ඒකාකාරී වට්ටෝරු ටෙලිනාට්‍ය කලාවෙන් මිදුණු වෙනස් ආරක මෙගා නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට සමීප කරවන කැලුම් පාලිත මහීරත්නයන්ගේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක් වන 'ස්නේහා' අද වනවිට සියවැනි දිගහැරුම දක්වා ගමන්කොට තිබේ. ආරම්භයේ සිටම මේ දක්වා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් මේ නාට්‍යය පිළිබඳව අපි එහි අධ්‍යක්ෂක කැලුම් පාලිත මගීරත්න සමග කළ සංවාදයකි මේ.
-
ස්නේහා ආරම්භයේදී ඔබ ප්‍රකාශ කළ තත්ත්වය තවමත් ඒ විදිහටම පවත්වාගෙන යනවා කියල කොටස් 100 ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව ඔබ විශ්වාස කරනවද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. ඒ ගැන තර්කයක් නැහැ. මං කිව්ව දේවලුත් හරියටම කළා කියලා මම විශ්වාස කරනවා. මොකද මෙගා ටෙලි නාට්‍යවල මෙතෙක් දැක්ක රිදම් එක අපි ස්නේහා තුළින් වෙනස් කළා. විශේෂයෙන් තාක්ෂණය පැත්තෙන් අපි මෙගා ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය ඉහළ ප්‍රමිතියකට ලක්කළා. ඒ වෙනස ප්‍රේක්ෂකයා විවිධ අයුරින් අර්ථගන්වනවා.
ඒ වගේම මෙතෙක් පැවැති එක හැඩයක තිබූ ප්‍රේම වෘත්තාන්තවලට අපි වෙනස් හැඩයක් ලබාදුන්නා. විශේෂයෙන් ප්‍රේක්ෂකයන් බොහෝවිට කියන දෙයක් තමයි අපි හිතන දේ නෙවෙයිනෙ සිද්ධවෙන්නෙ යන්න. අපට අවශ්‍ය වුණේ ප්‍රේක්ෂකයාට කුතුහලයක් ඇති කර ඔවුන් නාට්‍යය සමග රඳවාගැනීමයි. අපේ ඒ අරමුණ 95% ක් පමණ සාර්ථක කරගන්න හැකි වී තිබෙනවා.
-
මෙරට මෙගා නාට්‍ය කලාවේ තාක්ෂණික වෙනසක් 'ස්නේහා' හරහා ඔබ සිදුකළා යැයි පැවසුවත්, සිදු වී තිබෙන්නේ ඉන්දීය ශිල්පීය ක්‍රම මේ නාට්‍ය තුළ භාවිත කිරීම නේද?
ලෝකයේ ඉන්දීය ශිල්පීය ක්‍රමය, හොලිවුඩ් ශිල්පීය ක්‍රමය ආදී ලෙස විවිධ රටවලට අනන්‍ය වූ ක්‍රමවේදයක් තිබුණත් එවැනි තාක්ෂණික ක්‍රමවේදෙයක් වර්තමානයේ නැත්තෙ අපේ රටට පමණක් වෙන්න ඇති. එක කාලෙක අපට අපේ ක්‍රමවේදයක් තිබුණා. උදාහරණයක් ලෙස 'දූ දරුවෝ' කරන කාලෙ ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයක් එතන තිබුණා. හැබැයි පසුකාලීනව කතාවක් හොයාගෙන, නළු නිළියො ටිකක් අරගෙන, දෙබස් ටික කියවලා ටෙලි නාට්‍යයක් හදනවා. මේ මෙගා කියන සංකල්පය දැන් පචවෙලා තියෙන්නෙ.
'ස්නේහා' තුළ ඉන්දීය තාක්ෂණික ක්‍රමවේද භාවිත කළා කියලා ඔබ කියනවා නම්, ඔව් සමහර විට එවැනි ක්‍රමවේදයක් භාවිත කර තිබෙන්න පුළුවන්. හොඳ දේ කොහෙන් ගත්තත් වැරැද්දක් නැහැ. බොහෝවිට සිදුවන්නේ හොඳ දේ වෙනුවට බාල දේ අරගැනීමයි. තාක්ෂණික වශයෙන් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නා කොටස් 1000 - 2000 ටෙලි නාට්‍ය ඉන්දයාවෙ හදනවා. ඒවා ඉතාම ආකර්ෂණීයයි. ඉන්දියාවේ සිටින ආකර්ෂණීය චිත්‍රපට නිර්මාණකරුවෙකු වන සංජය ලීලා බන්සාලි මේ දවස්වල ටෙලි නාට්‍ය සීරිස් එකක් කරනවා. හැබැයි එය ඔහු සිදුකරන්නේ ඔහුගේ අනන්‍යතාව රඳවාගෙනයි.කොහොම වුණත් මම මෙතනදි කළේ මගේ තාක්ෂණික ක්‍රමවේදයෙන් මේකට ට්‍රීට් කරපු එකයි. එය බලන අයට හැඩතල වලින් එය වෙන්කර ගන්න පුළුවන්.
