආයෙත් කතා කරනවා අපේකම ගැන. මේ හැමදේම එකක්. ඒවා වෙන් කරන්න බැහැ. ඒවා අපේකමට ගළපාගත යුතුයි. මම වෙනම මලක් කියන නාට්‍යය 2011 දී කළා. එයට රාජ්‍ය ළමා නාට්‍යය උලෙළේ සම්මාන හිමිවුණා. මම හැම නිර්මාණයක්ම කළේ ප්‍රදර්ශනය සඳහා, තරගයකට යොමුකරන්න නෙමෙයි. දඟමල්ල 2014 වනවිට දර්ශන වාර අනූවක් වේදිකාගත වුණා. එහි රංගනය යෙදෙන්නේ ළමයි. ලංකාවේ ළමුන් උදෙසා නිර්මාණය කරන නාට්‍යයවලත් රඟපාන්නේ වැඩිහිටියො. ළමුන් එක්ක දර්ශන වාර අනූවක් කරනවා කියන්නෙ අමාරු වැඩක්.මම වෙනම මලක් කියන නාට්‍යය දර්ශන වාර හතළිහක්. ලංකාවේ ළමයින්ට නිර්මාණ අඩුයි. නිර්මාණ හැදෙන්නෙත් වාර්ෂිකව පැවැත්වෙන තරගවලට. තරගවලින් පසු නාට්‍යය නැහැ. කිසිම දෙයක් නැති තැනට මොකක් හෝ කිරීමේ ආශාව නිසා තමයි මම නාට්‍යය කරන්නෙ.
Q වාණිජමය කාරණාව නිර්මාණයකට බලපෑමක් එල්ල වෙන දෙයක් බවට පත්වෙලා. ළමා නාට්‍යය නිර්මාණය කරද්දි එය බලපෑමක් නෙමෙයිද?
ඉතාම අමාරුයි. ලංකාවේ කලාකරුවා ඒක කතා කරනවා. රටේ ස්වභාවය හෝ සමස්ත පාලන තන්ත්රය හෝ රටේ තිබෙන ප්රතිපත්තිවල ගැටලුවක්. නමුත් මේ ගැටලු ගැන කතා කරකර ඉඳලා ඵලක් වෙන්නෙ නැහැනේ. අඳුරට ශාප කරන්නෙ නැතුව එක පහනක් හරි දැල්විය හැකි නම් දැල්විය යුතුයි. මේ නිෂ්පාදනයට මට කිසිම අනුග්‍රාහකයෙක් නැහැ. ළමයින්ගේ දෙමවුපියන් උදව් කරනවා. කලාකරුවාට කොන්දක් තියෙන්න ඕන. ඔහු මුදල් මතම කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මට ඕන හොඳ නිර්මාණකරුවෙක්. මෙය විකුණා ගැනීමේ හෝ තරග දිනාගැනීමේ අරමුණකට යනවා නම් අපිත් මාකට් කරන්න හිතනවා. කලාව මාකට් කළ යුතුයි. එහෙත් මුලින් හොඳ නිර්මාණයක් කළ යුතුයි.
Q එලෙස සිදුකරන නිර්මාණ කියවන හොඳ ප්‍රේක්ෂකාගාරයක් අද වනවිට නිර්මාණය වී තිබෙනවද?
ඉතාම දුර්වල ප්‍රේක්ෂකාගාරයක් තියෙන්නෙ. ඒකට හේතුව අධ්‍යාපනය. පාසලකට ගිහින් වේදිකා නාට්‍යයක් බලන ළමයෙක්ට අත උස්සන්න කිව්වොත් හරි අතළොස්සයි අත උස්සන්නේ. දෙවැනි ප්රශ්නය විය යුත්තේ බැලූ නාට්‍යවල නම් හා එම නාට්‍යය බැලූ ස්ථාන. මේ ප්‍රශ්නවලට ලැබෙන උත්තරය තමයි සිලබස්වලට තියෙන නාට්‍යය, පාසලේ හෝ ඒ ආසන්න තැනක පාසලෙන් එක්ක ගිය නිසා බලන්නෙ. හතර වැනි ප්රශ්නය තමන්ගේ අම්මා තාත්ත එක්ක සිලබස් එකට නැති වේදිකා නාට්‍යයක් බලපු ළමයෙක් අත උස්සන්න කිව්වොත් කීදෙනෙක් ඉඳියිද? ලංකාවේ ළමා නාට්‍යය කලාව රඳාපවතින්න සිලබස් එකේ තියෙන්න ඕන. එය කවුරුන් හෝ සංවිධානය කර පාසලට ගෙන ආ යුතුයි. එය පෙන්වන්න පාසලෙන් එක්ක යා යුතුයි.
