මා ලියූ 'හඬ කැවීම් කලාව' පොත සියල්ලන්ටම අත්පොතක් වශයෙන් භාවිත කළ හැකියි
ජාතික රූපවාහිනියේ හඬ කැවීම් කලාව සම්බන්ධයෙන් කතා කරන විට අපට එක්වරම සිහිපත් වන දැවැන්ත චරිත දෙකක් තිබේ. ටයි මහත්තයා එයින් පළමු වැන්නාය. එයින් පසු හඬ කැවීම් කලාව සම්බන්ධයෙන් කතා කරන විට කිසිවිටෙක මග හැරිය නොහැකි අනෙක් පුද්ගලයා වනුයේ අතුල රන්සිරිලාල් මහතාය. හඬකැවීම් කලාවේ බොහෝ සොඳුරු අත්දැකීම් ළමා සහ තරුණ අයට පමණක් නොව පවුලේ සැමටම ගුණාත්මක අයුරින් ගෙන දෙන්නට පුරෝගාමීව කටයුතු කළ අතුල, අද ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයෙන් විශ්‍රාම ලබාගැන්ම සිදු වුවද, ඔහු හඬ කැවීම් කලාවේ උන්නතිය වෙනුවෙන් එහි යමක් තබා යන්නට වෙහෙසෙයි. ඒ ජාතික රූපවාහිනියේ රජත මැදිරියේදී අද සවස් භාගයේය. ඔහු විශ්‍රාම ලබමින් ජාතික රූපවාහිනියටත් සමස්ත හඬ කැවීම් කලාවටත් තබා යන ඒ මාහැඟි දායාදය කුමක්ද? මේ සටහන ඒ ගැන විමසීම වෙනුවෙනි.
'මා විසින් ලියූ 'හඬ කැවීම් කලාව' පොත මා අද, මා සේවය කළ ජාතික රූපවාහිනිය තුළදීම ජනගත කරමින් මගේ සමුගැන්ම කරන්නට සිතුවේ මා හඬ කැවීම් කලාව තුළ අත්දැකීමෙන් හා ඉගෙනීමෙන් ලත් දැනුම නිර්ලෝභීව අලුත් හා ශිල්පීය මට්ටමේ කාහට වුවත් යම් ප්‍රයෝජනයක් ලබාගැනීම පිණිස මෙහි තබා යා යුතු යැයි හැඟුණු නිසයි. මේ පොත හඬ කැවීම් කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරන ආකාරයේ එකක්. මෙය හඬ ශිල්පීන්ට පමණක් නෙවෙයි කාටූන් නිර්මාණ කරන ශිල්පීන්ට, පිටපත් රචකයන්ට, වැඩසටහන් නිෂ්පාදකවරුන්ට මෙන්ම හඬ කැවීම් සඳහා නිර්මාණ තෝරා ගන්නන්ට ආදී හඬ කැවීම් කලාව හා සම්බන්ධ උනන්දුවක් දක්වන සියල්ලන්ටම අත්පොතක් වශයෙන් භාවිත කළ හැකි අන්දමේ එකක්.'
Q ඇත්තෙන්ම මේ වනවිට හඬ කැවීම් කලාව සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වන යුගයක්. ඇතැම් නිර්මාණ අපේ සමාජය හා සංස්කෘතිය හා ගළපන්න ගිහින් විවිධ ගැටලු ඇති වී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ එය හා එකඟ වෙනවද?
ජාතික රූපවාහිනියට නම් හඬ කැවීම් කලාව සම්බන්ධ ඔය කියන ගැටලු මතු වී නැහැ. අනෙකුත් හඬ කැවීම් කලාව හා සම්බන්ධ ආයතනවලින් කෙරෙන නිර්මාණවලදී නිර්මාණ තෝරාගැනීමේදී මතුවුණු ගැටලු සමාජයේ යම් යම් මතිමතාන්තර හා ගැටෙන්න පුළුවන්. ලංකාවේ හඬ කැවීම් කලාව අවුරුදු තිස් පහක විතර ඉතිහාසයක් පවතින්නක්. ඒ දිනවල මම තොටවත්ත මහත්තයා සමග කාටූන් පිටපත් රචනයේ සිට සියලු කාර්යයන් සම්බන්ධ වැඩ කරමින් සිටියා. ‘මල්ගුඩි දවස’ වගේම විවිධ මපට් වැඩසටහන්, ‘දොස්තර හොඳ හිත’ වගේ නිර්මාණ බිහි කිරීමේදී ඒ ඒ පිටපත්වල අපේ සලකුණු ඇති කරන්න ටයි මහත්තයා කළ වික්‍රමයන් විස්මිත ලෙස ජනතාව අතරට ගියා. ඉංග්‍රීසි පිටපතේ ‘බර්ඩ් කැනොට් ෆ්ලයි’ කියල තිබුණ එක ටයි මහත්තයා ලීවේ ‘බැහැයි කියල බෑ’ කියන වචනවලින්. ‘බෙයා බෙයා’ එකේ වලස්සු ලස්සන වෙන්න ගිහින් ලොම් අහිමි කරගත් එක ගැන ටයි මහත්තයා කීවෙ ‘මොඩ්වෙලා මෝඩ වෙලා’ කියලා. ‘දොස්තර හොඳ හිත’ නිර්මාණයේදී තල්මසෙක් ඇවිත් දොස්තර හොඳහිතට කියනවා ළා තණකොළ පෙත්තාස් කණ්ඩායමේ කට්ටිය ලෙඩ වෙලා කියලා. ඒ රෝගයට හේතුව දිය රකුස් කෙලෙස් විෂ පෙවීම කියලයි ඔහු ලිවුවේ. එයට ප්‍රතිකාර විදිහට නියම වුණේ දහම් පැන්. ඒ දහම් පැන් බීපු ළා තණකොළ පෙත්තාස් ලා නැවත ඉරිසියාව, වෛරය, ක්‍රෝධය රහිත අර කෙලෙස් විසෙන් ඇති කරගත් සියලු ආබාධ දුරු කරලා සමාජයට එනවා. මෙවැනි ලස්සන සංකල්ප කොහෙද බටහිර පිටපත්වල. ඒවා අපේ සංස්කෘතිය හා ගළපන්න අපට හැකියාව තියෙනවා නම් අපට කිසිම චෝදනාවක් එල්ල වෙන්නෙත් නැහැ. මේවා ගැන මේ පොතේ සියලුම දේ අඩංගුයි. අත්පොතක් යැයි මා කීවේ අධ්‍යාපන පොතක් බව කියන්නයි. එයින් මතු හඬ කැවීම් කලාවේ නියැළෙන අයට, නියැළෙන්න බලාපොරොත්තු වෙන අයට, ගීත රචකයන්ට ආදීන්ටද මෙය ඉතාම වැදගත් වේවි.