-
මේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර එක්ක නිශ්චිත අවසානයක් නැති ටෙලි නාට්‍යයක් බවට පත්වේවිද?
අනිවාර්යයෙන් නිශ්චිත අවසානයක් තිබෙනවා. අපි මේ ටෙලි නාට්‍යය ආරම්භ කළේ කොටස් 200ක් සැලසුම් කොට අවසන් කරලයි. හැබැයි දැන් අපි එතනින් එහාට මේ නාට්‍යය ගමන් කළ යුත්තේ කෙසේද යන්න ගැන සැලසුම් කරමින් සිටිනවා. ඒ මුල, මැද, අග සහිත කතාවක් ලෙසයි.
-
බොහෝවිට වත්මන් නළු නිළියන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන් වෘත්තීය මට්ටමේ නැහැ යන චෝදනාව බොහෝ නිර්මාණකරුවන් නඟනවා. මේ සම්බන්ධව ඔබ අත්දැකීම කෙබඳුද?
මට මෙතනදි සතුටු හා අසතුටු යන කරණා දෙකක් තිබෙනවා. මම මේ ටෙලි නාට්‍යයට උපේක්ෂා ස්වර්ණමාලි තෝරා ගනිද්දි බොහෝදෙනෙක් මගෙන් ඇහුවා ඔයාවගේ ලොකු වැඩක් එයත් එක්ක කරගෙන යන්න පුළුවන්ද කියලා. මටත් ඒ ගැන යම් කුකුසක් නොතිබුණා නොවෙයි. හැබැයි මට ඒ වෘත්තීය ගනුදෙනුව කළ හැකියි කියන විශ්වාසයේ මම හිටියා.
මම මේ වන විට දැක්ක හැටියට උපේක්ෂා කියන්නේ අපි හිතුවට වඩා ගොඩක් හොඳ, ඉතාම වෘත්තීය මට්ටමේ නිළියක්. ඇය වෙලාවට පසුතලයට එනවා, පසුතලයේ කුමන්ත්‍රණ කරන්නේ නැහැ, යුනියන් හදන්නේ නැහැ, අර කෑම, මේ කෑම ඕන කියලා වාතවෙන්නෙ නැහැ. ඇය ඉතාම පරමාදර්ශී වෘත්තීය නිළියක්.
හැබැයි එහෙම නැති, වාත වෙන ප්‍රශ්න ඇතිකරන අයත් අපේ ගොඩේ ඉන්නවා. තමන් වෘත්තීය කාරණාවකට ආවා නම් ඊට ගරුත්වයක් සපයන්නේ නැත්තෙ ඇයි කියලා මම දන්නෙ නැහැ. මම යම් තැනක වැඩ කරන්න එකඟ වෙලා වැඩට යනවා නම් මම ඒ එකඟතාව හා ඒ වැඩේ ගරුත්වය රකින්න ඕන.එතනට ගිහින් ජිල්මාට් දාලා, ගේම් ගහලා ඒ වැඩේ කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම නෙමෙයි වෘත්තීය ශිල්පියෙකුගෙ කාර්යය වෙන්නෙ.
කණ්ඩායමක් එක්ක වැඩ කරන විට මත ගැටුම් ඇතිවීම ස්වාභාවිකයි. ඒවා සාකච්ඡා කර නිරාකරණය කරගත යුතුයි. අතන මෙතන කතා කරලා ඒ ප්‍රශ්න විසඳගන්න බැහැ. රංගන ශිල්පය ඉතා ගරුත්වයක් සහිත රැකියාවක්. ඒක බාල්දු කරගන්නේ ඇයි? මෙවැනි මෙගා නාට්‍යවලට එන අලුත් පරම්පරාවේ අය වැඩේ පටන් ගන්නකොට හැමදේටම එකඟ වෙනවා. හැබැයි ඔහුගේ චරිතේ නාට්‍යයට අවශ්‍යම බව ඔහුට හැඟෙන්න ගත්විට ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. එය වෘත්තීය මට්ටමේ ශිල්පියෙකුගේ ලක්ෂණයක් නෙවෙයි.