රසවින්දනය සඳහා වේදිකා නාට්‍යය බලන්නෙ කීයෙන් කීදෙනාද? දියුණු යැයි සම්මත රටවල මේ තත්ත්වය වෙනස්. අපේ රටේ මහාචාර්ය විභාගය ලියනවා වගේනේ ශිෂ්‍යත්ව විභාගය ලියන්නේ. ඒ තැනට කැරකිලා. දියුණු රටලවල ගිහින් බැලුවම වසර පුරා වේදිකාගත වන ළමා නාට්‍යය තියෙනවා. එහෙත් ලංකාවේ එහෙම නැහැ. සකල කලාවන් එකතු වූ බොහෝ සමාජානුයෝජනයන් හැදෙන්නේ, පරිකල්පනය දියුණු වෙන්නේ, කාලය හා අවකාශය එක්ක ගනුදෙනු වෙන්නේ පිළිවෙළකට වැඩ කිරීම මේ සියල්ල මේ විෂය තුළ තියෙනවා. නමුත් ඒ පරිසරය රට තුළ නිර්මාණය වෙලා නැහැ. එහෙම ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ නැහැ. අනිත් කාරණේ එහෙම බලන්න තරම් නාට්‍යය නිර්මාණය වෙන්නෙත් නෑ. ඒකට හේතුව බලන්නෑ. මම ඔය අතරමැද ඉන්නෙ.
Q වේදිකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසකට ප්රකාශනය යොමු කරනවා වෙනුවට පෙර වගේ ටෙලි නාට්‍යය තුළින් ප්‍රකාශන ගෙන එන්න උත්සාහ දරන්නෙ නැත්තෙ ඇයි?
මම ගුවන්විදුලිය, රූපවාහිනිය යන දෙකේම වසර ගණනක් කටයුතු කළා. ටෙලි නාට්‍යය දෙකක් කළා. එහි පිටපත් රචනාවත් මගේ. මගෙන් බෙහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ටෙලි නාට්‍යයක් කරන්නේ නැත්තේ කියලා. මම ඒ අයගෙන් අහන්නේ කොයි චැනල් එකටද මම නාට්‍යය කරන්න ඕන කියලා. දඟමල්ල, ඈන් කළා කියලා මම ඊළඟට ටෙලිනාට්‍යය විකුණන්නේ මොන නාළිකාවටද? මොන නාළිකාවද මට සහතිකයක් දෙන්නේ ළමයින් වෙනුවෙන් අපි එය විකාශය කරනවා කියලා. දැන් ළමයා මොකක් හරි චරිතයකට හොඳට අන්දලා ඒ ළමයා විකුණන් කනවා.
ලංකාවේ ළමා වැඩසටහන් බහුතරයක් කරන්නේ කිසිම දෙයක් කරන්න බැරි අය. හොඳ දක්ෂ ළමා මනෝ විද්‍යාව ගැන යම් හැදෑරීමක් තියෙන අය නෙමෙයි ළමා වැඩසටහන් කරන්නෙ. ළමයා නටවන්න තමයි ඔවුන් යොමු වෙන්නෙ. රියැලිටිත් එහෙමයි. ලංකාවේ රියැලිටි වැඩසටහන්වලට යොමු වෙන්නේ පහළ පන්තියේ අම්මලා, තාත්තලාගේ ළමයි. චැනල්වල ළමයි පෙන්වා ගැනීමේ ආශාව නිසා ඔවුන් එන්නෙ. නටන නැටුම්, ඇඳුම් බලන්න හිරිකිතයි. මේ සමාජයේ බහුතරයකගේ රසවින්දනය කියන ජාන මැරිලා තියෙන්නෙ. ළමා මනස ක්රමික වැඩීමට හානිකර විදිහට වැඩ කරන්නෙ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