Q විදෙස් නිර්මාණ අපේ සමාජයට ධනාත්මක වශයෙන් බලපා තියෙන බවක් ඔබට කිවහැකිද?
ඔව්, සීයට සීයක් ඒ නිර්මාණ අපේ සමාජයට ගන්න අමාරුයි. මොකද අපට යම් යම් සීමා තිබෙනවා. දුම්පානය කරන , මත්පැන් පානය කරන දර්ශන අපට ප්‍රචාරය කරන්න අවසර නැහැ. එමෙන්ම ලිංගික දර්ශන මෙවැනි දර්ශන අසීමාන්තිකව පවතින නිර්මාණයක් අපට අපේ සමාජයේ තිබෙන සංස්කෘතිය හා ගළපන්න බැහැ. මේ නිසා හඬ කැවීම සඳහා නිර්මාණ තේරීමේදී අපට ඉතාම බැරෑරුම්ව සිතන්න අවශ්‍ය දේ මතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පොතේ බොහෝ විස්තර ඇතුළත්. අපි කාටත් අදත් ඔෂීන් කතාව මතකයි නේද, සුජාත දියණිය මතකයි නේද? කිසියම් නිර්මාණයක් තුළින් සමාජ මෙහෙවරක් කරන්නට හැකි වූ බවට ඒ නිර්මාණ උදාහරණයක්.
Q ඔබ අද ජාතික රූපවාහිනියට සමුදෙනවා. නමුත් ඔබෙන් සේවයක් තවදුරටත් ජාතික රූපවාහිනියට අවශ්‍ය වුණොත් ?
ඒ ගැන ඉතිං කියන්න තියෙන්නේ අවශ්‍ය වුණොත් එය සලසන්න අකමැත්තක් නැහැ කියලයි. නමුත් මම වෙනත් වැඩ රාශියක් ආරම්භ කිරීම පිණිස දැනටමත් වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිටිනවා. ඒ ‘දොස්තර හොඳ හිත’ කාටූන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීම, අපේ විද්වතුන් හා එක්ව ‘මහාවංශය’ සිනමාවට නැගීමත් එක් බලාපොරොත්තුවක්. අපි ජාතික රූපවාහිනියෙන් හඬ කැවීම් ශිල්පීන් තෝරලා නොමිලේ පුහුණුවක් ලබාදුන්නා. නමුත් හඬ කැවීම් කලාව හෝ ඒවාට අදාළ දේ නිවැරදිව ඉගෙනගන්න විදිහක් අපේ අයට නැතිකම නිසා හොඳ ශිල්පීන් අපට මුණ නොගැසී ඉන්න පුළුවන්. මේ නිසා මං ‘ලංකා රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් ඇකඩමි’ එකක් ආරම්භ කර ඒ අඩුව පූරණය කරන්නට බලාපොරොත්තුව සිටිනවා.
Q ඔබට මේ හඬ කැවීම් කලාවේ නියැළීමෙන් ලත් සම්මාන අපමණයි. එමෙන්ම ඔබ මේ කාරියේ ඇති අභියෝග ගැන මොනවද හිතන්නේ?
අභියෝගවලට මම බය නැහැ. ඒවා කැපවීමෙන් සහ වැඩ කිරීමෙන්, පලපුරුද්දෙන් ජයගන්න හැකිවුණ අවස්ථාත් අපමණයි. එමෙන්ම සම්මාන දහස් ගණනක් මේ සේවා කාලය තුළ මට ලැබිලා තියෙනවා. ඒ අභියෝගවලට නොසැලීම පිළිබඳ සාක්ෂි.
‘හඬ කැවීම් කලාව’ පොත පරිශීලනය තුළින් ඔබට ඒ සම්බන්ධ බොහෝ දෑ අධ්‍යයනය කළ හැකි වේවි. එය බොරැල්ල සදීපා ප්‍රකාශකයන්ගේ ප්රකාශනයක්. පොත කියවන්න. ඔබේ දැනුමට එකතු විය යුතු බොහෝ දෑ එයින් හමු වේවි.
popular news
-
Gagana Saturday, 26 September 2020 07:50 PM
මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