තමන්ගේ චරිතය ටිකක් හොඳ වෙනකොට තව විවිධ වැඩ එන්න ගන්නවා. එවිට දින දීගන්න බැහැ යැයි පවසමින් දින බ්ලොක් කරනවා. එහෙම නැත්නම් තමන්ට වෙන වැඩක් නැති වුණත් කාර්යයබහුල බව පෙන්වීමට 'මම 6ට ඇවිත් 4ට යනවා', නැත්නම් 'මම වැඩ කරන්නේ උදේ 6 හවස 6 අතර විතරයි' වැනි දේ පවසනවා. මේ තත්ත්වය දිගින් දිගට වදයක් වෙන්න ගත්තම ඔන්න ප්‍රධාන නළුවා, නිළිය ටෙලි නාට්‍යයේ රට යනවා, නැත්නම් මැරෙනවා.නළු නිළියෝ කියන්නේ අපට ඉන්න සම්පතක්. හැබැයි ඔවුන් තම ගරුත්වය ආරක්ෂා කර නොගැනීම තුළ නිර්මාණ ඉතාම නරක තැනකට වැටෙනවා.
-
මේ වන විට සිනමාවේ පවතින ඓතිහාසික කතා රැල්ල රූපවාහිනියටත් රැගෙන එන්නද ඔබ ඔබේ මීළඟ ටෙලි නිර්මාණය හරහා උත්සාහ කරන්නේ?
මම කලාවත් එක්ක ව්‍යාපාර කරන කෙනෙක්. හැබැයි කලාව හා ව්‍යාපාරය අතර ඇති බර තමයි වැදගත් වෙන්නේ. තරාදියේ භාගෙට භාගෙ ගානෙ දාලා මේ වැඩේ කරන්න බැහැ. මෙතෙන කලාව කියන පැත්තෙ බර වැඩිවෙලා ලාභාංශ කියන පැත්තෙ බර ටිකක් අඩු වෙන්න ඕන. මට 100,000ක් ලැබෙනවා නම් ඉන් 75,000ක් කලාවට යොදා 25,000ක් ලාභාංශ විදිහට ගන්නවා.මෙවැනි පසුබිමක් මත තමයි මම මෙරට ඉතිහාසයේ සුවිශේෂී කාන්තා චරිතයක් වූ 'සුගලා දේවියගේ' කතාව ඉතා ඉහළ මට්ටමකින් රූපවාහිනියට ගේන්න කටයුතු කරමින් සිටින්නේ.
මෙගා නාට්‍යවල එක්තරා කොලිටියක් එළියට දැම්මා වගේම මේ සුගලා දේවිය ඓතිහාසික නාට්‍යයත් ඉතා ඉහළ ප්‍රමිතියකින් එළියට දානවා.මේ ටෙලි නාට්‍යයට සමගාමීව සුගලා දේවිය චිත්‍රපටයත් නිර්මාණය කිරීමේ සැලසුමක් තිබෙනවා.
-
ඓතිහාසික කතාවක් නිර්මාණය කිරීමට අති විශාල මුදලක් අවශ්‍ය වෙනවා. එවන් පසුබිමක එක් කොටසකට අඩු මුදලක් ගෙවන ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ මෙවැනි දැවැන්ත කටයුත්තක් කිරීම ප්‍රායෝගිකද?
අපි තාම ඒකේ මුදල කොපමණද කියලා සාකච්ඡා කළේ නැහැ. නමුත් මොනදේකට වුණත් ටෙලිවිෂනයකට ඒ වෙනුවෙන් දැරිය හැකි මිලක් තිබෙනවා. මේ නිසා ඔවුන්ට අපි වෙනුවෙන් දැරිය හැකි උපරිම මිල ඇතුළේ උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියන කාරණය ගැන තමයි කතාබහ කරමින් යන්නේ.
-
ටෙලි නාට්‍යයක් නිර්මාණය කොට රූපවාහිනී නාලිකාවල විකාශය කර ගැනීමට විවිධ අල්ලස් ලබාදිය යුතු බව පැවසෙනවා. මෙවන් පසුබිමක නිර්මාණකරුවන් එකතුවෙලා මීට විසඳුමක් ලබාගන්න බැරි වී තිබෙන්නේ ඇයි?
මේ රටේ නිර්මාණකරුවන් දහදෙනෙක් එකතු කරගෙන වැඩක් කරන්න පුළුවන්ද? මම හෙට ගිහින් කිව්වොත් ඔය ඉල්ලන අල්ලස් දීලා මගේ නිර්මාණය දාගන්න අවශ්‍ය නැහැ කියලා, තව මට පස්සෙ යන 15 දෙනෙක් ඔය ඉල්ලන දේ දීලා තමන්ගෙ නිර්මාණ විකාශය කර ගනීවි. නිර්මාණකරුවන්ට පෙළගැසිලා තීරණාත්මක සාධකයකට එන්න බැරිවීමයි ගැටලුව වෙන්නේ.
අද ටෙලි නාට්‍ය කොටසකට ගෙවන්නේ 120,000 සිට 90,000 දක්වා කියලා මුදලක් යැයි කියනවනේ. මේ ප්‍රශ්නයට උත්තර නැද්ද? උත්තරයක් තිබෙනවා. නමුත් හැමෝම බලන්නේ තමන් හදපු ටෙලි නාට්‍ය දෙන කීය හරි අරගෙන පෙන්වන්නයි. අද වන විට ටෙලි නාට්‍ය කලාව ව්‍යාපාරයක් වුණත් ඇයි මීට හොඳ ව්‍යාපාර ගති ලක්ෂණ පෙන්වන්නෙ නැත්තේ කියන ගැටලුව තිබෙනවා. මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික ප්‍රතිපතියක් සැකසිය යුතුයි.
ඉස්සර ඩී.බී. නිහාල්සිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටියදී, කෙටි චිත්‍රපටයක් හදලා තමන් කුසලතාපූර්ණ අයෙක් ලෙස ඔප්පු කළොත් පමණයි කෙනෙකුට දිගු චිත්‍රපටයක් කරන්න අවස්ථාව දුන්නේ. එවැනි ප්‍රමිතියක් ඒ කාලෙ කලාව සම්බන්ධව තිබුණත් අද රටේ කොහෙද ඒ ප්‍රමිතිය හොයන්නේ. අද දේශපාලනයට එන්න හා නිර්මාණකරුවෙක් වෙන්න සුදුසුකම් ගොඩක් ඕන නැහැ. මොනවාහරි දෙයක් අටවලා, මොකක්හරි ක්‍රමවේදයකින් නාලිකාවකට දුන්නම එතැනින් පස්සෙ කිසිම ගැටලුවක් නැහැ.
අද ටෙලි නාට්‍ය හදන නිෂ්පාදකයන්ගෙන් බහුතරය ඉස්සර කැසට් නිෂ්පාදකයන්. ඔවුන් කැසට් නිෂ්පාදනයෙන් කළෙත් ලංකාවේ ගීත කලාව හා කැසට් නිෂ්පාදනය වළ පල්ලට දැමීමයි.
ඒ අය මේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා කරන්නෙත් ඒ කටයුත්තමයි. මට ටෙලි නාට්‍ය කොටසකට ගෙවන්නේ 150,000ක් නම් ඉන් 50,000ක් පගාව ලෙස දුන්නොත් ඉන් 1/3න් නිෂ්පාදනයේ ගුණාත්මක බව බාල වෙනවා. මොකද අතේ ඉතිරි වෙන ලක්ෂයෙන් තමන්ටත් 25000ක් වත් ලාභ තියාගෙන ටෙලි නාට්‍ය නිර්මාණය කරන විදිහක් ගැනයි ඔහු හිතන්නේ. අවසානයේ ½ කින් නිර්මාණයේ ගුණාත්මක බව බාල වෙනවා.
මේ නිසා මම පගාව දීලා ටෙලි නාට්‍ය විකාශය කරගත යුතු ආයතනවලට ටෙලි නාට්‍ය හදන්නේ නැහැ. වෙන නිෂ්පාදකයෙක් එක්ක ටෙලි නාට්‍ය හදන්නෙත් නැහැ. මොකද එවිට මට ලැබෙන ප්‍රමාණයෙන් මට පුළුවන් ගුණාත්මකභාවය රඳවාගෙන අදාළ නිර්මාණය කරන්න.